දෙවියන් යකුන් හා බැඳුනු "කිලි" සංකල්පය







කාලෙකින් යක්කු බූතයෝ ගැන ලියන්න උනේ නැති නිසා අද පෝස්ට් එක ඒ සම්භන්ධ ඉතාම වැදගත් දෙයක් වන කිලි සංකල්පය වෙනුවෙන් වෙන් කරන්න මම හිතුනවා . මට මතක් වෙනවා මම පොඩි කාලේ අත්දකින්න ලැබිච්ච අත්දැකීම් . මේ පළමු සිද්දිය නම් උනේ කොයි කාලේද කියලා මට මතක නෑ . හැබැයි එතකොට මම ගොඩක් පොඩියි .

අපේ ගමේ සීයා කෙනෙක් නැති උනා . ඉතින් ඒ සීයාගේ මරණේ වැඩ කටයුතු අහවර වෙනකොටම අපේ ගෙවල් කිට්ටුවම අක්කා කෙනෙක් වැඩිවියට පැමිණිලා එයාගේ කොටහළු මංගල්‍යය තිබුණා . ඉතින් ඕකට යනකොට අපේ අම්මා මාවත් එක්ක ගියා . ඒ යනගමන් කාත් එක්කද මන්දා කියනවා ඇහුනා ගානක් නෑ මලගෙදරත් කිලි මෙහෙත් කිලි කියලා . ඒත් මට ඒ ගැන කිසිම තේරුමක් තිබ්බේ නෑ .

අපේ සීයා නැති උනේ මම 4 වසරේ ඉන්නකොට . සීයාගේ හත්දවසේ දානේ ඉවර වෙච්ච දවසේ අපේ ගෙදරට ඇවිත් හිටපු නෑදෑයෝ වෙන අක්ක කෙනෙක් අපේ ගෙදරම වැඩිවියට පත් උනා . අන්තිමට පාටියත් අපේ ගෙදරම අරගෙන නෑයෝ වේයෝ මීයෝ යන තුන්ගොල්ලම කනවා කියන කරුණ මොනවට පසක් කරලා එයාලා අපේ මඩිස්සලේටත් කෙලවලා යන්ට ගියා .

එතන ඉතින් කිලි ඩබල් . අපේ ආච්චි නැතිවෙලා දැනට අවුරුදු පහක් විතර වෙනවා . ඔය අවස්ථා වලදී අපේ ගෙදර විෂ්ණුට තියන පහන පත්තු කරේ නෑ . ඒකට හේතුව මම හරියටම දැනගත්තේ පස්සේ කාලෙකදී . ඒ කාලේ තරමක අවබෝධයක් තිබුනත් හරියටම දැනගත්තේ යන්තර මන්තර ගැන වැඩිපුර අධ්‍යනය කරාට පස්සේ .

අපේ ආච්චි නැතිවෙච්ච දවස්වල මම වැඩිපුර පන්සල් ගියා . මොකද ආච්චි සනීප නැතුව ඉන්න කාලෙත් මම බෝධි පූජාවටත් එක්කම හැමදාම පන්සල් ගියා . ආච්චි නැති උනාට පස්සේ දුකටත් පන්සල් ගියා . ඔහොම යනකොට අපේ පන්සලේ ඉන්න බක පණ්ඩිත ඇන්ටි කෙනෙක් අපේ අම්මා එක්ක කියලා තිබ්බා " මිස් මරණයක් වෙලා මාස තුනක් යනකං පන්සල් එන්න හොඳ නෑ නේද ? " කියලා .

මම ඒ ඇන්ටිගෙන් අහන්න හැදුවේ මොකද මේ ඇන්ටිගේ බාප්පා හදපු පන්සලද ? කිලි වලට බයේ බුදු හාමුදුරුවෝ පන්සලෙන් යයිද දන්නේ නෑ කියලා . ඒත් අම්මා මාව කූල් කරා . පන්සල් වලට මොන කිලිද කියලා උන්දැට කියලා දෙන්න මට තාම බැරි උනා .

මේ කිලි කියලා කියන්නේ අපිරිසිදු දේවල් කියලා පිළිගත්ත දේවල් වලට . මේ අපිරිසිදු බව ස්වාභාවිකවම වෙන්නත් පුළුවන් . නැත්නම් අපිරිසිදු කෙනක් ගාව හෝ අපිරිසිදු තැනකදි ඉඳලා එන හුළඟ වැදිලා තවත් කෙනෙක් අපවිත්‍ර වෙන්න පුළුවන් . මේ අපවිත්‍රතාවය මනුස්සයින්ට කෙලින්ම බලපාන්නේ නෑ . ගැටළුවක් උනොත් වෙන්නේ අමනුස්සයින් මේ කිලි සඳහා දක්වන ප්‍රතිචාරවල හැටියට තමයි .

විශේෂයෙන්ම කියනවනම් දෙවියන් මූලික කරගෙන කරන දේවල් වලදී මේ කිල්ලෙන් වැළකිලා ඉන්න එක වටිනවා . මොකද දෙවියන් මිනිසුන්ගේ ඩහදිය ගඳ පවා අප්‍රිය කරනවා කියලා බුද්ධ දේශනාවේ කියලා තියෙනවා . ඉතින් ඩහදිය ගඳ අප්‍රිය කරනවනාවම් කිල්ල කොහොමත් අප්‍රිය දෙයක් වෙන්න පුළුවන් .

වැදූගෙයි කිල්ල , මල්වර කිල්ල , ඔසප් වීමෙන් ඇතිවන කිල්ල තමයි කාන්තාවන් සඳහා අදාළ කිල්ල වෙන්නේ . ඒත් මළගෙවල් , අපවිත්‍ර ආහාර වර්ග ගැනීම හේතු කරගෙන පිරිමින්ටත් කිල්ල කියන දේ බලපාන්න ඉඩ තියෙනවා . මෙතනදී තවත් වැදගත් දෙයක් කියන්න ඕන . පිරිමින් ස්වයංවින්දනයේ යෙදුනට පස්සේ හෝ ලිංගික ක්‍රියාවල යෙදුනට පස්සේ ඔවුන් නාලා පිරිසිදු වෙනකන් ඔවුන් තුලත් මේ කිල්ල කියන දේ පවතිනවා . එහෙම කියන්නේ ඇයි කියලා මම අන්තිමටම කියන්නම් .

වැදූ ගෙයි කිල්ල කියලා කියන්නේ දරුවෙක් ලැබුනාට පස්සේ ඒ ගෙදර ඇතිවෙන කිල්ල . එහෙම නව උපතක් උනාම ඒ ගෙදර සහ ගෙදර වාසය කරන අනිත් අයත් ඔක්කොම මේ කිල්ලට අහුවෙනවා . ඉතින් මේ වගේ ගෙවල් වලට යන්තර දාපු අය  , දේවාල වලට යන අය යාමෙන් වලකිනවා කිල්ලට අහුවෙන නිසා . සාමාන්‍යයෙන් පිළිගැනීම අනුව මාස තුනක් මේ කිල්ල පවතිනවා . මේ කාලය තුල කිරිඅම්මා දාන පැවැත්වීමක් වත් දේවාල වලට යෑම වගේ දේවල්වත් කෙරෙන්නේ නෑ .

කිල්ල නැති කරන්න බැරි උනත් කිලි ගතිය අඩු කරන්න අතීතයේ අය යම් පිළිවෙතක් භාවිතා කරා . ඒ තමයි කොළ වර්ග තම්බපු වතුරෙන් මව නාවාලා පිරිසිදු කරන එක . මෙහෙම නාන්න පාවට්ටා තෙල් එරඬු නික දෙහි කියන කොළ වර්ග භාවිතා කරනවා . මාස තුනක් ගියාට පස්සේ මේ වැදූ ගෙයි කිල්ල නැතිවෙලා යනවා . ඉතින් ඊට පස්සේ පුළුවන් දේවාල වලට යන්න .

ගැහැණු ළමයෙක් පළමු වතාවට මල්වර වීම , එහෙමත් නැත්නම් කොටහළු වීම කියන අවස්ථාවත් කිල්ලක් විදියට සලකනවා . කොටහළු මංගල්‍යයේදී ගැහැණු ළමයා නාවනවා නැකතකට . ඒ නෑමෙන් කිල්ල තරමක් දුරට අඩු කරගැනීමත් බලාපොරොත්තු වෙනවා . එත් සම්පූර්නෙන්ම නැති වෙන්නේ නෑ . මේ කිල්ලත් මාස තුනක් යනකං තියෙනවා .

මල්වර වීමට පස්සේ මාසයක් පාසා ඇතිවෙන ඔසප් වීම නිසාත් කිල්ලක් ඇතිවෙනවා කියලා පිලිගන්නවා . මේ කිල්ල නම් පවතින්නේ දවස් තුනක් විතරයි . ඒ නිසා ආර්තව වීම අවසානයේ දවස් තුනකින් නාලා පිරිසිදු උනාම මේ කිල්ල නැතිවෙනවා .

මරණයක් නිසා ඇතිවෙන කිල්ලත් බරපතල විදියට බලපාන කිල්ලක් . මේ කිල්ලත් මාස තුනක් පවතිනවා කියලා කියනවා . මාස තුනකට පස්සේ මරණය වෙච්ච ගෙදර පිරිත් කියලා බලාපොරොත්තු වෙන්නේ මේ කිල්ලත් නැතිවෙලා ගිහින් ගෙදර ඉන්න අමනුස්සයින් සියලු දෙනාම නිවසින් ඉවත් කරලා දැමීම . මළගෙදරක හරි කොටහළු ගෙදරක හරි ගිහින් එනවානම් තමන්ගේ නිවසට ඇතුල් වෙන්න කලින් දෙහි පළුවක් ඔලුවේ අතුල්ලලා කහ මිශ්‍ර වතුරෙන් නාලා පිරිසිදු වෙන්න කියලා සිරිතක් ඉස්සර පැවතුනා . දැන් නම් මේවා වෙන්නේ නෑ . මොකද ඒවා කරදර වැඩ නිසා .

කිලි කියලා පිළිගත්ත තවත් ආහාර වර්ග කීපයක් තියෙනවා . ඒ තමයි ඌරු මස් , හරක් මස් , අලුපුහුල් , මියන කොළ වගේ කෑම . මේවා කෑමත් කිල්ලට හසුවීමක් කියලා කියනවා . කොහොම උනත් මේ කිල්ලට අහුවෙලා යන්තර මන්තර ගුරුකම් කරාට වැඩක් වෙන්නේ නෑ කියලා අතීතයේ ඉඳලාම පිලිගන්නවා . ඒ වගේම දේවාල වලට ගියොත් දෙවියන් උදහස් වෙනවා කියලා කියනවා . ඒ නිසා කිල්ලෙන් වැළකිලා මේ දේවල් කරනවානම් ඇඟට ගුණයි .

වැරදිලාවත් සුළුවෙන් හරි තියෙනවනම් ඒ කිලි ඉවත් කරන්න යන්තර මන්තර සම්භන්ධව වැඩ කරන අය ළඟ මන්තර තියෙනවා . මේ මන්තර වලින් කරන්නේ ශබ්ධය මගින් ඇතිවෙන කම්පන උදවු කරගෙන කිලි වල තියෙන අපිරිසිදු තත්ත්වය විනාශ කරලා දාන එක . සමහර අය මේ කිල්ල ඉවත් කරන්න වතුර මතුරලා ඉහිනවා . සමහර අය දෙහි මතුරනවා . දෙහි මතුරන අය නම් දෙහි මතුරලා ඒ දෙහි ගෙඩිය හපලා කනවා . එහෙම කන්නේ තමන් ඇදුරෙක් නම් තමන් දැන් යන්නේ මොකක් හරි ගුරුකමක් කරන්න නම් තමාට කිලි වැදිලා තියෙනවනම් ඒවා ඉවත් වෙන්න .

කිලි ගැන කියනකොට තවත් දෙයක් කියන්න ඕන . කිලි තියෙනවද නැත්ද කියලා හොයාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා . හැබැයි කරන්න තමයි අමාරු . මේකට ගජ මධාරා ගහක් හොයාගන්න ඕන . මේ ගජ මධාරා ගස්වල හැදෙනවා පොඩි ගෙඩියක් . මේ ගෙඩි වෙරළු ගෙඩියකට වඩා පොඩ්ඩක් පොඩියි , මෙරූන් පාටට හුරු පාටක් වගේම කහට රහක් තමයි තියෙන්නේ . කිලි තියෙන තැනකට මේ ගෙඩියක් අරගෙන ගියොත් කිලි වැදිලා මේ ගජ මධාරා ගෙඩිය පුපුරලා යනවා . අන්න ඒ විදියට පුළුවන් කිලි තියෙනවද නැත්ද කියලා හොයා ගන්න . ඒත් ඉතින් දැන් ගජ මධාරා ගස් හොයන්න ලේසි නෑ . වාසනාවට වගේ ලංකාවේ මම දන්න හඳුනාගත්ත එක ගජ මධාරා ගහක් තිනවා . හැබැයි තියෙන්නේ කොහෙද කියන එක රහසක්  :)

දෙවිවරු මේ කිලි වලට අකමැතියි වගේම යක්කු පෙරේතයෝ මේ කිලි වලට කැමතියි . එයාලා මේ කිලි වලින් එන ගන්ධය ආග්‍රාණය කරලා බඩගින්න නිවා ගන්නවා වගේ දෙයක් කරගන්නවා . ඒ නිසා තමයි කිලි වැදිලා ඉන්න වෙලාවට ඉරමුදුන් ගොම්මන් මැදියම් කියන සමයන් වලදී හතරමං හන්දි තුම්මන් හන්දි වලින් තනියම යන්න එපා කියලා කියන්නේ . යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියලා කියන්නත හේතු තියෙනවා . සමහර මන්තර වල තමයි කියලා තියෙන්නේ යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියල .

ඉස්සර යක්ෂයින් ඉන්න කාලේ දැන් කාලේ වගේ ෆෙම්ස් , ආර්යා වගේ බ්‍රෑන්ඩ් තිබ්බේ නෑ . ඒ නිසා ඒ කාලේ අය පාවිච්චි කරලා තියෙන්නේ රෙදි කඩක් මේ වෙනුවෙන් . ඒ රෙදි කඩට කියන්නේ " කිලිකඩ " කියලා . යක්කුන්ට සමහර වෙලාවල් වලදී බිලි පූජා පුළුටු පූජා පවත්වනකොට මේ කිලිකඩ කියලා කියන ආර්තව රුධිරය තැවරුණු රෙදි කෑලිත් තියලා තියෙනවා ඒ පූජාවේ . එහෙම තිබ්බම යක්කු පෙරේතයෝ ගෙන්නගන්නත් උන්ගෙන් වැඩ කරවා ගන්නත් පහසුයි කියලා තමයි කියන්නේ . මේවා තියෙන්නේ මන්තර සාහිත්‍යයේ . ඒ නිසා ඇත්ත නැත්ත හොයන්න යන එක වැඩක් වෙයි කියලා මමනම් හිතන්නේ නෑ .

පිරිමින්ගෙන ඇතිවෙන කිල්ලක් ගැන මම කිව්වා මුලින් මතක ඇති . මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕන . පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමෙනුත් යම් කිල්ලක් ඇතිවෙනවා කියලා කියනවා . මේක ඉතාම සුළු අපිරිසිදුවක් කියලා තමයි කියන්නේ . ඒත් මේක සමහර ගුරුකම් වගේ දේවල් වලදී සුළුවෙන් තකන්නේ නෑ . ගුරුකම් ශිල්පයේ තියෙනවා ලංකේශ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලේ ඉඳලා පැවත එන ඉතාම බලගතු ගුරුකම් වර්ගයක් , " ගුරුළු ගුරුකම් " කියලා .

මේවා කරොත් සුවර් සොට් ඒවාට අදාළ හොඳ හෝ නරක බඩු හම්බෙනවා . ඒ වගේම තව තියෙනවා රිද්දි ගුරුකම් කියලා ගුරුකම් වර්ගයක් . ඒ ගුරුකමුත් ඉතාම බලවත් ඒවා . මේ දෙකේදීම පිරිමින්ගේ කිල්ල ගැන කතා කරනවා . මේ ගුරුකම් කරන්න කලිනුත් පිරිමින් කිසිම ආකාරයක ලිංගික ක්‍රියාවක් කරන්නේ නැතුව යම් කාලයක් පේ වෙන්න ඕන . ඒවගේම ගුරුකම් කරාට පස්සෙත් යම් කිසි නියම කරලා තියෙන කාලයක් ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ නැතුව ඉන්න ඕන . ගුරුළු ගුරුකම් වලදී මේ පේ වීම හරියට උනේ නැත්නම් ඇදුරා මිය යන්නත් ඉඩ තියෙනවා කියලා ඒ ගුරුකම් වලදී වැඩිදුර විස්තර කෙරෙනවා .





මේ ගැන මම වැඩිපුර කිව්වේ කිල්ල කියන සංකල්පය අදාළ වෙන්නේ මොනවාටද කියලා ඔයාලා දැනුවත් කරන්න ඕන නිසා . සමහර අය කියනවා දළදා මාලිගාවට යන්න හොඳ නෑ ශ්‍රී මහා බෝධියට යන්න හොඳ නෑ කියලා . මෙහෙමයි . මේ දේවල් නම් කිසිම පදනමක් නැති කතා . බෞද්ධ දේවල් එක්ක මේ කිලි සංකල්පය කොහෙත්ම අදාලා වෙන්නේ නෑ . හැබැයි එක කාරණයක් නිසා වෙන්නැති මිනිස්සු මෙහෙම කියන්නේ . ඒ තමයි දැන් දළදාව රකින්නත් ශ්‍රී මහා බෝධිය රකින්නත් දෙවිවරු ඉන්නවා . මේ දෙවිවරුන් අපහසුතාවයට පත්වෙන නිසා වෙන්නැති ඒ ස්ථාන වලට යන අයට කිල්ලෙන් මිදිලා යන්න කියන්නේ සහ ගෑණු අයට යන්න එපා කියන්නේ .

ඒත් මගේ මතයනම් මේකයි . පන්සල දෙවියන් එන තැනක් උනාට පන්සල කියන්නේ දෙවියන්ගේ තැන නෙවෙයි . දෙවියන්ගේ තැන දේවාලය . ඒ නිසා ඔයාලා මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් වෙන්න ඕන දේවාල වලට යනකොට . මම හොයපු බලපු දේවල් සහ අහපු කියවපු දේවල් එක්ක මමනම් හිතන්නේ එහෙමයි . ඒකෙ වැරද්දක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ . මොකද කතරගම දෙවියන් ජීවමානව වැඩඉන්න කැබලිත්ත මහ සියඹලාව වඳින්න යන සමහර උදවියට අත්දකින්න වෙච්ච සමහර අත්දැකීම් එක්ක මේ කිලි කතාව දෙවියන්ට අදාලා වෙනවා කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන් .


පලි :-

අද ශිෂ්‍යත්ව විභාගය . ඉතින් ඊයේ දවසේ අපේ සමන්දේවාලෙට ශිෂ්‍යත්වේ ලියන නංගිලා මල්ලිලා ගොඩක් ආවා . ඒත් ඊයේ දේවාලයේ පූජාවන් තිබ්බේ නෑ . ඒකට හේතුව දේවාලය අසල මලගෙදරක් වෙලා නිසා . මමත් ඊයේ ගියා දේවාලේ . ශිෂ්‍යත්වේ ලියන්න නම් නෙවෙයි ආයෙත් . දේවාලේ වැඳලා එන්න ඕන නිසා . දේවාලේ හඳුන් කුඩමට නගින තැන දොරපලු දෙකම වහලා තිබුන නිසා මම ඇහුවා කපු මහත්තයාගෙන් අද පූජාව නැත්ද කියලා . එතකොට තමයි කපු මහත්තයා කිව්වේ මල ගෙදරක් නිසා දේවාලේ අද වහලා කියලා . ඉතින් දේවාලේ වැඳලා එනගමන් මම හිතුවා මිනිස්සු එක එක විදියට හිතාගෙන ඉන්න කිලි සංකල්පය ගැන වැඩිපුර යමක් ලියන්න ඕන කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment