දහදුරා වැඩ




වයලීනොහේ වයලීන් ගැහිල්ල නිසාම වෙච්චි වැඩක් තමයි මේක . වයලීනෝ ඉස්සර ඉස්කෝලේ වයලීන් ගැහුවට මොකද ඉස්කෝලේ වේලාවෙන් පස්සේ හවස නවතින්න හරිම අකමැතියි . මියුසික් නෙවේ මොනවා උනත් කෝටියක් දෙනවා කිව්වත් හවස නවතින්න කැමති නෑ .

ඔහොම කාලයක් යනකොට දවසක් වයලීනොට සංගීත මිස්ලගේ ගෙදර නවතින්න යන්න උනා . අම්මලා රෙඩ් ලයිට් . මමත් අකමැතියි . මොකද ස්වීට් බෙඩ් එක මාරු උනාම එපා වෙනවනේ . ඒත් ඔන්නොහෙ අම්මලාගේ අකමැත්ත පිටම එදා නවතින්න උනා . නැවතුනේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා එන උත්සවේකට සංගීතය සපයන්න පුහුණුවීම් කරන්න . ඒවත් කරලා ඔන්න පහුවෙනිදා දවල් ගෙදර ආවා . ආවට මොකද ඉතින් ගෙදර කවුරුවත් කතා කරේ නෑ . සද්ද නැතුව ඉන්නවා . මම ඉතින් මොන වැඩේ කරත් අන්තිමට විරිත්තන එකේ අපේ ආච්චි අම්මා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් විරිත්තුවා . හම්මටඋඩු ආච්චි අම්මා බනින්න ගත්තා කලිසම ඔලුවෙන් ගැලවෙන්න . එදා ආච්චිඅම්මා බැන්නේ ඇයි කියලා මට තේරෙන්නේ දැන් තමයි .

කොහොම හරි ආච්චි අම්මා බනින්න පටන් ගත්තේ " හ්ම්හ් ආවද ඉලන්දාරියා රටේම තියෙන දහදුරා වැඩ ඔක්කොම කරලා " කියලා . අනිත් බැනපු ටික ඕන නෑ .හිහිහිහිහිහිහිහි
මම කල්පනා කරා ආච්චි අම්මා බනින්නේ දහදුරා වැඩ කරා කියලා . ඇයි හත්තිලවුවේ මම වයලීන් ගහන්න ගිහින් ආවේ . මෙහෙ බනින්නේ දහදුරා වැඩ කරා කියලා . මම ඒකාලේ හිතන් හිටියේ දහදුරා වැඩ කියන්නේ නිකන් මේ පාරේ මුට්ට කරගහනවා වගේ වැඩක් කියලා . ඒත් මේ ලගදි තමා දහදුරා වැඩ ටික හොයාගන්න පුළුවන් උනේ .

ඔයාලා දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව කියලා . කාලයක් මම මේ එක එක වංශවල ආශ්‍රය කරලා බැලුවා . එයාලගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා . මම කුල බේදය උඩට ගන්නවා නෙවේ . ඒත් ඒ අයගේ වෙනසක් තියෙනවා . කතාබහ හැසිරීම අනං මනං . ඒවා මෙතනට ඕන නෑ . මම ගජමන් නෝනාගේ වරිගේ සනුහරේ ගැන හොයනකොට තමා මේ දහදුරා වැඩ ගැන දැනගත්තේ .

ගජමන් නෝනත් දුරාව කියන වංශයට අයත් කෙනෙක් . දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ

1 අන්නානි 
2 බන්නානි 
3 ඒනාදී
4 මගුල්
5 සිද්දත්තු
6 විද්දත්තු
7 අලිබද්දු
8 බලිබද්දු
9 පට්ටී
10පොරවකාර



අන්නානි
======

දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .

බන්නානි
======

අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය . මුලින්ම ඇතෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මේ ඒක නිසා තමයි ඔන්න .






ඒනානි
=====

නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .

මගුල් 
=====

රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .

සිද්දත්තු
======

වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .

වීද්දත්තු
======

ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .

අලිබද්දු
======

ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .

බලිබද්දු
======

දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .

පට්ටි 
====

ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .

පොරවකාර 
========

රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .

ඔන්න ඔහොමයි දහදුරා වැඩ සිද්ද උනේ . අපේ ආච්චි අම්මා අදටත් හිටියනම් ආච්චිඅම්මා එක්ක විවාදයක් දාන්න තිබ්බා මට කිව්ව කතාව ගැන . හිහිහිහිහිහිහි ........

එහෙනම් තව මොනවා හරි ලට්ට ලොට්ට ටිකක් අරගෙන එන්නම් . කරාව වංශය ගැන දීර්ඝව ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා . බලමු ඉස්සරහට ලියන්න පුළුවන් වෙයිද කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment:

  1. අපේ අම්මත් කියනව මං ගෙදර එන්න පරක්කු වුණාම දහදුරා වැඩ ඔක්කොම කරන්න ගියාද පරක්කු වුණේ කියල, ඔය කීපයක් ඇරුණම අලි අල්ලන ඒවා එහෙම කරලත් තියෙනව.

    ReplyDelete