ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 7 ) ( Ruby - පද්මරාග )





අරුණ ධවල ස්වර්ණෝදය දීප්තීම්
අඛිල භුවන චෛතන්‍ය ප්‍රසාදම්
කාල ගමන සත් කාරණ ධීරම්
තම් නමාමි ග්‍රහ නායක සූර්යම්

මැණික් සම්බන්ධ අපේ කතා බහේ හරි නම් මුලින්ම කතා කරන්න ඕන කෙනාට අයත් මැණික් වර්ගය සම්බන්ධව තමයි මම දැන් කතා කරන්න යන්නේ . පද්මරාග ගල් වර්ගය ගැන තමයි සාමාන්‍යයෙන් ආයුර්වේදය ජ්‍යෝතිෂය වගේ විෂයන් වලදී මුලින්ම කතා කරන්නේ . මොකද මේ සෞරග්‍රහ මණ්ඩලයේ ශක්ති නිශ්පාදකයා විදියට හඳුන්වන සූර්යයාට අයත් මැණික් වර්ගය වෙන්නේ පද්ම රාග මැණික් වර්ගය නිසා . මේ මැණික් වර්ගය සාමාන්‍යයෙන් ටිකක් හොයාගන්නත් අමාරු තත්වයක් දැන් තියෙනවා . අපි බලමු මේ මැණික් වර්ගය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ජ්‍යෝතිෂ විද්‍යාවට . 


රවී ග්‍රහයා , එහෙමත් නැත්නම් සූර්යයා තමයි අපිට ශක්තිය සපයන ප්‍රධාන ශක්ති දායක ග්‍රහයා . ඒ නිසාම සූර්යයා හඳුන්වන්නේ ග්‍රහ මණ්ඩලයේ රජු විදියට . මම මේ ළඟදී දැක්කා දුර්ගා දේවිය සහ ශිව දෙවියන් තමන්ගේ ශක්ති උත්පාදක යම් අවතාර දෙකක් මගින් මේ පොලෝ තලයී පැවැත්ම තහවුරු කරන්න ඕන නිසා සූර්යයා නිර්මාණය කරා කියලා . ඇත්තටම ශිව දෙවියන්ට තමයි සූර්යයා අයත් වෙන්නේ . සූර්යයාගේ යම් යම් අපල තත්ව සමනය කරන්න ශිව දෙවියන්ට තමයි පුද පූජා පැවැත්වීම කරන්න කියලා නියම කරන්නේ . ජීවයේ සියලු ශක්ති හිමිකාරීත්වය සූර්යයාට හිමි වෙනවා වගේම සූර්යයාගේ හිමි කාරීත්වය දරන ශිව දෙවියන්ට තමයි මහා මෘතුන්ජය මන්ත්‍රයේදී ප්‍රණාම වාක්‍ය කියලා මරණය පරමාද කරන්න කියලා ඉල්ලා හිටින්නේ . 

සූර්යයා ග්‍රහ මණ්ඩලයේ රජු කියන චරිතය පෙන්නුම් කරනවා වගේම තමයි සූර්යයා විසින් කේන්ද්‍ර සටහනක පියාගේ චරිතය පෙන්නුම් කරනවා . ඒවගේම තමයි රටක රාජ්‍ය පාලකයා පෙන්නුම් කරනවා . චන්ද්‍රයා මව පෙන්නුම් කරනවා වගේ තමයි සූර්යයා පිය පාර්ශවය පෙන්නුම් කරන්නේ . ඒ නිසා සූර්යයාගේ චාරය නිතරම වගේ කතා බහට ලක් වෙනවා . 

සූර්යයාගේ ග්‍රහ බලය සමහර අවස්ථා වලදී දුර්වල වීම වෙනවා . ඒ වෙලාවල් වලදී සූර්යයාගේ බලවත් වීම වැඩියෙන් ශරීරයට ලබාගන්න පද්මරාග මැණික් භාවිතා කරනවා . ඒවගේම තමයි සූර්යයාගේ සතුරු වීමේදී සතුරු කිරණ ශරීරයට එන්නේ නැතිවෙන්න අවශෝෂණය කරගන්නත් පද්මරාග භාවිතා කරනවා . පද්මරාග ගල් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ රාජකීය චරිත . මොකද තමන්ගේ තියෙන රාජ්‍ය බලය වර්ධනය කරගන්න සහ ඒ පාලන කටයුතු සාර්ථක කරගන්න සූර්යයාගේ ශක්තිය ලබාගන්න . 

පද්මරාග ආයුර්වේදයේදී භාවිතා කිරීම සම්බන්ධව රස රත්න සමුච්චයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා . 





" පද්මරාග - නීලගන්ධි යනුවෙන් මාණික්‍යය විවිධය . පියුම් පත් බඳු කාන්තිය - පැහැදිලි බවය දිලිසෙන බව යන මේවා ඇති මාණික්‍යය පද්මරාග නමු . ගෝලාකාර බව , පළල් බව , සම බව , ස්ථුල බව යන මේවා ඇති පද්මරාග මැණික් ශ්‍රේෂ්ට ය . ගංගා නම් නදියේ දියෙන් හටගත්තා වූ ද ඇතුළත නිල් රතු යන වර්ණවත් වූද මැණික නීල ගන්ධි මාණික්‍ය නමු . එයද පද්මරාග මෙන් ගෝලාකාර ආදී ලක්ෂණ වලින් යුක්ත වූ විට ම ශ්‍රේෂ්ඨ වේ " 


මැණික් සම්බන්ධව ජ්‍යෝතිෂයේ මෙන්න මෙහෙම විස්තර කෙරෙනවා . 

" සෞගන්ධික කුරුවින්ද ස්ඵටික යන මොවුන් කෙරෙන් පද්මරාග මාණික්‍යයාගේ උපත සිදුවේ . මොවුන් අතුරෙන් සෞගන්ධික ධාතුහුගෙන් හටගත් පද්මරාගයෝ බමරය අඳුන්ය උත්පලය දඹ මැලියම් ය යන මොවුන්ට සමාන කාන්තිය ඇත්තාහු වෙත් . 

කුරුවින්ද ධාතුහුගෙන් හටගත්තාවූ පද්මරාගයෝ කළු සුදු ව්‍යා මිශ්‍ර වර්ණද මද වූ කාන්තියද ඇත්තාහු වෙති . මරුත්තිකාදී ධාතුන් විසින් වේධ කරණ ලද්දාහුය . හෙවත් ඔවුන්ගේ සංයෝගයෙන් හටගත් කැළැල් ඇත්තාහු වෙති . ස්ඵටික පාෂාණයෙන් හටගත් පද්මරාගයෝ ප්‍රභාවත් වූවාහු ද විචිත්‍ර වර්ණ ඇත්තාහු ද නිර්මල වූවාහු ද වෙති " 



















ඔන්න ඔය ආකාරයට තමයි පද්මරාග මැණික් සම්බන්ධව සංක්ෂිප්තව විස්තර කරන්න තියෙන්නේ . පද්මරාග වුණත් මොන මැණික් වර්ගය වුණත් තමන්ට ගැළපෙනවාද කියලා ජ්‍යෝතිෂ විද්‍යාත්මකව පරීක්ෂා කරලා බලලා පළඳිනවානම් තමයි හොඳ කියලා මතක් කරගෙන මේ ලිපිය අවසාන කරනවා . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment