මලයාල නාග වෛරෝඩිය ( 7 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" ගුරුන්නාන්සේ අපිට කන්න උයාගන්න මොනවාහරි ගන්න මම කඩ මංඩියට ගිහින් එන්නම් . එතකල් ටිකක් වාඩිවෙලා ඉන්නකෝ "

" හොඳයි දරුවෝ . අපි මෙහෙන් ඉන්නම් . හැබැයි කා එක්කවත් කියන්න එපා අපි මෙහෙ ආවා කියලා . මේ වත්තත් විසාල නිසා කාටවත් වැඩිය පේන්නෙත් නැහැ . ඒත් කියන්න එපා . අපි තව දවස් දෙකක් ඇතුලත මේ රාජකාරිය අහවර කරලා ගමෙන් පිටත් වෙලා යනවා . එතකල් අපි ගමට ආව එක රහසක් විදියට තියාගන්න . අද රෑම අපිව එක්ක යන්න නිධානය නිධන් කරලා තිබුණු තැනට  "

" ඒ මොකටද ගුරුන්නාන්සේ ? "

අද එතැන්සිට

 " වැඩි දවසක් මේ රාජකාරිය වෙනුවෙන් ගත කරන්න මම කැමති නැහැ දරුවෝ . මොකද මේ ගැන කාට හරි ඉවක් වැටුනොත් අපි ගැන සැක හිතන්න පුළුවන් . අද රෑටම නිධානය තියෙන තැනට ගිහින් මේ වැඩේ එක කෙළවරක ඉඳලා ඉවර කරන්න පටන් ගන්න ඕන . දැන් ඔය නාග වෛරොඩියට මුලින්ම බන්ධනය කරලා තිබ්බ අමනුස්සයෝ නිදහස් කරන්න හරියට ගුරුකම කරලා නැහැ නෙව . ඒ නිසා ඒ බන්ධනය කඩලා දාන්න ඕන ඉස්සර වෙලාම "

" මොනවද ගුරුන්නාන්සේ ඒකට ගේන්න ඕන "

" මොනවත් ඕන නැහැ . මට දෙහි ගෙඩි ටිකක් විතරයි ඕන . මම වලව්වෙන් එනකොට දෙහි ගෙඩි ටික අරගෙන ආවා . වතුර භාජනයක් විතරයි ඕන . රෑ වෙලා ඒ පැත්තට යනකොට එළියක් අරගෙන යන්න වෙයි . එහෙම ගියාට කමක් නැද්ද ? "

" කමක් නැහැ ගුරුන්නාන්සේ . අපි රෑ එකොළහට විතර යමු . එතකොට කවුරුවත් අවදියෙන් ඉන්න එකක් නැහැ . මම එහෙනම් කන්න මොනවාහරි අරගෙන එන්නම් "

අනුර අයියා එසේ කියා පිටත් වී ගියේය . පසුව සීයා සහ මම නැවතත් කතාවට එක් විය .

" සීයේ මේ වෙලාවට කඩවල් ඇරලා තියෙනවද ? . දැන් රෑ වෙලා හොඳටම "







" සමහරවිට මේ ගම්වල රෑ වෙනකල් කඩ ඇරලා තියෙනවා ඇති . අර ළමයා කන්න මොනවා හරි අරගෙන එන්නම් කියලනේ ගියේ . අපි ඕවා ගැන වැඩිය නොහිතා අපි භාරගත්ත රාජකාරිය ඉෂ්ට සිද්ද කරලා ඉක්මනට ගමට යමු . මගෙත් හිතට හරි නැහැ මේ කරන්නේ හොරකමක් වගේ දෙයක් නිසා .

හැබැයි ඒත් ඒ දේ කරන්නේ ඒ නිසා මිනිස්සුන්ට යහපතක් සිදුවෙන නිසා . නැත්නම් මම මේ වැඩේට අත තියන්නේ නැහැ . නිධන් වදුල බැලුවමත් මට තේරෙනවා මේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා . ඒ නිසා අපි මේ වැඩේ ඉවර කරලා ඉක්මනට පිටත් වෙලා යමු "

" මටනම් අනුර අයියගේ වෙනසක් තේරෙනවා . එන්න එන්නම එයාගේ හැසිරීම අමුතුයි කියලා මට හිතෙනවා "

" ඒ මොකද පුතේ ? "

" මට කියන්න තේරෙන්නේ නෑ . ඒ උනාට මහා අමුත්තක් තියෙනවා . සමහරවිට අපේ පළාතේ නෙවි නිසාද දන්නේ නැහැ . මට හිතාගන්න බැහැ . බලමුකෝ එයා එන්නේ මොකටද කියලා "

අනුර අයියා වැඩිවෙලාවක් ගතවන්නට මත්තෙන් නැවතත් පැමිණියේය . ඔහු අප තිදෙනාට පිසින ලද ආහාර ලෙස බත් , පොල් සම්බෝල , සහ පොලොස් ඇඹුල රැගෙනවිත් තිබිණි . එම ආහාර වෙනම භාජන වලට බෙදා තිබුණු අතර එම භාජන මල්ලක අසුරා පරෙස්සමට ඔහු රැගෙන ආවේය .

" කොයින්ද ළමයෝ මේ කෑම බීම අරගෙන ආවේ ? "

" අපේ නැන්දා කෙනෙක් ඉන්නවා ගුරුන්නාන්සේ මේ කිට්ටුව . මම නැන්දට කියලා එහෙන් කෑම ටිකක් ඉල්ලගෙන ආවා . කඩ වහලා . අනික ඉතින් ඒවා ගෙනාවා කියලා උයලා කනකොට අපේ රාජකාරියට යන්නත් ප්‍රමාද වෙයිනෙ "

" ඔය ළමයා නැන්දට කිව්වේ කවුරු ආවා කියලද ? "

" මම කිව්වා ගුරුන්නාන්සේ , මගේ අඳුරන යාළුවො දෙන්නෙක් හදිස්සියේම ආවා , එයාලට කන්න දෙන්න ඕන කියලා. ඊට පස්සේ තමයි නැන්දා කෑම බෙදලා දුන්නේ "

" ඔය ළමයාගේ නැන්දට එහෙනම් පිං සිද්ද වෙන්න ඕන . අපි එහෙනම් දැන් විගහට කාලා බීලා , උවමනා කරන ඒවත් අරගෙන නිධන් ගල තියෙන තැනට යමු "

අනුර අයියාද සීයාද මමද අනුර අයියා රැගෙන ආ කෑම කා නිධන්ගල තිබෙන ස්ථානය බලා පිටත් වීමු . මේ සඳහා කරත්තයෙන් යෑමට සීයා කැමති වූයේ නැත . අනුර අයියාද කියා සිටියේ පයින් යන්නට වන බවය . එබැවින් අපි කරත්තය අනුර අයියාගේ නිවසේ ගාල් කර පයින්ම ගමන පිටත් වීමු . ගෙනයෑමට තිබුණේ දෙහි පාර්සලයත් ගිරයත් වතුර ගැනීමට භාජනයකුත් පමණි . අනුර අයියා හුළු අත්තක් පත්තු කර අප සැමට ආලෝකය සපයමින් මග පෙන්වීය . ඔහු අතේ තවත් නොදැල්වූ හුළු අත්තක් වූයේ අවශ්‍ය වුවහොත් පාවිච්චියට ගැනීමටය .

අනුර අයියාගේ නිවස පිහිටා තිබුණේ ගමේ කෙළවරකට වන්නටය . එම වත්ත ඉතා විශාල වත්තක්ය . පාරේ සිට නිවසට තරමක දුරක් තිබේ . නිවස දෙස බලනවිට පාරේ සිටින්නෙකුට උවද නිවසේ සිටින්නේ කවුද කියා පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකිය . අපි තිදෙන නිවසින් පිටත්ව පාරට පිවිසියෙමු .

පාර දිගේ තරමක් දුර ගමන් කරනවිට අනුර අයියා මහ පාරෙන් ඉවතට අපව කැඳවාගෙන ගියේය . එය සැබවින්ම මහ විශාල ගස් සහිත ඝන කැලෑවකින් හෙබි ප්‍රදේශයකි . රාත්‍රී අන්ධකාරය වූ හෙයින් එම ගස්වල උස පිලිබඳ මාහට හැගීමක් නැති වුවද හුළු අත්තේ එළියෙන් පෙනෙන ගස් වල කඳන් වලින් එය ඝන වනාන්තරයක් බව ඕනෑම කෙනෙකුට වටහාගත හැකිය .





මෙම වනාන්තරයේ සමතලා භූමි ප්‍රදේශය පසු කල අපි අනතුරුව පිවිසියේ තරමක ගල් කුළු සහිත දුෂ්කර මාර්ගයකටය . අනුර අයියා සීයාගේ අතින් අල්ලා දුෂ්කර ස්ථාන වලින් සීයා එතෙර කරවීය . අවසානයේ අපි තුන් දෙනා අපගේ ගමනාන්තය වෙත සම්ප්‍රාප්ත වීමු .

" මේ තියෙන්නේ ගුරුන්නාන්සේ නාග වෛරෝඩිය තැම්පත් කරලා තිබුණු තැන . මෙතන මෙහෙම නෙවෙයි කලින් තිබුණේ . අර අතන තියෙන ලොකු ගල් කුට්ටි වලින් වටකරලා තිබුණේ . ඒත් නිධානය ගත්ත අය ඒවා පැත්තකට කරලා තමයි මෙතනින් නාග වෛරෝඩිය අරගෙන තියෙන්නේ "

" එහෙනම් ඔය ළමයා පැත්තකින් ඉඳගෙන ඉන්නකෝ . මේ දෙහි ගෙඩි ටික කපලා මේ තැනට බැඳලා තියෙන අමනුස්සයෝ ටික අපි නිදහස් කරමු . එතකොට එයාලට මේ නිධානය එක්ක සම්බන්ධයක් නැහැ . එතකොට නාග වෛරෝඩිය ගත්තා කියලා මේ අයගෙන් අපිට කරදරයක් අතුරු ආන්තරාවක් වෙන එකක් නැහැ "

" හොඳයි ගුරුන්නාන්සේ "

" දරුවෝ , පොඩි ප්‍රශ්නයක් තියෙනවා . මේ භාජනයට වතුර ටිකක් ඕන මේ දෙහි ගෙඩි කපලා දාන්න . බන්ධන කැපිලද කියලා බලාගන්නත් එපාය . ඒකට වතුර තියෙන්නම ඕන මේ භාජනයේ "

" ඉන්න ගුරුන්නාන්සේ මේ කිට්ටුව දියපාරක් තිබුණා . මම වතුර අරන් එන්නම් "

අනුර අයියා වහා ක්‍රියාත්මක වී අනෙක් හුළු අත්ත දල්වාගෙන ගොස් වතුර දැමීමට ගෙන ආ භාජනයට වතුර පුරවා රැගෙන ආවේය . සීයා එය නිධානය වලලා තිබුණු වල අසල බිම තබා දෙහි පාර්සලය විවෘත කළේය . එහි දෙහි ගෙඩි 20ක් පමණ තිබිණි සීයා ඒ සියල්ලටම වතුර ස්වල්පයක් ඉස්සේය . අනතුරුව කහ කුඩු ස්වල්පයක් ගෙන දෙහි ගෙඩිවල තවරා ඉතිරි කහ කුඩු ස්වල්පය වතුර භාජනයට දැම්මේය . ඉන් පසුව තම ඉනෙහි රඳවා තිබුණු ගිරය අතට රැගෙන මන්ත්‍ර පිරීම ආරම්භ කළේය . කොඩිවින කපන මන්ත්‍ර , ප්‍රේත බන්ධන කපනු ලබන මන්ත්‍ර කීපයක්ම සීයා විසින් මේ සඳහා අවධි කළේය .





ඕන් මංකාර යක්ෂනී ප්‍රතාඩි ගිඩි ගිඩි ත්‍රිජාතා හරෙ කයිර ශිව ශිව ගුරු කලී එරි පැතලි වන්ද ගිනි කාල ඉලොඩිර යක්ෂනි පත්‍රස් ත්‍රිජාත හාරෙ කයිර යව ශිව ගුරු කාලී එරි එරි පතලි වන්ද ගිනි කාල ඉරලාඩි ඕඩු ඕඩු පත්‍රකාලි ශිවයන් ප්‍රලාඩි ජවර උරුවන්දයි වයුන් ප්‍රල ප්‍රල ගිඩි සුර කයිරවා කාකෙ කාඩුම් බන්ධන ඉගිල ඔරුකාල් පටත්‍රචි ශිව නමඃ ඕන් ශිව නපඩි පුඩි ශලිත ශලිත ඊස්වරයා තෙ පටත්‍ර ඩිකයිර යුත් කරුවාල පත්තිනානේ පුර යුම් තානුම් ගුරුලාඩි පෙයුමි ඕඩිශලිත ශලිත ඊස්වරයානේ පටනාඩිකයුම් කරුවාල් පත්තිනානේ පුරයුනානුම් ගුරුලාඩි ප්‍රෙයුන් මඩිව පටත්‍රඩි ශිවන කාලි ගිනි ගිනි ප්‍රලාඩි ඇවිශසි කිලි කිලා දිෂ්ටි පෙයාරෙන්ද වාවා ශිවනාල් කාර ශනියන් හෙ හෙ ගුරුලා ඕඩු සර්ව බන්ධන ඕඩු ස්වාමියානේ ඕඩු ...............
ඕන් හත්‍ර මන්තා ගිඩි ගිඩි ප්‍රමෙස්වර කාලින් ආයිරවා ඉනේ ඕඩු පෙරියවානේ කාලි ශරයුම් වාවා පුර නමුක්කො ශිවගුරු දේවකායුම් ඕඩි වා වා පත්‍රචිෂෙයුන් ත්‍රිනාල් නච්චි නාගයුත් එලෙනද්‍රි පෙශ්‍ර ඉර නා තේ ඕඩි වා වා ජලරුඩෂත්‍ර ඉරලම් තොලි වයිර වර වර ආ ඉක්කොඩුම් කල වන්‍ද මුඩියෙල් මුත්‍රක්කු වා වා ඉරික්කා ශෙලූම් කයිර ගිනි ගිනි කයි උර්ල්ල බන්ධනම් ඕඩු ඉරින්ද පයිර ශිවයුම් කාලි ජවිර කනුම් ශිව කාලි ශ්‍රනියන් ත්‍රඩි ඉගිල පෙශ්‍ර පෙශ්‍රා ගිනි ගිනි එලෙන්දි ඕඩු ශිවකඃ ඕන් ඉරන්දකායි උල් ර්‍ල වානේ ඉරන්ඩ කොම්ඩුම් පටත්‍රාඩි ශිව කායිර කොනුම් කිලක්කවානේ ඉරින්ද මනයුත් උඩ දෙරි පත්‍රකාලි කුලි පුව ඉනේ පොගයුම් ඉරිතැ සක්‍රිමි ආරුඩ ඕඩු ගිනි ප්‍රල කාලි දෙරි දෙරි තොගු උඩ ශෙහම් මලක්ක පෙශයුම් ඕඩු එලෙත්‍රි නමඃ
ඕන් ගුරුලාඩි විශදුකි ජල හල පෙශ හජා හෙශා ප්‍රලායි ගිනි ගිනි ක්‍රලාඩි ක්‍රත්තු දෙ හත්ති හෙ හෙ ගිනි ගිනි ඕඩි වා වා ශ්‍රීක්ක වා ඉනේ ගිඩි ගිඩි බහු බහු කරායගේ එලෙනද්‍රි ශනියන් පොවු කයිවිර හානුම් ශිවකාල ශර බන්ධන ඕඩු ශර්‍ව බන්ධන චේදනම් තාරය නමඃ.
ඕන් නමඃ නාරායනේ ගිඩි ගිඩි විශි ගිනි සුනියන් රාං රිං හාං හ්‍රීං ශිගරාඩ කාලි ගිනි ගිනි දෙහෙදු දෙහෙදු යං යං ප්‍රල ප්‍රල ක්‍රීමි ක්‍රිමි කොම් පෙශ්‍රදිරිකමලවයිර තේයි වනාරායනේ කාලිද ශ්‍රීං හරහංක දිර පුරවාතේ ඕඩු ඔඩු ගිනි කාල බන්ධනම් එලෙන්ද්‍රිකාලි යානේ ගිනි ගිනි නමඃ

ඕන් නමෝ නමෝ ස්තු නාරාය නමෝ විෂ්නු නමෝ ස්වර්ණ නමෝ බහුලි පටල නමෝ අග්නි නමෝ බ්‍රහ්ම විෂ්නු මහේස්වර හි නාථෙස්වර ලෝකේස්වර ප්‍රමේස්වර වෙසමුනි අතිංභ්‍යාම ප්‍රභා කේතුමාලා ලංකාරයෙන් විරහිත රහිත වු දේවාංගනයෙන් ප්‍රහීන හවන වන ආඥාවෙන් ප්‍රහීන වු උතුරු කුරු දිවයින අපර ගෝධානය පුර්ව විදේශය ජම්බුද්වීපයෙහි සත්ත කූට පර්‍වත නවය අතුරෙහි වසන යක්ෂ රාක්ෂ පිසාච කුම්භාන්ඩ කුම්භාණ්ඩියන් අතුරෙහි සතිස්ලක්ෂ වට තුන්සිය පනස් යොදුං මේ දඹදිව භූමියෙහි තිබෙන කෙබදු නුවරෙක්ද ඉරා සරා නුවරෙක්ද සදසරා නුවරෙක්ද කොයියන බැව් වෙසමුනි රජ්ජුරුවන්ට ජාතකව පරංපරාවෙන් පැවැත ආවා වු තුන්ධ්‍රෙනිමිනි පිරියෙන් තුන් දෙනාගෙන් පැවැත ආවා වු සදසලා නුවර උපන් සරස්වතිය ඉරසරා නුවර උපන් භද්‍රකාලිය ඉදිපන් නුවර උපන් වෛද්‍යාඟ කාලීය සදසලා නුවර උපන් උමයංගනා දේවි ප්‍රධාන කොට අසූ හාර ලක්ෂයක් යකුන් යක්ෂනියන් පිරිවරාගෙන අගහරුවාදා විසා නැකතින් තුදුස්වක් ලත් කුම්භලග්නයෙන් කාල ශ්‍රී යක්ෂයා උපන්නාහ දෙවෙනි දොලොස් අවුරුදු සාරමසක් ගිය තැන බක් මස බ්‍රහස්පතින්දා උත්ත්‍රපල් ගුනෙ ධනු ලග්නයෙන් මහා බහිරවයා උපන්නා නැවත ආනන්ද බහිරවයා උපන්නා මූර්තු බහිරවයා උපන්නා හාකාල බහිරවයා උපන්නා හා අකාල බහිරවයා උපන්නා හා භූත බහිරවයා උපන්නා අභූත බහිරවයා උපන්නා එවිට දෙවියෝ මෙ ශ්‍රී ලංකා ද්විපය නොතිඛෙයි කියා අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේට ශැල කල කල්හි එවිට සර්වඥයන් වහන්සේ යකුංට නායක වු මේ රත්නවාමුන්ඩි මන්ත්‍රය වදාල සේක එවිට බහිරවයෝ අට දෙනා අට කොන බැදී ගියා හා එකල්හි කෙල ලක්ෂයක් සක්වල අඥ තේජසින් සත්තකූට පර්වතවල් පිටට නමා ගැසි ගැසි විසිර විසිර ඇසිර ඇසිර සමහන් දිදි අහස උනුවයි පොලොව උනුවයි සක්වල උනුවයි සත්ත කූට පර්වත උනුවයි හිමාල ගල් උනුවයි මෙර ගල් උනුවයි පන්සිය හැත්තෑ දහසක් ගංඟා වලදි යවර උනුවයි ස්වායු දහසක් ගැඹුර මහ මුහුදේ දියවර උනුවයි හිමාල කූට පර්‍වත උනුවයි උක්ෂ රාජයෝ හිනිවදී සාර ලක්ෂයක් යක්ෂයෝ නැතිව අඩ අඩා බිය පත් උනු බව දැක සවනක් ගණ බුදුරැස්මාලාවෙන් ඔහුන් අසුවා ගෙන මැද්ද මණ්ඩල වජ්‍රාසන මස්ථකයට ගෙන්නවාගෙන කෙල ලක්ෂයක් සක්වල පැතිර සිටින රුවන් සුත්‍රය වදාල කල්හි යක්ෂයින්ට ඉන්ට තැනක් නැතිව ශ්‍රී පාද පත්මයට අඩා වැටී ස්වාමින් වහන්ස කවර තැනක සිටිමුදැයි කියා අඩා වැටි සැලකල කල්හි විමානයක් දෙවයි කියා සැරියුත් මුගලන් ආනන්ද මහතෙරුන් වහන්සේට වදාල කල්හි කුමාර වීදිය වටුක වීදිය නාඟ වීදිය දෙමල වීදිය ඩඩ්ඩි වීදිය බහිරව වීදිය රනිකං වීදිය විෂ්නු වීදිය අලියන් වීදිය රඹකන් වීදිය දහ අටක් කුලේද හ සමයන්වල යක්ෂයිංට දොල පිදේනි ගනුවයි කියා වදාරා රඹ තොරණ් රන් තොරණ් මුතුමැනික් වෛයිරෝඩි ලෝහතන්කම සාරගලිං සරහා සොදිං විදියක් කොට බත් බුලත් කස්තුරි කපුරු ආදි දෙයින් සමලංක්‍රිත කොට පුපාදොලොස් රසයෙන් අටකොන තනා ගැට බෙර පනා බෙර ලෝ බෙර දවුල් තන්මැට්ටන් මද්දිලි මකුටන් පංච සුර්‍යනාද කොට යකුන්ට දොල කෙලි දෙමින් භ්‍යාම ප්‍රභා කේතුමාලාලංකාරයෙන් විරාජ මාන වු සිවු ශටක් සිල්ප ශාස්ත්‍රයෙන් නිපුන උනා වු මෙමාගේ ඉස් මුදුනේ ධරා කියන කමාවචරය දිව්‍ය පුත්‍රයන් අසු කරමින් රන් දැල් රිදී දැල් ගෙන සරසමිං සත්තකූට පර්වත කාමාවචර පර්‍වතවල් අතුරෙහි ගිනිදැල් තන වමින් අහස ඉරා යන්නේන් දොහෝයි අහසට ගිනිදැල් හැරියේ වී පොලොව ඉරා යන්නෙන් දොහෝයි පොලවට විදුරු දැල් හැරියේවි කෙසේ ගිනි කදක් දොහෝ තාපය ප්‍රතාපය රවුරවය අවීචිය යන අට මහා නරකයෙන් ගත් ගිනිජල් යකුං සිටි සිටි තැනට ගැසීමි යකුන් බියපත් කලෙමි අළු දුවිලි කලෙමි සුං කලෙමි විනාශ කලෙමි යකුන් උන්තැනින් ගෙන්නවමින් යතුරු ලීමි යන්ඩ තැනක් නැතිව ඉර සරා නුවර ඉන්න රාම ශ්‍රී කුමාරිගේ බඩේ උපන් සරස්පතිය නිලකණ්ඩි කුමාරිය යම කුමාරිය භද්‍රකාලිය අෂ්ට කාලිය විෂ්ණු කාලිය සන්ධි කාලිය ගොළු කාලිය බිහිරි කාලිය වැදි කාලිය භූත කාලිය වයිසාර කාලිය රෝග කාලිය උමයංගනා දේවිය සන්නි කුමාරිය තුමෙක් නොකී යකුන් යක්ෂනියන් දේවතාවුන් දේවතාවියන් ඇතුලේ සක්වල පිටසක්වල නොසිට යන්ට මාගේ මන්ත්‍රානු භාවෙන් යන්ත්‍රානු භාවෙන් වෙවුලි ගැසි ගැසී විජෙරාජ කුමාරයාට අප බුදුන් පිරිත් නූලට මතුරා ශක්‍රයිං අතට දුන් සේක ශක්‍රයින් කෙබදු කාරණාවක්දැයි කියා අප බුදුන්ට ශැලකල කල්හි එවිට බුදුරජාණන් අහනුවයි පොලොව උනුවයි සක්වල උනුවයි හිමාල ගල් උනුවයි මොරගල් උනුවයි සත්තකූට පර්‍වත උනුවයි අටසැට දහසක් උස මහමෙර දෙබෑව විල් ආදී විල් හතේ දියවර උනුවයි ගිනිවෙයි සුන්වෙයි අළුවෙයි යක්ෂ විමානවල් දයි ඉදිකටු සහ ශරීරවල් වෙයි නෙත් කන වෙයි අප බුදුන් වදාල සේක විජෙ රාජ කුමාරයාට දෙවයි වදාල සේක. ගමක බිමක අහසක පොලොවක හිමාලෙක පර්‍වතයක කන්දක මුලක මල්රුකක ලිං තොටක රදාතොටක අඩ හැරයක බෙරශරයක බලි බිලි දෙන තැනක දෙවොල් හලක අම්බලමක බඩ සලක වසවිස දෙන තැනක සොර ගණ්ඩු වියල් ඇති තැනක සොහොනක ඒ දණ්ඩක පාළුගේක රහස් කියන තැනක පුළුටු මාංස කරන තැනක නොසිට යන්ට මාගේ මන්ත්‍රානු භාවෙන් යන්ත්‍රානු භාවෙන් අගුල් හැරියෙමි වීදියට ගෙන්නවමි නොසිට උනුව උනුව ගිනිව ගිනිව සුන්ව සුන්ව භංග භංග ආවේස ආවේස කිලඹු කිලඹු වෙසමුනි අනින් ආවේස ආවේස සිද්දි මන්ත්‍ර සිද්දිප්ප්‍රධානේස්වා......................







සීයා මන්ත්‍ර මැතිරීම සඳහා හුස්මක් කටක් ගන්නා බවක් හෝ පෙනෙන්නේ නැත . රත්නවාමුන්ඩි මන්ත්‍රය සීයා විසින් ලෙහෙසියෙන් මතුරන්නේ නැත . එහෙත් එයද මෙම මන්ත්‍ර අතුරේ මතුරන බව මට දැනිණි . එකදිගටම මන්ත්‍ර මතුරන අතරතුරේ සීයා දෙහි ගෙඩි එකින් එක කපමින් වතුර භාජනයට දැමීමට අමතක නොකළේය . මන්ත්‍රයේ ආනුභාවය මොනවට පසක් කරමින් කපන කපන දෙහි ගෙඩියේ දෙහි පලු වතුර භාජනයේ උඩ පාවෙන්නට විය . බන්ධන සියල්ල බිඳී ගොස් ඇතිබව එයින් අපි තහවුරු කරගතිමු . අනතුරුව සීයා එම දෙහි පලු සහිත වතුර භාජනය නිධන් වල තුලටම පෙරලා දමා ඉඳගෙන සිටි තැනින් නැගිට්ටේය .

" අපි එහෙනම් දැන් යමු නාග වෛරෝඩිය තියලා තියෙනවා කියන තැනට "

" සීයේ මේ රෑම යනවද ? "

"ඔව් . මට මේ වැඩේ දැන් පරක්කු කරන්න හිත දෙන්නේ නෑ . මුර කරන අයට අංගම් පිඹලා ඒ අය නිදිගන්වලා , කළුවර අඳුන ගලා පුතාව යවන්නම් ඒ තැනට . අනුර ළමයා නෙවෙයි . චූටි පුතා ඇතුලට ගිහින් ඔය කියන පළඳනාව එලියට අරගෙන එන්න "

" ඉතින් සීයේ දොරවල් වහලනේ තියෙන්නේ . මම කළුවර අඳුන ගාගෙන උනත් කොහොමද ඇතුලට යන්නේ ? "

" පුතාට මතක නැත්ද ?  දොරවල්වල අගුල් අරින්නත් මන්තර තියෙනවා "

" මට එකක් මතකයි සීයේ "

" එහෙනම් ඒ ඇති . මම අංගම පිඹින්නම් . මුර කාරයෝ නින්දට වැටුනට පස්සේ පුතාට කළුවර අඳුන ගාලා මම එතනට යවන්නම් . අනුර ළමයෝ . අපි යමු එහෙනම් දැන් මෙතනින් . මෙතන වැඩි වෙලාවක් ඉන්න හොඳ තැනක් නෙවෙයි . අපේ නරක වෙලාවට කවුරු හරි අපිව දැක්කොත් ඒක නරකට හිටින්න පුළුවන් "

" ඒක හොඳයි ගුරුන්නාන්සේ . මට වඩා චූටි මල්ලිව යවන එක හොඳයි . මොකද දොරවල් අරින්න මම දන්නෙත් නැහැනේ . ඒක නෙවෙයි ගුරුන්නාන්සේ ; අංගම් පිඹලා මුර කරන අය නිදි ගන්වන්න පුළුවන් නම් ඇයි කළුවර අඳුනක් හැදුවේ ? "

" මේ වගේ දේවල් වලදී දරුවෝ අවදානමක් ගන්න මම කැමති නැහැ . අපේ පවුලේ මේ ගුරුකම ඉස්සරහට කරගෙන යන්න ඉන්නේ මේ චූටි පුතා විතරයි . අපි මේ දෙයින් හිරේ විලංගුවේ වැටුනොත් අවුරුදු ගාණක් රැකගෙන ආව පරම්පරාවේ රහස් එහෙමම නැත්තටම නැති වෙලා යනවා . ඒ දේ වෙන්න දෙන්න බැහැ "







" හොඳමයි ගුරුන්නාන්සේ . අපි එහෙනම් ඉස්සෙල්ලම අපේ ගෙදරට යමු . මොකද කළුවර අඳුනත් එහේනේ තියෙන්නේ "

" නෑ අයියේ , කළුවර අඳුන තෙල් බෝතලය මම අරගෙන ආවා . අපිට මෙහෙමම යන්න පුළුවන් "

" බැහැ මල්ලි . එතනට මෙතන ඉඳලා ගොඩක් දුරයි . දැන් රෑ දොළහත් පහුවෙලා නිසා අපිට කරත්තෙන් තමයි යන්න වෙන්නේ . අපි කරත්තෙන් ගිහින් කරත්තේ මග නවත්තලා එතනට කිට්ටු වෙමු "

සීයාත් මමත් අනුර අයියාත් ආ වේගයට වඩා වේගයෙන් නිධන් ගල සහිත ස්ථානයෙන් පිටත්ව , අප ආ පාර දිගේම කරත්ත පාර වෙන පැමිණියෙමු . අනතුරුව තිබුණේ අනුර අයියාගේ මග පෙන්වීම යටතේ නැවතත් අනුර අයියාගේ නිවසට ගමන් කිරීමයි . ඉක්මණින්ම අනුර අයියාගේ නිවසට ගිය අපි රැගෙන ආ සියළුම දේවල් නැවතත් කරත්තයට පටවාගෙන නාග වෛරෝඩිය ගැනීමේ එම අවදානම් ක්‍රියාව කිරීම සඳහා පිටත් වීමු .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment