පුලතිසි (1)



කතාවට කලින් මේක ප්ලේ කරන්න





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

ඕන් නමෝ ඉන්දීර වඩිග නවනීල දිෂ්ටි වාරුං වාවා 
සිව වඩිග නාරායනේ ක්‍රේමසූනියන් මුළු දිෂ්ටි වාරුං වාවා 
ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි 
සර්ව දිෂ්ටි යක්ෂ දිෂ්ටි 
කුමාර දිෂ්ටි ශ්‍රී විෂ්ණු දිෂ්ටි 
ඔඩ්ඩි රූඩ මණි මකුට දිෂ්ටි 
කල්ලු ගිනි නාග වෛරෝඩි දිෂ්ටි වරෙන්
ඉර සඳ බලාගෙන වරෙන්
අහස ගුගුරුවාගෙන වරෙන් 
පොළව වෙව්ලුවාගෙන වරෙන්
මහ මුහුද සලිත කරවාගෙන වරෙන්
මහ මෙර දෙබෑ කරගෙන වරෙන්
විල් හතේ නොසිට වරෙන් 
ඇලි හතේ නොසිට වරෙන්
කඳු හතේ නොසිට වරෙන් 
මුහුදු හතේ නොසිට වරෙන්
කෝවිල් දහසේ නොසිට වරෙන් 
හා අට දේසේ නොසිට වරෙන්
කෛලාස යුගන්දර සප්ත සමන්ත කූට පර්වතේ නොසිට වරෙන්
පොත්ගුල් හතරේ නිදන් යතුරු හිර උගුලුවාගෙන වරෙන් 
විස ගිනි ධූම කේතුමාලාවෙන් වරෙන් 
සොහොන් කට්ටුවෙන් වරෙන් 
මදන කට්ටුවෙන් වරෙන්
මෙමා දුන් දොළ බිලි කැප ගන්න වරෙන් 
රීරි කුමාරයා වරෙන් 
තුන් බිල්ලේ මල සොහොන් යක්ෂයා වරෙන් 
රති කාම මල් මදන මුළු සූනියන් පලිප්පු දැඩිමුණ්ඩ දෙවොල් සැර දේව සමයන් භූත කුරුම්බර දිෂ්ටි දිෂ්ටි වර වර එස්වාහඃ............................







සීයාගේ හඬ තීව්‍ර වනවාත් සමගම පරල වූ දැරිය පැදුරේ සිට කෙමෙන් කෙමෙන් වෙව්ලමින් පොරවාගෙන සිටි රෙදිකඩ පසෙක ලා දෙපයින් හිටගත්තාය . ඇයගේ ඇඟට වැටී සිටින දිෂ්ටිය දැන් බිල්ල ගැනීමට සූදානම්ය . සීයා පිදේනි තටුවට අත තබාගෙනම නැවතත් පිදේනිය කැප කිරීමට මන්ත්‍ර මතුරා පිදේනිය කැප ගන්නා තුරු බලාගෙන සිටියේය . 

" චූටි පුතේ , කෝ තවම නැත්ද දිෂ්ටිය වැටුණේ ? " 

" සීයේ , පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා . තවම නැහැ මොකවත් ගත්තේ "

මම සිටින්නේ අංජනම ඇර සිදුවන්නේ කුමක්ද බලාගෙනය . රීරි මඩුල්ලේ යක්ෂයෙකු බන්දා කර ඇති මෙම ගුරුකම ලිහා දැමීමටනම් එම යක්ෂයාට බිලිදීම කල යුතුය . එනිසා බිලි සහිත පිදේනිය තනා සීයා යකුට ආරාධනා කලේ යකු විසින් බිල්ල ගන්නා තුරු බලා හිඳ බිල්ල ගත පසු යකා හිර කර දැරිය බේරා ගැනීමේ අරමුණින් ය . නමුත් දැන් සැලකියයුතු වෙලාවක් සීයා මන්ත්‍ර මැතිරුවද යක්ෂ දිෂ්ටිය පැත්තකට වී බලා සිටින්නේ පිදෙනියේ ඇති කිසිවක් කැප නොගෙනය . 

" මොන උලව්වක්ද මේ . මූ මෙතන හක්කලන් කොර කොර ඉන්නකල් මට බලාගෙන ඉන්න බැහැ "

සීයා කෝපයෙන් ගුගුරා යක්ෂ විමන් ගිනිගෙන දවනා හෙන ගිනි පටලය නමින් හඳුන්වන මහා බලගතු මන්ත්‍රය රඟමඩලේ සිටින්නවුන්ගේ ඇඟේ හීන් දාඩිය දමන තරමේ බියක් උපදවමින් මතුරන්නට පටන් ගත්තේය . 

...............ගිනි ගිනි හර හර කට්ටු කදිර නාරායනේ ගිනි හෙළං අග්නි මාලා හෙළං හෙන ගිනි හෙළං වින විනාසාම් ක්‍රේම් ක්‍රේම් වීසි නහිරේ විමන් කට්ටු නහිරේ රෞද්‍ර විමන් කට්ටු ගිනි ගිනි දෙදරාඩි විසගිනි කන්ද ආපිට හැරී පලයන් යක් විමන් රක් විමන් වෙසමුණි විමන් නාග විමන් හැටලක්ෂයක් ගනකොවිල් ගිනි කරන් දේවතාව ගින්දරන්ද නම් බිසවුන් වහන්සේගේ සිරියහන් ගබඩාවට අකුණු හෙනගිනි දේවතාවා හෙනගිනි මාලාවක් ඒවා ගිණිගෙන දවා අළු දූලි කල ආඥාවෙන ආනුභාවයෙන් අදත් මාගේ අණසක නාසනා සොහොන් කට්ටුව රීරි කට්ටුව මදන කට්ටුව කඩවර කට්ටුව මල් කට්ටුව සිව කට්ටුව වටුක කට්ටුව යන මෙකී නොකී යක්ෂ විමන් හෙලාගන් වෙලාගන් ගිනිගන් තොස්වාහඃ ඕන්නමෝ................





සීයා දෙවන මන්ත්‍රයට මුල පුරනවිට යක්ෂයා තම ශරීරය දැවෙන්නට වූ හෙයින් දඟලමින් කෑගසනා බවක් අංජනම තුලින් දිස්විය . සීයාගේ මන්ත්‍ර හඬ අභිබවා මම කා ගැසුවෙමි . 

" සීයේ ඔන්න යකා ගිනි දාන්න වෙලා දඟලනවා " 

ඒත් සමගම යකා දැරියගේ ශරීරයට ඇතුළුවී කෑ ගසන්නට විය . දැරියගේ ලාමක හඬ යටපත්කර යක්ෂයා තම ගොරහැඩි හඬ දැරියගේ මුව හරහා පිටකළේය . 

" මාව ගිනි ගන්නවා . ඕක නවත්තපල්ලා . නැත්නම් මම මේ කෙල්ලව මරාගෙන රීරි මාංස උරා බොනවා දැනගනිල්ලා " 

සීයා එය කණකට ගත්තේ නැත . සුපුරුදු පරිදි සීයා තම ශාන්ත දාන්ත ශරීරයට මුවා කරගෙන සිටින යක්ෂයා එළියට ඇද දැම්මේය . 

" මන් තෝව ඉතුරු කරන්නේ නැහැ " 

කියමින් සීයා තව තවත් උස් හඬින් මන්තරය කියමින් දුම්මල මතුරමින් එය පන්දමට ගසමින් යක්ෂයා ප්‍රලය කිරීමේ සංග්‍රාමයේ නිරතවෙමින් සිටියේය . ටික වෙලාවක් කෑගසමින් සිටි යක්ෂයා කෙමෙන් කෙමෙන් අසරණ තත්වයට පත්වී සීයාගේ අනුකම්පාව ප්‍රර්ථනා කළේය . 

" ඕක නවත්තන්න . මම කියන ඕනෑම දෙයක් කරන්නම් . මාව තවත් ගිනි දාන්න එපා " 

ඒ යක්ෂයාගේ අවසාන බැගෑපත් වීමය . සීයා මන්ත්‍ර මැතිරීම නවතත්ම දඟලමින් සිටි දැරිය පැදුරේ දණගසාගෙන හතිලන්නට විය . එසේ හතිලන ඈ සීයා දෙස අසරණ බැල්මක් හෙලා 

" දැන් මම මොනවද කරන්න ඕන ? " 

කියා විමසුවේය . 





" ඇයි ඕක කලින් කියන්න උන්නැහේට මතක් වුණේ නැත්ද ?. ඔය ආත්මයෙන් දැන්මම මිදෙන්න ආසාවක් නැති ගානටනෙ උන්නැහේ මෙතන දඟලන්න තියාගත්තේ . මාත් එක්ක ඉරට්ටි අල්ලන්න එන්න හිතන්න එපා . දැන් අර තියෙන පිදේනිය කැප ගන්නවා " 

සීයා දුම්මල මතුරා පිදේනියට ගසත්ම යක්ෂ දිෂ්ටිය දැරියගේ ශරීරයෙන් නික්මී පිදේනිය දෙසට ආවේය . 

" සීයේ ඔන්න ළඟටම ඇවිත් ඉන්නේ " 

" හා එහෙනම් දැන් මෙතැනින් තමන් කැමති දෙයක් ගන්නවා . දෙයක් බැරිනම් ඔක්කොම හරි ගන්නවා . හැබැයි ආයේ මොකවත් ඉල්ලන්න තියාගන්න එපා . දන්නවනේ මම මතුරන්න ගත්තම වෙන දේවල් " 

" සීයේ ඔන්න යකා බිත්තරේ ගත්තා " 

ඒත් සමගම පිදේනි තටුවේ තබා තිබුණු බිත්තරය ඉබේම පුපුරා ගියේය . 

" හා ඔය පෙන්නුවේ ගත්තා කියලා . බලන්න චූටි පුතේ මූ තව මොනවද ගන්නේ කියලා " 

" සීයේ යකා කියනවා ගෙදර පෙට්ටගමේ තමන්ට අයිති දෙයක් තියෙනවා කියලා . ඒක දෙනකල් යන්නේ නැහැ කියනවා " 





මදක් වෙලා නිහඬව සිටි සීයා නැවතත් දුම්මල කුඩු අහුරක් අතට ගෙන මෙතෙක් වෙලා නිහඬව සිටි බෙරගල මාමාට බෙරය හැඬවීමට විධාන දී මතුරන්නට පටන් ගත්තේය .

...................ක්‍රේම් වීසි නහිරේ විමන් කට්ටු නහිරේ රෞද්‍ර විමන් කට්ටු ගිනි ගිනි දෙදරාඩි විසගිනි කන්ද ආපිට හැරී පලයන් යක් විමන් රක් විමන් වෙසමුණි විමන් නාග විමන් හැටලක්ෂයක් ගනකොවිල් ගිනි කරන් දේවතාව ගින්දරන්ද නම් බිසවුන් වහන්සේගේ සිරියහන් ගබඩාවට අකුණු හෙනගිනි දේවතාවා හෙනගිනි මාලාවක් ඒවා ගිණිගෙන දවා අළු දූලි කල ආඥාවෙන්...............

සීයා නැවතත් යක්ෂයා ගිනිතියන්නටය සැරසෙන්නේ . යක්ෂයා නැවතත් දැරියට ආවේස විය . 

" මාව ගිනි තියන්න එපා . මම මේ පවුලේ කෙනෙක් . පස්සේ තමයි යකෙක් වෙලා රීරි මඩුල්ලට ඉපදුනේ . මගේ කැස්බෑ ලෙලි පනාවක් තියෙනවා . ඒ පනාව මට ඕන . ඒක දෙනකල් මම යන්නේ නැහැ " 

සීයා මන්ත්‍ර මතිරීම නවතා සියාතු සීයා දෙස බැලුවේය . 

" සියතුවේ , මොකක්ද මේ කියන්නේ . මේ ඉල්ලන දේ දීලා මේ යකාව යවන්න ඕන . ඔය කියන විදියේ පනාවක් තියෙනවානම් ඒක අරගෙන එන්න මෙහාට " 

" ඉන්න අරනෝලිස් අයියේ . මම ඒක අරගෙන එන්නම් " 

සියාතු සීයා ගේ තුලට ගොස් වහා පැමිණියේ කැස්බෑ ලෙල්ලෙන් සාදන ලද අලංකාර හිස් පළඳනාවක් සහිතවය . එය පිරිමින් විසින් හිසේ ගසන පනාවකි . මුහන්දිරම් ආරච්චි වැනි අයද සීයා වෙද සීයා වැනි අයද මෙවැනි පනා පාවිච්චි කරති . එහෙත් යක්ෂයාට පනාව අවශ්‍ය වන්නේ කුමක් සඳහාද ? . අංජනම ඉදිරියේ හිඳින මම කල්පනා කලේ එයයි . 






" ආ මෙන්න තියෙනවා උඹේ පනාව . මේක අරගෙන දැන් මේ දරුවා නිදහස් කරලා යනවා හොඳයි " 

" හොඳමයි , මම එහෙනම් දැන් යනවා . හැබැයි ආයෙත් ඕන වුනොත් එනවා " 

" ආවොත් උඹ ආයෙත් ඔය කටින් රීරි මස් කන්න නෙවෙයි " 

සීයා යක්ෂයා බන්ධනය කිරීම ආරම්භ කළේය . සාමාන්‍යයෙන් යක්ෂයින් බන්ධනය කිරීම කරන්නේ ඔවුන් ඉල්ලන දේවල් දීමෙන් අනතුරුවය . යක්ෂයා තමන්ට අවශ්‍ය දේවල් ගත බැවින් ඒත් සමගම සීයා ගැට ගසන ලද රත්තරන් කෙන්දක් අතට ගෙන ගැටයට මතුරමින් යක්ෂයා බන්ධනය කිරීම ආරම්භ කළේය . මදක් වේලා මතුරමින් සිටි සීයා ගැට තදකර පිරිස ඇමතුවේය .

" හා දැන් යමල්ලා සොහොන් පිටියට . මේකව බැඳලා දාලා එන්න . මේ දැරිවි නග්ග ගන්න මගේ කරත්තයට . සියාතු මල්ලියේ උඹත් ආවනම් තමයි හොඳ සොහොන් පිටියට යන්න " 

" නැහැ අරනෝලිස් අයියේ . මම ඉන්නම් ගෙදරම . දැන් ඉතින් මන්තර සාත්තරේ පාවිච්චි කරන්නේ නැති එකේ මම මොකටද සොහොන් පිටියට යන්නේ " 

" හා එහෙනම් ගෙදර ආරස්සාවටත් එක්කම සියාතු මලයා නවතින්න " 

" හා එහෙනම් සොහොන් පිටියට යමු . ඔය තොවිලේ බලන්න ආව උදවිය නම් නාවට කමක් නැහැ . නැත්නම් තව දෙතුන් දොහකින් මට ආයෙත් ගම්පහ එන්න තියාගන්න වෙයි " 






සොහොන් පිටියට ගිය සීයා නැවත පැමිණෙන තුරු මමද සිටියේ සියාතු සීයාගේ නිවසේමය . අංජනම් එලිය වසා දමා මම සියාතු සීයා සමග කතා කරමින් සිටියෙමි . 

" ඇත්තටම සියාතු සීයේ , කවුද මේ වැඩේ කරන්න ඇත්තේ ? " 

" මටනම් නිච්චියක් නැහැ පුතේ . මම හිතන්නේ මම කපපු විනයක් කරපු කෙනෙක් වෙන්න ඇති "

" ඔවු , තරහට කරාද දන්නෙත් නැහැ " 

එවිට මට සිහියට ආවේ සඳමලී නංගිට වින කල පොල් මුදලාලිගේ පුතාය . 

" මමත් හිතන්නේ එහෙම තමයි . දැන් ඉතින් අතුරු ආන්තරාවක් නැති නිසා හිතට නිදහස් . ඒත් මන්තර සාත්තරෙන් ඈත් වෙන්න වෙච්චි එකනම් හරිම පාඩුවක් කියලා දැන් තමයි හිතෙන්නේ . මොකද දැන් අරනෝලිස් අයියටත් තකහනියෙම මෙහෙ එන්න උනේ මේ වැඩේ නිසා නෙව " 

" ඒකනම් මොකක්ද සියාතු සීයේ . සීයා අපිට දීපු දේවල් වෙනුවෙන් අපි කළගුණ සලකන්නත් ඕනනේ " 

සියාතු සීයා මද සිනහවක් පහල කර කඩුල්ල දෙස බලාගත්වනම බලාගෙන සිටියේය . සමහරවිට ඔහු තමන්ගේ මන්තර පොත් , තමන්ගෙන් ගිලිහී ගිය ශාස්ත්‍රය පිළිබඳව සිහිපත් කරනවා වෙන්නට පුළුවන . තවමත් තොවිලය බැලීමට ආ පිරිස මිදුලේ නොඉවසිල්ලෙන් බලා සිටින්නේ සීයා යකා බැඳ නැවතත් සියාතු සීයාගේ නිවසට පැමිණෙන තුරුය . 

" ආ අර එන්නේ අරනෝලිස් අයියා . සියාතු සීයා එකවරම නැගිට සතුටෙන් හඬ නැගුවේය " 

" ඒ රාජකාරියත් ඉවරයි සියාතු " 







සීයා සියාතු සීයාගේ නිවසට පැමිණ සතුටු සිතින් කීවේය . ඒවනවිට සීයාගේ රෞද්‍ර විලාශය පහවගොස් තිබිණි . සීයා ඊළඟට මුලපුරන ලද්දේ සියාතු සීයාගේ මිණිබිරියගේ කරේ ආරක්ෂා යන්ත්‍රයක් පැළඳවීමේ කාර්යයටයි . එය අවසන් වනවිට පාන්දර පහ පසුවී තිබෙන්නට ඇත . මා එය සනිටුහන් කරගන්නා ලද්දේ කුකුලාගේ හඬලෑම අනුවය . 

සියාතු සීයා දැනට දින දෙකකට පෙර වලව්වට පැමිණියේ මහත් කඩිමුඩියේය . එදා ඔහු කරත්තය දක්කාගෙන ආවේද වෙනදාට වඩා මහත් වූ වේගයකිනි .

" අරනෝලිස් අයියේ , අරනෝලිස් අයියේ " 

" ආ සියාතු . බොහොම කාලෙකට පස්සේ මොකද මේ හති දාගෙනම . මෙහෙන් ඉඳගත්තනම් " 

" අරනෝලිස් අයියේ . මගේ මිනිබිරීට යකෙක් වැහිලා . බන්ධනයක් කරලා . කෙල්ලව බේරගන්න එක්කගෙන යන්න කියල තමයි මම මේ තකහනියක්ම දුවගෙන ආවේ " 

" උදේ පාන්දරම කපුටෝ රංචුවක් ගේ ඉස්සරහා මොරදෙනකොටම මම හිතුවා අද "

එවෙලේම වලව්වේ කරත්තය සූදානම් කරවාගත් සීයාත් මමත් සියාතු සීයාගේ නිවස බලා යෑමට පිටත් වීමු . සීයාත් මමත් වලව්වේ කරත්තය දක්කාගෙන ගිය අතර සියාතු සීයා ඔහුගේ කරත්තය දක්කාගෙන අපගේ කරත්තය පසුපසින් පැමිණියේය . බෙරගල මාමත් තවත් බෙරකරුවෙකුත් අපගේ ගමනට එකතු කරගත්තේ අතරමගදීය . 

අවශ්‍යතාවය හදිස්සි එකක් වූ බැවින් සීයාත් , සියාතු සීයාත් කෑමට බීමට නොනවතා කරත්ත දක්කාගෙන ගියෙමු . සියාතු සීයාගේ නිවසට ඒමට දවසක්ම ගතවිය . ආ මොහොතේ සිටම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද්දේ සියාතු සීයා විසිනි . ඔහු මේ වනවිට ගුරුකම නවතා තිබුණද තවමත් ගමේ ගුරුන්නාන්සේ ඔහුය . ඔහුගේ තැන ගැනීමට අහල ගම් හතකවත් කෙනෙක් නැතිබව සීයා දිනක් මාත් සමග කීවේය . එවැනි කෙනෙකකු තම කාර්යය නතර කිරීම මහත් පාඩුවකි . එහෙත් ඔහුට ඇති වරම එදා සොහොන් කාලි යක්ෂනියගේ අවතාරය විසින් ඉවත් කර දැමීමෙන් අනතුරුව ඔහු මන්තර ශාස්ත්‍රයට නැවතීමේ තිත තැබීය . 

මුල සිටම මා විස්තර කරගෙන ආවේ සියාතු සීයාගේ මිණිබිරියගේ යක් දොස හැරීම සඳහා කරන ලද ශාන්ති කර්මයේ මගේ සිතේ තදිනම් කාවැදුණු අවස්ථා කීපයකි . මෙම සිදුවෙම සිදුවී නැවතත් අප වලව්වට පැමිණ දින දෙකක් ගතවන්නට මත්තෙන් අපගේ මිත්‍ර රණබා අප සොයා පැමිණියේය . 







ඊළඟ කොටසින් හමුවෙමු 


පලි : ඔන්න කාලයක් තිස්සේ බල බල ඉඳලා අද අලුත් කතාවක් පටන් ගත්තා . අනිත් වැඩ එක්ක තමයි මේක ලියන්න වෙන්නේ . ඒ නිසා දවස් දෙකතුනක් ගිහින් තමයි තව කොටසක් ලියන්න වෙන්නේ . ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය නිසා දැන් ටිකක් කාර්ය බහුලයි . ඒ නිසා ඉවසීමෙන් කතාව කියවන්න කියලා ඉල්ලා හිටිනවා . 



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment