සඳ එළියේ අසිපත ( 5 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

පසුගිය කොටසින්

සීයා ඒ අසල වූ කඩා වැටුණු නවඳ ගසක කඳ මත හිඳගෙන සිටින අතරේ මම එම නවඳ ගසේ අග කෙළවර ඇති දිශාවට පියවර කීපයක් ගමන් කර ගිනි මැලයක් මෙලවීමට අවශ්‍ය දර කොටු සොයාගත්තෙමි . පසුව අප රාත්‍රී ගත කිරීමට තීරණය කරන ලද භූමියේ මැදට වන්නට දර කෝටු පිළිවෙලින් ගොඩගැසූ මම එයට ගිනි මොළවා ගිනිමැලය අසල හිඳගෙන කල්පනා කරන්නට වීමි .

" මොනවද පුතේ කල්පනා කරන්නේ ? "

" අපිටත් වෙන දේවල් කියලා මම මේ කල්පනා කරේ සීයේ . බලන්න එක වතාවක් අලියෙක් සනීප කරන්න කියලා අපි සිරීපාද කන්ද තරණය කරා . එදත් අලිබෙටි ඇඟේ ගාගෙන ඇත් සොහොනට වෙලා බලාගෙන හිටියා . අදත් ඒ වගේමයි . මොන සතා සරුපයා ඉන්නවද දන්නේ නැහැ . මම කල්පනා කරේ අර භාවනා කරන හාමුදුරුවන්ට අපිට තියෙන මේ වගේ ප්‍රශ්න මොකවත් නැතුව ඇති නේද කියලා "

" එහෙම තමයි පුතේ . ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි  . අපි මෙතනට සතා සරුපයා ලං වෙන්නේ නැතිවෙන්න සීමාවක් සලකුණු කරමු . ඉන්න මම වැලි මතුරලා වටේට දාලා එන්නම් . එතකොට අලි කොටි උනත් මෙතනට ලං වෙන එකක් නැහැ "

අද එතැන් සිට





සීයා වැලි අහුරක් අතට රැගෙන ස්වල්ප වේලාවක් මතුරා අප දෙදෙනා සිටින ස්ථානය අවට එය විසිරුවා හැරියේය . එය සීමා බන්ධනයකි . පැය 48කට පමණ එම මන්ත්‍රය වලංගු වේ . ඉන් එහා අවශ්‍යනම් නැවතත් මන්තර මතුරා වැලි ඉසීම සිදු කලයුතුය . අප දෙදෙනා මෙම ස්ථානයේ එපමණ වෙලාවක් සිටින්නේ නැත . එබැවින් එය හොඳටම ප්‍රමාණවත්ය . රාත්‍රී ආහාරය ලෙස සීයාත් මමත් ගන්නා ලද්දේ පුච්චාගත් කිරි අලය . එම කිරි අල ගලවාගත්තේද මේ ගමන අතරතුරදීය . සීයා දුරදක්නා නුවණ පාවිච්චි කර කිරි අල ගැලවීමට මාවද මෙහෙයවූයේ රාත්‍රී ආහාරය සෙවීමට එහා මෙහා ඇවිදීමට තරම් මෙම වනාන්තරය එතරම් සුන්දර එකක් නොවන නිසා විය යුතුය .

කිරිඅල පුච්චා කෑමෙන් අනතුරුව අධික මහන්සිය නිසාදෝ මම නිදිකිරා වැටෙන්නට පටන් ගත්තෙමි . එනිසා නවඳ ගසට පිට තබා බිම හිඳගත් මම සරමේ ගැටය ලිහා උරහිස් දක්වා එය විහිදුවා ඒ තුල ගුලිවී නිදාගන්නට වීමි . සීයා එහෙත් නිදා ගත්තේ නැත .

"නිදිමත උනාම මාව ඇහැරවන්න සීයේ"

මට මතක එපමණකි . සීයාට නිදිමත අධික වූවිට සීයා මා අවධි කළේය . පසුව මා අවධිවී සිටි අතර සීයා නිදාගත්තේය . මේ ආකාරයට මමත් සීයාත් මෙම ව්‍යායාමය හතර පස් වතාවක් නොකඩවා සිදුකර රැය පහන් කළෙමු . එදින වර්ෂාවක් ඇති නොවීම හා මදුරුවන්ගේ ග්‍රහණයට අප එතරම් නතු නොවීම මහත් අස්වැසිල්ලක් විය . පසුදා උදෑසන ගිනිගොඩ විසිරුවාහල අපි නැවතත් ගමන පිටත් වීමු .

අපගේ අලුත්ම අරමුණ වන්නේ මොණර සලකුණ සහිත ගල් කුල සොයාගැනීමයි . පළමුවෙන්ම මා සිතන ලද්දේ ඊතල සලකුණ සොයාගත්පසු මොණර සලකුණත් ඉන්පසුව ඉදිරියට ඇති සලකුණුත් අනුව නිධානය සහිත ගල් ගුහාව සොයාගැනීම ඉතාමත් පහසු කටයුත්තක් වේවි යන්නයි . එහෙත් මා වරදවා වටහාගත් කාරණාවද එයයි . හරියටම කියනවානම් ඉර මුදුන් වනතුරුම සීයාත් මමත් කැලයේ ඇවිදිමින් හමුවන කළුගල් වටා ඇවිදිමින් ඒවායේ වටා ඇති මුල් පඳුරු ඉවත් කරමින් මොණර සලකුණ සෙවීමු . අවසානයේ ඉර මුදුන් වීමට ආසන්න වනවිට මොණර සලකුණ සොයාගත්තේ මම විසිනි .

" සීයේ මහන්සියි නේද ? "

" මටනම් එහෙමයි කියලා මහන්සියක් නැහැ . පුතාට මහන්සිනම් ටිකක් ඉඳගෙන ඉන්න පැත්තකින් "

" සීයේ සීයේ . මෙන්න මෙතන තියෙනවා මොණර සලකුණ "

" හම්මේ දෙයියෝ අපේ මූණ බැලුවා "

" දැන් ඉතින් මේ රූපයේ හොට තියෙන පැත්තට තමයි අපි ගමන් කරන්න ඕන "

" ඊට පස්සේ මොකක්ද සලකුණ විදියට අපිට ලැබෙනවා කියලා තියෙන්නේ ? "

" ඊට පස්සේ භේරුණ්ඩ පක්ෂියා කොටලා තියෙන ගල් කුලක් තියෙනවා . ඒ ගල් කුල ළඟම තියෙනවා ඇත් රූපයක් කොටලා තියෙන ගල් කුලක් . ඒ ඇත් රූපයේ දල තියෙන පැත්තට හැරිලා ඉස්සරහා බැලුවම ඈතින් පේනවා කියලා තියෙනවා අර නිධානය තියෙන ගල් ගුහාව . ඒත් ඒ ගල් ගුහාවට නිකන්ම ඇතුල්වෙන්න බැහැ කියල තමයි කියන්නේ "





" ඒ මොකද ඒ ? "

" යක්කු හතරදෙනෙක් ඒ ගුහාවේ දොරටුව මුරකරන්න බැඳලා තියෙනවා . ඒ හතරදෙනා ඉවත් කරලා තමයි නිධානය තියන් ගුහාව ඇතුළට යන්න පුළුවන් වෙන්නේ :

" හා එහෙනම් අපි දෙන්නා එතනටත් යමුකෝ "

භේරුණ්ඩ පක්ෂියා සහ ඇත් රූප සොයාගැනීමට සීයාටත් මටත් එපමණ වෙලාවක් ගතවූයේ නැත . එහෙත් ගල් ගුහාව කියන තරම් පහසුවෙන් සොයාගැනීමට හැකි නොවීය . සමහරවිට එම ගුහාව පිලිබඳ සටහන් තබන වෙලාවේ මෙම රූස්ස ගස් නොවන්නට ඇත .

ඇත් රූපය අසල හිඳ එහි දල දෙක පිහිටා ඇති දිශාව වෙත හැරුණු කල පෙන්නේ විශාල හොර ගස් සහ නවඳ ගස් පමණි . අතරින් පතර ඇති කුඩා පඳුරු සහ වැල් වර්ගවලින් තිරයක් අද්දා සේ සියල්ලම වැසී තිබේ . ගල්ගුහාව සොයා ගැනීමේ අභිලාෂයෙන් සීයාත් මමත් එම දිශාවට ගමන් කළෙමු . ගමන් මල්ල කරේ හොවාගනිමින් මෙම රූස්ස ගස් අතරේ ගමන් කිරීම ඉතාමත් වෙහෙසකර කාර්යයක් විය . එහෙත් සීයාත් මමත් අපගේ අවසන් ඉලක්කය වෙත ළඟා වීමු .

" සීයේ "

" ගල්ගුහාවත් හොයාගත්ත එකේ අද අපි ගුහාව ඇතුලෙ විපරම් කරලා බලනවද ? . නැත්නම් අද ගිහින් මේ නිධානය ගන්න ඕන දේවලුත් අරගෙනම එනවද ? "

" ඔන්න ආව එකේ අදම ඇතුළට යන්න උත්සාහ කරලා බලමු . ගුහාව ඇතුලේ මොනවද තියෙන්නේ කියලාවත් බලන්න හිතාගෙන යමු "

" යක්කු හතරදෙනා මොනවා කරයිද දන්නේ නෑ "

" ආවොත් ඒ වෙලාවට බලමු . දැනටනම් ඉස්සරහා පෙන්නේ නැහැනේ කවුරුවත් . මටනම් පෙන්නේ නැහැ "

" අපි දෙන්නා එහෙනම් ටික ටික කිට්ටු කරලා බලමුකෝ "

සීයාත් මමත් ගල්ගුහාව අසලට ගමන් කරනවිට අසල වනාන්තරයේ සිට සුදු ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු අප ඉදිරියට පැමිණියේය .

" මේ උන්නැහේලා දෙන්නා කොහෙද මේ යන්නේ ? . මේ සීමාව ඔහේලට තහංචියි . ආපු අතක් බලාගෙන හැරිලා යනවා හොඳයි "

" මේ උන්නැහේ අපේ මේ රාජකාරියට බාධා කරන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවා හොඳයි "

" අපි තමයි මේ තැන පදිංචිවෙලා ඉන්නේ . මෙතන අපේ . ආපු පැත්තක් බලාගෙන යනවා හොඳයි "

එකම රූපය සහිත හතරදෙනෙක් අප ඉදිරියේ දෘශ්‍යමාන විය . ඒකාන්තයෙන්ම මේ අර යක්ෂයින් හතරදෙනා විය යුතුය . අප දෙදෙනා සහ ඒ හතරදෙනා අතර දැන් වාග් ප්‍රහාර එල්ලවෙමින් පවතී . සීයා මේ වාග් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ඔවුන් අමනුෂ්‍යයින් බව හැඳින නොගෙනද ? . නැතිනම් හැඳිනගෙනද ? එය මහත් වූ ප්‍රෙහෙලිකාවක් විය . එහෙත් මම කිසිවක් නොකියා සිටීමට වගබලා ගත්තෙමි .

" තොපි දෙන්නා මෙතනම මරලා අපේ වරිගේ උන්ට කන්න දෙනවාආආආආආආආආආආ ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් "

සුදු හැඳගත් එක් පුද්ගලයෙකු සීයාට ගිගිරුවේය . ඒත් සමගම ඔවුන්ගේ ශාන්ත විලාශය පහව ගොස් සැබෑ යක්ෂ විලාශය මතුවිය . එසැනින් සීයා ක්‍රියාත්මක විය .වෙසමුණි සැරයේ පළමු අදියරය මැතිරීමට සීයාට වැඩි වෙලාවක් ගත වූයේ නැත .

ඕන් හ්රීන් කල්ලි සේගන් භාගවතාය නමඃ
සර්වඥනාතාය නමඃ
මහා දේවාය නමඃ
කන්ද කුමාරය නමඃ
වෛශ්‍රවණ දිව්‍ය රාජයා  නමඃ
ඕන හ්රීන් අටවිසි ජිනේන්ද්‍රාය නමඃ
යක්ෂ නාථ වෙසමුණි දිව්‍ය රාජයා වරන් ගනිමි කුවේර පුර සූසැටපන්දහසක් සර්ව යක්ෂ යක්ෂණියෝ දමනය කිරීමට අටවිසි බුදුන්ගේ නව අරහාදී බුදුගුණ කග්ගය මා අත දරා වෙසමිනි රජුගේ නකායුධ සැරයටිය ඉඳුවා අදත් මා මේ මතුරන්නේ
තණ්හංකර බුදුගුණ පිහිටුවීමි ඉඩ හරු යක්ෂයා
මේධංකර බුදුගුණ පිහිටුවීමි ඉඩ හරු යක්ෂයා
.
.
.
කෝනාගම බුදුගුණ පිහිටුවීමි ඉඩ හරු යක්ෂයා
කාශ්‍යප බුදුගුණ පිහිටුවීමි ඉඩ හරු යක්ෂයා
ගෞතම බුදුගුණ පිහිටුවීමි ඉඩ හරු යක්ෂයා

හැර පල යක්ෂයා මෙකපට බුදුවූ සතර බුදුවරයින් පිරුවා දස පාරමිතා තේජසින් මරසෙන් බිඳුවා උතුමන් දෙසූ දහම් වැඳ වැඳ පල යක්ෂා ශ්‍රී විෂ්ණු දෙවියන් අනින් ඉඩ හරු යක්ෂයා සුර සුර කන්දකුමාර අනිනි ඉඩහරු යක්ෂයා නාග ගුරුළු ජාල මිහිබොල් පොළව වැහෙන දෙවියන් අනින් ඉඩහරු යක්ෂයා නොගියොත් සතිස් මහා නිරයේ ගිනි දැල් ඇඟේ සිසාරා සුන්කර දවමි ඉඩ හැරු යක්ෂයා රතිකාම මතිකාම හංස කාම සුර අසුර යක්ෂ යක්ෂණියෝ බුදුගුණ තොප දනී වෙසමුණි සැරේ තොප දනී පෙර පවුකල යක්ෂයෝ මවු නැත පියා නැත කුසගින්නේ දවා වැඳහොත් චන්ඩාල යක්ෂයෝ විෂ්ණු බලයෙන් වෙසමුණි සැරයෙන් පෝ අඩා පොහ්......................................



සීයා වෙසමුණි සැරයේ පළමු කොටස මතුරා පිම්බේය . යකුන් හතරදෙනා දත් විලිස්සමින් සිටිනවා හැරෙන්නට කිසිඳු වෙනසක් පෙන්වන්නේ නැත . ඉවත්ව යන්නේ වත් ඉදිරියට එන්නේවත් කිසිවක් නැත . මදක් වෙලා බලා සිටි සීයා දකුණු කකුල ඉදිරියට තැබුවේය . ඒත් සමගම යකුන් හතරදෙනා සිංහයින්ගේ ගර්ජනාව පරදුවන ගර්ජනාවක් කළහ . වෙසමුණි සරයේ පළමු අදියරයේ ඇත්තෙන්ම සැරයක් නැත ; මම තේරුම් ගත්තෙමි . සීයා ඉස්සර වන්නේ නැත . එබැවින් කල්වේලා බලා මම මහානුභාව සම්පන්න මහා වෙසමුණි  සැරය පිම්බෙමි .

..................... ඕන් ද්රීඟ ද්රීඟ වෛමණ්ඩල සුබාහානා අතීන්ද්‍ර ප්‍රාතා තීල ගවරාමා ජළඟ කර්ග්ග විෂ්ණු පූට්ටු ආදේසා දේවගුරු සක්කෝල සාමා සර පූට්ටු ආදීග්ර වූ සූරිය මණ්ඩල ඉරු රැස් රාම ශර පූට්ටු කඳ කුමාර නාරයනේ විෂ්ණු ගිනි පූට්ටු කියා මයුර විල්ලෝඩි දැපනේ සිටු කියා මේසේ මේ මන්ත්‍ර රාජයාගේ ආනුභාවයෙන් වෙසමුණි දිව්‍ය රාජයින් වහන්සේත් නමස්කාර කර සිටියාහ ඕන් ගරුඬ ජාල කදිර නාරායනේ විෂ්ණු ගිනි පූට්ටු කියා සමන් දෙවියොත් නමස්කාර කර සිටියාහ ඕන් සුක්‍රී ගුරු ලාදාර දේස් රාජාහෝ පූට්ටු කියා මයුරාසන කඳ ස්වාමීන් වහන්සේත් නමස්කාර කර සිටියාහ වෛමණ්ඩල විෂ්නුගිනි පූට්ටු නාරායනේ වෙසමුණි සැර දහර දහර මත මත චම්පා සැර දහර හෙනගිණි පටලවා බන්ධ බන්ධ යක්ෂ යක්ෂයා යක්ෂනී ආලෝක දැපනේ හිටු යක්ෂයා ආලෝක දැපනේ හිටු !


කියා මම ගත් හුස්ම පහර වේගයෙන් පිම්බෙමි . යක්ෂයින් හතරදෙනා එකවරම අතුරුදහන් විය . සීයා මාගේ අතින් අල්ලා සීයාගේ කරේ වූ සුරය මගේ කරේ එල්ලුවේය . වෙසමුණි සැරය පිඹින පුද්ගලයා කවුරුන්හෝ වේවා යකුන් යක්ෂණියන් ලං වීමට නොහැකි තරමේ බලවත් කෙනෙකු විය යුතු බව මට සිහපත් වූයේ එවියට . නැතිනම් පලා යන යක්ෂයින් නැවතත් මතුරන පුද්ගලයා සොයා ඒමට ඉඩ තිබේ . ඒ අතින් සීයා ඉදිරියේ මා ලාබාලයෙකි . ඒ නිසාදෝ සීයා තම සුරය ගලවා මාගේ කරේ එල්ලා මගේ අතින්ද අල්ලාගෙන කෙමෙන් කෙමෙන් නිධානය තැම්පත් කර ඇති ගල් ගුහාවේ ඉදිරියට ගියේය .

එම ගල්ගුහාව පිළිබඳව වැඩිදුර යමක් කිව යුතුයැයි මම සිතමි . එය අඩි හයක හතක පමණ උස ඇති ගුහාවකි . දෙතුන් දෙහෙකුට එකවර ඒ තුල ගමන් කළහැක . එහෙත් ඒ තුලට පිවිසීමට තැත් කර ඇති වැල් සහ ගස්වල මුල් නිසා ඒ තුලට පිවිසීමට තරමක් අපහසු විය .

සීයාත් මමත් අත්වල ඇති පිහිවලින් ගසා එම මුල් හා වැල් කපා දමා ගුහාවට ඇතුල් වීමු .

" පුතේ මේක ඇතුළට මෙහෙම යන්න බැහැ . හුළු අත්තක් පත්තු කරගමු . නැත්නම් ඇතුළට යන්න යන්න කරුවල වෙනවා "

" සීයේ පොල් අතු නැහැනේ එළියේ . මොනවද පත්තු කරන්නේ ? "

" එන්නකෝ එළියට . මම දැක්කා ඈතින් පුවක් ගස් වගයක් . ඒවායේ වේලිච්ච කොළ අතු එකතුකරලා හුළු අත්තක් දෙකක් හදාගන්න පුළුවන් වෙයි "

සීයා පුවක් ගස් අසලට ගොස් වියළි අතු කීපයක් ගෙනවිත් ඒවා කපා හුළු අතු දෙකක් සාදාගත්තේය .

"හ්ම්ම්ම් මේවා පත්තු කරගත්තම සෑහෙන වෙලාවක් ඇවිලිලා තියේවි "

සීයා සිනාසෙමින් කීවේය . අවසානයේ සීයාත් මමත් හුළු අතු දල්වා නිධන් ගුහාවට පිවිසියෙමු . ගුහාව තුලට යනවා යනවා ඇරෙන්න කිසිම හෝඩුවාවක් නැත . සෑහෙන වෙලාවක් නිහඬව සිටි සීයා තම හඬ අවදි කළේය .

" ආ පුතේ , මොනවද ඔය නිධානය තියෙන තැන දැනගන්න තියෙන හෝඩුවාවල් ? "

" සීයේ ගල් දොරටුවක් තියෙනවා . එතන තියලා තමයි බහිරව පූජා කරලා මන්තර මතුරලා අමනුස්ස බන්ධන කඩන්න ඕන . එතකොට ගල් දොරටුව ඇරෙනවා කියලා තමයි සන්නසේ තිබුණේ . ඒත් හාමුදුරුවෝ කිව්වේ නෑ ගල් දොරටුව කොහේ තියෙනවද කියලා සටහන් වෙලා තියෙනවා කියලා . අපිටම තමයි හොයාගන්න වෙන්නේ "

" හ්ම්ම් . එහෙනම් ඔහොම ඇතුළට ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා "

සීයාත් මමත් ඇතුළට ගමන් කරනවිට පළමු සලකුණ හමුවිය . ඒ කළු ගලින් නිමවා ඇති ඇත් රූපයකි . සොඬය ඔසවා සිටින ඉරියව්වෙන් එය නිමවා තිබේ .





" සීයේ මේ කිට්ටුමව ඇති ගල් දොරටුව . මටනම් හිතෙනවා මේ ඇත් රූපය ඒකට සලකුණක් වෙන්න ඇති "

" එන්නකෝ මේ පැත්තට . මේ පැත්තේ ටිකක් ඉඩකඩ තියෙන්න හදලා තියෙන්නේ මෙතන මොකක් හරි ඇති කියලා මටත් හිතෙනවා "

ගල්ගුහාවේ පැත්තකට වන්නට වටපිටාව වඩාත් ඉඩකඩ ඇති අයුරින් විශාල කර සාදා තිබිණි . නිසැකවම මේ ස්ථානයේ ගල් දොරටුව පිහිටා තිබිය යුතුය . සීයාත් මමත් වටපිට බලමින් හුළුඅත්ත ගල් බිත්තියට ලං කරමින් එම ස්ථානය පරීක්ෂා කළෙමු .

" සීයේ මේ තියෙන්නේ ඒ ගල් දොරටුව වෙන්න ඕන "

මම මහත් සන්තෝෂයෙන් කීවෙමි . සීයා වහාම මාදෙසට ආවේය .

" ඇත්ත නේන්නම් . මේ තියෙන්නේ දොරටුවක සලකුණක් තමයි . මේක අරින්න ඕන නම් අපිට අර ගල් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් . ඒත් ගුරුකම් කරලා තියෙන නිසා අපි ඒ පිළිවෙලටම කරමු . මේවායින් මොන මොන දොස් ඇතිවෙයිද දන්නෙත් නැහැනේ "

" සීයේ මොකද කරන්නේ දැන් ? . අපි අද මෙතන ඉන්නවද නැත්නම් ආයෙත් යනවද ? . දැන් පාර දන්නා නිසා අපි දෙන්නට ඉක්මනටම මෙතනින් පිටත්වෙලා කරත්තය නවත්තලා තියෙන තැනට යන්න පුළුවන් වෙයි "

" හ්ම්ම් එහෙනම් ඉක්මන් කරලා යමු . දැන්මම ඇඳිරි වැටිලද දන්නේ නැහැ . අපි මේක ඇතුළට එනකොටත් හවස් වෙලා නෙව තිබුණේ "

සැබෑවකි . සීයාත් මමත් ගුහා දොරකඩට පැමිණෙන විට ඇඳිරි වැටී තිබිණි . අවසානයේ අපට සෙවනක් වූයේ ඉහත කී ආරණ්‍ය සේනාසනයේ භාවනා කරමින් සිටි භික්ෂූන් වහන්සේය . උන්වහන්සේ අපට රාත්‍රී ආහාරයත් නවාතැනුත් දුන්හ . ඇත්තෙන්ම උන්වහන්සේ පතන්නාවූ බෝධිය ළඟා කරගැනීමට ඒ කල පිංකම හේතු වාසනා විය යුතුය .

පසුදා උදෑසන අප පිටත් වීමට මත්තෙන් උන්වහන්සේ අපට අවවාදයක් දුන්හ ........................

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment