ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 9 ) ( නිල් මැණික් / කාකනිල් - Blue sapphire / Dark blue sapphire )






මැණික් සම්බන්ධ අපේ කතා බහේ ඊළඟ මැණික් වර්ගය විදියට මම සාකච්ඡාවට ලක් කරන්නේ නිල් මැණික් භාවිතය සම්බන්ධව . නිල් මැණික් සහ කාකනිල් මැණික් තමයි සාමාන්‍යයෙන් අධික ඉල්ලුමක් තියෙන මැණික් වර්ගය වෙන්නේ . සෙනසුරුට අයත්වෙන මැණික් වර්ගය නිසා කියලා තමයි මගේ නම් අත්දැකීම තියෙන්නේ . මොකද ගොඩක් දෙනෙක් අනිත් ග්‍රහයින්ගේ අපල වලට වැඩිය බය නොවුනට සෙනසුරු අපල වලට බය වෙන නිසා . සමහරු සෙනසුරු කිව්ව ගමන් කාකනිල් දාන්න කියලාත් කියනවා . ආකල්පමය අවුලක් තමයි එතන වැඩියෙන්ම තියෙන්නේ . ඒ කෙසේ වෙතත් නිල් මැණික් භාවිතය සම්බන්ධව වැඩි නැඹුරුවක් සමාජයේ තියෙනවා . අපි බලමු මොකක්ද මේ නිල් මැණික් සහ කාකනිල් මැණික් කියලා දෙකක් ගැන කියන්නේ කියලා .


සාමාන්‍යයෙන් සෙනසුරු අපල වලට අතීතයේ ඉඳලා පැළඳගෙන ඇවිත් තියෙන්නේ ඉන්ද්‍රනීල මාණික්‍ය . පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ ඉන්ද්‍ර නීල මාණික්‍ය පළඳින්න කියලා . ඒත් පසු කාලීනව මේ ඉන්ද්‍ර නීල මාණික්‍ය වල දුර්ලභ බව නිසා ඒවායේ මිල එන්න එන්නම වැඩි වුණා . ඒ නිසා සාමාන්‍ය කෙනෙක්ට මිලදී ගන්න බැරි තත්වයක් ආවා . ඊට පස්සේ තමයි ඔය කාකනිල් මැණික් ආදේශකයක් විදියට භාවිතා කරන්න ගත්තේ . දෙකම එක වගේ ගුණ ලබා දෙනවා . දුර්ලභ සුලභ තාවයන් නිසා තමයි මේ මැණික් වර්ග මාරු වුණේ . ඒ ඇරෙන්න වෙන ගැටළුවක් නැහැ .





කාකනිල් මැණික් සම්බන්ධව කතා කරනකොට මිලදී ගැනීම් වලදී වැඩි ප්‍රමාණයක් ගැටළු වලට මුහුණ දෙන්නෙත් කාකනිල් මිලදී ගැනීම් වලදී තමයි . මොකද කාකනිල් වෙනුවෙටත් ආදේශක මැණික් වර්ග තියෙනවා . ඔට්ටු කියන ගල් වර්ගය තාප කිරීම මගින් තද නිල් බවට හරවලා කාකනිල් කියලා විකුණනවා . ඒ නිසා කාකනිල් ගල් තේරීම වගේම මිලදී ගැනීමත් ගැටළු සහගත තත්වයක පවතිනවා . ඔය ගැටළුව නිසාම අපි රත්නපුරෙන් කාකනිල් මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ සහතික පත්‍රයක් එක්ක මිලදීගන්න ඉඩ සලසා දෙනවා . ඒ සහතික පත්‍රය මැණික් හාස්වර්නාභරණ අධිකාරියෙන් නිකුත් කරන්නේ මැණික් ගලේ බර , දිග පළල උස සහ හැඩය හරියට සටහන් කරලා . ඒ වගේම ස්වභාවික මැණික් ගලක් කියලා ඒ සහතික පත්‍රයේ සටහන් කරලා තියෙනවා . ඒ නිසා විශ්වාසවන්ත භාවය සම්බන්ධව ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ .





පොදුවේ නිල් මැණික් භාවිතා කරන්නේ සෙනසුරු ග්‍රහයා සම්බන්ධ අපල වලට . සෙනසුරු ග්‍රහයා සම්බන්ධව මම වැඩි වශයෙන් විස්තර කරන්නේ නැහැ . මොකද සෙනසුරු ග්‍රහයා සම්බන්ධව විස්තර කරලා අවසාන කරන්න බැහැ . පුරාන සෘෂිවරුන්ගේ අදහස් උදහස් අනුවත් , පසුකාලීන ආචාර්ය වරුන්ගේ මතය අනුවත් , දැනට ඉන්නා ජ්‍යෝතිෂ වේදීන්ගේ යම් යම් පර්යේෂණ අනුවත් සෙනසුරු ග්‍රහයා විවිධ විදියට මිනිසුන්ට කරන බලපෑම් සම්බන්ධව විග්‍රහ කෙරෙනවා . මගේ මතය නම් සෙනසුරු කියන්නේ මිනිසුගේ පවු පින් සමතුලනය කරන කෙනෙක් කියලා . සෙනසුරුට අයත් ශක්තිය මිනිසුන්ගේ හොඳ නරක ඒ ඒ කාල වලදී පල දීමට ලක් කරනවා කියලයි මම නම් දකින්නේ .





නිල් මැණික් සම්බන්ධව ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට .

" ජල නීල ඉන්ද්‍ර නීල යන විසින් නීල මාණික්‍යය දෙවැදෑරුම් . ඒ අතුරෙහි ඉන්ද්‍රනීල මැණික ශ්‍රේෂ්ට ය . ඇතුළත සුදුපාට අභාවක් දිස්වන්නා වූද , සැහැල්ලු වූ ද නීලය ජලනීල නමි . ඇතුළත කළුපාට ආභාවක් දිස් වන අතර බර ද වූ නීලය ඉන්ද්‍රනීල නමි .

එක් වර්ණයෙකින් යුක්ත බව , බර බව , සිනිඳු බව , පැහැදිලි බව , පිණ්ඩාකාර බව , මෘදු බව , මැද කොටසෙහි ජ්‍යෝතිය ඇති බව යන මේ සත් වැදෑරුම් නීල රත්නයෝ ශ්‍රේෂ්ටයහ . ජල නීල මැණික් ද කෝමල හෙවත් පංචවර්ණ බව , විභිත හෙවත් අඩෙක ඒක වර්ණය හා අඩෙක පංචවර්ණයද ඇති බව ,රළු බව , බර නැති බව , ලේ ගඳින් යුක්ත බව , පැතලි බව , සියුම් බව යන විසින් සත් වැදෑරුම් යැ . නිල් මැණික් ස්වාස කාස නසයි . වෘෂ්‍ය ය . තුන් දොස් නසයි , ගිනි දල්වයි , විෂමජ්වර අර්ශස් පාප යන මේවාද වනසයි "


රස රත්න සමුච්චයේ දැක්වෙන මේ ගුණ මගින් ලෙඩ රෝග වැඩි ප්‍රමාණයකට බෙහෙත් වර්ග නිපදවීම සිදු කරනු ලබනවා .

ජ්‍යෝතිෂ විද්‍යාවේදී නිල් මැණික් භාවිතා කරන්නේ සෙනසුරු සම්බන්ධ ගැටළු සමනය කරගන්න .

සෙනසුරු එරාෂ්ටක සහ සෙනසුරු බලවත් වීම් වලදී ලැබෙන හොඳ නරක පාලනය කරගන්න නිල් මැණික් භාවිතා කෙරෙනවා . ඒවායේදී කිරණ ඇතුළු වීම පිට වීම වගේ විවිධ ක්‍රම වලින් සෙනසුරු අපල පාලනය කිරීමක් නිල් මැණික් වලින් කරනු ලබනවා .













තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment