ජ්‍යෝතිෂ නෑම , ආයුර්වේද නෑම සහ ඇදගෙන නෑම





උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු කරපු සමන් විජේතුංග කියන සර් තමයි . ඉස්කෝලේදී අපේ පන්තියට සර් ඉගැන්නුවේ නැහැ . ඒත් මම ක්ලාස් ගියේ සර් පවත්වපු ක්ලාස් එකට . ඒ ක්ලාස් එකේදී තමයි මට මතක විදියට මේ තාපය එහා මෙහා වීම හරියටම අවබෝධ කරගත්තේ .

මොකද සර් අකුරක් ගානේ බොහෝ පැහැදිලිව නෝට් එකක් දෙනවා . කොමාව පවා වෙනමම කියලා ළමයින්ට ඒ නෝට් එක පිළිවෙලට දෙනවා නැවතත් කියවලා අවබෝධ කරගන්න පුළුවන් විදියට .

සමහර නිවාඩු දවස් වලට උදේ 7 30 ඉඳලා දහවල් 1 30 වෙනකල් දිගටම ක්ලාස් . සර් කියන්නේ " ළමයි අපි නිවාඩු දවසෙත් ඉගෙන ගන්න ඕන " හරියට රසායන විද්‍යා පාසලක වගේ උදේ ඉඳලා දවල් වෙනකල් ඒ කාලයේ ඉගෙන ගමු " කියලා . කොහොමහරි ඒවගේ දවසකට වැරදිලාවත් වැඩිය පැහැදිළි කිරීම් නැති දේවල් නම් තියෙන්නේ ලිවිල්ලක් තමයි ඉතින් දවසෙම අපිට උරුම වෙන්නේ . සමහර දවසට සර් ම කියනවා , " ළමයි අද වැඩිය පැහැදිළි කිරීම් නම් නැහැ " කියලා . එතකොට ඉතින් අපේ මූණු ඇද වෙලා යන්නේ ඒ දවසේ ඉදිරි පැය කීපයේදී අපිට අත්වෙන ඉරණම ගැන කල්පනා කරලා .

තාපය , එන්තැල්පිය , එන්ට්‍රොෆිය වගේ දේවල් ගැන වැඩිපුර අපිට කියලා දුන්නේ කැම්පස් ආවට පස්සේ . විද්‍යාගාරයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක අපිට ඒ දේවල් විස්තර කරලා දුන්නා . සමහර දවස් වලදී කරන්න තිබ්බ ප්‍රැක්ටිකල් වලදී තත්පර 30 න් 30 ට උෂ්ණත්වය වෙනස් වීම් ගැන රීඩින්ග්ස් ගන්න තිබුණා . ඒවගේ දවස් වලට ඉතින් මැරිලා වගේ තමයි ලැබ් එකෙන් එලියට එන්නේ . ඒත් දැන් ඒ දේවල් ගැන මතක් කරනකොට ආයෙත් ඒ දේවල් වලට යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා .

මේ ලිපිය ලියන්න මුල පුරන්න ඔය දේවල් බලාගෙන එනකොට තමයි උසස්පෙළ සහ කැම්පස් එකේ මේ උෂ්ණත්ව මිතිය සහ ශක්ති විද්‍යාව ගැන ටිකක් කියවලා බැලුවේ .

අපේ ශරීරය ස්ථාවර උෂ්ණත්වයක පවතින ශරීරයක් . සාමාන්‍ය නීරෝගී වැඩිහිටි කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37 ක් කියලා තමයි ගණන් ගන්නේ . මේ උෂ්ණත්වය ශරීරයේ පවත්වාගන්න විශාල ප්‍රමාණයේ ක්‍රියාවලීන් රැසක් කරනවා . ඒ ක්‍රියාවලීන් වලින්

හෝමෝන ක්‍රියාවලිය
ආහාර ජීර්ණය
ස්නායු ක්‍රියාවලීන්
රුධිර සංසරණය
මුත්‍රා පිට කිරීම
පේශී චලනය

වගේ ක්‍රියාවලීන් වැදගත් කාර්යයන් රැසක් ඉෂ්ට කරනවා . මේවා මෙහෙම සරළව නම් කරාට මේවායේ යාන්ත්‍රණ හරිම සංකීර්ණයි වගේම තමයි එකිනෙකට ඒවා බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ එකම පද්ධතියක් වගේ . මෙහෙම වැඩ කරන ශරීරය සිසිල් කිරීමෙන් නැවත නැවත රිෆ්‍රෙශ් කිරීමක් තමයි මේ ස්නානය කියන දෙයින් සිද්ධ වෙන්නේ .

සාමාන්‍යයෙන් ශරීරය හරියාකාරව සිසිල් වෙනවා නම් ශරීර අභ්‍යන්තරයම සිසිල් වෙන්න ස්නානය කිරීම වැදගත් වෙනවා . ඒ වගේම තමයි ඒ ස්නානය කිරීම කරනකොට ශරීරයේ දේහ උෂ්ණත්ව යාමන ක්‍රියාවලීන් නැවත නැවතත් ප්‍රකෘතිමත් වීමක් වෙනවා . මෙන්න මේ මූලිකම සිද්ධාන්තය තමයි ස්නානයේදී ශරීරයේ යහපැවැත්ම වෙනුවෙන් යොදාගන්නේ .

ඒත් අද වෙනකොට මේකේ අනික් පැත්ත තමයි මිනිස්සුන්ගේ මතය වෙලා තියෙන්නේ . ඒ කියන්නේ ශරීරය පිරිසිදු කරගන්න ඕන නිසා ස්නානය කරනවා , ඒ එක්කම ඇතුලාන්තය සීතල වෙනවානම් වෙයන් , නැත්නම් නොවියන් කියන අදහස . ඒත් රසායන විද්‍යාත්මක පදනමක් ගැන දැනගෙන හිටියා හෝ නොහිටියා ඒ කාලේ ජීවත් වෙච්ච උදවිය නම් ස්නානය කියන දේ තමන්ගේ ශරීරයේ සිසිල් වීම වෙනුවෙන් කරා කියලා පිළිගන්න සාධක ඕන තරම් තියෙනවා . හොඳම සාධකය තමයි සිංහල අවුරුද්දට හිසතෙල් ගෑම සහ ස්නානය කිරීම කියන චාරිත්‍රය .

ශුක්‍රාණු වර්ධනය වීම සහ පරිණත වීම වෙන්නේ ශරීරයේ බැහැරින් තියෙන වෘෂණ තුල .ඔය පරිණත වීමේ යම් යම් වෙනස්වීම් වෙන්න බලනවා උෂ්ණත්වය වෙනස් වීම නිසා . වැඩියෙන්ම වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න රැකියාවල් කරන අය , උෂ්ණත්වය අධික පරිසරවල රැකියාව සිදුකරන අය , තද ඇඳුම් ඇඳගෙන ඉන්න අය , ගොරෝසු ඇඳුම් ඇඳගෙන ඉන්න අයගේ මේ ශුක්‍රානුවල තත්වය දුර්වලවීම වෙන්න පුළුවන් . ඒ අයට ඒ තත්වය යම් ප්‍රමාණයක් සමනය කරගන්න මේ ස්නානය කියන දෙයින් පුළුවන් . මොකද ශරීරයේ සෑම කොටසක්ම වාගේ ස්නානයෙන් සිසිල් වෙලා යන නිසා ඒ තත්වය සමනය කරගන්න පුළුවන් කමක් ස්නානයෙන් පුළුවන් වෙන නිසා .





හැබැයි සමහර ස්ථානවලදී මේ ස්නානය සම්බන්ධව යම් යම් වෙනස් මත සඳහන් වෙනවා . මොකද නිතරම ස්නානය කිරීම නිසා ශරීරයේ ශක්තියේ දුර්වලවීමක් වෙන්න පුළුවන් කියලා යම් මතයක් තියෙනවා . ඒකෙත් යම් ඇත්තක් තියෙන්න පුළුවන් . මොකද යෝගී අභ්‍යාස වගේ දේවල් වලදී ආයුෂ වර්ධනය වීම කියලා කියන්නේ ශරීරයේ ශක්ති භාවිතය අඩු කරගෙන අඩුකරගෙන ගිහින් විශ්ව ශක්තියෙන් ජීවත් වීම ආරම්භ කිරීමට . එතකොට හුස්ම ගැනීම පවා අඩු කරලා අඩුකරලා අවසානයේ හුස්ම නොගෙන ශරීරයේ ආහාර බිඳීම නතර කරලා විශ්ව ශක්තියෙන් ශරීරය පවත්වා ගැනීමක් ඉගැන්වෙනවා . ඒ ඉගැන්වීම එක්ක මේ ස්නානය කිරීමෙන් ශරීරය අධික ලෙස සිසිල් කිරීම පරස්පර වෙනවා .

මොකද ශරීරය සිසිල් වෙන්න වෙන්න ශරීරය නැවතත් තිබ්බ තත්වයට ඌෂ්නවත් වෙන්න ශරීර ක්‍රියාවලීන්ගේ ත්වරණය වීමක් වෙන නිසා . ඒත් මේ ඉගැන්වීම් දෙකේම සංකලනයක් ගැන මට කියවන්න ලැබුණා . ඒ කියන්නේ ශරීරය සීතල වෙන්නෙත් නැති ඌෂ්ණවත් වෙන්නෙත් නැති උදාසීන මට්ටමකට අරගෙන ජීවය , එහෙමත් නැත්නම් මනෝමය ශරීරය පමණක් ක්‍රියාත්මක වීම මගින් ශරීරයේ ක්‍රියාවලීන් පාලනය කිරීම . එහෙම කරනවානම් මේ ස්නානය නිසා ශරීරය සිසිල් වීම ගැටළුවක් වෙන්නේ නැහැ . ඒත් අද කාලේ ඒ තරම් දුරට යන අය හොයාගන්න අමාරුයි . ඒ නිසා තියෙන දේ දියුණු කරගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මම මේ ලිපියය එකතු කරන්න පුළුවන් දේවල් එකතු කරේ .

පැරණි පිළිගැනීම අනුව මෙන්න මේ දවස්වල ස්නානය කිරීම නිසා මෙන්න මේ මේ දේවල් වෙනවා කියලා මතයක් තියෙනවා .

ඉරිදා - රුව අඩුවීම

සඳුදා - ශරීරයට ගුණ දායක වීම

අඟහරුවාදා - රෝගී වීම

බදාදා - ධනවත් වීම

බ්‍රහස්පතින්දා - කළහ ඇතිවීම

සිකුරාදා - දරුවන් රෝගී වීම

සෙනසුරාදා - ශරීරයට ගුණ දායක වීම


මේ කියන විදියට ඒ ඒ දවස්වලදී වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා බලනකොට පේන්නේ ඌෂ්නවත් ග්‍රහයින්ට හිමිවෙලා තියෙන දවස්වල ස්නානය කිරීම ශරීරයට අගුණ වීමක් තිබීම . ඒකෙන් අපිට හිතන්න පුළුවන් උඩින් කියලා තියෙන කතාවල යම් ඇත්තක් තියෙනවා කියලා . මොකද ඌෂ්නවත් ග්‍රහයින්ගේ දවස් වලදී අපේ ශරීරවල තියෙන ඌශ්නයත් වැඩි වෙනවා කියන නිසා .

එතකොට වැඩියෙන් රත්වෙලා තියෙන ශරීරය එකපාරටම සිසිල් කරනකොට අභ්‍යන්තර යාන්ත්‍රණයත් එකපාරටම වෙනස් වෙන්න බලන නිසා සමතුලිත භෞතික පරිසරය වෙනස් වෙනවා . එතකොට ඇඟේ ලෙඩ ඇතිවෙන්න පුළුවන් . කවදා නෑවත් මොකද කියලා නෑවට ඒ කාලේ මේ සිරිත් අනුගමනය කරපු අයට වැඩි ආයුෂ තිබුණා සහ අද කාලේ අයට වැඩි ආයුෂ නැහැ කියලා මතක් කරගන්න ඕන .

ශරීරයේ ක්‍රියාත්මක වෙනවා අපිට පෙන්නේ නැති ශක්ති පද්ධතියක් වගේ දෙයක් . ඒක ශක්තියක් කියලාම කියන්නත් බැහැ . ඒත් සංසරණය වීමක් වෙනවා සහ යමක් පාලනය කරන්න සහ දිශානත කරවීමක් කරන්න හැකියාවක් ඒ පද්ධතියට තියෙනවා . භෞතික ව්‍යාවච්ඡේදයට ඒක පෙන්නුම් කරන්නේ නැහැ .

ඔය දේ ක්‍රියාත්කම වීමට සඳ ගමන වඩාත් මූලික වෙනවා . චන්ද්‍ර කළා ඇතිවීම , චන්ද්‍රයා එක් එක් නැකත් පසුකිරීම මේ මම කියන පද්ධතියේ ක්‍රියාත්මක වීම වෙනුවෙන් බලපානවා . ඊටත් අමතරව කලාව පිහිටීම කියන දේ මේ පද්ධතියත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ . විෂ කලාව අමෘත කලාව කියලා ඔය ලිත්වල සඳහන් වෙන්නේ ඒ මම කියන පද්ධතිය තමයි . අද කාලේ ඒක ගොඩක් වෙලාවට ලිතටම තමයි සීමාවෙලා තියෙන්නේ . දකින කිසිම තැනක වෛද්‍ය කර්මය වෙනුවෙන් මේ දේ යොදාගන්නේ නැහැ . ඒත් මේ පද්ධතිය සක්‍රිය කිරීමෙන් ශරීරයට කරන යම් යම් බෙහෙත් කිරීම් වඩාත් සාර්ථක කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා .

මේ අදෘශ්‍යමාන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උදාහරණ විදියට මට මෙන්න මේ දේවල් මතක් වෙනවා .

විෂ වෙදකමේදී සර්පයින් දෂ්ට කරාම විෂ බස්වන්න විවිධ ක්‍රම පාවිච්ච්චි කරලා තියෙනවා . මේ ක්‍රම වලදී හැම තැනකම වගේ විෂ අරගෙන එන්නේ පාදය දක්වා . ඒක කොහොම වෙනවද මොන පාරක් දිගේ එනවද කියලා පැහැදිළි කිරීමක් වෙන්නේ නැහැ . ඒත් රුධිර ගමන හරහා එනවා කියලා අපිට යම් අදහසක් ඇතිකරගන්න පුළුවන් . මේ විෂ පහළට අරගෙන එන රාජකාරියේදී විවිධ ක්‍රියාමාර්ග තියෙනවා .

එකක් තමයි ඖෂධ තියෙන ජලය සහිත භාජනයකට කකුල් දාගෙන ඉන්න කියනවා . සමහර වෙලාවල් වලදී මේ ඖෂධ සහිත ජලයේ වර්ණය වෙනස් වීමෙන් විෂ ශරීරයෙන් ඉවත් වුණා කියලා නිරීක්ෂණය කරනවා .

එහෙමත් නැත්නම් මේ විෂ ඉවත් කරන්න තෙල් සහිත භාජනයකට කකුල් දාගෙන ඉන්න කියනවා . ඒකෙත් වෙන්නේ කලින් විදියම තමයි .

ඕවත් හරියන්නේ නැත්නම් මන්තර වලට එනවා . මන්තර වලදී රෝගියාගේ පාදය බිම තියලා යටිපතුල් පොළවේ තදින් ස්පර්ශ වෙන්න තියාගන්නවා . සමහර වෙලාවල් වලදී පොළවට විෂ ගමන් කරවනවා කියලා මතුරලා මතුරලා ශරීරයෙන් විෂ ඉවත් කරනවා . එහෙමත් නැත්නම් මතුරන්න ගත්ත කොළ අත්තට ශරීරයේ විෂ ඇවිත් කියලා ඒකෙන් විෂ ඉවත් කරනවා . මේ කොයි ආකාරයෙන් විෂ ඉවත් කරත් වෙන දේ පේන්නේ නැහැ . ඒත් ලෙඩා සනීප වෙනවා . දළ හතරම වැදුනත් ඔය වගේ දේවල් වලින් ශරීරයෙන් විෂ ඉවත් කරලා තියෙනවා . ඒත් ඒ කොහොමද වෙන්නේ කියලා කාටවත් පහදන්න බැහැ . ඒ නිසා මම ඔය කියන පේන්නේ නැති පද්ධතිය වඩාත් වැදගත් පද්ධතියක් ආයුර්වේදයේදී නම් .

මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පැවතීම ආයුෂ වර්ධනය කරනවා වගේම තමයි ඒ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වාගන්න ස්නානය කිරීම වැදගත් වෙනවා . මොකද මේ ශක්ති ගලනය හිසේ සිට පාදාන්තය දක්වා වෙන්න ඕන නිසා . සමහර වෙලාවල් වලදී පැති මාරුවීමක් වෙන්න බලනවා . ඒත් බෙහෙත් වලින් සහ මේවගේ ක්‍රම වලින් ඒ පද්ධතිය නිසියාකාරව පවත්වා ගන්නවා .

ඔය පද්ධතිය හොඳට තියෙන අයට තමයි කියන්නේ එයාට නම් ඉහෙන් බහින ලෙඩක් නැහැ කියලා . ඉහෙන් බහිනවානම් ඉතින් ඒ ක්‍රියාත්මක වීම අවුල් . එතකොට බෙහෙත් වලින් ක්‍රියාත්මක වීම හරිගස්සලා තමයි ලෙඩේට බෙහෙත් කරන්න ඕන .

දැන් අපි බලමු ඒ ඒ දවස් වලට නියම කරලා තියෙන ගස් වර්ග මොනවද කියලා .

ඉරිදා - ඉඹුල්
සඳුදා - දිවුල්
අඟහරුවාදා - කොළොන්
බදාදා - කොහොඹ
බ්‍රහස්පතින්දා - බෝ
සිකුරාදා - කරඳ
සෙනසුරාදා - නුග





මෙන්න මේ ගස් ඒ ඒ දවස්වලදී තමන්ගේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් කෙරෙන බවක් පිළිගැනෙනවා ආයුර්වේදයේ සහ ජ්‍යෝතිෂ විද්‍යාවේදී . විකිරණශීලීතාවය කියන දේත් ගස්වල ඇතිවෙනවා කියන එක අද ඔප්පු කරලා තියෙනවා . මේ ක්‍රියාකාරීත්වය අනුව මේ ගස් ශරීරයේ පැවැත්ම වර්ධනය කරගන්නත් යොදාගන්නවා .

හොඳම උදාහරණය තමයි හිසතෙල් ගෑම කියන්නේ

හිසතෙල් ගානකොට හිසට තියන්නේ තෙල් ගාන දවසේ පත්‍ර . පයට තියන්නේ තෙල් ගාන දවසට කලින් දවසේ පත්‍ර වර්ගය . මේ දෙවර්ගය ශරීරයේ හිසේ සහ පාදයේ තියන නිසා මම අර කිව්ව ශරීරයේ ශක්ති ගලනය වීමේ පද්ධතිය සක්‍රීය වෙලා හිසෙන් හිසතෙල් අවශෝෂණය කරගෙන ශරීරය පුරා ගමන් කරවීමක් කෙරෙනවා .

ඒත් වැදගත්ම දේ ඒක නෙවෙයි . අද කාලේ නානකොට සබන් වර්ග සහ වෙනත් රසායනික වර්ග තමයි ගාන්නේ . ඒත් ඒ කාලේ මිනිස්සු නානකොට ඒ ඒ දවස්වලදී ඒ ඒ පත්‍ර යුෂවලින් හදපු නානු වර්ග තමයි හිසගාලා තියෙන්නේ . එතකොට ඒවා නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව පැවතිලා තියෙනවා . මෙන්න මේ තැනදී ජ්‍යෝතිෂ්‍යවේදය කියන ආලෝක විද්‍යාව සහ ආයුර්වේදය ආයුෂපවත්වා ගැනීමේ විද්‍යාව එකිනෙක බද්ධ වෙලා තියෙනවා කියලා අපිට සරළවම තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා .

ඒ නිසා ආයුෂ වර්ධන කරගන්න බරිනම් තියෙන ටික ආරක්ෂාකාරීව පවත්වාගන්න වත් මේ ස්නානය කිරීමේ පිළිවෙත් යම් තරමක් දුරට පිළිපදින්න පුළුවන් නම් හොඳයි කියලා කියන්න පුළුවන් . ඉඳලා හිටලා වත් ඒ ඒ ගස්වල කොළ වර්ග යුෂ නානු හිසේ ගලවන්න පුළුවන් නම් ශරීරයට යහපතක් ම තමයි වෙන්නේ .

බෝ ගස සම්බන්ධව යම් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් . මොකද බෝ කොළ පෑගීම ගැන . ඒ වෙනුවට බෙලි යොදාගැනීම තමයි කෙරෙන්නේ යම් ආගමික වශයෙන් ගැටළුවක් ඇතිවෙනවා නම් . ඒත් අවශ්‍යතාවය මත බෙහෙත් වර්ග නිපදවන්න නම් බෝ ගහේ පස්පංගුවම ගන්න අවස්ථා තියෙනවා . ඒවා ඉතින් ඒ ඒ වෙලාවල් වලදී තමන්ගේ මතය අනුව කරගත්තට කමක් නැහැ .





බෝ කිව්වම තවත් දෙයක් මතක් වුණා . බුද්ධ කේන්ද්‍ර සටහන කියන දේ . ඒකත් මේ ස්නානය එක්ක ගස්වල සම්බන්ධ වීම පැහැදිළි කිරීමේදී පැත්තකින් යොදාගන්න පුළුවන් . මොකද බුදුහාමුදුරුවන්ගේ කේන්ද්‍ර සටහනේ ලග්නයේ ගුරු ග්‍රහයා බලවත් වෙලා තැම්පත් වෙලා ඉන්නේ . කේන්ද්‍රයක ලග්නය කියන්නේ මනුෂ්‍ය ශරීරයේ හිස . හිසට අදාළ ගස යට තමයි අවසානයේ සත්‍ය අවබෝධ කරගන්න බුදුන්වහන්සේ සමාධිගත වෙන්නේ .

ඒ ගැන හිතනකොට මට මෙහෙම හිතෙනවා . මොකද බුදුන්වහන්සේ ඉන්දියාවේ තිබ්බේ මහා සාම්ප්‍රදායික 64ක් ශිල්ප ඉගෙන ගෙන තිබුණා . ඒ අතර ඉතින් මේ මම කියන ශිල්පත් තිබුණා . ඒ අනුව උන්වහන්සේ සමාධිගත වීමට බෝ ගස යටම තෝරාගැනීමට මේ හේතුවත් තිබ්බද කියලා යම් සාධාරණ සැකයක් ඇතිවෙනවා . මමනම් ඒක එහෙමමයි කියලා විශ්වාස කරනවා . අනිත් අයට ඉතින් සැකයක් ඇතිකරගන්න පුළුවන් .

බෝ ගහේ බෝ කොලවල විකිරණශීලීතාවය බුදුන් වහන්සේට තමන්ගේ ශරීරයේ චක්‍ර හත අධික ක්‍රියාකාරීත්වයකට පත්කරගන්න උදවු වුණා වෙන්න පුළුවන් . ඒකෙන් අවසානයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ශක්තියේත් ස්කන්ධයේත් අන්‍යෝන්‍ය හුවමාරුව සහ පැවැත්ම නතර කරා කියලා හිතන්න පුළුවන් . මොකද ශරීරය ස්කන්ධයක් , මනස ශක්තියක් . ශරීරයේ සහ මනසේ යම් යම් ප්‍රමාණවලින් තැම්පත් වෙලා තියෙන ස්කන්ධය සහ ශක්තිය ඉදිරියට හුවමාරුවීම උන්වහන්සේ නතර කරලා තියෙනවා . ඉතින් ඒ ශක්ති සමතුලන කරන්න බෝ ගහෙන් යම් උදව්වක් වුණා කියලා අපිට හිතන්න පුළුවන් නේද අතීතයේ ඉඳලා පැවතගෙන එන මේ ශිල්ප ශාස්ත්‍ර දිහා බලනකොට .

ආයුර්වේදය සම්බන්ධව ලියවිලා තියෙන යම් තැනක යම් ආචාර්යවරයෙක් සටහන් කරලා තියෙනවා මිනිසා කියන්නේ උඩුයටිකුරු කරන ලද ශාකයක් කියලා . මොකද ශාකයක මුල් වලින් තමයි ආහාර සහ ජලය ගන්නේ . අපි ඉතින් ශරීරයේ ඉහළින්නේ කන්නේ බොන්නේ . ඒ නිසා ගසේ මුලට වතුර දානවා හා සමානවම හිසටත් ස්නානයෙන් යම් හොඳක් වෙනවා කියන එකයි එතන ඒ අදහස් කරලා තියෙන්නේ .

අදකාලේ වෙනකොට මේ සිරිත් විරිත් සියල්ල නැතිවෙලා වෙනමම දේවල් ටිකක් තමයි ඇතිවෙලා තියෙන්නේ . එහෙම තත්වයක් ඇතිකරගෙන අවසානයේ මිනිස්සු පරමායුෂ වර්ධනය කරගන්න සහ රෝගවලින් තොරවෙන්න කියලා අලුතෙන් දේවල් හොයනවා .





නානකොට හිසේ සබන් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය තමයි ආලේප කරන්නේ
තෙල් ගාන්නේ නැහැ , ජෙල් සහ හෙයා ක්‍රීම් ගානවා
ඇඟේ ගාන්නෙත් සබන් , වෙන කොළ වර්ග මුල් වර්ග වලින් ගන්න බෙහෙත් වර්ග ගාන්නේ නැහැ
ශක්ති ගලනය සම්බන්ධව කිසිම තැකීමක් නැහැ

එහෙම කියනකොට කෙනෙක්ට මගෙන් අහන්න පුළුවන් කෝ ඒවා කරන්න වෙලාව කියලා සහ ගස්වැල් කෝ කියලා . විසඳුම් දෙකයි තියෙන්නේ . තමන් වෙනුවෙන් වෙලාවක් යොදාගන්න සහ අවශ්‍ය දේවල් වගා කරගන්න .

මේ මූලධර්ම සම්බන්ධව කිසි කෙනෙක් තැකීමක් කරන්නේ නැහැ . මගේ ලිපි කොපි කරලා හෙනරාජ රාජතරන්ගනී තෙල් විකුණනවා වගේ අද කාලේ වෙන්නේ පරණ සෘෂිවරු හදපු බෙහෙත් වට්ටෝරුවලින් ක්‍රියාකාරී සංයෝගය වෙන් කරලා අරගෙන ඒක බෙහෙතක් පෙත්තක් විදියට හදන එක .

ඒ නිසා වෙන්නේ ඒ බෙහෙතෙන් ශරීරයට වෙන අහිතකර දේ නැති කරන්න ඒ බෙහෙත් වට්ටෝරුවේ තිබ්බ දේවල් නැතුව ලෙඩේ තියෙන තැනට විතරක් බෙහෙත් දාන එක . ඒ නිසා තමයි ඔය සයිඩ් ඉෆෙක්ට් ඇතිවෙලා තියෙන්නේ එක එක බෙහෙත් වලින් . හනේ මන්දා ඉතින් . පුළුවන් තරම් ඉංග්‍රීසි බෙහෙත් වලින් ඈත් වෙලා සිංහල බෙහෙත් වලට හැරෙන්න පුළුවන් නම් හොඳයි .





තවත් ලිපියකින් හමුවෙමු .

රසායනික පරිසරය නිසා මානව සංහතියම අද වල පල්ලට යමින් ඉන්නේ

එහෙම වලපල්ලට යමින් ඉන්න

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

( කරුණු සොයාගන්න උදවු කරපු පාරම්පරික ආයුර්වේද වෛද්‍ය රාජ තරංගනී මහත්මියට ටැංකියු )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය