මලයාල නාග වෛරෝඩිය ( 8 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" හොඳමයි ගුරුන්නාන්සේ . අපි එහෙනම් ඉස්සෙල්ලම අපේ ගෙදරට යමු . මොකද කළුවර අඳුනත් එහේනේ තියෙන්නේ "

" නෑ අයියේ , කළුවර අඳුන තෙල් බෝතලය මම අරගෙන ආවා . අපිට මෙහෙමම යන්න පුළුවන් "

" බැහැ මල්ලි . එතනට මෙතන ඉඳලා ගොඩක් දුරයි . දැන් රෑ දොළහත් පහුවෙලා නිසා අපිට කරත්තෙන් තමයි යන්න වෙන්නේ . අපි කරත්තෙන් ගිහින් කරත්තේ මග නවත්තලා එතනට කිට්ටු වෙමු "

සීයාත් මමත් අනුර අයියාත් ආ වේගයට වඩා වේගයෙන් නිධන් ගල සහිත ස්ථානයෙන් පිටත්ව , අප ආ පාර දිගේම කරත්ත පාර වෙන පැමිණියෙමු . අනතුරුව තිබුණේ අනුර අයියාගේ මග පෙන්වීම යටතේ නැවතත් අනුර අයියාගේ නිවසට ගමන් කිරීමයි . ඉක්මණින්ම අනුර අයියාගේ නිවසට ගිය අපි රැගෙන ආ සියළුම දේවල් නැවතත් කරත්තයට පටවාගෙන නාග වෛරෝඩිය ගැනීමේ එම අවදානම් ක්‍රියාව කිරීම සඳහා පිටත් වීමු .

අද එතැන් සිට

පිටත් වීමට ප්‍රථමව කරත්තයේ බැඳ සිටි හරකාගේ කරේ එල්ලා ඇති ගෙජ්ජි වැල ගලවා කරත්තයට දැමූ සීයා කරත්තයේ කඩ ඇණ අසල අල්ලා බැලුවේ එහි ආලේප කර ඇති තෙල් වියලී ඇත්දැයි පරීක්ෂා කිරීමටය . මේ සියල්ලම සිදු වූයේ කරත්තය දක්කන විටදී ඉන් නැගෙන හඬ හැකිතාක් අඩු කිරීමට සීයා බලාපොරොත්තු වූ නිසාය . අනතුරුව කරත්තයට නැගි අපි නාග වෛරෝඩිය තැම්පත් කර තිබෙන ස්ථානය බලා පිටත් වීමු . යන්නේ කොහිද ඉන්නේ කොහිද කියා මට හෝ සීයාට කිසිම අදහසක් තිබුණේ නැත . එහෙත් සීයා අනුර අයියාගේ නිදන් වදුල , පරම්පරාව , කියන ලද කතා සියල්ල විශවාස කළේය . එබැවින් අවසානය අවිනිශ්චිත මෙම ගමනට සීයා දෙවරක් සිතා බැලුවේ නැත . 

එහෙත් මම ඊට වඩා වෙනස් අදහසක් මෙම සිදුවීම් දාමය පුරාවටම දරාගෙන සිටියෙමි . අනුර අයියාගේ හැසිරීම සාමාන්‍ය මිනිසෙකුගේ හැසිරීමට වඩා තරමක් වෙනස්ය . ඔහු කතා කරන්නේ හිනා වෙන්නේ කන්නේ බොන්නේ ඇවිදින්නේ ඉතාමත්ම කල්පනාකාරීවය . එහෙත් සීයා රාමුවකට කොටු වී සිතන බවක් පෙනුනේ නැත . මනුෂ්‍යයෙක් වලව්වට ආවේය . උදව්වක් ඉල්ලුවේය . සීයා එය කරදීමට ඉදිරිපත් වූවා මිස එහි දිග පළල මැන බැලීමට ගියේ නැත . දැන් එළඹ තිබෙන්නේ එම දිගක් පළලක් නොදන්නා කතාවේ උච්චතම අවස්ථාවට පැමිණීමටය . 

කරත්තය දක්කන මොහොතේ සීයා " ජඃ " කියා වත් කීවේ නැත . කෙවිටෙන් හරකාගේ පිටට තට්ටු කළා මිස වැරෙන් පහරක් හෝ එල්ල කරේ නැත . කරත්තයෙන් පැයක් පමණ ගමන් කල අපි අඩුම තරමේ එකිනෙකා සමග වචනයක් හෝ කතා කලේද නැත . සැබවින්ම අමනුෂ්‍යයින් හා තරඟ වැදීමට වඩා මනුෂ්‍යයින් සමග තරඟ වැදීම අතිභයංකර රාජකාරියකි . අවටින් ඇසෙන්නේ රැහැයියන්ගේ නාදය පමණි . අතරින් පතර බස්සන්ගේ මූසල හඬද ඇසේ . එම නාද මිශ්‍රණය හදවතේ ඇතිවන භය දෙගුණ තෙගුණ කරනු ලබයි . ඊට සහය දක්වන්නට පාර දෙපස ඇති අතුපතර විහිදී ගිය ගස් පැකිලීමකින් තොරවම සමත් විය . 

" ගුරුන්නාන්සේ " 

මෙතෙක් වෙලා නිහඬව සිටි අනුර අයියා තම හඬ අවදි කළේය . 

" ඔව් දරුවෝ කියන්න " 

" අපි මෙතන නවතිමු . කරත්තේ මේ පාර අයිනේ තියෙන ලන්දට හරවලා ටිකක් ඇතුලට වෙන්න නවත්තලා ගහක ගැටගහලා ඊළඟ ටික පයින් යමු . දැන් අපිට යන්න ඕන තැනට ගොඩක් කිට්ටු වෙලා තියෙන්නේ " 

" කරත්තේ මෙතන නවත්තලා වෙන කවුරුවත් දකියිද දරුවෝ ? " 

" වැඩි වෙලාවක් යන්නේ නැහැනේ ගුරුන්නාන්සේ . අනික ලන්ද ඇතුලට වෙන්න කරත්තය නැවත්තුවම වැඩිමනත් කාටවත් පේන එකක් නැහැ . අපි ඉක්මනට ගිහින් අපේ රාජකාරිය අහවර කරගෙන එමු " 

" දරුවෝ මේක හොඳට මතක තියාගන්න . මේ කාරණාව වෙනුවෙන් මම , මේ චූටි පුතා ඉදිරිපත් උනේ මේක අපේ සාත්තරේට අදාල දෙයක් නිසා . ඔය ළමයා කියන කියන තැනට අපි එනවා මිස මේ ගැන අපේ හිතේ අහිතක් නැහැ . බැරිවෙලාවත් මේක නොපිට ගියොත් මම නරක මිනිහා කියන්න එපා . මිනිස්සුන්ට ජීවිත දෙන්න වගේම මිනිස්සුන්ගෙන් ජීවිත ගන්නත් මම හොඳට දන්නවා . මම නැතත් මේ චූටි පුතා පරෙස්සම් වෙන්න ඕන . තේරුණාද ? " 

"එහෙමයි ගුරුන්නාන්සේ " 

අසල වූ වන ලැහැබක් තුලට කරත්තය හරවා අපි සියල්ලෝම ඉන් බැස්සෙමු . අනතුරුව කළුවර අඳුන තෙල් බෝතලය අතට ගත් සීයා තමාගේ මුහුණ අසලට එය කිට්ටු කර පරීක්ෂා කර බැලුවේ එහි ඇති පාරදෘශ්‍ය ස්වභාවය තුරන් වී ඇත්දැයි කියාය . නැත ; කළුවර අඳුන තවමත් සක්‍රීය තත්ත්වයේ පවතී . 

" මම ලබුකැටේට වතුර පුරවා ගත්තා . චූටි පුතා නාග වෛරෝඩිය අතට ගත්තට පස්සේ ඉක්මනට එන්න මම ගාවට . ඇවිත් මගේ අතින් ලබු කැටේ අරගෙන වතුර බොන්න . එතකොට ඔයාට ආයෙත් නියම රූපයට එන්න පුළුවන් . ඒක නෙවෙයි අනුර ළමයෝ , දැන් මේ චූටි පුතා දන්නේ නැහැනේ ඔය නාග වෛරෝඩිය කොහොම එකක්ද කියලා . පොඩ්ඩක් ඒ ගැන විස්තර කරන්න . ඒකෙ හැඩය කොහොමද ? කොතනක කොහොමද තැම්පත් කරලා තියෙන්නේ , කොහොමද ඒක තැම්පත් කරලා තියෙන තැන හොයාගන්නේ කියලා " 

" මෙහෙමයි මල්ලි . ඔය නාග වෛරෝඩිය රත්තරන් වලින් හදලා තියෙන්නේ . ඒකෙ වෛරෝඩි මැණික් ගල් ගොඩක් වටේට අල්ලලා තියෙනවා . නයි පෙනයක් තියෙනවා උඩින්ම . ඒක කරේ දැම්මම බෙල්ල වටේට බෙල්ල කිට්ටුවෙන්ම හිටින්න තමයි හදලා තියෙන්නේ . අඳුරගන්න අමාරුවක් නැහැ . මොකද ඔතන ඒවගේ දේවල් කියලා තියෙන්නේ ඕක විතරයි . අනිත් ඔක්කොම තියෙන්නේ ඇත් දළ , බුදු පිළිම , පුස්කොල පොත් වගේ දේවල් " 







" ඉතින් අයියේ මට කියන්න ඕක තියෙන්නේ කොතනද කියලා " 

රාත්‍රී අන්ධකාරය තවමත් ඝනකමින් උපරිමය . එහෙත් සඳ එලිය අනුර අයියා හට මෙම සැලැස්ම බිම ඇඳ පෙන්වීමට උපකාර කළේය . 

" මල්ලි බලාගන්න . ඔය ගොඩනැගිල්ල තියෙන්නේ මෙන්න මෙහෙම . මෙතන තමයි මල්ලිට ඇතුල් වෙන්න තියෙන දොර තියෙන්නේ . ඔය දොර ගාවම මුර කාරයෙක් ඉන්නවා . පිටිපස්සෙ දොර ගාවත් මුර කාරයෙක් ඉන්නවා . මල්ලි ඉස්සරහා දොරෙන් ඇතුළු උනාම කෙලින්ම ඉස්සරහට යන්න . එතකොට ඔයාට පේනවා දඹරන් බුදු පිළිම දෙකක් තැම්පත් කරලා තියෙන වීදුරු පෙට්ටියක් . ඕක ඉස්සරහා නැවතුනාම දකුණු පැත්තේ එක කුටියක් තියෙනවා . වම් පැත්තෙත් ඒ වගේම කුටියක් තියෙනවා . මල්ලි වම් පැත්තේ කුටියට යන්න . වම් පැත්තේ තියෙන ඒ කුටියේ වටේටම තියෙන්නේ වීදුරු ගහපු දොරවල් තියෙන අල්මාරි . ඔය අල්මාරි වලින් කොස් ලී අල්මාරි දෙකක් මැද තියලා තියෙනවා කළුවර ලී අල්මාරියක් . ඔය කළුවර ලී අල්මාරියේ තමයි නාග වෛරෝඩිය තැම්පත් කරලා තියෙන්නේ . මල්ලිට අල්මාරියේ වීදුරු ගහලා තියෙන නිසා පිටින් බැලුවත් බලාගන්න පුළුවන් . ඒකෙ දොර අගුල් දාලා තියෙන්නේ . මල්ලිට එක්කෝ අගුල කඩන්න වෙනවා . නැත්නම් මන්තර වලින් අගුල අරින්න වෙනවා " 

" අගුල නම් මොකක් හරි කරගන්න පුළුවන් . ඔතන බල්ලො එහෙම ඉන්නවද ? . මම කළුවර අඳුන ගාගෙන ගියත් බල්ලන්ට නම් මාව පේනවා " 

" මම දවස් කීපයක්ම විපරම් කරලා බැලුවා . බල්ලොනම් නැහැ මල්ලි . මල්ලිට පරෙස්සමට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි " 

" හා එහෙනම් ඔය ළමයා ඉස්සර වෙන්න අපිට පාර පෙන්නන්න " 

අනුර අයියා අපට පාර පෙන්නමින් ඉදිරියෙන් ගමන් කළේය . මමත් සීයාත් ඔහුගේ පිටුපසින් ගමන් කළෙමු . ටික දුරක් යනවිට විශාල උස තාප්පයක් අපට හමු විය . අනතුරුව එම තාප්පයේ කෙලවර ඇති ඇතුල්වීමේ ද්වාරය අසල අනුර අයියා නතර විය . 

" අපිට අර අතන තියෙන පඳුරට මුවා වෙලා හැංගිලා ඉන්න පුළුවන් . මල්ලිට තියෙන්නේ කළුවර අඳුන ගාගෙන මේ දොරටුවෙන් ඇතුල් වෙලා අර තියෙන ගොඩනැගිල්ලට ඇතුළු වෙලා මම කිව්ව විදියට ගිහින් නාග වෛරෝඩිය ගන්න " 

" එතකොට අනුර ළමයෝ අර මුර කරන උන්දලට නිදි අංගම් පිඹින්නේ කොහොමද මෙතන ඉඳලා . ඒකට ටිකක් කිට්ටුවට යන්න ඕන . නැත්නම් චූටි පුතා කළුවර අඳුන ගාගෙන ගිහින් දොරවල් අරිනකොට ඒ මිනිස්සුන්ට පෙනෙයි දොරවල් ඉබේම ඇරෙනවා වගේ . හොඳයි එහෙනම් මෙහෙම කරමු .  මම කළුවර අඳුන ගාගෙන ඉස්සෙල්ල ගිහින් අංගම් පිඹලා එන්නම් . ඊට පස්සේ චූටි පුතා යන්න " 

"  ගුරුන්නාන්සේ එහෙනම් මුරකාරයෝ දෙන්නටම අංගම පිඹින්න . ඉස්සරහා දොර ගාව එක්කෙනයි , පිටිපස්සේ දොර ගාව එක්කෙනයි " 

සීයා කළුවර අඳුන ගා ගැනීමට සූදානම්ව එය තම නළලේ ආලේප කරන්න යැයි මාහට කීවේය . මම කළුවර අඳුන තෙල් බෝතලය අතට ගෙන එය විවෘත කර ඉන් බිංදුවක් ඇඟිල්ලට ගෙන සීයාගේ නළලේ තිලක තැබුවෙමි . සීයා එකවරම නොපෙනී ගියේය . අනතුරුව සීයා කිසිවක් නොකියාම එතනින් පිටත්ව යන හඬ පමණක් අපට ඇසිනි . 

විනාඩි දහයක් පමණ සීයා තම රාජකාරිය සඳහා ගත්තේය . අංගම් පිඹ මනුෂ්‍යයෙකු නිදි ගැන්වීම ඉතාමත්ම ලෙහෙසි දෙයක් වුවද එම මන්ත්‍ර කිසිදාක අපගේ පවුල් වලින් පිටට යන්නට දී නැත . ඒ එම මන්ත්‍ර වල තිබෙන හොඳ වගේම නරක පැතිද නිසාවෙනි . නිදි අංගම පිඹ කිරීමට නොහැකි දෙයක් නැත . එනිසා පෙට්ටගමේත් අපගේ සිත්වලත් සැඟවුණු මෙවැනි රහස් , සදාකාලිකවම රහස්ම විය .







සීයා අප සිටි තැනට පැමිණ අනුර අයියා අතේ තබාගෙන සිටි ලබු කැටය අතට ගත්තේය . ලබු කැටය අතට ගත් බව අප විසින් හඳුනාගත්තේ ලබු කැටය නොපෙනී යාම සහ අනුර අයියාට එය කවුදෝ අදින බවක් දැනුණු හෙයිනි . අවසානයේ සීයා අප ඉදිරියේ දෘශ්‍යමාන විය . 

" චූටි පුතේ දැන් ඔයා යන්න . ගිහින් ඔය මලඉලව්ව ඉක්මනටම අරගෙන එන්න " 

අනුර අයියා සීයා දෙස රවා බලනු මම දුටුවෙමි . එහෙත් ඒවා පිලිබඳ සිතීමට වෙලාවක් තිබුණේ නැත . සීයා මාගේ නළල මත කළුවර අඳුන තැවරුවේය . 

" මම ගිහින් එන්නම් සීයේ " 

" පරෙස්සමට යන්න මගේ පුතේ " 

මම පිටත් වුණෙමි . පළමුව එම වත්තට ඇතුළු විය යුතු ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වූ මම කෙමෙන් කෙමෙන් පිය මනිමින් අනුර අයියා කී ගොඩනැගිල්ල දෙසට ගමන් කලෙමි . මුරකාරයා දොරටුව අසල බිම වැටී සිටියේය . සීයා දරු නැළවිල්ලට නොදෙවෙනි නිදි අංගම පිඹ ඔහු නිදිගන්වා ඇති බව ඔහු සිටි ඉරියවුවෙන් මනාව පැහැදිලි විය . 

මම සෙමෙන් සෙමෙන් දොර අසලට ලං වීමි . වසා තිබෙන අගුල් හැරීමට ඇති මන්ත්‍රය ඉතාම කෙටි මන්ත්‍රයකි . මම දකුණු අත මාගේ මුව අසලට කිට්ටු කර මන්ත්‍රය මතුරා දොරේ යතුරු තහඩුවට අත පෑවෙමි . කිසිඳු වෙනසක් සිදු නොවීය . මම නැවතත් මන්ත්‍රය මතුරා යතුරු තහඩුවට අත තැබුවෙමි . වෙනසක් නැත . තුන්වෙනි වතාවේ " ටක් " හඬ නංවමින් දොර විවර විය . 

මම විමසිල්ලෙන් අඩිය තබමින් ඉදිරියටම ගමන් කලෙමි . අනුර අයියා කී ලෙසටම එය පෞරාණික දේවල් වලින් සමන්විත ස්ථානයකි . සමහරවිට සුදු ජාතිකයින් කලකට ඉහතදී මෙම ප්‍රදේශයේ පන්සල් වලින් සොරාගත් දේවල් තැම්පත් කරන්නට ඇත්තේ මෙම ස්ථානයේය . මම අනුර අයියා පවසන ලද බුදුපිළිම දෙක ඉදිරියේ නැවතී වම් පස හැරී බැලුවෙමි . දොරක් රහිත කාමරයක් තරමක් දුරින් පෙනිණි . එහි අල්මාරි ඇති බවක් මාහට එවෙලේම දිස් වූයෙන් මම ගමන ඉක්මන් කර ඒ දෙසට ගමන් කලෙමි . 

කළුවර අල්මාරිය අසලට මගන් ගත් මා එය ඉදිරියේ නතර වී නාග වෛරෝඩිය තිබේ දැයි පරීක්ෂා කලෙමි . තිබේ ; මෙතෙක් දවස් කල් යල් බලමින් අප පැමිණියේ මෙම නාග වෛරෝඩිය ගැනීමටය . දැන් එය මා ඉදිරියේ තිබේ . කළුවර අල්මාරියේ දොර විවර කිරීමට මා උත්සාහ කලෙමි . එයද අගුලු ලා තිබේ . මම එයටද මතුරා යතුරු තහඩුවට අත තැබුවෙමි . අල්මාරියේ දොරගුළුද විවෘත විය . නාග වෛරෝඩිය අතට ගත් මම අල්මාරියේ දොර වසා ඉක්මණින් පැමිණ එම ගොඩනැගිල්ලෙන් පිටත් විය . මුරකාරයා කලින් සිටි ලෙසටම සිටී , ගොඩනැගිල්ලේ දොරද තවමත් විවෘතය . මම ඉක්මන් ගමණින් පැමිණ සීයාගේ අතෙහි වූ ලබු කැටය අතට ගෙන වතුර උගුරක් බිව්වෙමි . 

" ආ මගෙ පුතා ආවද ? . මම බයේ හිටියේ මොනවයින් මොනවා වෙලාද දන්නේ නෑ කියලා " 

" සීයේ මුර කාරයා හොඳටම නිදි . මම දැක්කේ ඉස්සරහා ඉන්න කෙනා විතරයි . අනිත් කෙනා දැක්කේ නෑ . මම එහෙමම මේකත අරගෙන ආවා . ආ අනුර අයියම මේක අතේ තියාගන්න " 

" අපෝ මට ඕක කිට්ටු කරන්නවත් එපා . මේක නිධන් කරනකල් මල්ලිම අතේ තියාගන්න . අපේ පවුලේ අයත් ඕකට සම්බන්ධ නිසා මට ඕක අල්ලන්නත් බයයි " 

" හා හා අපි එහෙනම් දැන් ඉක්මනටම මෙහෙන් පිටත් වෙමු  " 

සීයා මේ වතාවේ ඉස්සර විය . අනුර අයියා සහ මම සීයා පිටුපසින් ගමන් කල අතර ඉක්මනින්ම කරත්තය අසලට පැමිණි අපි කරත්තය පාරට දක්කාගෙනවිත් එහි නැග සීතාවක ප්‍රදේශයෙන් පිටත් වීමු . අනුර අයියා තවමත් අප සමග කතාවක් නැත . 

කරත්තය දක්කන ලද්දේ සීයා විසින්ය . මාගේ සිත තුල පැන නගිමින් තිබුණේ මෙම අගනා වස්තුව තැම්පත් කරන්නේ කොහේද , කෙසේද , කියාය . ටිකෙන් ටික දරුණු වෙමින් තිබුණු එම ගැටළුව අවසානයේ මාගේ මුවින් පිටතට පැන්නේය . 

" සීයේ . ඇත්තටම දැන් මේ නාග වෛරෝඩිය කොහෙද තැම්පත් කරන්නේ ? " 

" ඕක කොහොමත් ගුරුන්නාන්සේ කාටවත් ලේසියෙන් යන්න බැරි පැත්තක තමයි තැම්පත් කරන්න ඕන . කාටවත්ම ලං වෙන්න බැරි තැනක . නැත්නම් ඕක ආයෙත් මනුස්සයෙක්ගේ අතට යන්න බැරි නැහැ " 

" මට එක පැත්තක් ගැන කල්පනාවට ආවා . ඒක කන්දක් . පුරාණ පන්සලක් පිහිටලා තියෙනවා කන්දේ එක පැත්තක . පන්සල තියෙන පැත්තෙයි අනික් පැත්තෙයි තියෙන්නෙත් මහා විසාල ගල් පරුවත . ඔය පැත්තේ මේක නිධන් කරානම් හරි . අනුර ළමයෝ ඇත්තටම ඇයි ඔය ළමයා මේක අතටවත් අරගෙන බැලුවේ නැත්තේ ? " 

" මට බයයි ගුරුන්නාන්සේ ඕක අල්ලන්න . ඕක ශාප වැදිච්ච ආභරණයක් " 

" හඃ හඃ හඃ හඃ " 

සීයා සිනහවක් පල කළා මිස කිසිවක් කීවේ නැත . දැන් මාගේ සිත තුල නලියන්නේ සීයා විසින් කියන ලද නාග වෛරෝඩිය තැම්පත් කිරීමට සුදුසුකම් ලද එම ප්‍රදේශ කුමක්ද කියාය . තරමක් වෙලා නිහඬව සිටි මම නැවතත් සීයාගෙන් ඒ පිළිබඳව විචාළෙමි . 

" සීයේ කොහෙද ඉතින් මේක තැම්පත් කරන්නේ ? . පන්සලක් තියෙන කන්දක් කොහෙද තියෙන්නේ ? " 

" සංඛපාල " 





අවසාන කොටසින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment