මලයාල නාග වෛරෝඩිය ( 5 )








මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

කළුවර අඳුන තෙල් බෝතලය අතින් ගත් සීයාත් , මමත් අනුර අයියාත් එළිවෙන පාන්දර ආසන්න වේලාවක නැවතත් වලව්වට පැමිණියෙමු . තෙල් බෝතලය පෙට්ටගමේ පරෙස්සමට තබන්නට යැයි සීයා මා හට කීවේය . කළුවර අඳුන ජීවම් කිරීම ඊළඟ කාර්යය විය . එය පැවරී තිබෙන්නේ මා හටය . සඳුදා , එනම් තෙල හිඳින ලද දිනයට පසු දින රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබිණි . 

මේ සියල්ල සිහිපත් කරමින් කළුවර අඳුන තෙල් බෝතලය පෙට්ටගමේ තැම්පත් කල මා පෙට්ටගම වසා යතුර කරකවා ඇඳට වැටුනේය . 

අද එතැන් සිට

" චූටි පුතේ චූටි පුතේ "

" සීයේ මම තවම ඇඳේ " 

" ඉක්මනට නැගිටලා එන්න . අපි අද හවස් වෙනකොට පන්සලට ගෙනියන්න තියෙන දේවල් තියෙනවා සූදානම් කරගන්න . ඒවා සූදානම් කරන්න ටිකක් වෙලා ගතවෙයි "

සීයා කාමරයේ දොරට තට්ටුකර හඬ ගසා මා අවදි කළේය . ඇඳේ උඩුබැලි අතට හාන්සි වී හිඳිමින් මා කල්පනා කරන ලද්දේ කළුවර අඳුන කෙතරම් ගුප්ත සහ බලගතු දෙයක්ද යන වගය . ඇසට පෙනෙන රූප කාය මද වෙලාවකට හෝ මකා දැමීමට මෙම තෙල් ස්වල්පයක් වූවද සෑහේ . කළුවර අඳුන ගාගත් විට මිනිසුන්ට කල හැක්කේ කුමක්ද යන්නට වඩා සිතිය යුත්තේ නොකළ හැක්කේ කුමක්ද යන්න පිලිබඳවය .

ඇඳෙන් බිමට බසිනවිට සෑම දිනයකම මාගේ නෙත ගැටෙන්නේ පෙට්ටගමය . වෙනදාට වඩා වෙනස් හැගීමක් මා සිත තුල ඇතිවිය . මම යතුර කරකවා පෙට්ටගම විවෘත කලෙමි . විවෘත කර කළුවර අඳුන තෙල් බෝතලය අතට ගත්තෙමි . තවමත් මෙය ක්‍රියාකාරී තත්ත්වයට පත්වී නැත . මන්ත්‍ර පුරා මෙය බලසපිරි තත්ත්වයට පත් කරගත යුතුව තිබේ . අද දින රාත්‍රියේ හොර රහසේම පන්සලේ බෝමැඩ අසල ජීවම් වන්නේ මෙම කළුවර අඳුනය . 

තෙල් බෝතලය නැවත පෙට්ටගමේ තැම්පත් කල මා පියන වසා යතුරු කරකවා කාමරයෙන් එලියට පැමිණියේය . සීයා සහ අනුර අයියා ගොක් කොළ කපමින් , පිදේනි තටුවක් නිර්මාණය කරමින් සිටියෝය . කළුවර අඳුන බලගන්වන විට ඊට අරක්ගන්නා අන්ධකාරයට අධිපති යක්ෂ භූත පිසාචයින් හට සංග්‍රහ කිරීම අපගේ යුතුකමය . කාර්යය සාර්ථක වන්නේ එවිටය .

" පුතේ අපි උදෙන්ම නැගිටලා කාලා බීලා තමයි වැඩ පටන් ගත්තේ . පුතාට කතා කරේ නෑ වේලාසනින්ම අද මන්තර මතුරන්න වෙන්නේ පුතාට නිසා . දැන් ඉතින් දවල් වෙලා නිසා මම පුතාව ඇහරෙව්වේ . මන්තර ටික දැන් මතකද ? " 

" මන්තර ටික හරි සීයේ " 

" එහෙනම් ඉතින් පුතාට තියෙන්නේ මූණ කට හෝදලා , කාලා බීලා ඇවිත් මේ වැඩ වලට උදව් වෙන්න " 







එසේ කියමින් සීයා සිනාසුනේය . මම දත කට මැද මුහුණ අත පය සෝදා පිරිසිදු වී උදෑසන ආහාර වේල වෙනුවෙන් පිඟානට බත් බෙදාගෙන සීයා සහ අනුර අයියා වැඩ කරන අසලින් හිඳගත්තෙමි . 

" ඔය දරුවට තමයි දැන් කළුවර අඳුන ගාගෙන දැන් නාග වෛරෝඩිය ගන්න යන්න වෙන්නේ " 

" හොඳමයි ගුරුන්නාන්සේ . ඔය නාග වෛරෝඩිය තියලා තියෙන්නේ සුදු මහත්වරු තමන් හොයාගන්න පරණ දේවල් තැම්පත් කරලා තියෙන තැනක . අපේ පන්සල් වලින් හොරාගත්ත දඹ රන් බුදුපිළිම පවා මෙතන තියෙනවා . සාමාන්‍ය අයට ඕන නම් බලන්න යන්නත් පුළුවනි . ඒත් ඒ අය හොඳට ඒවා පරිස්සම් කරනවා . මුරට මුරකාරයොත් දාලා තමයි තියෙන්නේ " 

" මුර කාරයෝ ඒ නාග වෛරෝඩිය තියලා තියෙන තැන ඇතුලෙත් ඉන්නවද ? " 

" දවල් කාලයේ ඉන්නවා ගුරුන්නාන්සේ . හවස් වෙනකොට ඔක්කොම දොර ජනෙල් අගුල් දාලා මුරට ඉන්න අය එලියට එනවා " 

" ඒ කියන්නේ රෑටත් ඒ ඔක්කොම අය මෙතන මුර කරනවද ? " 

" රෑට දෙන්නෙක් විතරයි ඉන්නේ ගුරුන්නාන්සේ " 

" හ්ම්ම්ම්ම්ම් . මේක හදලා ඉඳිමුකෝ . කරන්න ඕන පිළිවෙල මම කියන්නම් " 

පිදේනි තටු සාදා ඒවායේ ගැබ් වෙන්කර පිළියෙළ කර එම ගැබ් වල අදාළ දේවල් ගොටුවල බහා තැබූ අතර සම්පූර්ණ පිදේනි තටුවකට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ ඒවායේ අන්තර්ගතවී තිබිණි . කොටින්ම කියතොත් පුළුටු මස් පවා සියල්ල සූදානම් වී තිබිණි . ඒ සියල්ල වලව්වට ගෙන්වාගෙන තිබෙන්නේ කරත්තය දක්කන ජේමිස් ලවා බව මම පසුව සීයාගෙන් අසා දැනගත්තෙමි . 

සැබවින්ම අප තුන්දෙනාහට මෙම කාර්යයන් තනිව සිදු කිරීමට වීම තරමක් දුෂ්කර විය . වෙනත් තොවිල් පොළක නම් මේවා කරවාගැනීමට දහ දොළොස් දෙනා අපවෙනුවෙන් පේවී සිටී . නමුත් ඒ කිසිවෙකු මේ වනවිට වලව්වේ නොමැති බැවින් ඒ සියල්ලම කිරීමට වූයේ අප තුන්දෙනාටය . දවල් ඉර හැරුණු වහාම සීයා එම වැඩවලින් මා නිදහස් කළේය .

" චූටි පුතේ . ඔයා දැන් මේ වැඩ නවත්තලා නාලා පිරිසිදු වෙලා මන්තර ටික කියවලා බලාගන්න ආයෙත් . තව වැඩ ටිකයිනෙ තියෙන්නේ . මටයි මේ දරුවටයි පුළුවන් ඒ වැඩ ටික ඉක්මනට කරලා ඉවරයක් කරගන්න . ඔයාටනේ තෙල ජීවම් කරන්න වෙන්නේ . ඒ නිසා ඔයා පිරිසිදු වෙලා ඉන්න ඕන දැන් " 

" හා සීයේ " 

" මල්ලිට නිවන් ගියා වගේ ඇති නේද ? " 

" එච්චර මහන්සියක් නැහැ . වෙන දවස් වලට ඉතින් මේවා කරලා දෙන්න ගමේ අය එනවනේ . ඒත් ඉතින් කවුරුවත් නැති වෙලාවට ඒවා කරගන්නත් පුළුවන් වෙන්න එපාය " 

" මම අද වලව්වට කවුරුවත් ගෙන්න ගත්තේ නැත්තේ මේ කළුවර අඳුන ගැන වචනයක් හරි ගමේ උන්ට ආරංචි උනොත් ඒක වලව්වට හොඳ නැති නිසා . ඒ නිසා මම හිතුවේ අපි තුන්දෙනාම මේ දේවල් කරගන්න ඕන කියලා " 

මම ඔවුනට සමු දී පිටත්වී ගොස් නා පිරිසිදු වී කාමරයට වී පුස්කොල පොතම දිගහැර මන්ත්‍ර සියල්ල කටපාඩම් කර නැවත නැවත කියවමින් අකුරක් අකුරක් නෑර එහි නිරවද්‍යතාවය පරීක්ෂා කළෙමි . කෙමෙන් කෙමෙන් රාස්සිගේ අව්ව අප සොයා එන විට පිදේනි තටුවල රාජකාරි සියල්ල නිමවා සීයාද අනුර අයියාද නිදහස් වී සිටියේය . මම කාමරයෙන් එළියට එන විට සීයාද අනුර අයියාද පන්සලට යාමට සූදානම් වී සිටියෝය . 

" පුතේ . මේ පිදේනි තටු ටික පන්සලෙන් තියලා එන්නම් මමයි මේ දරුවයි ගිහිල්ලා . පුතා වලව්වේ ඉන්න . අපි තුන්දෙනාම රෑ වෙලා යමු . සමහරවිට හෙට එළිවෙනකල්ම අපිට එන්න වෙන එකක් නෑ . ඒ නිසා රෑට කාලා බීලාම යන්න ඕන . මේවයි තව ඕනා කරන පැදුරු බංකු එහෙම එකටම කරත්තේ අරගෙන යන්න බැහැ .  ඒ නිසා මම ටිකක් ගිහින් තියලා එන්නම් " 

" හා සීයේ . සීයේ දැන් පන්සලේ පහන් පැළවල් හතරක් හදනවද ? " 

" නැහැ , මම කල්පනා කරේ පන්සලේ තියෙන දේවාල වලටම පහන් පත්තු කරලා දෙවියන්ට ආරාධනා කරන්න . පන්සලේ බෝධිය කිට්ටුවමනේ දේවාල ගෙවල් හදලා තියෙන්නේ . ඒ නිසා වෙනමම පහන් පැළ හදන්න මහන්සි වෙන්න ඕන නැහැ . පුතා ඒක මතක් කරපු එක හොඳයි . දේවාල ගෙවල් ටිකක් අතුපතුගාලා පිරිසිදු කරලාම එන්න ඕන මේ ගමන්ම " 








සීයා සහ අනුර අයියා පිදේනි තටු සියල්ල කරත්තයේ තබාගෙන පන්සල බලා නික්ම ගියෝය . කළුවර අඳුන නැවත වරක් රැගෙන බැලීමේ ආශාවක් මා තුල උපන්නේය . එබැවින් මම නැවතත් කාමරයට පිවිස පෙට්ටගම ඇර කළුවර අඳුන තෙල් බෝතලය අතට ගත්තෙමි . මෙම තෙල් බෝතලය සිඳින ලද මොහොතේ සිය කිසියම්හෝ අද්භූත බලවේගයක් මගින් එය කරා මා ආකර්ෂණය කරන්නේ යැයි මම සිතමි . විටින් විට කළුවර අඳුන අතට රැගෙන බැලීමේ ආශාවක් මා තුල ඒ අනුව ඉපදේ . 

මේ අතරේ ආච්චි අම්මා කාමරයට පැමිණියාය . 

" සීයා මට කිව්වා පුතා අද කළුවර අඳුන ජීවම් කරන්න යනවා කියලා . මේ බෝතල් දෙකේ තියෙන්නේ වෙනිවැල් ගැට තම්බපු වතුර . ඕක මතුරනකොට තනිකරම වතුර බොන්න හොඳ නැහැ පිපාසයක් දැනුනත් . වෙනිවැල් ගැට හරි රසකිඳ හරි තමයි තම්බලා බොන්න කියන්නේ . සීයා මට කිව්වා පුතාට මේවා තම්බලා තියන්න කියලා . මේ බෝතල් දෙක පරෙස්සම් කරලා තියාගන්න මතුරන වෙලාවට ළඟින් . අඳුන ජීවම් වෙනකල් පුතාට වෙනත් කෙනෙක් එක්ක කතා කරන්න වෙන්නෙත් නෑ මයේ හිතේ . ඒ නිසා පිපාසයක් දැනුනොත් මේක ඉල්ලන්නත් බැහැනේ . ඒ නිසා මතක ඇතුව මල් ආසනේ ගාව ඉඳගන්න කලින් මේක ළඟින් තියාගන්න " 

" හොඳයි ආච්චිඅම්මේ " 

" පරෙස්සමෙන් කරන දෙයක් කරන්න දරුවෝ . සීයා ළඟ ඉන්නකල් ඉතින් බය වෙන්න දෙයක් නැහැ . ඒත් පේන මනුස්සයින්ට වඩා නොපෙනෙන අමනුස්සයින් ගැන කොහොම විශ්වාසයක් තියන්නද " 

දිගු සුසුමක් හෙලූ ආච්චිඅම්මා වෙනිවැල් තැම්බූ වතුර සහිත බෝතල් දෙක කාමරයේ මේසය උඩ තබා යන්නට ගියාය . වලව්වම නැවතත් නිහඬ විය . එම නිහඬ බව බිඳිමින් සීයා සහ අනුර අයියා නැවතත් වලව්වට පැමිණියෝය . 

" දේවාල ගෙවල් අමුතුවෙන් පිරිසිදු කරන්න දෙයක් නැහැ . ඊයේ පෙරේදා දවසක දේවාල ගෙවල් පිරිසිදු කරා කියලා ලොකු හාමුදුරුවෝ මාත් එක්ක කිව්වා . ඔය දරුවා ළිඳට ගිහින් නානවනම් නාලා නැත්නම් ඇඟ පත හෝදගෙන එන්න . මට තව සූදානම් කරන්න දෙවල් ටිකක් තියෙනවා " 

" හොඳමයි ගුරුන්නාන්සේ " 

" චූටි පුතේ ,  ඔයා එන්න මගේ කාමරේට . මට ඔයත් එක්ක තනියම කතාවක් තියෙනවා " 

මම සීයා පසුපස ගමන් කර සීයාගේ කාමරයට සම්ප්‍රාප්ත වීමි . අනතුරුව සීයා කාමරයේ දොර වසා අගුලු දැම්මේය . 

" පුතේ තෙල ජීවම් කරනකොට මන්තර මතුරනකොට ඔයාට අපිත් එක්ක එක වචනයක්වත් කතා කරන්න තහන්චියි . ඒ වගේම තමයි ඇල් වතුර බොන්නත් බැහැ . ඒ නිසා ඔයාට බොන්න වෙනිවැල් තම්බන්න කියලා මම ආච්චි අම්මට කිව්ව " 

" ආච්චිඅම්මා වෙනිවැල් වතුර බෝතල් දෙකක් මට ගෙනැත් දුන්න සීයේ " 

" ආ . ඒක තමයි . අනිත් කාරණාව . දැන් ඔය තෙල ජීවම් වෙලා සම්පූර්ණ උනාට පස්සේ පුතාට කළු පාටට තියෙන තෙල් , වතුර වගේ එහා මෙහා පේන්න ගන්නවා . ඒක පොත්වල ලියලා නැහැ . ඒක රහසක් . පුතත් කවදාහරි කාටහරි උගන්නනකොට මේ රහසත් මතක ඇතුව කියන්න ඕන , හොඳද ? " 

" හා සීයේ " 

" පුතාට මේ තෙල ජීවම් කරනකොට දෙපැත්තෙන් කවුරු කවුරු හරි ඉන්නවා වගේ දැනෙයි . කළුපාටට හෙවනැලි පෙනෙයි . ඒවට බය වෙන්න කාරී නෑ හොඳද " 

" හොඳයි සීයේ " 

" මොනවා දැක්කත් වචනයක්වත් කතා කරන්නේ නැතුව බෝතලේ ඇතුලේ වතුර වගේ පේනකල් මතුරන්න තමයි තියෙන්නේ . එහෙම පෙනුනට පස්සේ තමයි ඔයාට අපිත් එක්ක කතා කරන්න පුළුවන් . අනිත් කාරණාව තමයි තෙල මතුරන්න ගත්තම ඔයාට විටින් විට නැගිටලා යන්න බැහැ . ඒ නිසා වැසිකිලි කැසිකිලි යන ඒවත් ඊට කලින් කරලා අහවර කරගන්න " 

" හොඳයි සීයේ " 

" එහෙනම් පුතේ මේවා මතක තියාගෙන වැඩ කරන්න . අර ළමයා ඉන්න වෙලාවට මට මේවා ආයෙත් මතක් කරන්න බැහැ " 

" හොඳයි සීයේ " 







කාලයත් සමග රැකිය යුතු රහස් ගණන වැඩිවන බව කල්පනා කරමින් මම සීයාගේ කාමරයෙන් පිටත් වීමි . අනතුරුව සීයා කියූ ආකාරයටම මම සූදානම් වීමි . සීයාද අනුර අයියාද මමද වලව්වේ කරත්තයෙන් එම මහානර්ඝ කළුවර අඳුන ජීවම් කිරීම සඳහා පන්සලට යෑමට පිටත් විය . කළුවර අඳුන තෙල් බෝතලය මා දැඩි සේ අල්ලාගෙන සිටියේය . අනෙක් අවශ්‍ය කළමණා සියල්ල අනුර අයියා මලු වලට එකතුකර සූදානම් කර තිබිණි . විශේෂයෙන්ම ප්‍රවේසම් කල යුතුව තිබුණේ වෙනිවැල් වතුර බෝතල් දෙකය . 

කෙමෙන් කෙමෙන් අපි පන්සල වෙත ළඟා වීමු . පන්සලේ නායක හාමුදුරුවෝ පන්සලේ ගේට්ටුව වසා තිබිණි . ඒ නිසා කරත්තය ගේට්ටුව අසල නවතා ගේට්ටුව ඇරගෙන පන්සල තුලට සේන්දු වීමට අපට සිදුවිය . කරත්තයෙන් මා බැස්සේද තෙල් බෝතලය තදින් අල්ලාගෙනය . කළුවර අඳුන එය වෙත මා ආකර්ෂණය කරගෙනය .

" නායක හාමුදුරුවනේ . අමනුස්සයෝ කරක්ගහන යාමය නිසා ඒ පැත්තට වඩින්නේ නැත්නම් තමයි හොඳ ඉතින් " 

" කමක් නැහැ අරනෝලිස් . බෝධියේ දොරවල් ඇරලා තියෙන්නේ . අරනොලිස්ලා හෙට එළිවෙනකල් ඉන්නවනේ . ඒ නිසා කමක් නැහැ . දේවල් ගෙවල් වල දොරවලුත් මම අගුලු දැම්මේ නැහැ අරනෝලිස් කිව්ව නිසා . මමත් තව ඩිංගකින් ගිලන් පස ටිකක් වළඳලා සැතපෙනවා . පොඩි නම පාඩම් කරන වැඩ කරන නිසා අවදියෙන් ඉඳීවි . මම පොඩිනමට කියන්නම් ඒ පැත්තට වඩින්න එපාය කියලා " 

" එහෙමයි හාමුදුරුවනේ . අපිට අවසර " 

මමද සීයාද අනුර අයියාද පන්සලේ නායක හාමුදුරුවන් දෙපා නැමද බෝධිය කරා පිටත් වීමු . සීයා සහ අනුර අයියා අවශ්‍ය සියල්ල සූදානම් කර තිබිණි . මට ඉතිරිව තිබුණේ සකසා තිබුණු මල් ආසනයේ කළුවර අඳුන තැබීම පමිණි . මම කළුවර අඳුන මල් ආසනයේ තබා ඒවටා මල් තබා තෙල් බෝතලය ජීවම් කිරීමට සූදානම් කලෙමි . 

පළමුවෙන්ම ඇත්තේ දෙවියන්ට ආරාධනා කිරීමයි . එය කවදත් සීයා විසින්ම කරන ලද්දක් හෙයින් අදද එය සීයා විසින්ම ඉටු කළේය . 




සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස , ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීප සතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, , දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයත් දිවැස්‌ බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස·. අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්වයාට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස මොහුට වැළඳී ඇත්තා වූ දේව දෝෂ යක්ෂ දෝෂ ඇස්‌වහ කටවහ හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්‌වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී අපගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්‌වායි, ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·!!!!!



සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනාරූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද · මුහුණු සයකින් · විචිත්‍ර නානාවිධ ආයුධ දොළසක්‌ අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· කතරගමට කිරි වෙහෙරට, මැණික්‌ ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩිහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබදෙවි හාමුදුරුවන් වහන්සේට අතනගා අයෑද සිටින්නේ මොහුට සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් මා අත යම් වරදක්‌ ඇතත්, ඔබ වහන්සේ සමා වී මා විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද· ඇස්‌වහ, කටවහ, නවග්‍රහ හූනියමකින් වැද පැමිණි සියලු දොaෂ ගසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා· ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා !!!!!



තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි . තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් අප සියල්ලෝම ආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!



ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩවසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක්‌ ගෙන එය ආරක්‍ෂා කරන මහාධීර වීර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,
අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ මණිඅක්‌ත නාරජුගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වැඩි ගමනේදී ඔබ වහන්සේගේ ඉල්ලීම පිළිගෙන වසර පන්දහස්‌ පන්සියයක්‌ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය බැබළෙන බැව් දිව නෙතින් දැක සමන්තකූඨ පර්වත මස්‌තකට වැඩම කොට තමන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාලෙන් බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදු වූයේ ඉමහත් සේවයකි.
එවක්‌ පටන් ඔබ වහන්සේ ශ්‍රී පාදස්‌ථානය භාරව සිංහල දේශයත් බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරනවා සත්‍යයයි. දොහොත් ඒ සත්‍යානුභාව බලයෙන් මුදුන්දී ඉල්ලා සිටින මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා අප වෙත බලපාන්නා වූ අණ විණ දෝෂාන්ධකාර යක්‍ෂ, භූත ප්‍රේත පිසාචාදීන්ගේ ඇල්ම, බැල්ම, විද්වංශනය කොට දී වාත පිත්ත සෙලෙස්‌මාදියෙන් වන දොෂාන්ධකාර ග්‍රහ දෝෂ හිරු දුටු පිනි මෙන් දූරී භූත කරවා ඔබ වහන්සේගේ පිහිටපතා වැඳවැටී අයදින්නා වූ අපගේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්‌වා කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!

දේවාල ගෙවල් සතර වෙත වෙන වෙනම ගමන් කල සීයා කන්නලවු කරමින් දේවාල ගෙවල් වල පහන් ආලෝකමත් කළේය . අනතුරුව තිබුණේ හූනියම් දෙවියන් වෙත කන්නලව්ව කියා මන්ත්‍ර මතුරා ආරාධනා කිරීමයි . නොසිතු මොහොතක සීයා එය මාවෙත භාර කළේය . සූනියම් දෙවියන්ට කැප වූ කුඩා දේවාලය තිබෙන්නේ බෝධියෙන් පිටතට වන්නටය . ඒ අසලට ගිය මා දේව ප්‍රතිමාව ඉදිරියේ නතර වීමි . සීයා සහ අනුර අයියා මා සිටින තැනට පිටුපසින් හිඳ බල සිටී . 







....................................ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නම................................

සාධු සාධු සාධු..........................!

තෙදවරම් පස්වාන් දහසකට ආයු ලැබ ඉරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ සිටින සිරසමත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොලොඟුන් දහතුනකින්ද රකුසු මුහුනකින්ද බඳවට නයින් ජාලයක්ද එක උරයක කරවැලුන් හතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිනිකබලක්ද ගෙලවට නයෙකුද හිස සිට දෙපතුල දක්වා නාගයන් දෙදෙනෙකුද දරා දිවිසම් වතින් සැරසුන නිල්වන් දේහයකින් යුතුව නිල්වන් අසෙකු පිට පැන නැගී යක්ෂ රාක්ෂ නාග රාජ කුමාරාදී දස අවතාරයකින් පෙනී සිටින දස දෙස විපුල කීර්ති සත්‍යානුභාවයෙන්ද තවද මෙම ශ්‍රී ලංකාද්වීපයේ සහ එක්ලක්ෂ හතලිස්දහසක් ගණ කෝවිල්වලට යහතින් දිවස් ලූ කබලෑවට අරක් ගත් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේට දෙපා වැඳ මා කරන කන්නලවුව ඔබගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඔබවහන්සේ නමින් ඔප්පු කරන සුවඳ දුම් මල් පහන් පුද පූජා පිළිගෙන මේ ආතුර ප්‍රාණ කාරයන්ට වැදී ඇත්තාවූ සකලවිද උවදුරු දුක්ඛාන්ධකාරයන් දුරින් දුර නසා මොවුන් වෙත බැල්ම දිෂ්ටිලා විනකර අම්ලාකර සිටින්නාවූ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් සැනෙකින් පලවා හැර සෙත් සාන්තිකර සකල රෝගාබාද ධූරීභූතකර ආයු රක්ෂාකර දී වැඩ වදාරන සේක්වා !!!

ශිව මස්තු නමෝ රාමඃ
කන්ධ සේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණී කණ්ඨන්
ඔඩ්ඩි මංගල නමෝ නමඃ





සූනියම් දෙවියන්ගේ දේව ප්‍රතිමාව ඉදිරියේ පහන මවිසින් දැල්වීය . සියල්ල සූදානම්ය . වෙනිවැල් බෝතල් දෙක මා අසලින් තබා ගැනීම ආච්චි අම්මා කී ලෙසටම මුලින්ම සිදු කරන ලදී . අනතුරුව මල් ආසනය ඉදිරියේ හිඳ ගත්තෙමි . කළුවර අඳුන තබන ලද මල් ආසනය මා ඉදිරියේ තිබේ . ඊට එහායින් පිදේනි තටු හතරක් සාදා තිබේ . සීයා ඒවායේ විලක්කු දැල්වීය . අනතුරුව මල් ආසනයේ ඇති පහන දැල්වීමට සීයා විධාන කළේය . 

" චූටි පුතේ , මම කිව්ව ඒවා මතකයි නේද ? " 

" ඔවු සීයේ " 

" එහෙනම් ඒවා මතක තියාගෙන නමෝ විත්තියෙන් මන්තර පුරන්න පටන් ගන්න . අපි දෙන්නා කොහෙවත් යන්නේ නෑ . පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා " 

සීයා මගේ හිස අතගා එම ස්ථානයෙන් පිටත් විය . අනුර අයියාද සීයා අසලින්ම සිටියේය . කිසි දිනෙක අත නොතබන ලද මන්ත්‍ර කීපයක් පිරීමට මා දැන් සූදානම්ය . අන්ධකාරයට අධිපති යකුන් යක්ෂණියන් ගෙන්වීමට සූදානම්ය . කළුවර අඳුන දෙස බලා සුසුමක් ලූ මම දෙවියන් බුදුන් සිහිකර මන්ත්‍රය අරාම්භ කලෙමි . 

...................... ගුරුවා ලංකාරේ එප්පෙයුම් කරුවාලන් කරුවලන් කුත්තෙට්ටු සිප්පනේ පලික් කුඩ සෙත් පාවාදයෙන් වාවා කරුවාලන් එලේන්දියානේ මෝහනී ගුරුවාදන් ගුරුවාලන්කාරෙන් එප්පේයුම් කරුවා කරුවාලා කරුවල කරුවාලා කෝපන් තීන්දම් පාවාඩයෙන් වා වා වා තින්න මින්ද මච්චන් පොට්ටා වාරෙන් ගුරුවාලා කරුවාල එප්පෙයුම් වාවා තේරුම් නාච්චි මොල්ලාන් තේරී කුන්දිරානේ සිවාකා මේ කාකා ගුරුවාලංකාරේ එප්පේයුම් වා වා සීමාලයින් තෝඩාවරුන් වා වා කරුවාලන් කරුවාලන් වාවා ත්‍රී පුර කාලි සරවන පසම්මුඛ පාවාසා අයියුම් කිලියුම් පර්වත වසම් වේශ වෙකුදු සිවාකා මේ කා කා ගුරුවාලන් කරුවාල කරුවල කරුවා වා වා ................................







මන්ත්‍රය පාඩම් කිරීමට වඩා අසීරු කාර්යය වන්නේ එය නිවැරදිව උච්චාරණය කිරීමයි . අභියෝගය භාරගත් මා පැයක් පමණ එකම මන්ත්‍ර කීපය නැවත නැවතත් මතුරමින් සිටියේය . අතරවාරයේ මා මන්තර මැතිරීම මදකට නවතා වෙනිවැල් තැම්බූ වතුර ටිකක් පානය කලෙමි . නැවතත් මන්ත්‍ර මැතිරීම ආරම්භ කලෙමි . මද වෙලාවක් යනවට කවුදෝ මාගේ පිටුපසින් සිටින බවක් මට දැනිණි . මා එකවරම ගැස්සී පිටුපස හැරී බැලුවේය . සීයාද අනුර අයියාද මාවෙත දල්වාගත් දෑස් යොමු කළේය . 

" ඇයි චූටි පුතේ ? " 

මම කිසිවක් නැහැයි අතින් සංඥාකර නැවත මන්ත්‍ර පිරීම ආරම්භ කලෙමි . ටිකවෙලාවක් යනවිට මාගේ දකුණු පසින් සෙවනැල්ලක් වැනි යමක් පෙනිණි . මම එකවර ගැස්සී ඒ දෙස බැලුවෙමි . නැත . කිසිවක් නැත . දෙතුන් වතාවක් මේ ක්‍රියාව නොකඩවා සිදුවීමත් සමගම එය මට ගාණක්වත් නැති තත්ත්වයට පත් විය . එබැවින් මම දිගින් දිගටම මන්ත්‍ර මැතිරීම සිදු කලෙමි . අවසානයේ වෙනිවැල් බෝතල් එකහමාරක් පමණ මම බී අවසන් කර තිබිණි . පසුදින එළි වීමට කුකුලා හඬලා පැයක් පමණ මන්ත්‍ර මැතිරීමි . අවසානයේ කලින් පෙනුනාට වඩා තද කළු පැහැති සෙවනැල්ලක් මාගේ දකුණු පසින් පෙනෙන්නට විය . මා හිස ඒ දෙස හරවන විට කිසිවක් නැත . 







නැවතත් හිස ඉදිරියට හරවා මතුරන විට එම සෙවනැල්ල පෙනෙන්නට විය . මා නැවත හැරී බැලුවේ නැත . මාගේ දෙනෙත් මේ වණ විට යොමු වී තිබුණේ කළුවර අඳුන වෙතමය . මෙපමණ වෙලාවක් එකම මන්ත්‍රය නැවත නැවත මැතිරීම භාවනා කිරීමක් වැන්න . නමුත් පෘතක්ග්ජනයෙකු වශයෙන් එම සමාධියේ මෙපමණ වෙලාවක් සාමාධිගතවී සිටීමට මාහට පහසු කාර්යයක් නොවීය . මාගේ බලාපොරොත්තුව දැන් කළුවර අඳුන පැහැදිලි වේවා ! යන්නයි . මාගේ මන්ත්‍රයේ ශබ්ධය , වේගය ආදී සියල්ල ආරම්භ කළ වේගයට වඩා දෙතුන් ගුණයකින් වැඩි වී ඇත . ඒ මෙම කාරණයේ අවසානය ඉක්මණින්ම දැකගනීමටය . 

අවසානයේ මාගේ බලාපොරොත්තුව සඵල විය . තද කළු පැහැති තෙල් බෝතලයේ ඇති තෙල් එකවරම අවර්ණ වී ගියේය . 

මම මන්ත්‍ර මැතිරීම නවතා බිම බලා දිගු සුසුමක් හෙළුවේය . 

" චූටි පුතේ , අමාරුයිද දැන් ? " 

" හම්මේ සීයේ යන්තම් ඉවරයි " 

සීයාද අනුර අයියාද වහා මාවෙත දිව ආවෝය . සීයා තෙල් බෝතලයට වැඳ එය අතටගෙන 

" ඔය ජීවම් වෙලා තියෙන්නේ යස අපූරුවට " යැයි කීවේය . 

මෙය මාගේ ජීවිතයේ මා පසුකල තවත් එක් සංධිස්ථානයකි . 







ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


පලි :

කතාව ලියලා ආයෙත් අප්ඩේට් කරන්න ඕන කියලා හිතුවේ පොඩි පොඩි කාරණා ටිකක් කියන්න ඕන නිසා . දැන් මේ කතාව කියවලා කළුවර අඳුන ගැන අහ අහ මට මැසේජ් ඊමේල් එවන්න එපා . මේගැන මම අහලා තියෙනවා . මේ දේවල් ගන්නවා කියලා මම අහලා තියෙනවා . ඒත් ඉන් එහා දෙයක් ගැන මමත් දන්නේ නැහැ . අපේ ආච්චිඅම්මා තමයි මේ ගැන ගොඩක් ඉස්සර මමත් එක්ක කිව්වේ . කළුවර අඳුන් හදන්න මේ මේ වගේ දේවල් ගන්නවා . මේ මේ දේවල් කරන්න ඕන කියලා .

ඒ ඇසුරින් තමයි කතාව ගොඩ නගලා තියෙන්නේ . මම හිතනවා වෙදකමත් එක්ක හැදුනු වැඩුණු ආච්චි අම්මලා ඔය දේ ගැන සහසුද්දෙන් දැනගෙන හිටියා කියලා . ඒත් එයාලා ඒගැන ලිඛිත සාක්ෂියක්වත් මේ වෙනකොට ඉතුරු කරලා නැහැ . හදවතේ සටහන් කරගෙන තිබුණු හැමදේමත් එක්ක ආච්චි අම්මා අවසන් ගමන් ගියා .

ඊළඟට කියන්න ඕන දාලා තියෙන සමහර පුස්කොල ෆොටෝ ගැන . කතාවේ මුල ඉඳලම වයලීනෝ කියන නමින් තියෙන පුස්කොල ෆොටෝ වලට අදාළ පුස්කොලේ මගේ තමයි . ඔය දාන්නේ එකම පුස්කොලයක ෆොටෝ . ඒ පුස්කොලය පොඩිකාලේ මගේ කොට්ටය යට තියලා තිබුණු නවග්‍රහ යන්ත්‍රයක් . යන්තර ලියන්න තඹ කොළ වගේම පුස්කොලත් ගන්නවා කියලා මම යන්තර ගැන කියනකොට කියලා ඇති . ඒකෙ තියෙනවා ග්‍රහයින් නවදෙනාගේ රූප , ඉර හඳ , වගේ දේවල් .

මේ කතාවල තියෙන පසුබිම පින්තූර වලිනුත් වැඩිකරන්න ඕන නිසා මම කල්පනා කරා ඒ පුස්කොලේ ෆොටෝ ගහලා දාන්න . පිදේනි තටුවල ෆොටෝ ගත්තේ කැම්පස් එකේ දහ අටසන්නියක් නටලා ඒ පිදේනි අස්කරන්න කුණු ලොරිය එනකල් පාර අයිනේ තියලා තියෙනකොට . මේ ලිපියේ මුල්ම ෆොටෝ එක ආච්චි අම්මා හැමදාම කියවපු දෙවියන්ට පිං දෙන කවි පොතක පිට කවරය . ඒ නිසා කට්ටිය පුදුම වෙන්න ඕන නැහැ වයලීනෝ කළුවර අඳුන හදන්න දන්නවා , පුස්කොල වලත් රූප දාලා තියෙනවා කියලා . වටපිට බලනකොට තමයි මේ හැමදේම එකතු කරගන්න පුළුවන් උනේ .

අන්තිම කාරණාව තමයි මුහුණු පොතේ සමහර බ්ලොග් ග්රූප් වලින් මාව බ්ලොක් කරලා තියෙන එක . අවුල තියෙන්නේ මම එකදිගට පෝස්ට් දාන එක වෙන්න ඇති . ඒ නිසා කාටහරි මියැසියේ රසකතාවල ලිපි මග ඇරෙනවානම් මෙන්න මේ ලින්ක් එක හරහා ඇවිත් මකරාගේ සන්නස කියන ග්රූප් එකට add වෙන්න . නැත්නම් මියැසියේ රසකතා පේජ් එකට ලයික් කරන්න . එතකොට ලිපි අලුතෙන් දැම්මම ඔයාලට බලාගන්න පුළුවන් .


මියැසියේ රස කතා 

මකරාගේ සන්නස 

ආයෙත් ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment