ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 5 ) ( මුතු Pearl )





අමෘත කිරණ රසරම්‍ය ප්‍රවාහම්
ලලිත ලලිත ලාවන්‍ය ලලාමම්
ගධිත මහිත මාධුර්ය මනෝධ්‍යම්
තම් නමාමි සාන්ද්‍රෝදය චන්ද්‍රම්


ආලෝක විද්‍යාව , එහෙමත් නැත්නම් ජ්‍යෝතිෂ විද්‍යාව හා සම්බන්ධ කරගෙන මැණික් භාවිතා කිරීම පිලිබඳ අපි කතා කරගෙන ආව ලිපි මාලාවේ ඊළඟ ලිපිය විදියට මම ලියන්න කල්පනා කරේ මුතු බෙල්ලන්ගෙන් ලැබෙන මුතු සම්බන්ධව . මේ දවස්වල මගේ අතෙත් වැඩිපුර මුතු ඇට ගැවසුන නිසා මුතුවල තියෙන විශේෂතා මොනවද ? කොහොමද මුතු වර්ග වෙන්නේ කියලා යම් අදහසක් ඇතිකරගන්න පුළුවන් වුණා .

මුතු අයත් වෙන්නේ චන්ද්‍රයාට . ඒ නිසා චන්ද්‍රයාගේ අපල සහ ගුණ අගුණ පාලනය කිරීමට තමයි මුතු භාවිතා කරන්නේ . ග්‍රහ කිරණ සම්බන්ධව මුතු ඇතුළුව මැණික් කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඉතින් ආයෙත් පැහැදිළි කරන්න ඕන නැහැ කියලා මම හිතනවා . මොකද ඒ ගැන මුල ලිපිවල යම් යම් තැන්වල මම සටහන් කරලා තියෙන නිසා .




චන්ද්‍රයා කියන්නේ ඉතාම සෞම්‍ය ග්‍රහයෙක් . කේන්දරයක පලාපල කථනය , විවාහ පරීක්‍ෂාව ඇතුළුව සියළුම ජ්‍යෝතිෂ කටයුතු වලදී චන්ද්‍රයාට ඉතාමත් වැදගත් තැනක් හිමි වෙනවා . විශේෂයෙන්ම විවාහ පරීක්ෂා වලදී ගැළපීම් නොගැළපීම් පරීක්ෂා කරනකොට චන්ද්‍රයාගේ ගති ස්වභාවය සහ චන්ද්‍රයා කොහොමද කේන්දරේ තැම්පත් වෙලා ඉන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලනවා .

ඒවගේම තමයි චන්ද්‍රයා මානසික ස්වභාවයට අධිපති වෙනවා . ඒ නිසා කෙනෙකුගේ මානසික තත්වය පරීක්ෂා කරන්න සහ මානසික වියවුල් කොහොමද බලපාන්නේ කියලා පරීක්ෂා කරන්නත් චන්ද්‍රයාගේ තැම්පත් වීම පරීක්ෂා කෙරෙනවා .

කෙනෙක් උපන් අවස්ථාවේදී චන්ද්‍රයා තැම්පත් වෙලා හිටපු නැකත තමයි තමන්ගේ ජන්ම නැකත කියලා ඉදිරියට පාවිච්චි කරන්නේ . ඒ නිසා චන්ද්‍රයාගේ ඒ අවස්ථාව කෙනෙකුගේ නම් තැබීමේ ඉඳලා සියළුම ජීවිතයේ විශේෂ අවස්ථා වලට අදාළ වෙනවා .




සෙනසුරු එරාෂ්ටක ලැබීමේදී , ජන්ම එරාෂ්ටක උදාවීම වෙන්නේ චන්ද්‍රයා උපතේදී තැම්පත් වෙලා ඉන්න භාවයට සෙනසුරුගේ චාරයෙන් පැමිණීම . ඒ අවස්ථාවේදී ත් චන්ද්‍රයා වැදගත් ස්ථානයක් ගන්නවා . විවාහ වලදී කතා කෙරෙන කුජ දෝෂ ඇතිවීම චන්ද්‍රයාට සාපේක්ෂව කුජ තැම්පත් වෙලා සිටින ස්ථානය අනුවත් විග්‍රහ කෙරෙනවා .

ඔය වගේ තවත් විශාල පැතිරුණු ප්‍රදේශයක් මේ චන්ද්‍රයාගේ ජ්‍යෝතිෂ විද්‍යාවේ යෙදිලා තියෙනවා . ග්‍රහ මණ්ඩලයේ අග රැජින විදියට සලකන චන්ද්‍රයා චෙස් බෝඩ් එකක ක්වීන් කියන ඉත්තාගේ චරිතයට සමානයි කියලා තමයි මම සාමාන්‍යයෙන් පැහැදිළි කිරීම් කරනකොට උදාහරණයක් විදියට ගන්නේ . ඒ නිසා චන්ද්‍රයාගේ මේ ගති පැවතුම් සමනය කරන්න භාවිතා කරන මුතු ඉතාමත් වැදගත් ස්ථානයක ජ්‍යෝතිෂ විද්‍යාවේ තියෙනවා .




ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මුතු ගැන මට මුලින්ම කියවන්න ලැබුනේ රස රත්න සමුච්චය කියන පොතේ. රස රත්න සමුච්චය රචනා කරපු වාග්භට ආචාර්යවරයා මුතු ගැන මෙන්න මෙහෙම සටහන් කරලා තියෙනවා .

මුතු - සැහැල්ලුය , සීතලය , මිහිරි රසය , කාන්තිය වඩයි , දෘෂ්ටි ශක්තිය - පුෂ්ටිය - කුසගින්න යන මේවා උත්කර්ෂවත් කෙරේ . විෂ පහ කෙරේ , විරේචකය , වීර්යය වඩයි , මුහුදින් ලබා ගන්නා මුතු දීප්තිමත්ය , පරිණාම ශූලය , යුහුව ශාන්ත කෙරේ .

රළු අවයව ඇති බවය , වියලි බවය , ශ්‍යාචවර්ණ බවය , තඹවන් බවය , ලුණු බඳු බවය , අඩක් සුදුවන් බවය , විකටාකාර බවය , ගැට සහිත බවය , යන ලක්ෂණ වලින් යුතු මුතු වර්ජණය කරන්නේය .

මුතු සෙම් පිත් ක්ෂය රෝග , කාස , ශ්වාස , මන්දාග්නි , යන මේවා විනාශ කෙරේ ; පුෂ්ටිය සලසයි ශුක්රය සහ ආයුශයද වඩයි , කාන්තිය ඇති කෙරේ .





ඔන්න ඔහොමයි රස රත්න සමුච්චයේ මුතු ගැන සඳහන් වෙන්නේ . මට මුලින් කියන්න අමතක වුණා වුණා රස රත්න සමුච්චය ලියවිලා තියෙන්නේ රස වෙදකම ගැන කියලා මතක් කරන්න . ඒවගේ ගුණ සමූහයක් සහිත නිසා තමයි මුතු ඇට ඖෂධ නිපදවන්න යොදාගන්නේ .

 මුතු සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට ලබාගන්නවා . එකක් තමයි මුහුදේ සාමාන්‍යයෙන් ස්වභාවිකව බෙල්ලන්ගේ ශරීරයේ ඇතිවෙන මුතු ලබා ගැනීම . අනික් ක්‍රමය තමයි මුහුදෙන් අල්ලාගන්නා බෙල්ලන්ගේ ශරීරය තාවකාලිකව විවර කරලා ශරීරයට ඇතුළු කරන ආගන්තුක අංශු මගින් මුතු නිපදවීම උත්තේජනය කරලා මුතු ලබාගැනීම .

වැඩිදුර මුතු ගැන තොරතුරු පරීක්ෂා කරලා බලනකොට දැනගන්න ලැබුණේ මේ වර්ග දෙකේම රසායනික සංයුතියේ වෙනසක් නැති බව . ඒත් කල් පැවැත්ම බලනකොට ස්වභාවිකව බෙල්ලාගේ ශරීරයේ ඇතිවෙලා කාලයක් තිස්සේ තියෙන මුතු වැඩි කාලයක් පවතිනවා . මොකද ඒවායේ තද ගතිය ඉතාම වැඩි නිසා . ඒ ඇරෙන්න මොන මුතු වර්ගය වුණත් ඖෂධ වශයෙන් සහ ආභරණ වශයෙන් එකම ගුණ ලබා දෙනවා .




මුතු ඇට නිපදවීම වෙන්නේ බෙල්ලාගේ ශරීරයට ඇතුලුවෙන ආගන්තුක අංශුව වටා බෙල්ලාගේ ශරීරයෙන්ම නිකුත් කරන ශ්‍රාවයක් ඝනී භවනය වීම මගින් . ආගන්තුක අංශුව ශරීරයට ඇතුළු වුණාම ඇතිවෙන තත්වය පාලනය කරගන්න තමයි බෙල්ලන්ගේ ශරීරයෙන් මේ යාන්ත්‍රණය ඉබේම ඇතිවෙන්නේ . කාලයක් තිස්සේ එහෙම ශ්‍රාවය වීම නිසා මුතු ඇතිවෙනවා .

මුතු ඇට විවිධ හැඩ ගත්තත් සාමාන්‍ය හැඩය ගෝලාකාරයි . විවිධ වර්ගයේ ආභරණ වලට මුතු ඇට අල්ලනවා . ඒවගේම මුතු ඇට විදලා මාල විදියට අමුණලා පාවිච්චි කරන අවස්ථාත් දකින්න ලැබෙනවා .









තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment