අඳුන් සඳුන් ජීවන් දිෂ්ටිලා වඩින හනුමන්තා දේව රාජා







ඕං දවරගන ජෝගිනි හනුමා වා වා දිෂ්ටී වා වා ..........................

දෙවිවරුන්ගේ නම් දාගෙන පේජ් කරාට වැඩක් නෑ . දෙවියෙක් වගේ ජීවත් වෙන්න බලන්න . එතකොට මිනිස්සුත් තමන්ට දෙවියෙක්ට වගේ සලකයි . දැනට මිනිස්සු තමන්ට දෙවියෙක්ට වගේ සලකනවානම් ඔය ගතිගුණ ඔහොමම පවත්වාගන්නවානම් ඕක තාවකාලික බව මතක තියාගන්න .

ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනකොට බස් එකේ ඇහුනා හනුමන්තා ගැන කියවෙන සින්දුවක් . ඒ සින්දුවෙන් හනුමන්තා ගැන කියවෙනවා කිව්වට හනුමන්තාගේ පසුබිම ගැන නම් වැඩි ලොකු අදහසක් එන්නේ නෑ . ඒත් අඩුගානේ හනුමන්තා කියලා කෙනෙක් හිටියා කියලාවත් දැනගන්න එහෙමවත් ගීතයක හනුමන්තා ඉන්නවා කියන එකත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් . 

මම මන්කී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මන්කී හනුමන්තා
නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා
දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්
විසකුරු ගිණි අවි බෝම්බයෙන්
විනාස කරනවා අවියෙ බලෙන්

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඉක්මන් ගමනට‍ හැදුවා ඔහෙලා
‍වාහන කියලා තෙල් දා දුවනා
පුච්චා අරිනා දුම් පිට කරනා
සී ඕ ටූ මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ‍ලී බඩු
කපනවා වටිනා කැළෑ ලෝ වටේ
නැතිකරමින් අපේ ජීවන ‍ප්‍රදේස
ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ

මෙහෙම ගියොත් අපි කාට කාට
ඕසෝන් හිලෙන් එන පාට පාට
රැස්වලින් පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළ‍ඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

ගායනය : ජය ශ්‍රී
තනුව : ජය ශ්‍රී
ගී පද :




දැන් ඔයාලා බලනවා ඇති මම අර මුලින්ම පොඩි මන්තර කෑල්ලක් දාලා තියෙන්නේ මොකක්ද කියලා . ඒක ඇත්තටම ඇත්ත මන්තරයක් තමයි . හැබැයි ඒක විශේෂ වෙන්නේ වෙනත් වැදගත් කාරණාවක් නිසා .

මේ මන්තරය තමයි මම මන්තර යන්තර යක්කු භූතයෝ දෙවියෝ ගැන හොයන්න ඉගෙනගන්න කියලා පටන් ගත්ත කාලේ කියවපු පළවෙනිම මන්තරය . ඒක කියෙව්වා වගේම අදටත් මතක තියෙන තරමටම හදවතේ ඒක ලියවුණා . 

මේ මන්තරය අංජනම් වලට හනුමන්තාට ආරාධනා කරන මන්තරයක් . ආරාධනා කරලා ආවේ නැත්නම් බලෙන් හරි ගෙන්න ගන්න ක්‍රම ශිල්ප තියෙනවා . ඒත් මගේ සොයාගැනීම් අනුව මේක ආරාධනා කිරීමක් . එළිය අවශ්‍ය තැනට අරින්න කලින් මේ මන්තරය ඔස්සේ හනුමා අඳුනේ දැල්ල පළාගෙන එක මොහොතකදී දෘශ්‍යමාන වෙනවා . 

යන්තර මන්තර වලට මම ආසාවක් ඇතිකරගත්තේ ඇත්තටම අංජනම් නිසා කිව්වොත් හරි . මම කලින් ලිපිවලත් කියලා තියෙනවනේ අපේ වෙදකම් කරපු මුත්තා ගාව මෙහෙම අංජනමක් තිබුණා , ඒ අංජනමෙන් හනුමා ලවා බෙහෙත් එහෙම අහගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා තියෙනවා කියලා . ඒ අංජනම බලන්න ඒ කාලේ පොඩි ළමයි කීපදෙනේක්ගේම සහයෝගය ඒ මුත්තා ලබාගෙන තියෙනවා . මට ඒ අයගෙන් දෙන්නෙක් එක්කම කතා කරන්න පුළුවන් කම ලැබුණා .

එක්කෙනෙක් දැන් අවුරුදු හැත්තෑවත් පහු කරලා . අනිත් කෙනාත් හැත්තෑවට කිට්ටුවෙලා ඉන්නේ . මේ දෙන්නා එක්ක කතා කරලා අහගත්ත දේවල් අනුව හනුමා කියන්නේ ඇඟ පුරාම කලුපාට රෝම වලින් පිරුණු භයංකර මූණක් සහිත වානරයෙක් . හැබැයි කතා කරන්න පුළුවන් . මිනිස්සුන්ට තේරෙන්න සිංහලෙන් කතා කරන්න පුළුවන් . ඒ වගේම ඕන නම් ඕන දේ ලියලා පෙන්නන්නත් පුළුවන් .






අපි බලමුකෝ හනුමාගේ උත්පත්තිය කොහොමද කියලා . එක දිව්‍ය අප්සරාවක් හිටියා මෝහනී කියලා . මේ දිව්‍ය අප්සරාවට මෝහනී කියලා කියන්නේ දෙවියන් උනත් වසඟයට ගන්න පුළුවන් තරමේ නර්තන හැකියාවක් මේ දිවය අප්සරාවට තියෙන නිසා . දවසක් ශිව දෙවියන්ගෙන් මේ මෝහනී දිව්‍ය අප්සරාව වරයක් ඉල්ලුවා . ඒ තමයි ශිව දෙවියන්ගේ ප්‍රජනක ධාතුවක් තමාට ලබාදෙන්න කියන වරය . මේ වරය පිළිගත්තා ශිව දෙවියෝ තමන්ගේ ප්‍රජනක ධාතුවක් මේ මෝහනී කියන දිව්‍ය අප්සරාවට ලබා දෙනවා . සරලවම කියනවා නම් ගබඩා කරලා තියාගන්න ශුක්‍රාණුවක් ලබාදුන්නා වගේ දෙයක් තමයි මේ සිදුවෙලා තියෙන්නේ . 

පස්සේ මේ ප්‍රජනක ධාතුව මෝහනී දිව්‍ය අප්සරාව වායු දිව්‍ය පුත්‍රයාට ලබාදෙනවා වන්දනීය වස්තුවක් හැටියට තබාගන්න කියලා . වායු දිව්‍ය පුත්‍රයා කාලයක් මේ ප්‍රජනක ධාතුව තමා ළඟ තියාගෙන හිටියා . පස්සේ දවසක් වායු දිව්‍ය පුත්‍රයාට දැනගන්න ලැබුණා කේසරී කියන වානරයාගේ බිරිඳ අන්ජානි කියන වැදිරියට දරුවන් නැහැ කියලා . ඒ නිසා වායු දිව්‍ය පුත්‍රයා අන්ජානි වැදිරියගේ කනෙන් ඇතුළුවෙලා මේ ප්‍රජනක ධාතුව අන්ජානි වැදිරියගේ කුසයේ තැම්පත් කරා . මෙන්න මේ විදියට තමයි හනුමන්තා උපත ලබන්නේ .






පොඩිකාලේ හනුමන්තා අහසේ ඉගිල්ලෙන්න එහෙමත් නැත්නම් පාවෙලා යන්න පුළුවන් හැකියාවක් ලබාගත්තා . ඒ නිසා මෙයා ඉර හඳ තාරකා පවා හොයාගෙන ගියා . දවසක් හනුමන්තා සූර්යා ලඟට ගිහින් සූර්යාව ගිලින්න උත්සාහ කළා . මේ වෙලාවේ බයවෙච්ච ඉන්ද්‍ර දෙවියෝ තමන්ගේ වජ්රායුධයෙන් පහර දීලා හනුමන්තාව අඩපණ කරා . හනුමන්තා කියන්නේ ශිව දෙවියන්ගේ දරුවෙක් , ඒවගේම වායු දිව්‍ය පුත්‍රයාගේ දරුවෙක් .





මේ දේව දරුවා විනාශ කිරීම හේතු කරගෙන දෙවිවරු තමන්ගේ කාර්යයන් ඉටු කිරීම නතර කළා . ඒ කියන්නේ වායු දිව්‍ය පුත්‍රයා හුළඟ ඇති කිරීම නතර කළා . වර්ෂාවට අධිපති දෙවියෝ වැස්ස නැවැත්තුවා . මේ නිසා පරිසරයේ අසමතුලිත බවක් ඇතිවුණු නිසා අනිත් දෙවිවරු හනුමන්තාට නැවත ප්‍රාණය ලබාදෙන්න කියලා ඉන්ද්‍ර දෙවියන්ගෙන් ආයාචනා කළා . පස්සේ ඉන්ද්‍ර දෙවියෝ හනුමන්තාට සදාකාලික වීමේ වරයක් දුන්නා . මේ නිසා හනුමන්තා අදටත් ජීවත් වෙනවා කියලා තමයි විශ්වාස ක‍රන්නේ .






හනුමන්තා සහ රාමායණය අතර තියෙන සම්බන්ධයත් මේ වෙලාවේ අපි සලකා බලන්න ඕන . හනුමන්තා රාමායනයේදී රාමට උදවු කරා සීතා දේවිය නැවත රාම කුමාරයාට ලබාගන්න . මේ වෙනුවෙන් හනුමන්තා ගොඩක් කැප වෙලා වැඩ කරා කියලා සඳහන් වෙනවා . හනුමා තමයි සීතා දේවිය හොයාගෙන ඉස්සෙල්ලම ලංකාවට එන්නේ . සීතා දේවිය ලංකාවේ ඉන්නවද නැද්ද කියලා බලන්න ඕන කියලා කිව්වම රාම ලක්ෂමන දෙන්නා කල්පනා කරන වෙලාවේ ජම්භවන් කියන වලස් නායකයා කියනවා හනුමාට , ඔබට පුලුවනි නේද ඉගිලිලා යන්න ? . මතක නැද්ද ඔබ කුඩා කාලයේ සූර්‍යා වෙත ගිහින් සූර්‍යා ගිලින්න හැදුවා ? කියලා .

ඉතින් තමන්ගේ ඉගිලීමේ හැකියාව උපයෝගී කරලා හනුමන්තා ලංකාවට ආවා . මේ ගමනේදී හනුමාට ආශිර්වාද වගේම සතුරන් සමග සටන් වදින්නත් උනා . ඒ හැමදේම විඳ දරාගෙන හනුමා ලංකාවට ආවා . ඊට පස්සේ රාවණාගේ බලකොටුවට ඇතුල් වෙන්න සූක්ෂම ශරීර මවාගනීමට , රාවණාගේ යෝධයින් සමග සටන් වදින්න විශාල ශරීර මවාගැනීම වගේ විශ්මිත දේවල් පවා හනුමන්තා කරා . මේවා ඔක්කොම කරලා අවසානයේ හනුමා ලංකාවෙන් පිටත් උනේ හිතාමතාම රාවණාගේ සේනාවට අහුවෙලා රාවණා හමුවෙන්නත් ගිහිල්ලා . රාවනා හමුවෙලා තමාට නියමිත ආසනයක් දුන්නේ නැති නිසා තමාගේ වලිගය දික් කිරීමෙන් ආසනයකුත් හදාගන්න හනුමන්තා සමත් උනා .


හනුමා ලංකාවෙන් පිටත් උනේ තමාගේ වලිගයට රාවණාගේ හේවායින් ගිනි තිබ්බට පස්සේ . මේ ගිණි ගත්ත වලිගයෙන් හනුමන්තා ලංකාව ගිනිබත් කරා කියලා රාමායනයේ සඳහන් වෙනවා . පස්සේ ඔන්න රාම රාවණා යුද්ධය ඇතිවුණා . මේ යුද්ධයේදී හනුමන්තා තමන්ගේ සහය නොඅඩුව ලබාදෙන්න කටයුතු කළා . කුම්භකරණ සමග සටන ඒවායින් වැදගත් එකක් . යුද්ධය අතරතුරේදී රාවණාගේ පුතා , ඉන්ද්‍රජිත් විදපු ඊතලයක් ලක්ෂමනට වැදිලා ලක්ෂමන කුමාරයා මරණාසන්න වෙනවා . පස්සේ මේ වෙනුවෙන් අවශ්‍ය කරන සංජීවනී කියන බෙහෙත් පලැටිය හිමාලයෙන් ගෙන්න භාරගන්නේ හනුමන්තා . හනුමන්තා සෑම ශිල්පයකම විශාරද වරයෙක් නිසා වෙදැදුරු තුමා හනුමාට කිව්වා සංජීවනී පැලැටි ටිකක් ගෙන්න කියලා .

පස්සේ හනුමා හිමාලයට ගියාට පස්සේ මතක නෑ මොනවද ගෙන්න කිව්වේ කියලා . ඉතින් මෙයා කරන්නේ හිමාලයේ තියෙන කොටසක් ගලවලා අරගෙන කර තියාගෙන පියාඹලා ආවා . මේ කොටස පස්සේ ලංකාවේ උණවටුන කියන ප්‍රදේශයේ තිබ්බා කියලා කියනවා . ඒක සනාථ කරන්න සාක්ෂි කීපයක්ම තියෙනවා . උනවටුන ප්‍රදේශයේ ලංකාවේ වෙනත් පැතිවල නැති බෙහෙත් වර්ග තියෙනවා . ඒ වගේම රූමස්සල කඳු ප්‍රදේශයේ ගුරුත්වජ ක්ෂේත්‍රයේ ලොකු වෙනසකුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා . මේවා මෙහෙම වෙනස් උනේ උණවටුන ප්‍රදේශයේ තියෙන කොටස හිමාලයෙන් ගෙනාව කොටස නිසා කියලා පිලි ගැනීමක් තියෙනවා .






මේ හැමදෙයක්ම රාමායනයේ සම්බන්ධ උනාට රාමායණය පිළිගන්න නම් මම කැමති නෑ . මොකද මේ හැමදෙයක්ම වගේ රාවණා විරෝධී විදියටයි හදලා තියෙන්නේ . මම රාවණා අදහන්නේ නෑ . ඒත් රාවණාගේ ඉගැන්වීම් මමත් අනුගමනය කරන නිසා මේවා ගැන මගේ ඒ හැටි පැහැදීමක් නෑ . රාවණාගේ ගොඩක් ශිල්ප ශාස්ත්‍ර එක්ක හනුමා කෙලිනම් හෝ වක්‍රව සම්බන්ධ වෙනවා . ඉතින් දෙන්නා මෙච්චර හතුරෝ නම් කොහොමද එහෙම ශිල්ප සහ හනුමන්තා සම්බන්ධ වෙන්නේ ? . සමහර අංජනම් බෙහෙත් වලට හනුමා වඩින්නේ කොහොමද ? . ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මමනම් රාමායනයේ සමහර කතා එක්ක එකඟ වෙන්නේ නෑ .

හනුමා විෂ්ණු දෙවියන්ට , ඒ කියන්නේ රාම කුමාරයාට වඩාත් භක්තිමත් බවක් පෙන්නනවා කියනවා . ඒ තමන්ගේ ස්වාමියා විදියට විෂ්ණු දෙවියන් කෙරෙහි හනුමන්තා සේවයේ දීලා ඉන්නා නිසා . මම දැන් කියන්නම් හනුමන්තා ගැන මට විතරක් අහන්න ලැබුන දේවල් ටිකක් .

හනුමන්තා අපේ අංජනම් බෙහෙත් වට්ටෝරුවක් වෙනස් කරන්න දායක වෙලා තියෙනවා . මම කියවපු සමහර පොත් පත් වල මුල් රචනාවට පස්සේ සංස්කරණ විදියට හනුමන්තා කිව්ව දේවල් කීපයක් සටහන් කරලා තියෙනවා දැක්කා . ඒවා යටින් ලියලා තියෙනවා මෙය හනුමා කීවේය කියලා .






අංජනම් හදනකොට අපි බෙහෙත් වර්ග ගොඩාක් එකතු කරනවා . මේ බෙහෙත් වට්ටෝරු වලට පාවට්ටා දළු සහ තේක්ක දළු එකතු කරන්න කියලා හනුමන්තා කියලා තිබුණා . තව දෙයක් තමයි අංජනම් හැම කෙනාටම පේන්නේ නැති වීම . මේ අවුල දුරු කරන්න හනුමන්තා එක මන්ත්‍රයක් කියලාදීලා තිබුණා . ඒ මන්ත්‍රයෙන් ඉතා විශාල වාර ගණනක් ජීවම් කරාම අංජනම හැම කෙනාටම බලන්න පුළුවන් තත්ත්වයට පත්වෙනවා කියල හනුමා වැඩි දුරටත් කියලා තිබුණා . 

ඒත් ඒ වාර ගණන ලේසියෙන් පුරන්න පුළුවන් වාර ගණනක් නෙවෙයි . ඒ නිසා එක ප්‍රායෝගික නෑ . හනුමා මේ මන්ත්‍රය කියලා තිබුණේ මන්ත්‍රයම කියලා නෙවෙයි . අහවල් පොතේ අහවල් පිටුවේ මෙන්න මේ කොටස කියන්න කියලා , කියල තිබුණේ .

අපේ ආච්චිඅම්මාගේ මිත්තණියට නවතින්නේ නැති බඩ යෑමක් ඇතිවෙලා සිංහල සහ ඉංග්‍රීසි බෙහෙත් කරලා කරලා පස්සේ කරන්නම දෙයක් නැතුව අංජනමෙන් බෙහෙත් අහලා තිබුණා . ඒ වෙලාවේ හනුමා කියලා තිබුණා එක්තරා ගමක පැල්පතක් වගේ ගෙදරක ඉන්න මෙන්න මේ නම තියෙන වෙද මහත්තයා දන්නවා මේකට බෙහෙත් . එයාව එක්ක ඇවිත් බෙහෙත් කරන්න කියලා . ඒ වෙද මහත්තයාගේ ගෙදරට යන පාර පවා හනුමන්තා කියලා තිබුණා . ඒ අනුව ඒ රෝගියා සුවපත් කරගත්තා .

තව දවසක් එක ගෙදරක ඔන්න හැමදාම රණ්ඩු රණ්ඩු කියලා අංජනමෙන් බලලා තිබුණා ඇයි එහෙම වෙන්නේ කියලා . ඉතින් හනුමා පෙන්නලා තිබ්බා ගේ ඉස්සරහා තියෙන අඹ ගහ යට මෙන්න මෙච්චර යටකින් තියෙන ගල යට ගුරුකමක් කරපු යන්තරයක් තියෙනවා , අන්න ඒක ගොඩ අරගෙන මේ මේ පිළිවෙලට ගුරුකම ඉවත් කලාම මේ ප්‍රශ්නය නැතිවෙලා යයි කියලා .

තව වතාවක ගමේ එක්තරා පුද්ගලයෙක් ගංජා ගහන්න පුරුදුවෙලා පස්සේ පිස්සු හැදිලා ගම දාලා ගිහිල්ලා . ඉතින් මේ කෙනාව හොයාගන්න ලැබුණේ අංජනමෙන් බලලා . හනුමන්තා කියලා තිබුණා මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ කැලයේ මෙන්න මේ පැත්තේ තියෙන ගලක් උඩ තමයි මේ දවස්වල එයා ඉන්නේ . ඉක්මනට ගියොත් අල්ලගන්න පුළුවන් කියලා . ඒ විදියට ගිහින් ඒ කෙනාව එක්ක ඇවිත් තිබුණා .

ඉතින් ඒ කාලේ නම් හනුමන්තා බෙහෙත් කිව්ව ලෙඩ්ඩු අනන්ත අප්‍රමාන ගණනක් සනීප වෙලා තිබුණා . අදවෙනකොට මේ ශිල්පය අභාවයට ගිහින් නිසා හනුමන්තාටත් නිදහසේ ඉන්න පුළුවන් වෙලා ඇති .

හනුමන්තා විවාහකද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් . ඒකට උත්තරයක් මම දැන් දෙන්නම් . හනුමා බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා පොඩිකාලේ දිවුරුම් දුන්න කියලා හනුමා අදහන අය විශ්වාස කරනවා . පාරාෂර ඍෂි වරයා රචනා කරපු පාරාෂර මහා සංහිතාවේ සඳහන් වෙන හැටියට හනුමාගේ ආකාස්මික විවාහයක් ගැන සඳහන් වෙනවා .

සංහිතාවේ කියන හැටියට හනුමා සූර්ය දෙවියන් තමාගේ ගුරුවරයා හැටියට සලකනවා . හනුමා අවිවාහක නිසා දෙවියන්ගේ ඉගැන්වීම් වන නව වැදෑරුම් වූ ව්‍යාකරණ ඉගෙන ගන්න අවස්ථාව නැති උනා . ඉතින් හනුමාගේ ඉගෙන ගැනීම සම්පූර්ණ කරන්න ඕන නිසා බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියා ත්‍රී මූර්තිය විසින් සූර්ය කිරණ වලින් සුවර්චලා දේවිය නිර්මාණය කරා . 

සුවර්චලා තමයි හනුමාගේ විවාහක බිරිඳ උනේ . ඒත් දෙන්නම බ්‍රහ්මචාරීව තමයි ජීවත් උනේ . විවාහයක් කරපු නිසා හනුමාට අර නව වැදෑරුම් ව්‍යාකරණ ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා .

හනුමාගේ දරුවා ගැන මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා . දවසක් හනුමා වෙහෙස නිවන්න ගඟක් අසබඩ ඉන්නකොට ඇගෙන් දහදිය බිංදුවක් ගඟට වැටුනා . මේ ඩහදිය බිංදුව පස්සේ දරුවෙක් බවට පත් වුණා . මේ දරුවා හදාවඩාගෙන තියෙන්නේ කිඹුලියක් විසින් . 

හනුමන්තා සම්බන්ධ ගුරුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා .

හනුමා පිරිත
හනුමා ඉදිරෙට්ටුව
හනුමා වෛරොඩිය
හනුමා දැහැන
හනුමා වෙට්ටුව
හනුමා අලගුව
නයනමහාරී ගුරුකම
කෛවීර හනුමා වෙට්ටුව

ඒ ගුරුකම් වලින් කීපයක් .


හනුමා බන්ධනය තමයි හනුමා සම්බන්ධව තියෙන අවසන් මහා ගුරුකම වෙන්නේ . මේකෙදී කරන පිළිවෙලට කරගෙන යනකොට හනුමා ඇත්තටම පේන්න එනවා . බන්ධනයේ අවසන් මන්තර වලදී හනුමා දොරට ගහන ශබ්ධය ඇසීමත් ඊට පස්සේ පූජාසනයට ඇවිත් පුද කැප ගැනීමත් පසුව බන්ධනය සම්පූර්ණ කරගන්න කියලාත් ඉගැන්වීමේ සඳහන් වෙනවා . 

කොහොම වුණත් හනුමා කියන්නේ දූත සේවාවේ යෙදෙන දේවත්වයේ ඉන්න කෙනෙක් . ඒ නිසා අවසානයේ කියන්න ඕන හනුමාගේ හැකියාව වැරදි ක්‍රියා සඳහා භාවිතා කරන්න එපා කියලා . 

..... ආතාල බන්ධ පාතාල බන්ධ සිවුකොන අටකොන සොළොස්කොන බන්ධ බන්ධාමි හනුමන්තා දේව රාජා බන්ධාමි අදත් මාගේ මෙරඟ මඩලට දිෂ්ටි ලා ගිනි ගිනි හනුමා දේවරාජා සෙල්ලුම් ක්‍රලාඩි බාහේස් ගුරුලා වන්දනේ ඉරන්ද පෝනුම් සුවරවර වරියේ වෙල්ලක් කොන්ඩු ඉරිනුත්තු සෙල්ලුම් පේසු වර වර දේව රාජා පුර මෙත්ත පුඩයුම් කයිවීර හනුමා දේව රාජා බන්ධ බන්ධාමි වර වර ඒස්වාහඃ ...... ඕන් හරගුරු හනුමා දේවරාජා වර වර ...............


තවත් ලිපියකින් හමුවෙමු !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !







වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment