කළු කුමාර වෛරෝඩිය ( 1 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි






උඳුවප් මාසය ආරම්භවී දැනට සතියක් පමණ ගතවී තිබේ . සීයාත් මමත් සඳ එළියේ අසිපත හා සම්බන්ධ සියලුම කරුණු කාරණා මේ වනවිට හදවතින් අතුගා දමා තිබිණි . ඒ පිලිබඳ තරමක හෝ සිතිවිල්ලක් අප සතුව තිබේ නම් ඊට වගකිව යුත්තේ පන්සලෙන් ගෙන ආ සන්නස්වල පිටපත් දෙකයි . මාසයක් හෝ දෙකක් පමණ එම පිටපත් දෙක සුරක්ෂිතව තබාගෙන සිටියද සීයාගේ අවවාදය පරිදි එම පිටපත් ගිණි තබා විනාශ කර දැමීමට සිදුවිය . එක් අතකට එම සන්නස්වල සඳහන් කරුණු කාරණා සීමා මායිම් ආදිය වෙනත් කෙනෙකු දැනගන්න උවමනා නැත . ඒවා වලව්වේ තිබීමෙන් මගෙන් පසුව මෙම වලව්වට උරුමකම් කියන කිසිවෙකුත් ඒවාට කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි සිතාගැනීමට මටත් සීයාටත් දිවැස් නොමැති නිසා ඒවා විනාශ කර දැමීමට මම කැමැත්ත ප්‍රකාශ කලෙමි . සඳ එළියේ අසිපත පිලිබඳ මතකය එසේ අමතක කිරීමට උත්සාහ කලද මාසයක් මාසයක් පුරා අහසේ මෝරන සඳ දැකීමෙන් ආයාසයකින් දිය තුල රඳවා තිබෙන වාතය පිරි බෝලයක් නැවතත් ඉහලට පැමිණෙන්නා සේ එය නැවතත් හදවතේ ගැස්ම වැඩි කිරීමට සමත් වේ .

උඳුවප් මාසයේ පසළොස්වක පොහොය දිනය ගමේ සෑම සියලු දෙනාටම වැදගත් දිනයක් විය . ඒ මීට මාස කීපයකට කලියෙන් පුපුරා ගිය අකුණු සැරයක් නිසා විනාශ වී ගිය ගමේ පන්සලේ චෛත්‍යයේ කොත පැළඳවීමේ මහා පුණ්‍යකර්මය යෙදී තිබුණේ එදිනට වීම හෙයිනි . චෛත්‍යයේ හතරැස් කොටුව බඳවා එහි ධාතු නිධන් කිරීමේ පිංකම පැවතුනේ මීට මසකට පමණ පෙරාතුවය . ඉන්පසුව දේවතා කොටුවත් කොත් කැරැල්ලත් බඳවා කොත පැළඳවීමට නැකත් එළඹෙන තුරු අපි ප්‍රමාද වීමු .

දුටුගැමුණු මහරජු විසින් පළඳවන ලද කලින් පැවති කොත්වහන්සේ අකුණු පහර නිසා තරමක් විකෘති වී තිබුණු නිසාවෙන් දායක සභාව තීරණය කරන ලද්දේ අලුත් කොත්වහන්සේ නමක් නිර්මාණය කරවා චෛත්‍යයේ පැළඳවීමටයි .

ඒ සඳහා අවශ්‍ය රත්රන් ආරච්චි වලව්වත් වෙද ගෙදරත් ගුරුන්නාන්සේ වලව්වත් සහ ගමේ තවත් පුළු පුළුවන් උදවිය ලබාදීමට ඉදිරිපත්විය . නමුත් නායක ස්වාමීන් වහන්සේගේ ඒකමතික තීරණය වූයේ පරණ කොත්වහන්සේම නැවතත් ප්‍රතිසංස්කරණය කරවා චෛත්‍යයේ පැළඳවීමයි . අවසානයේ පැරණි කොත්වහන්සේගේ අකුණු පහරින් විනාශ වී ගිය ස්ථාන පිළිසකර කරවා , පුපුරාගිය තැන් නැවතත් රත්තරනින් පාස්සවා එහි මුදුනට සීයා විසින් රත්නපුරයෙන් ගෙනැවිත් පන්සලට පූජා කරවූ චූඩා මාණික්‍යයද සවි කෙරවා කොත් වහන්සේගේ නිර්මාණය කිරීම අවසාන කළේය .

කොත් වහන්සේ දැන් කලින්ට වඩා දීප්තිමත්ය . පිළිසකර කරවා ඔප දැමීමෙන් එය දිස්නය විහිදුවමින් තිබිණි . පැළඳවීමට මත්තෙන් කොත්වහන්සේ සතියක් පමණ කාලයක් බුදු මැදුරේ තබා පිරිත් කියා එයට බුදු දහමේ ප්‍රාණවත් බව ලබා දුන් අතර දැන් ඉතිරිව තිබෙන්නේ එය චෛත්‍යයේ කොත් කැරැල්ලේ ඉහල කෙලවරේ තැම්පත් කිරීම පමණි .

නැකත් වේලාව යෙදී තිබුණේ දහවල් කාලයේය . එනිසා උදෑසන සිට ගමේ සිටි සියලු දෙනා වැල නොකැඩී පන්සලට ඒකරාශී විය .

" ආරච්චි මහත්තයා , ඔබතුමානේ ගමේ ඉන්න ප්‍රධානියා . ඒ නිසා ඔබතුමාම මේ කොත් වහන්සේ චෛත්‍යයට පළඳවන්න . එහෙම හොඳයි නේද වෙද මහත්තයා , ගුරුන්නාන්සේ ? "

නායක ස්වාමීන් වහන්සේ සීයාත් වෙදසීයාත් ආරච්චි මහත්තයාත් ඉන්න තැන කොත්වහන්සේ පළඳවන්නේ කවුරුන්දැයි තීරණය කරගත නොහැකිව විචාළහ .

" අවසර හාමුදුරුවනේ . අපි වගේ පස්කම් සැපට ඇලිච්ච මිනිස්සු කොත් වහන්සේ පළඳවනවාට වඩා හොඳයි ඔබ වහන්සේම කොත්වහන්සේ පළඳවනඑක . මම හිතන්නේ නැහැ කවුරුවත් ඒකට අකමැති වෙයි කියලා . එහෙම නේද වෙද මහත්තයා ? "

කියමින් ආරච්චි මහත්තයා සීයාත් වෙද සීයාත් ඉන්න පැත්ත හැරී කියමින් කොත් වහන්සේ පැළඳවීමේ කාර්යය නායක ස්වාමීන් වහන්සේ වෙතම භාර කළේය .

නැකත් වේලාව උදාවීමට තිබුණේ විනාඩි දහයක පහළවක පමණ කාලයකි . නායක ස්වාමීන් වහන්සේ කොත්වහන්සේද එක් අතකින් හොවාගෙන චෛත්‍යයේ ඉහලට නැගීමට සාදා තිබුණු අට්ටාලයේ පියගැට එකින් එක තරණය කරමින් කොත් කැරැල්ල ආසන්නයටම ළඟාවූවෝය . නැකත් වේලාව එළැඹෙන තුරු වේලාව බලමින් සිටි ආරච්චි මහත්මයා නියමිත වේලාව උදාවූ විට නායක ස්වාමීන් වහන්සේට සංඥා කාළේය . නායක ස්වාමීන් වහන්සේ කොත් කැරැල්ලේ ඉහළ සවිකර තිබුණු තඹ කූර , කොත් වහන්සේගේ පාදමේ සිට ඉහළට විද තිබුණු සිදුර හරහා යන සේ සකසා සෙමෙන් පහත්කර කොත් කැරැල්ල මත කොත් වහන්සේ තැම්පත් කළහ . ඒත් සමගම සැදැහැති උපාසක උපාසිකාවෝ සාධු සාධු කියමින් සමහරවිට ජීවිතයේ එක් වතාවක් පමණක් දැකගැනීමට හැකිවන එම කොත පැළඳවීමේ පුණ්‍යකර්මයේ පිං තමන් වෙත අනුමෝදන් කරගත්හ .

නොසිතුවිරූ මොහොතක පන්සලේ සිටි සෙනග අතරින් කවුදෝ අමුත්තෙකු පැමිණ සීයාත් මමත් ඉදිරියේ සිටිගත්තේය . ඔහු හඳුනාගැනීමට සීයාටත් මටත් තවත් අටුවාටීක අවශ්‍ය නොවිණි . ඒ වසර දහස් ගණනක් බෙහෙත් ඔරුවක සැතපී හිඳ සීයාත් මමත් ඉදිරිපත්ව අවධි කරවූ සුරනිමල යෝධයාගේ අතවැසි රණබා ය .

" දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ . මේ දරුවා කොයිවෙලේද මෙහාට ආවේ ? . කවුරුවත් ඔය දරුවා කවුද කියලා එහෙම ඇහුවේ නැතිද ? "

" මම කොත් වහන්සේ පිහිටුවන මොහොතේ පන්සලේම තමයි හිටියේ ගුරුන්නාන්සේ මාමා . මම වටේ පිටේ හක්කලං කොරලා බැලුවා ගුරුන්නාන්සේ මාමා කොයිද කියාලා . පස්සෙන් පහු කොත්වහන්සේ පිහිටුවනකල් මම පැත්තකට වෙලා හිටියා "

" කොහොමද දැනගත්තේ අද කොත් වහන්සේ පළඳවනවා කියලා ? "

" මට චිත්තරාජ උත්තමයා ඇවිත් දැනුම් දුන්නා අද කොත් වහන්සේ පිහිටුවනවාය කියලා ඒ වෙනුවෙන් සහභාගී වෙන්නය කියලා "

" දැන් අර අසිපත ප්‍රවෙසමට තියෙනවද දරුවෝ ? "





" අසිපත තියෙන තැන අපි වෙනස් කරා මාමා . දුටුගැමුණු උත්තමයා මියැදුනායින් පහු ලංකාව එක්සේසත් කරපු රජවරුන්ට උවමනා වෙලාවල් වලදී අසිපත ලබාදීලා තියෙනවා මාව අවධි කරවන්නේ නැතිව . චිත්තරාජ කාලවේල උත්තමයෝ වෙන්නැති ඒවාට තීන්දු තීරණ ගන්නට ඇත්තේ . කඳ කුමාරයාගෙ අනුදැනුම ඇතිව තමයි ඒවා ඉෂ්ට සිද්ධ වෙලා තියෙන්නේ . වැඩිදුර මම හොයන්නට මහන්සි වුණේ නැහැ . දැන් අසිපත කලින් තිබ්බ තැන නැහැ . අපි සිහගිර බලකොටුවට අසිපත අරගෙන ගියා . දැන් අසිපත තියෙන්නේ සිහගිර පර්වතයේ ඇතුලේ විශේෂ තැනක රැකවල් යොදලා . රාවණා මහරජ්ජුරුවන්ගේ යක්ෂ ගෝත්තරේ ගෝල බාලයෝ තමයි අසිපත මුර කරන්නේ . මමත් ඒ කිට්ටුවට වෙලා භාවනා කරමින් කාලය ගෙවනවා "

සීයා වටපිට බැලුවේ කවුරුන්හෝ අසා සිටීදැයි විපරම් කිරීමටය . අනතුරුව සීයා රණබාට වලව්වට පැමිණ අපත් සමග තවත් හැකි වෙලාවක් කතාබහ කරමින් හිඳ කෑමට යමක් සප්පායම් වී යන ලෙස ආරාධනා කළේය . එහෙත් රණබා එම ආරාධයන ප්‍රතික්ෂේප කළේය .

" චිත්තරාජ උත්තමයා මට වෙලාවක් නියම කරලයි එව්වේ . ඒ වේලාව ඇතුලත මම ආයෙත් සිහගිරියට යන්න ඕන මාමා . ඒ නිසා කොත පළඳවන වෙලාවේ ඉඳලා මම යන්නයි කල්පනා කරේ "

" ඔය දරුවගේ කැමැත්තක් . ආයෙත් වතාවක් මේ පැත්තේ ඇවිත් යන්න එනවානම් තමයි අපි සතුටු . පරණ කාලේ විස්තර එහෙම දැනගන්න කතා බහ කරන්න තිබ්බනම් හොඳයි . එතකොට අපිටත් ඒ කතා අනාගතයේ උදවියට කියන්න පුළුවන් කමක් තියෙනවා "

" පස්සෙන් පහු වෙලාවක මම චිත්තරාජ උත්තමයාගෙන් අවසර අරගෙන එන්නම් මාමා . මට එහෙනම් යන්න අවසරයි "

රණබා මාත් සමග කිසිවක් කතා නොකර සීයා සමගම පමණක් කතාකර පිටත්ව ගියේය . ඒ ඇයිදැයි කියා මම නොදනිමි . එහෙත් ඊට කිසිවක් හෝ හේතුවක් තිබෙන්නට ඇත . සීයාත් ආච්චිඅම්මාත් මමත් තාත්තාත් අම්මාත් යන සියල්ලෝම නැවතත් වලව්ව බලා පිටත්ව ගියේ නායක ස්වාමීන් වහන්සේ හමුවී වැඳ අවසර ගැනීමන් අනතුරුවය . රණබා පිළිබඳව කිසිවෙක් සැක නොකරන ලද්දේ ඔහු කාලයක් අප නිවසේ නැවතී සිටි නිසා වන්නට ඇත . නමුත් රණබාගේ පැමිණීම පිලිබඳව නායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමට සීයා ආමතක නොකළේය . එහෙත් ඒ වනවිට රණබා පන්සලෙන් නික්මගොස් හමාරය .

චෛත්‍යයේ කොත පළඳවා සති දෙක තුනක් ගතවිය . මේ කාලය ඇතුළත ගුරුකම් කිරීම් කිසිවක් සිදු වූයේ නැත . කොටින්ම කියතොත් සීයාටවත් ගුරුකම් කිරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැත . සීයා වැඩිමනත් කාලය ගත කලේ වත්ත පහල එළවලු වගා කර තිබුණු පාත්තිවල වල් පැළ ගැලවීම , දිරා ගිය මැහි වෙනුවට අලුත් මැහි සවි කිරීම ආදී වැඩ කටයුතු සඳහාය . මම වැඩිපුර කාලය යෙදවූයේ සියාතු සීයාගේ පුස්කොල පොත් එකතුව කියවීමට සහ ඒවායේ කැඩී බිදී ගිය ස්ථාන නැවතත් පිළිසකර කිරීමටය . සමහර පොත්වල පිටු එකට ඇලී තිබිණි . ඒවා පළුදු නොවන සේ වෙන් කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් විය .

සඳමලී සහ අරවින්ද ප්‍රේම වෘතාන්තය පිලිබඳ ඊළඟ වැදගත් සිදුවීම වූයේ ඒ අතරතුරදීය . එදා සිකුරාදා දිනයකි . සීයා උදෑසනම කරත්තය දක්කන ජේමිස් සමග වත්ත පහලට ගියේ අලුත් එළවලු පැළ ඉන්දවීමේ බලාපොරොත්තුවෙනි . වෙනදා පුරුද්දටම මම පුස්කොල පොතක් රැගෙන වලව්වේ ඉස්තෝප්පුවේ කනප්පුව උඩ තබාගෙන කියවමින් සිටියෙමි . පුස්කොල පොතටම මූණ ඔබාගෙන කියවමින් සිටි මාහට උන්හිටි තැන් අමතක වී තිබිණි . සමවැදීඋන් එම දැහැන බිඳවැටුනේ හදිස්සියේම ඇසුණු උගුර පෑදීමක් හේතුවෙනි .

ඒ වෙනකවුරුවත් නොව වෙද සීයාය .

" ආ වෙද සීයා , ළඟට එනකල්ම මම දැක්කේ නැහැ . මම මේ අපිට තෑගී ලැබුණු පුස්කොල පොතක් කියව කියව හිටියේ . ඒකටම හිත ගිහින් තිබුණු නිසා සීයා එනවාවත් ඇහුණේ නැහැ "

" මම ඒත් බැලුවා මේ ළමයා මොකද වෙද ගෙදර පැත්තේ ආවේ නැත්තේ කියලා "

" පොත් ටික කියවන්න ගත්තට පස්සේ ඒක නතර කරන්න හිතෙන්නෙම නැහැ . ඒ නිසා මට ඒ පැත්තේ එන්නත් බැරි වුණා "

" කෝ පුතේ සීයා ? "

" ආ සීයා එළවලු පැළ වගයක් ඉන්දවන්න කියලා වත්ත පහළ එළවලු කොරටුවට ගියා . ඉන්න මම එන්න කියන්නම් "

මම පුස්කොල පොත තබා නැගිටින්නට සැරසෙන විටම වෙද සීයා මාව නතර කළේය .

" නැහැ පුතේ මම වත්ත පහළට ගිහින්ම සීයව මුණගැහෙන්නම් "

කියා මද සිනහවක් පා වෙද සීයා වලව්වේ පිට පැත්තෙන්ම වත්ත පහළට යන අඩි පාරට පිවිසේයේය . මම නැවතත් පුස්කොල පොත කියවීම ආරම්භ කලෙමි . විනාඩි දහයක් වත් ගතවූයේ නැත . සීයාත් වෙද සීයාත් නැවතත් වලව්වේ ඉදිරිපසින් මතුවිය .

" මෙහෙන් ඈඳී ගන්න මල්ලියේ . මම ඉක්මනට මූණකට හෝදගෙන එන්නම් "

" හදිස්සියක් නැහැ අරනෝලිස් අයියේ . හෙමීට එන්නකෝ . මට තියෙනවා වැදගත් කාරණාවක් කතා කරගන්න . මේ දරුවාගේ අම්මා තාත්තා එහෙමත් ඉන්නවනම් තමයි හොඳ "

" පුතානම් ගෙදර නැහැ . දුවයි හාමිනෙයි ඉන්නවා . මම එන්න කියන්නම්කො "

සීයා වෙද සීයාට අසුන් පනවා හානි හනිකට වලව්ව ඇතුළට ගියේය .

" මොකක්ද පුතේ ඔය පොත ? "

" මේකේ තියෙනවා සීයේ මන්තර ටිකක් . කීපයක් ගුරුළු මන්තර . අනිත් ඒවා රිද්දි මන්තර "

" හ්ම්ම් . කාගෙන්ද ඔය පොත් තෑගී ලැබුණේ ? "

" ගම්පහ ඉන්නවා සියාතු කියලා සීයා කෙනෙක් ගුරුකම් කරන . එයාගේ පවුලේ මේවා දෙන්න කෙනෙක් නෑ කියලා මට දුන්නා ඉගෙන ගන්න කියලා . එයා ගුරුකම අතෑරලා දැම්මා "

" අතෑරලා දැම්මා ? අර මොකෝ අර ? "

" ගුරුකමක් වැරදිලා ලොකු ප්‍රශ්නයක් උනා . ඊට පස්සේ එයාට ගුරුකම අතාරින්න උනා . ඒ නිසා තමයි පොත් ටික මට දුන්නේ "





" හ්ම්ම් . ඒකත් එහෙමද ? . දැන් පුතා දහම්පාසලේ උගන්වන්න යන්නේ නැද්ද ? "

" යනවා වෙද සීයේ . මම ගිය ඉරිදත් දහම්පාසල් ගිහින් ආවේ . විශේෂ වැඩක් යෙදුනේ නැත්නම් ඉතින් මම දහම් පාසැල් යනවා . සඳමලී නංගිත් ඇවිත් හිටියා ගිය සතියේ "

" හ්ම්ම්ම් . අපේ මිණිබිරීත් කොහොම හරි ඉරිදට දහම්පාසල් යන ගමන නම් මගඅරින්නේ නැහැ . අද තමයි දැනගත්තේ හේතුව මොකක්ද කියලා . මම මේ ආවේ අරනෝලිස් අයියත් එක්ක ඒ ගැන කතා කරගන්න "

මට හීන්දාඩිය උනන්නට විය . මම වහා බිම බලාගත්තෙමි . සියාතු සීයා නැවතත් තම හඬ අවදි කළේය .

" ඕකට ඉතින් ලැජ්ජා වෙන්න කාරී නැහැ . අපි කතාකරලා මේවා පිළිවෙලක් කරලා තියමු "

සීයා ඇඟපත සෝදාගෙන පැමිණ හාන්සිපුටුවේ හාන්සිවිය . අම්මාද ආච්චිඅම්මාද සීයා පසුපස පැමිණියහ . අම්මා රැගෙන ආ තේ කෝප්පය වෙද සීයාට පිළිගැන්විණි .

" ඉතින් මල්ලියේ කියන්නකෝ බලන්න මොකක්ද මේ වැදගත් කාරණාව කියලා "

සීයා හාන්සිපුටුවේ හිඳගන්නා අතරම වෙද සීයාගෙන් විමසීය .

" අපේ ලොකු පුතාගේ දුව , සඳමලී කෙල්ල දැන් වෙදකමත් හොඳ හැටි ඉගෙනගෙන තියෙන්නේ . පෙළවහක් කරගන්න වයසත් දැන් හරියාගෙන එන නිසා ලොකු පුතා අඳුරන පවුලකින් යෝජනාවක් ගෙනාවා . ඒ උදවියම තමයි යෝජනාව කරේ . පස්සෙන් පහු මමත් හොයලා බලලා අපේ පවුලට ගැළපෙන නිසා අද උදෑහන මම ලොකු පුතා එක්ක කතා කරා ඒ උදවියට සඳමලී කෙල්ලව බලන්න වෙද ගෙදරට එන්න දවසක් වෙලාවක් ලකලෑස්ති කරගන්න කියලා "

" කොහෙන්ද මල්ලියේ කටයුත්ත ? "

සීයා එය විමසන ලද්දේ මා දෙසද බලමින්ය . අවාසනාවකට මාගේ මුහුණද එල්ලවී තිබුණේ සීයා දෙසටය . මම නැවතත් බිම බලගත්තෙමි .

" ඉන්නකො අරනෝලිස් අයියේ කියන්න . ඉතින් මේ කතාව කොහොමින් කොහොමහරි සඳමලී කෙල්ල අහගෙන ඉඳලා . පස්සේ කෙල්ල කාමරේට වැදිලා ඇඳට වෙලා අඬනවා "

" දුව පෙරැත්ත කර කර අහනකොට තමයි කියල තියෙන්නේ සඳමලී කෙල්ල මේ වෙනකොටත් ඉලන්දාරියෙක්ට බහ දීලා තියෙන්නේ කියලා "

" ඉතින් ? "

" පස්සේ ලොකු පුතාගේ කණට මේක වැටුනට පස්සේ සැර කරලා අහනකොට තමයි කෙනා කියලා තියෙන්නේ . ඊට පස්සේ තමයි වෙද ගෙදර ගින්න නිවුණේ . කියන්න බැහැනේ අරනෝලිස් අයියේ කොච්චර ඉගෙනගත්තත් මේ ළමයි මොනවා කරනවද කියලා . බැරි වෙලාවත් ඔය කවුරුහරි නොගැළපෙන කෙනෙක්ට බහ දීලා තිබුණ නම් කාට කියන්නද ? "

" දැන් ඉතින් කාටද ඔය කෙල්ල බහ දීලා තියෙන්නේ ? "

" ඔය ඉන්නේ දාන්න එක්කෙනා . එයාගෙන්ම තමයි අහගන්න ඕන "

වෙද සීයා මා දෙස හැරී සිනහ වෙමින් එසේ කියා ඇල් ගැසෙමින් තිබුණු තේ කෝප්පය බීමට පටන් ගත්තේය . අම්මා මෙතෙක් වෙලා නිහඬව හිඳ ඇයගේ අදහස් පැවසුවාය .

" මමයි තාත්තයි දැනගෙන සද්ද නැතුව හිටියේ මෙයා කොයිවෙලේ හරි කියයි කියලා "

අම්මා මදිවට ආච්චිඅම්මාද අදහස් පැවසුවාය .

" මමත් දන්නවා මොකක්ද කියලා කතාව . මමත් දැනගෙන සද්ද නැතිව හිටියේ දෙන්නත් එක්ක නැකත් බලලා ගෙවල් වලට කියනකල් "





මට දැන් කුමක් කියම්ද නොකියම්ද කියා සිතාගැනීමට නොහැක . මෙතෙක් වෙලා බිම බලාගෙන සිටි මම සිනහවෙමින් මෙසේ පැවසුවෙමි .

" මම සීයට නම් දවසක් මේක කියලා තිබුණේ . සඳමලී නංගිත් කියලා තිබුණේ තව වෙදකම් ඉගෙනගන්න ඕන නිසා දැන්මම මේවට ඉක්මන් වෙන්න ඕන නැහැ කියලා . මමත් එහෙමම තමයි කියලා තිබුණේ "

" හ්ම්ම්ම් . කාරී නැහැ කාරී නැහැ . දැන් ඉතින් කාටවත් හංගන්න දෙයක් නැහැ . හැමෝම දන්නවනේ . මටත් ඔය වෙද ගෙදරදී දෙන්නගේ කසුකුසුගාන ඒවා ඇහිලා තියෙනවා . ඒත් අම්මා මුත්තා සහතිකේට මමනම් හිතුවේ නැහැ දෙන්නා පැටලිලා ඇති කියලා හඃ හඃ හඃ හඃ "

" මටත් ඕක දවසක් පුතා කිව්වට මම ඒක එහෙමම අමතක වෙන්න දීලා තිබුණේ දෙන්නට ආස්සරේ කරලා බලන්න ඉඩ දීලා . අපේ පැත්තෙන් නම් විරුද්ධත්වයක් නැහැ "

" එහෙනම් අරනෝලිස් අයියේ ආයෙ චාරිත්තර වාරිත්තර මොකටද මේ මූණට තියෙන අපේ ගෙවල් දෙකේ . මගුල එහෙනම් තීන්දුයි . අපේ පැත්තෙනුත් විරුද්ධයක් නැහැ "

" සීයේ ඒත් දැන්මම විවාහ වෙන්න නම් අපේ බලාපොරොත්තුවක් නැහැ "

" ඒකට කාරී නැහැ . පොරොන්දම් බලලා අපල උපද්‍රව නොගැළපීම් එහෙම තියෙනවනම් ඒවාට පිළියම් එහෙමත් කරලා දෙන්නට හොඳ කාලයක් ආවම කියන්න . දෙන්නම කේන්දර බැලිල්ල ගැන දන්නෙවනේ . ආයේ අපි ඕවාට ඇඟිලිගහන්න උවමනා නැහැනේ ? "

" හොඳයි සීයේ "

පසුව වෙද සීයා වලව්වෙන් නික්ම සීයාත් සමග වෙද ගෙදරට යාමට පිටත්ව ගියේය . සීයා වෙද සීයා සමග වලව්වේ කඩුල්ල අසලට ගොස් නැවතත් හැරී පැමිණියේය . තවමත් මම ඉස්තෝප්පුවේ කරකියාගත දෙයක් නොමැතිව පුස්කොල පොත පෙරලමින් සිටියෙමි . අම්මාත් ආච්චිඅම්මාත් ඉවත්ව ගොසින්ය . සීයා මාහා කිසිවක් නොපවසා තමන්ගේ අදහස කවියකින් දන්වමින් මා සිටි තැන පසුකරමින් ඉවත්ව ගියේය .

කාල දේවල තපසු රජ මාලිගෙට වැඩි ජය මංගලම්
බාල රූබර කුමරු තපසුගෙ අතට වැඩි ජය මංගලම්
කෝල කේදර නොවී දෙපතුල සිරස පිට තැබූ මංගලම්
සීල පිවිතුරු බලෙන් වේවා මොවුන් හට ජය මංගලම්

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment