සඳ එළියේ අසිපත ( 10 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි




පසුගිය කොටසින්

" සූටියා ....... මෙහෙ වරෙන් කොල්ලෝ . මේ ගුරුන්නාන්සේ එක්ක ගිහින් උදවු වෙන්න ගුරුන්නාන්සේගේ වැඩ වලට "

සුවාරිස් මුදලාලිගේ ගෝලයා කරත්තය සීරුවට කරුවක ගැටගසා අනතුරුව හරකා ලිහා ගසක බැන්දේය . අනතුරුව අප ගෙන ආ පිදුරු නොගෙන මුදලාලිගේ හරකුන්ට කන්නට තිබෙන පිදුරු වලින් පිදුරු මිටි දෙකක්ද ගෙනවිත් හරකාට කෑමට දැම්මේය . ඔවුන් ඒ තමරමටම සීයාට යටහත් පහත්ව සේවය කළහ .

හෙට අප නවතින්නේ මහියංගණයේ බව සීයා කියනු මට ඇසිනි . මම ඖෂධ මංජුසා සහිත මල්ල අතට ගත්තෙමි . සීයා පොත අතට ගත්තේය . පසුව සුවාරිස් මුදලාලි සූදානම් කරදුන් කාමරයේ එදින රාත්‍රියේ නවාතැන් ගතිමු . අපට හෙට යාමට තිබෙන්නේ අලි ඇතුන් ගහන මහ වනාන්තරයක් මැදින්ය . සමන් දෙවියන්ට අයත් මහියංගණය ප්‍රදේශයට යාමට අපට සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නොඅඩුවම ලැබෙන මම මම විශ්වාස කරමි . ඒ එතුමන් සිවු හෙළයේ නාග ගෝත්‍රය නියෝජනය කරන නායකයෙකු නිසාය .

අද එතැන් සිට







පසුදා උදෑසනම අවදි වූ මමත් සීයාත් සුවාරිස් මුදලාලිගේ නවාතැන්පළෙන් නික්ම යනවිට පාන්දර පහ පමණ වී ඇත . වලව්වේ මෙන් ඔවුනට ඔරලෝසු භාවිතා කර පුරුද්දක් නැත . ඔවුන් වේලාව බලාගන්නේ හිරු දෙවියන්ගේ සක්මනෙන් සහ කුකුලාගේ හඬලෑමේන් පමණි . ඔවුන්ගේ කටයුතු හරියාකාරව කරගැනීමට එය ප්‍රමාණවත් හෙයින් ඔවුන් ඔරලෝසු භාවිතා කරන්නට හුරුවී නැත . සීයාද කුඩා කාලයේ ඔරලෝසු නැතිව හරියටම වේලාව බලාගන්නා ආකාරය පිළිබඳව ගුරුහරුකම් දී ඇති නමුත් කාලයත් සමගම එය භාවිතා නොකිරීම නිසා එය කලයුත්තේ කෙසේද කියා මාහට ඒ හැටි අත්දැකීමක් නොමැත . 

සීයා නවාතැන්පළෙන් නික්ම යන අවස්ථාවේ සුවාරිස් මුදලාලි අතේ ප්‍රමාණවත් මුදලක් තැබුවද ඔහු එය භාරගත්තේ නැත . පසුව සීයා කතාවෙන් කතාව කඩ පෙට්ටියට සල්ලි දමා නවාතැන්පළෙන් පිටත්ව ආවේය . 

" ඔය සුවාරිස් ඉස්සර වලව්වට එනවා . පුතාට මතක නැත්ද ? " 

" මටනම් ඒ හැටි මතකයක් නැහැ සීයේ . සමහරවිට දැන් ගොඩක් කල් නිසා හැඩහුරුකම් වෙනස් වෙලා නිසා වෙන්න ඇති " 

" ඔය මනුස්සයා නොකළ රස්සාවක් නැහැ දැන් ඔහොම හිටියට . අන්තිමට මගෙන් නැකතක් හදවාගෙන ගිහින් තමයි ඔය කඩ කෙරුවාව පටන් ගත්තේ . දැන් මිනිහට ජයයි . ඊට පස්සේ වතාවක් දෙවතාවක් විතර වලව්වට ආවා . පස්සේ පස්සේ වැඩ රාජකාරි වැඩිවෙනවත් එක්කම මනුස්සයට වලව්වට එන්න වෙලාවක් ලැබුනේ නැහැ " 

" සීයා අද රෑට නවතින්න ඉන්නේ මහියංගණය පැත්තේද ? " 

" ඔවු . මම හිතන්නේ අපි දෙන්නට මේ යන හැටියට අද මහියංගණයට යාගන්න පුළුවන් වෙයි . හැබැයි යන්න තියෙන්නේ මහා ඝන වනාන්තරයක් මැදින් . අලිත් ඉන්නවා කියලා තමයි කියන්නේ . ඒ නිසා පරෙස්සමට යන්න වෙයි . කෝ ගජමදාරා සුරේ ළඟ පාතක තියෙනවද ? " 

" මම ඒක කරේ එල්ලගත්තා සීයේ " 

" ඒක හොඳයි . ඔය මදන විසේ ගහලා තියෙන අලි ලේසියෙන් මෙල්ල කරන්න බැහැ " 

කතාවෙන් කතාව සීයාත් මමත් ඉර එලිය හොඳින් වැටෙන විටදී මහා ඝන වනාන්තරයකට ඇතුළු වීමු . එය කරත්ත පාරක් වුවද කාලයකින් පාවිච්චි නොකරන ලද නිසා තරමක් වල් වැදී තිබිණ . එහෙත් බුත්තල සිට මහියංගණය දක්වා ගමන් ගන්නා කරත්ත මේ පාරෙන් ගමන් කරනබව සීයා පැවසීය . 

සුපුරුදු පරිදි සීයා නැවතත් සීයාගේ කවි ගයනාව ආරම්භ කළේය 






සීයා

ඉඳුරේ සිට කියති නයි වර්ගය කියනු
ගිනිකොණ වයඹ සවුම්‍ය පොළඟා කියනූ
වරුණ කරවැලුන් තෙලිසක් විස කියනු
ගෝනුසු ඉසානේ නියතයි දැන කියනූ

කර කරවැල් උර මාපිල් සබරලකී
දනය පොළොන් වැලමිට නම් තෙලිස්සකී
මූණ බලා රැවුදෙන නාගවිස යකී
මෙලෙස දුට නැතොත් විස නැති සර්පයෙකී

මම

උනා වරල බඳිමින් ඔහු සිටින තැන
උඩ බිම ඉවත විමසා කඳුළු පිසිමින
දෑත දෙවර වසමින් ඔහු සිටින තැන
මෙලෙස දුටෝතින් ඔහු පැමිණි කාලෙන

උදුරා පයින් තණ නෙලමින් සිටින තැන
සොඳුරා ඇඟිල්ලෙන් වල සාරයි එතන
ඇදුරා දුටු කෙනෙක් මෙලකුණු දැන කියන
ඇදුරා කියයි නියතයි පැමිණි කාලෙන


සීයා

නික්ම ඇදුරු එන යන අවුසදට දැන
දැක්ම පෙරමගට එති වැල් බාන ගෙන
ඉක්ම කළුවතක් ඇඳ දුනු ඊ රැගෙන
රැයක් තමයි මරුගෙන් ඔහුට කැප උන

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන
කියා යන ගමන් පෙරමග ගොස් අසන
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

මම

සොහොන් පෙනෙල්ලක් අරගෙන එතෙයි දනු
කිළුටු වතයි හිසවට බැම්මයි බලනු
මෙවෙනි ලකුණු ඇතුවම ආ නන් කියනු
නසී තුන් පැයක් ඇතුවම මයි කියනු

වරලස උනා එනබව දැන කියමින්නේ
උතුරේ සිටගනමයි එය පවසන්නේ
වමේ පයින් බිම සාරයි නම් දන්නේ
එසේ දුටුවොතින් දෙපැයින් එනසින්නේ

සීයා

විසගොර සර්පය කාපි කියන්නේ
එනලකුනෙන් ගුරුවර විමසන්නේ
වමතින් ඔහුගේ උරේ කසන්නේ
තිර සාරේ කරවලයි කියන්නේ

සීයා එම කවිය ගායනා කිරීමත් සමගම ඈතින් අසුනේ කුංචනාද කරන හඬකි . සීයා එකවරම කරත්තය දක්කමින් හිඳ පිටුපස හැරී මා දෙස බැලීය . 

" ඇහෙනවද ? " 

" ඒකතමයි සීයේ . මොකද කරන්නේ ? . ළඟම එනවා වගේ තමයි ඇහෙන්නේ . ඔය ඔය ආයෙත් සද්දේ එනවා කලින්ට වඩා වැඩියෙන් " 

" පුතේ , මේ වෙලාවේ පණ රැකගන්නවා වගේම තමයි ඖෂධ මංජුසා ටිකත් රැකගන්න ඕන . ඒ නිසා හදිස්සියෙවත් කළබලයක් උනොත් පුතා ඖෂධ මංජුසා ටික පරෙස්සම් කරගෙන දුවන්න . මම ගැන බලන්න එපා . මම කොහොමහරි බේරෙන්නම් . තෙරුනාද ? " 

" හොඳයි සීයේ " 

කෙමෙන් කෙමෙන් අලි ඇතුන්ගේ හඬ වැඩිවී පළවෙනි අලියා අප ඉදිරියට ආවේය . 

ඕම් ගජාටා ලීලා බහා උරුලා බහඃ

සීයා මතුරමින් අලියාට අත පෑ සැනින් අලියා ආපසු හැරී ආ වේගයට වඩා වැඩි වේගයෙන් අප යන මාර්ගයෙන් ඉවත්විය . ඊළඟට පැමිණියේ අලි ඇතුන් රැළකි . කුඩා අලි පැටවූ කීපදෙනෙක් වූ අතර අලින් හත් අට දෙනෙක් එහි සිටියේය . ඒ අලින් අතර ඇතෙකුද සිටියේය . 


ඕම් නමෝ පුට්ට දච්චී පුලින්ගි සෙල්ලුම් පුලන්ඩුමල් පුලන්ඩුමාලා සූර්යානේ එන්නාන් චතුර්යානේ කුදියානේ කුදියාදී ඒස්වාහඃ 

සීයා නැවත නැවත මතුරමින් අත පාමින් කරත්තයෙන් බිමට බැස්සේය . මම ඖෂධ මංජුසා සහිත මල්ල අතට ගෙන ආපසු දුවන්නට සැරසී බලා සිටියෙමි . 







එහෙත් සමන් දෙවියන්ගේ පිහිටෙන් අපට අතුරු ආන්තරාවක් සිදු නොවී අලි රංචුවෙන් ගැළවී යාමට හැකි විය . වෙනත් භයානක සතුන් කිසිවෙක් අප යන මාර්ගය අවහිර කිරීමට පැමිණියේ නැත . අලි රංචුව පසුකර යාමට අපට පැය භාගයක් පමණ ගත වූවත් සීයාත් මමත් ඉර හැරෙන්නට මත්තෙන් ඝන වනාන්තරයෙන් එළියට ආවෙමු . 

සුවාරිස් මුදලාලිගේ කඩයෙන් අප උදෑසන ආහාරය ගත් පසු නැවතත් කිසිවක් ආහාරයට ගත්තේ නැති අතර තිබහට වතුර බිව්වා පමණි . මේ වන විට සීයාත් මමත් හාමත්ව සිටි නිසා කිසිවක් ආහාරයට ගත යුතුව තිබිණි . කරත්තය ඇලක් අසල නතර කල සීයා සුවාරිස් මුදලාලිගේ කඩයෙන් ගත් කුරක්කන් රොටී කීපයක් සහිත පාර්සලයක් දිගහැරියේය . රොටී සමග කෑමට ලුණුමිරිස්ද ඒ සමග ඔතා තිබණි . 

රොටී කෑ යුත්තේ එය සාදා පැය හතරක් පහක් ගතවීමට මත්තෙන්ය . අනතුරුව එය මැලවී ගොස් අප්‍රාණික වී යයි . ඉන් පසුව වේලුනු රොටිය සැපීමට ලේසි පහසු මිනිසෙකුට නොහැකිය . කුරක්කන් රොටිය ගල් ගැසී තිබිණි . සීයාත් මමත් ලුණු මිරිස් සමග රොටිය සපාගැනීමට අපහසු නිසා වතුර බොමින් රොටිය ආහාරයට ගත්තෙමි . 

දිවා ආහාරය එසේ ගත් සීයාත් මමත් මහියංගණයට ළඟාවනවිට සවස හය පමණ වන්නට ඇත . එදින අප නතර වූයේ මහියංගණය විහාරය අසල ඇති අම්බලමකය . අම්බලමේ කිසිවෙක් නුවූයෙන් සීයාටත් මටත් එහි හරිබරි ගැසී නවාතැන් ගැනීමට හැකි වුවද රාත්‍රී අප නිදාගැනීමට මත්තෙන් තවත් පුද්ගලයෙකු එහි නතර වීමට පැමිණියේය . 

ඔහු ආ මොහොතේ සිට සීයා තරමක් නොසන්සුන් බවක් පෙන්වූ නිසා මම සීයාගෙන් ඒ පිළිබඳව විමසීමට අවස්තාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියෙමි . එහෙත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත . අම්බලමට ආ අමුත්තා හැඳ සිටියේ සුදු රෙද්දකි . ඔහු කරේ සිට පොරවාගෙන සිටියේද සුදු රෙද්දකි . කොණ්ඩය තරමක් වැවී තිබිණි . නමුත් ඔහුගේ මුහුණ සාමාන්‍ය පෙනුමක් සහිත මුහුණකි . සීයාට කුමක් හෝ ඉවක් වැටී තිබේ . සීයා අම්බලමෙන් එලියට බැස මා එයින් පිටතට කැඳවීය . ඒ ඔහු මුහුණෙන් මාවෙත කරන ලද සංඥා කිරීමෙනි . මම සීයා සිටින අසලට ගිය පසු සීයා මගේ කණටකර රහසින් මිමිණුවේය . 






" පේනවද අර ඉන්න කෙනාගේ වෙනසක් " 

" ඇඳලා ඉන්න හැටියෙන් නම් වෙනසක් පේනවා . ආව වෙලාවේ ඉඳලා කතාවක් බහක් නම් නැහැ . මම මූන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා කතාවට අල්ලගන්න . ඒත් කතා කරන්නේ නැහැ . සීයා මොකද හිතන්නේ " 

" මටනම් මනුස්ස පාටක් පෙන්නේ නැහැ . ඖෂධ මංජුසා පස්සෙන් එනවද දන්නේ නැහැ " 

" කියන්න බෑ අර අමනුස්සයෝ හතර දෙනා එදා මට හීනෙන් පේන වෙලාවෙත් කියලා කෑගැහුවේ සඳ එළියේ අසිපතක් ගැන කියලා . ඔය සඳ එළිය කියන්නේ චන්ද්‍ර හාෂ් කියන වචනයට . ඒ කියන්නේ රාවණා මහරජතුමාට ලැබුණු අසිපත . අපේ මේ ගමනටත් ඔය සඳ එළියේ අසිපත ගැන මොකක්හරි සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා . ඒ නිසා මම හිතන්නේ මෙතනත් මොකක් හරි අමනුස්ස බැල්මක් ඇති . සීයා මොකද කියන්නේ ? අද මෙතන ඉන්නවද ? නැත්නම් තවත් රෑවෙන්න කලින් වෙන ඉන්න පුළුවන් ආරක්ෂාව තියෙන තැනකට යනවද ? " 

" යමු . මට මෙතන ඉන්න හිතෙන්නේ නැහැ . මේ මනුස්සයට මෙතන ඉන්න දීලා අපි යමු " 

සීයා කරත්තය සූදානම් කල අතර මම ඖෂධ මංජුසා සහිත මල්ලත් බිම එලාගැනීමට රැගෙන ආ පැදුරත් කරත්තය අසලට රැගෙන ගියෙමි . 

" ජඃ පුතා " 

සීයා ඒ හඬ ගෑවේනම් කේන්තියෙන්ය . මෙපමණ වෙලාවක් කරත්තය දැක්කා හෙට එළිවනතුරු මහන්සි නිවාගැනීමට ආ අම්බලමේත් ලැගුම් ගැනීමට තරම් සුහද වාතාවරණයක් නොවූ නිසා සීයාට කේන්ති යන්නට ඇත . වාසනාවට මේන් අම්බලමෙන් පිටත්ව එන්නට මත්තෙන් අපි හුළු අත්තක් පත්තු කරගත්තෙමු . එම හුළු අත්ත අල්ලාගෙන මම පයින්ම ආ අතර සීයාද එම එළිය ඔස්සේ කරත්තය දක්කාගෙන ආවේය . 

" පුතේ අර පේන ගල්කුල යට ආරස්සාවයි වගේ නේද ? " 

" ඔව් සීයේ . වැස්සක් වැස්සත් එතනට වතුර නම් එන්නේ නැහැ . ඒ නිසා එතන ඉන්න පුළුවන් ඕන නම් " 

" ඔන්න එහෙනම් එතන ඉමු අද රෑ එළිවෙනකල් . මදුරුවෝ තල තල තමයි ඉන්න වෙන්නේ . දර කෑලි දෙක තුනක්වත් හොයාගන්න තිබ්බනම් ගිණි මැලයක් ගහන්න තිබ්බා " 

" කමක් නැහැ සීයේ අපි එතන ඉමු . දැන් වෙන හොඳ තැන් හොය හොය  යන්නත් වේලාව නෙවෙයිනේ . ඒ නිසා අපි දැන් මෙතන නවතිමු " 

සීයා කරත්තය අප නතරවීමට සම්මත කරගත් ගල්කුල දෙසට හරවා නතර කළේය . එය තරමක් විශාල ගල්කුලක් වූ අතර මිනිසෙකුට නොනැවී සිටගෙන සිටීමට හැකි තරම් උස ඇති ගුහාවක් එය පාමුල පිහිටියේය . අප නතර වීමට තීරණය කලේ එම ගුහාවේය . 

සීයාත් මමත් එම ගුහාවේ පැත්තකට වන්නට පැදුරක් එලා අපගේ කරත්තයේ තැබීමට නොහැකි බඩු බාහිරාදිය ඒ මත තබා ගිණි මැලයක් ගැසීමට අවශ්‍ය දර කැබලි කීපයක් සොයා හුළු අත්ත නිවී යාමට මත්තෙන් ගිණි මැලයක් දැල්වීමු . 

පුදුමයකි . අම්බලමේ සිටි සුදු හැඳගත් පුද්ගලයා නැවතත් අප සිටින ගල් ගුහාවට පැමිණ භාවනානුයෝගී ඉරියවුවෙන් හිඳගෙන සිටී . 





" පුතේ , අර ඖෂධ මංජුසා ටික අතට ගන්න " 

එසේ විධාන කරන ලද සීයා මන්තරයක් මැතිරීමට පටන් ගත්තේය . 

" ඔබ ඔය මතුරන මන්ත්‍රයෙන් මා ප්‍රලය කිරීමට හැකි වේයැයි මම විශ්වාස නොකරමි "

" ඔය ඇත්තෝ කවුද කිව්වනම් . දැන් අපිට අම්බලමේ සැනසිල්ලේ ඉන්න දුන්නෙත් නැහැ . දැන් මෙතනටත් ඇවිල්ලා . මම දන්නවා ඔය ඇත්තෝ මනුස්සයෙක් නෙවෙයි කියලා . කවුද කිව්වනම් අපිට වඩාත් පහසුයි " 

සීයාට හොඳටම කේන්ති ගොස් එක දිගටම කියාගෙන කියාගෙන ගියේය . 

" සංසුන් වන්න . ඔබ ඉන්නේ කොහිද කියා මම හොඳින් දනිමි . ඔබ යන්නේ කොහිද කියාද මම හොඳින් දනිමි " 

" ඔය ඇත්තෝ කවුද කිව්වනම් අහවරයිනෙ කාරිය " 

" මම චිත්තරාජ . සඳ එළියේ අසිපත රකින එක් සේනාවක් සිටින්නේ මගේ යටතේයි . ඔබලා දෙදෙනා සඳ එළියේ අසිපතේ ආරක්ෂකයෙකු නැවත අවදි කිරීමට සූදානමින් යන ගමනේ පිටුපස සිටින්නේ මමයි . මා මෙහි පැමිණියේ ඔබලාට මගෙන් මේ වේලාවේ උදවු අවශ්‍ය නිසාවෙන් බව සිහි තබාගන්න . කරදරයක් සිදුවේ නම් මා අමතන්න . අද රාත්‍රියේ මේ ප්‍රදේශයේ සිටින කරත්ත මංකොල්ල කන සොරුන් රැලක් අම්බලමේ ලැගුම් ගන්නට එනවා මා කණවැකුණු හෙයින් ඔබලා ඉන් ආරක්ෂා කරනු සඳහා මා මෙහි පැමිණියෙමි " 

මමත් සීයාත් චිත්තරාජ යක්ෂ සේනාධිපතියාට නමස්කාර කළෙමු . හිස ඔසවා බලනවිට එතුමන් එහි සිටියේ නැත . සීයා දිග සුසුමක් හෙළා 

" එහෙනම් දැන් එක්කෙනා එක්කෙනා මාරුවෙන් මාරුවට නිදාගමු " යැයි කිවේය . 

මම පළමුවෙන්ම නිදාගත්තෙමි . සීයා ගල් ගුහාවේ පැත්තකට හේත්තු වී පෙරවීමට ගෙන ආ රෙද්දක් ගසමින් මදුරුවන් එළවමින් සිටියේය . පැයක් දෙකක් පමණ හොඳින් නින්ද ගියද සීයා ගැන මතකය තිබුණු නිසාදෝ මට නැවතත් ඇහැරිණි . අනතුරුව සීයා නිදාගත්තේය . මේ ආකාරයට මමත් සීයාත් රාත්‍රිය ගතකළේ ජීවිත ආරක්ෂා කරගැනීමට වඩා මේ අවස්ථාවේ වටින්නේ ඖෂධ මංජුසා ආරක්ෂා කරගැනීම වැදගත් නිසාය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයා සමග චිත්තරාජ යක්ෂ සේනාධිපති පිලිබඳ සාකච්චා කලෙමි .

" සීයේ ඇත්තටම චිත්තරාජ යකෙක්ද දෙවියෙක්ද ? " 

" මමනම් හිතන්නේ පුතේ චිත්තරාජ යකෙක් , ඒත් දෙවියෙක් වගේ ඉන්න යකෙන් " 





" පණ්ඩුකාභය රජතුමාගේ කාලේ චිත්තරාජ වෙනුවෙන් දේවාලයක් හදලා තියෙනවා අනුරාධපුරේ . තව ධූමරක්ගල කඳුවැටිය පාමුලත් චිත්තරාජ කාලවේල දෙන්නා වෙනුවෙන් දේවාල හදලා තිබිලා තියෙනවා . දැන් නම් ඒවා තියෙනවද දන්නේ නැහැ . හැබැයි දේවාල නැතත් ඒ අයනම් තවම ඉන්නවා කියලා මම දන්නවා " 

" පුදුමේ කියන්නේ මේ අය ගැන මන්තරවල වත් මොකක්වත් සඳහන් වෙලා නැති එක නෙව . මම කියවපු කිසිම මන්තරයක මේ දෙන්නා ගැන සඳහන් වෙලා නැහැ . ඒ කියන්නේ මේ අය මන්තර වලට සම්බන්ධ නැහැ . ඒ අය සම්බන්ධ ඒ ඒ අයට පැවරිලා තියෙන රාජකාරිවලට විතරයි මම හිතන්නේ " 

" මටත් පොත් පත් වලින් මේ අය ගැන වැඩි විස්තරයක් දැනගන්න ලැබිල නැහැ . අපිට ඉස්සරහට මේ අය ගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා . ඒක නෙවෙයි සීයේ අද ධූමරක්ගල යන්න පුළුවන් වෙයිද ? " 

" චිත්තරාජ උත්තමයා අපිව ආරස්සා කරන නිසා රෑ බෝ උනත් අපි ඒ ඉසව්වට අද යන්න ඕන " 

සීයාත් මමත් ගල්ගුහාවට සමු දී ධූමරක්ගල කඳු වැටිය බලා පිටත් වීමු . අපි ගමන් කරන්නේ පැහැදිලි මාවතකය . අතරින් පතර තරමක කැලෑ රොදවල් තිබුණද අප දැන් ගමන් කරන මාවත තරමක් මිනිසුන් යන එන මාවතක්ය . සමහරවිය මෙය වෙළඳ මාවතක් වන්නට ඇත . 

" පුතේ මේ ඉසව්වෙන් ධූමරක්ගලට යන්නේ කොහොමද කියලා මට මතක නැහැ නෙව . පාර දෙකට බෙදෙනවා . ඒත් මොන පාරෙන්ද යන්නේ කියලා නිච්චි නැහැ . අපි මෙතන ඉන්න කෙනෙක්ගෙන් අහමු " 

ගතවූයේ නිමේෂයකි . චිත්තරාජ උත්තමයා අප වෙනුවෙන් දෘෂ්‍යමාන විය . ඔහු අපව නියම මාවතට යොමුකර අතුරුදන් විය . සීයා මා සමග ඒ පිළිබඳව කිසිවක් කතා නොකළේය . හදිස්සියේම සීයා සඳමලී නංගි අපගේ කතාවට නැවතත් රැගෙන ආවේය . 

" ආ චූටි පුතේ ? " 

" සීයේ ? " 

" සඳමලී කෙල්ල මේ වගක් දන්නවද ? " 

" නැහැ සීයේ " 

" එහෙනම් උදේ දුවගෙන ගිහින් කොහේ යනවා කියලද කිව්වේ ? " 

" මම කිව්වා ගුරුකමකට යනවා කියලා . හැබැයි මම කිව්වා වැඩේ අවදානම් කියලා . එච්චරයි . වැඩි විස්තරයක් මම කිව්වේ නැහැ . මට කියන්න හිත දුන්නේ නෑ . මොකටද තවත් කණකට මේවා යන්නේ කියලා හිතලා මම සද්ද නැතිව ආවා " 

" ඒක හොඳයි " 

" ඒ ළමයට වෙදකම නම් හොඳට පිහිටලා තියෙනවා . දවසක් මම බලාගෙන ලෙඩෙක්ට වෙදකම් කරනවා . වෙද ගෙදරයි වලව්වයි එකතු වෙන එක එක අතකට හොඳයි . දෙන්නට එකටම බැරිය වෙදකම් ගුරුකම් කරන්න " 

මම සිනහවකින් පිළිතුරු දුන්නා මිස වෙන කිසිවක් කියන්නට ගියේ නැත . සැබවින්ම ඇයගේ වෙදකමත් මගේ ගුරුකමත් එකට යා වුවහොත් මිනිසුන්ට සෑම අතින්ම උදවු උපකාර කිරීමට හැකියාව ලැබේ . 

සීයාත් මමත් කරත්තය නැවැත්තුවේ නැත . ඉර අවරට ගොස් පැය තුන හතරක් පමණ ගතවන්නට ගියද අපි නතර වූයේ නැත . සවස්වන විට නැවතත් සීයාටත් මටත් බඩගිණිවීම නිසා කරත්තය නතර කළේය . සීයා ගිනිගොඩක් ගසා මඤ්ඤෝක්කා අල පුළුස්සා කෑමට යෝජනා කළේය . සීයා ගිණි ගොඩ ගසන අතරතුරේ මම නැවතත් හාමුදුරුවන් විසින් ලබාදුන් සන්නසේ සිංහල පිටපත කියවන්නට වීමි . 

ධූමරක්ගල කඳුවැටියේ අදාළ ස්ථානය සොයාගැනීමට මං සලකුණු ලෙස දක්වා තිබෙන දේවල් පිළිබඳව මම විමසිල්ලෙන් කියවීමි . සලකුණු කීපයක් තිබේ . අවසානයේ ගල්ගුහාවක් තිබේ . එම ගල් ගුහාවේ ගල් දොර විවෘත කර ඇතුළට ගිය විට අප සොයන බෙහෙත් ඔරුව තැම්පත් කර තිබේ . එම බෙහෙත් ඔරුවට මංජුසා අටක බෙහෙත් වත්කළ යුතුය . නවවෙනි මංජුසාවේ බෙහෙත් අවදිවන පුද්ගලයා පානය කළයුතුය . 

" සීයේ ධූමරක්ගල කඳු වැටිය ළඟ ඉඳලා සලකුණු කීපයක් හොයාගෙන තමයි ගුහාවට යන්න තියෙන්නේ ? " 

" ඒක තමයි මමත් කල්පනා කලේ . රෑ ජාමෙ වෙයි කන්දට කිට්ටු කරනකොට . කොහොමද කළුවරේ යන්නේ " 

" කමක් නැහැ සීයේ . අපි කොහොමහරි යමු " 

" චිත්තරාජ උත්තමයා අපිට උදවු කරයි " 







අපි අල පුළුස්සා ආහාරයට ගෙන නැවතත් ගමන ආරම්භ කළෙමු . ධූමරක්ගල කඳු වැටිය අසලට පැමිණෙන විටදී අඳුර අපව වෙලාගනීමට සූදානම් වී තිබිණි . කරත්තයෙන් යන්නට පුළුවන් උපරිම දුර මෙපමණකි . එක ළඟ එක ළඟ සෑදී තිබෙන ගස් වැල් වලින් පැටලී අපට යන්නට නොදෙන බාධකයක් සේ නිර්මාණය වී තිබිණි .  

" පුතේ දැන් කොහොමද යන්න තියෙන්නේ ? " 

" සීයේ ආයෙත් අපිට මොණරෙක්ගෙ සලකුණක් හොයාගන්න තියෙනවා " 

" මේ කළුවරේ කොහොමද යන්නේ ? " 

" එන්න මා සමග . මම ඔබලාව අවැසි තැනට රැගෙන යන්නම් " 

චිත්තරාජ අපව ගල් ගුහාව වෙත රැගෙන යාමට නැවතත් පැමිණියේය .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment