සාත්තර ආතා ( 5 )




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" අත ගනින් පරයා පුහුල් ගෙඩියෙන් . මම උඹව ගිණි තියනවා කල්ප කාලාන්තරේකට නිවෙන්නේ නැතිවෙන්න . අත ගනිං "

මේ වනවිට පන්සල් වත්තේ සිටින්නේ පන්සලේ සිටින අනෙක් හාමුදුරුවරුන් සහ සීයාත් මමත් බෙරගල මාමාත් ආදී මෙම කටයුත්තට අත්‍යාවශ්‍යම අය පමණි. සීයාගේ ගිගිරීමත් සමගම ගමේ සියල්ලෝම පන්සල් වත්තෙන් පිටත් විය . නායක ස්වාමීන් වහන්සේ පරල වීම ගමේ අය දැකගත යුතු නැත . එය උන්වහන්සේගේ චරිතයට නොහොඳ කාරණාවක් නිසාවෙන් ගමේ අය ඒවා දැකගත යුතු නැත . සීයා ඒ නිසාවෙන් ගමේ අය එළවන්නට ඇත .

" හා දැන් මොකද කියන්නේ . ඔය පරාණ කූඩුවෙන් පිටත් වෙලා මේ පරාණ කූඩුවට එන්න හොඳයි "

" මම එන්නේ නැහැ................ මාව බන්දලා තියෙන්නේ කිසිම ගුරුකමකට යටත් වෙන්න එපාය කියලා.................මාව අයින් කරන්න කාටවත් බෑ................................. "

හාමුදුරුවන්ට වැසී සිටින අමනුෂ්‍යයා ගොරහැඩි හඬින් සීයාට අවනත නොවූවාක් සේ කීවේය .

" එහෙනම් බලාගනිං මං උඹට කරන දේ "

අද එතැන් සිට 





සීයා සඳ එළියේ අසිපත සිහිගන්වමින් වෙසමුණි සැරය පිඹින්නට මුල පිරුවේය . 

.................. ඕන් ද්රීඟ ද්රීඟ වෛමණ්ඩල සුබාහානා අතීන්ද්‍ර ප්‍රාතා තීල ගවරාමා ජළඟ කර්ග්ග විෂ්ණු පූට්ටු ආදේසා දේවගුරු සක්කෝල සාමා සර පූට්ටු ආදීග්ර වූ සූරිය මණ්ඩල ඉරු රැස් රාම ශර පූට්ටු කඳ කුමාර නාරයනේ විෂ්ණු ගිනි පූට්ටු කියා මයුර විල්ලෝඩි දැපනේ සිටු කියා මේසේ මේ මන්ත්‍ර රාජයාගේ ආනුභාවයෙන් වෙසමුණි දිව්‍ය රාජයින් වහන්සේත් නමස්කාර කර සිටියාහ ඕන් ගරුඬ ජාල කදිර නාරායනේ විෂ්ණු ගිනි පූට්ටු කියා සමන් දෙවියොත් නමස්කාර කර සිටියාහ ඕන් සුක්‍රී ගුරු ලාදාර දේස් රාජාහෝ පූට්ටු කියා මයුරාසන කඳ ස්වාමීන් වහන්සේත් නමස්කාර කර සිටියාහ වෛමණ්ඩල විෂ්නුගිනි පූට්ටු නාරායනේ වෙසමුණි සැර දහර දහර මත මත චම්පා සැර දහර හෙනගිණි පටලවා බන්ධ බන්ධ යක්ෂ යක්ෂයා යක්ෂනී ආලෝක දැපනේ හිටු යක්ෂයා ආලෝක දැපනේ හිටු .....................


" මාව ගිණි තියන්න එපා............ ගුරුන්නාන්සේ............. මම යන්නම් මම යන්නම් " 

පන්සලේ නායක ස්වාමීන් වහන්සේට ආවේශ වී සිටි අමනුෂ්‍යයා වහා නිදහස්වී සාත්තර ආතාගේ ශරීර කූඩුවට පැමිණියේය . ඒත් සමගම අසනීපවී සිටි සාත්තර ආතාගේ ශරීර කූඩුව අමුතු ප්‍රාණයක් ලත් කෙනෙකු මෙන් අවදි වී නැගී සිටියේය . පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සිහිනැතිව තොරණ අසල ඇදවැටුණාහ . 

" ඔය හාමුදුරුවරු මෙහාට වැඩියනම් . පුතේ මූ මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්න . මම නායක හාමුදුරුවෝ ගැන බලලා එනකල් " 

" හොඳයි සීයේ " 

සීයා නායක හාමුදුරුවන් අසළට ගොස් පැන් ස්වල්පයක් මතුරා නායක ස්වාමීන් වහන්සේගේ මුහුණට ඉස්සේය . නායක ස්වාමීන් වහන්සේට ප්‍රකෘති සිහිය ලැබුණු බව සහතික වූයේ උන් වහන්සේ පන්සලේ වැඩ බලන ස්වාමීන් වහන්සේගේ නම කියා ආමන්ත්‍රණය කිරීම නිසාය . මම අංජනම අසල හිඳගෙන සාත්තර ආතා දෙසද නායක ස්වාමීන් වහන්සේ දෙසද බලමින් සිටියෙමි . නායක ස්වාමීන් වහන්සේට දැන් කතා කිරීමට හැකියාව තිබේ . එනම කරන ලද හූනියම හේතුකරගෙන උන්වහන්සේගේ කටේ එක් පැත්තක් පන නැතිවී තිබෙන්නට ඇත . දැන් ඒ සියල්ල දුරුවී ඇත . සාත්තර ආතා තවමත් අවේශයෙන් සිටගෙන සිටී . ඔහු කිසිවක් කියන්නේ නැත . සිදුවන්නේ කුමක්ද කියා බලාගෙන සිටී . අනතුරුව ඔහු සෙමෙන් සෙමෙන් වටපිට බලමින් පුද පූජා තබා තිබෙන තොරණ අසලට පැමිණියේය . 



" සීයේ ඔන්න " 

" උඹ මොකද ඇවිදින්නේ එතන මෙතන ? " 

සාත්තර ආතා සීයාගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැත . ඒ වෙනුවට ඔහු කරන ලද්දේ සොහොනට ගෙන ගොස් දිෂ්ටි කර රැගෙන ආ පුහුල එකවරම එය තබා තිබුණු තැනින් රැගෙන දුවන්නට වීමයි . විදුළි වේගයෙන් පුහුල අතට ගත් සාත්තර ආතා පුහුල රැගෙන විදුළි සැරයක් පරිද්දෙන් දුවන්නට විය . පන්සලේ කඩුල්ල අසල ගමේ මිනිසුන් තවමත් පන්සල් වත්තට එන්නට අවසර ලැබෙන තුරු බලා සිටී . ඔවුන්ද බය කරමින් සාත්තර ආතා පන්සල් වත්තෙන් පිටවිය . නමුත් ඔහු දිව ගියේ සොහොන් පිටිය දෙසටය . 

සීයා එකවරම ක්‍රියාත්මක වූයේ සාත්තර ආතා සිටගෙන සිටි තැනින් වැලි අහුරක් අතට රැගෙනය . එය අතට ගත් සීයා වැලි අහුරා අතින් ගුලි කරගෙන මතුරන්නට විය . මම ඒත් සමහම හනුමාට අඬගසා අංජනමෙන් සාත්තර ආතා හඹා යන්නට පටන් ගත්තෙමි . සැබවින්ම ඔහු යන්නේ සොහොන් පිටිය දෙසටය . ඔහු පුහුලේ දිෂ්ටිය මුදාහරින්නය සූදානම් වැන්නේ . එවිට බන්ධනය කැපීම වළකා ඔහුට නැවතත් නායක ස්වාමීන් වහන්සේගේ ශරීරයට ඇතුළු වීමට පුළුවන . එහෙත් සීයා ඒවාට කළයුත්ත හොඳාකාරවම දන්නා බව මම දනිමි . 
සීයා  වැලි අහුර මතුරා අඟුරු කබලට එම වැලි අහුරා දමා පිදේන්න අසල තබා තිබුණු වස් දණ්ඩ අතට ගෙන වෙර දමා පිම්බේය . එය පිඹිනවාත් සමගම අංජනමෙන් මම දුටුවේ සාත්තර ආතා ගල් ගැසුණු පරිද්දෙන් නතර වීමයි . සොහොන් පිටියට යාමට තිබුණේ තවත් පියවර විස්සක් පමණ දුරකි . ඉද්ද ගැසුවා සේ නැවතුනු සාත්තර ආතා සීයාගේ වස්දඬු නාදය ඔස්සේ නැවතත් පන්සලට ඒමට හැරුණේය . නමුත් සාත්තර ආතා එනතුරු සීයා වස්දන්ඩේ හඬ නවත්තන්නේ නැත . ඔහු එය නොනවත්වාම පිම්බේය . 

" ගුරුන්නාන්සේ . ගමේ මිනිස්සු යවන්නද ඒ පාර දිගේ සාත්තර උදන්ව අල්ලාගෙන එන්න කියලා  ? " 

එසේ ප්‍රශ්න කරන ලද්දේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේය . උන්වහන්සේ සිහි ඒමත් සමගම පැදුරේ හිඳගෙන සිදුවන්නේ කුමක්ද කියා බලාගෙන සිටියහ . නමුත් සීයා එසේ අවශ්‍ය වැන්නේ නැති බව පවසා අතින් සංඥා කළේය . 

" සීයේ ඔන්න දැන් කනත්තේ ඉඳලා මේ පැත්තට එනවා " 

සීයා එවිටය දැනගත්තේ මම අංජනම් එළිය ඇර සිදුවන්නේ කුමක්ද කියා බලා සිටිනා බව . 

" ඔන්න දැන් පන්සලේ කඩුල්ලට ළඟයි " 

ඒත් සමගම ඈතින් සාත්තර ආතා පන්සල් වත්තට ඇතුළු විය . සීයා විසින් දිෂ්ටි කරන ලද පුහුල ඔහු විසින් පපුවට තබාගෙන තදකරගෙන සිටී . වැඩි වෙලාවක් යන්නට මත්තෙන් සාත්තර ආතා රඟ මඩලට පැමිණියේය . 

" ආ ඉලන්දාරියා කොහෙද දිව්වේ ? " 

සාත්තර කිසිවක් නොකියාම ඇවිදගෙන ගොස් පුහුල තිබුණු තැනින්ම තැබුවේය . මේ සියල්ල කරන්නේ සාත්තර ආතා නොවේ . සාත්තර ආතාගේ ශරීරයට දමන ලද නායක ස්වාමීන් වහන්සේගේ හූනියමට බැඳුනු අමනුස්සයාය . 

" මේක වැඩිවෙලා තියාගෙන ඉන්න බැහැ . මූ තව කොහේ කොහේ දුවයිද දන්නේ නැහැ . හූනියම කපමු . මාරු නග්ගන්න වෙනවා අපේ හාමුදුරුවනේ . මේක සොහොන් කාලි යක්ෂණියගේ තීන්දුවක් . ඒ නිසා අපිට මොකවත් ඒ හරහා යන්න කරන්න බැහැ . කිව්ව දේ කරන්න වෙනවා . මම මේ මනුස්සයා මරණවා නෙවෙයි මේ . කරපු දේ පල දෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ " 

" මට ඒක තේරෙනවා ගුරුන්නාන්සේ . කරන්න ඕන දේවල් ඒ ආකාරයට කරන්න . අපෙන් බාධාවක් නැහැ " 

සීයා පහන්ළපැ සහිත තොරණ ඉදිරියේ පැදුරක් එලා හාන්සි වීමට සූදානම් විය . මම සීයාට උදවු කිරීමට අංජනම සහිත ස්ථානයෙන් නැගිට සීයා අසලට ගියෙමි . 





" පුතේ කඩුව අරගන්න ඔය රෙදි කෑල්ලෙන් පිටතට " 

මම කඩුව ඔතා තිබුණු රෙදි කෑල්ල සීරුවට ඉවත්කර කඩුව පිටතට ගත්තෙමි . 

" ඔය ගමේ දරුවෝ ටික මෙහාට දැන් ආවට කාරී නැහැ " 

සීයාගෙන් ලත් එම අවසරයෙන් කලින් හිටියාටත් වඩා පිරිසක් පන්සල් වත්තේ අප සිටිනා තැන වටකරගත්හ . බෙරගල මාමා තමන්ගේ බෙර පදය අඩු ලයකින් නැවතත් ආරම්භ කළේය . ඒත් එක්කම සීයා තම පපුව උඩට පුහුල් ගෙඩිය රැගෙන එය පපුව මත ඇති ලෑලි පටිය උඩින් තබාගෙන කඩුව පුහුල උඩින් සිටින සේ තබාගෙන මට එතැනින් ඉවත්වී අංජනම දෙස බලාගෙන සිටින්න යැයි කීවේය . 

මම අංජනම අසල හිදගෙන බන්ධන කැපුනා ද කියා හනුමාගෙන් අසන්නට සූදානම්ව බලාගෙන සිටියෙමි . සීයා ඒත් සමගම මන්ත්‍ර මැතිරීම ආරම්භ කළේය . මුලින්ම සීයා නවනීල දිෂ්ටිය කියා දිෂ්ටි වලට නැවතත් ආරාධනා කළේය . 

ඕන් නමෝ ඉන්දීර වඩිග නවනීල දිෂ්ටි වාරුං වාවා 
සිව වඩිග නාරායනේ ක්‍රේමසූනියන් මුළු දිෂ්ටි වාරුං වාවා 
ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි 
සර්ව දිෂ්ටි යක්ෂ දිෂ්ටි 
කුමාර දිෂ්ටි ශ්‍රී විෂ්ණු දිෂ්ටි 
ඔඩ්ඩි රූඩ මණි මකුට දිෂ්ටි 
කල්ලු ගිනි නාග වෛරෝඩි දිෂ්ටි වරෙන්
ඉර සඳ බලාගෙන වරෙන්
අහස ගුගුරුවාගෙන වරෙන් 
පොළව වෙව්ලුවාගෙන වරෙන්
මහ මුහුද සලිත කරවාගෙන වරෙන්
මහ මෙර දෙබෑ කරගෙන වරෙන්
විල් හතේ නොසිට වරෙන් 
ඇලි හතේ නොසිට වරෙන්
කඳු හතේ නොසිට වරෙන් 
මුහුදු හතේ නොසිට වරෙන්
කෝවිල් දහසේ නොසිට වරෙන් 
හා අට දේසේ නොසිට වරෙන්
කෛලාස යුගන්දර සප්ත සමන්ත කූට පර්වතේ නොසිට වරෙන්
පොත්ගුල් හතරේ නිදන් යතුරු හිර උගුලුවාගෙන වරෙන් 
විස ගිනි ධූම කේතුමාලාවෙන් වරෙන් 
සොහොන් කට්ටුවෙන් වරෙන් 
මදන කට්ටුවෙන් වරෙන්
මෙමා දුන් දොළ බිලි කැප ගන්න වරෙන් 
රීරි කුමාරයා වරෙන් 
තුන් බිල්ලේ මල සොහොන් යක්ෂයා වරෙන් 
රති කාම මල් මදන මුළු සූනියන් පලිප්පු දැඩිමුණ්ඩ දෙවොල් සැර දේව සමයන් භූත කුරුම්බර දිෂ්ටි දිෂ්ටි වර වර එස්වාහඃ............................





මන්ත්‍රය අවසාන වනවාත් සමගම අංජනමෙන් පෙන්නුම් කරේ රඟ මඩල අවට ප්‍රදේශයට අමනුෂ්‍ය දිෂ්ටි වැටී තිබෙන ආකාරයයි . ඉන් පසුව සීයා මරු නැංවීම ආරම්භ කළේය . 

ඕන් සුරුන්ඩු මරු දිෂ්ටි වර වර විෂ්ණු රාම ආනුභාවයෙන් මරුවාට අඬගසා මරු නැගී නැගී මරු රීරි යක්ෂයා වර වර ඉජ , ඕන් ක්‍රලාදී කොන්ඩු වර වර ඊශ්වර ආනුභාවයෙන් මරු බිල්ල දිෂ්ටියෙන් මරු නැගී නැගී වර වර මම කැප කර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මෙපිට මරුවාට භාරයි වන් අන්සෙන් ගොස් දකුණු අන්සේ නේත්‍රය කැප ගන්න මරු පොල්ලෙන් තරව තරව ගසා ඉස මොළ කටු ගලවා දෙකන්සකින් විදුරු දිව ගසා ඇට සංදී නහර කුලල් මරු හඬ ගස ගසා ඇද ඇද කා ඉරාපන් අකුණු හෙණක් මෙන් මරු නැගී නැගී බාරගන් ඔහුගේ සිටිනා තැනට නැගෙනහිරෙන් පැන භාරගන් වරුණ දිග භාගයෙන් ක්‍රේම මරු රීරි යක්ෂයා වත්ත වටේ තුන් වළල්ලක් මරු හඬ තුනක් ගසා බිල්ල කෙලගන් ඕන් කංකාල මරු දිෂ්ටි මා ලෝ දැල් බැන්ද ආනුභාවයෙන් මරුවාට මම භාර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මරුවාට භාරයි හිටුපිය නොසොල්වා මරු දිෂ්ටි හිරයි ඕන් නමෝ ශ්‍රී විෂ්ණු රාම වාලි මකුට මාල........................................


මරු නැංවීම අවසාන වනවාත් සමගම සීයා විනය පෙරලා කපන්නට මන්ත්‍ර පිරීමද ආරම්භ කළේය . 

...............ඕන් ජෙතා ලංක ක්‍රලාඩිංද හොරවා ගිනි ගිනි දෙස් ගිනි ගිනි පට්ටා ක්‍රින්තු ක්‍රිස් ගිනි දළුන හෙහෙස් කුමාර ශර අලගු පෙසු පෙසු සලාහම්.
ඕන් ආදෙස් ක්‍රාලා එමා ඉස්පු ලෙන්ද කොඩෙන් අඝොර විර පත්ත්‍ර නාරායනේ ගිනි ගිනි සිලංබර කතානඩි තෙලංග දොළුවර දෙස් සර්‍වසූනියන් නාරායනේ ඉගිල වර වර සලාහම්.
ඕන් විර පශාඩි තෙලිහ දොළුවරදෙස් ගිනි ගිනි සහර ගිනි දැපන මන්ත්‍ර දෙස් දෙවගුරුධාරිනේ පෙසු පෙසු සලාහම්.
ඕන් තල්ලාත් ක්‍රාන්තු කායිල් කරුවන්ද්ලි හං තෙසු පිල්ලි සුනියන් ගිනි ගිනි කන්දස්වාමි නාරායනේ ගිනි පත්ති තිස ලඹ සරිචි ගිනි ගිනි ආදෙස් ආදෙස් සලාහම්.
ඕන් හ්‍රී ජලතිදෙස් පෙසු පෙසු ලාහෙස් ගිනි ගිනි නහි නහි ලාකාසුර ළුව් හැම දෙවි දෙස් සර්‍ව සූනියන් අරු අරු ඉකිල වර නාරායනේ සලාහම්.
ඕන් ක්‍රයිවුලා ඩිවාතේ තෙගු තෙගු වයිර වා වා පෙසු පෙසු කුල ඉක් පෙසනිපෙසුං කවල දෙහොලාඩබුවිඩි නොබාක්‍රලහත්ති අජාහෙ ජලර්‍ල භූතානාහිත හො පුල්ලි ලාවාඩි හෙනතු ශ්‍රන්බෙත තුබා හෙස් ගිනි ගිනි පෙරිය කමල ඉර්‍ලලඩි ගිනි අලගු සෙල්ලූම්............

සීයා විනය කැපීම ආරම්භ කිරීමත් සමගම සාත්තර ආතා පරලවෙමින් කෑගසන්නට පටන් ගත්තේය . ඔහු කියනා කිසිවක් තේරෙන්නේ නැති වුවද ඔහු අපහසුතාවයකින් සිටිනා බව මට ප්‍රත්‍යක්ෂ විය . අවසානයේ සීයා මන්ත්‍ර මතුරා පුහුල කපනවාත් සමගම සාත්තර ආතා ගිරියටින් කෑ ගසමින් බිම ඇදගෙන වැටුනේය . සීයාට සිහිය නැතිවිය . මම අංජනමෙන් ඉවත්වී දිවගොස් සීයාට පැන් මතුරා මුහුණට පැන් ස්වල්පයක් ඉස්සෙමි . සීයාට සිහිය ආවේය . 





" කෝ සාත්තර උන්දා " 

" අන්න අතන වැටුණා සීයේ බිමටම . මම සීයාට සිහිය නැති වුණ නිසා මෙතනට දුවගෙන ආවා " 

" යමු යමු ඉක්මණට මොකද වෙලා තියෙන්නේ බලන්න උන්දට " 

සීයා පැදුරෙන් නැගිට කඩුව මගේ අතට දී ඉක්මන් ගමණින් ගියේ සාත්තර ආතා දෙසටය . ඒවනවිටත් සාත්තර ආතාගේ ප්‍රාණය නිරුද්ධ වූ ශරීරය අසලට කවුරුන් හෝ අත තිබ්බේවත් නැත . සීයා සාත්තර ආතාගේ ශරීරය අසල දන ගසා හිඳගෙන සාත්තර ආතාගේ අතින් අල්ලා බැලුවේ නාඩි වැටෙනවාද කියාය . සාත්තර ආතා කරනලද කර්ම විපාකයන්ද රැගෙනම යන්නට ගොසින්ය . සීයා සාත්තර ආතාගේ දෑස් වසා දැමූ විට ගමේ පිරිසද සාත්තර ආතා මියගිය බව දැනගත්හ . 

සාත්තර ආතා වෙනුවෙන් අඬන්නට වත් කවුරුන් හෝ සිටියේ නැත . එහෙත් සාත්තර ආතාට උපස්ථාන කරන ලද පවුලේ කීප දෙනා වඩාත් දුක් විය . 

" දැන් මේ මළකඳ උන්දැගේ ගෙදරට අරගෙන ගියානම් තමයි හොඳ . මේක පන්සලක් නෙව " 

සාත්තර ආතාගේ මළකඳ පදුරක තබා ඔසවාගෙන ගමේ පිරිමින් කීප දෙනෙක් සාත්තර ආතාගේ නිවසට එය රැගෙන ගියහ . ඒ අතරේ සීයා පන්සලේ නායක ස්වාමීන් වහන්සේගේ තත්වය පරීක්ෂා කර බැලුවේය . 

" නායක හාමුදුරුවනේ ඇඟට පතට අමාරු එහෙම තියෙනවද ? " 

" මුළු ඇඟම තලා දාලා වගේ තමයි දැනෙන්නේ ගුරුන්නාන්සේ " 

" ඕකට වෙනිවැල් ගැට තම්බලා බිව්වානම් හොඳයි . අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියලා . කතා කරන එකේ අපහසුවක් එහෙම දැන් නැහැ නේද හාමුදුරුවනේ ? " 

" ටිකක් නුහුරු ගතියක් තියෙනවා " 

සීයා මැද සිනහවක් පා නායක ස්වාමීන් වහන්සේට පන්සල ඇතුළට වැඩීම හොඳ යැයි කියා පන්සල් වත්තේ හතර කොනේ ආරක්ෂා මුට්ටි වල දැමීමට කටයුතු සූදානම් කළේය . අංජනම තවමත් වසා දමා නැත . 

" සීයේ "

" ඇයි පුතේ ? " 

" අංජනම තියාගෙන මෙහෙ ඉන්න බැහැ නේද ? " 

" මටත් ඒක කල්පනා වුණා . පන්සලේ තියලා ගියත් මළගෙදර නිසා කිලි වදිනවා . පුතා වලව්වට යන්න හෙට උදේම " 

" හොඳයි සීයේ . සීයා දැන්මම එන්නේ නැද්ද ඒ කියන්නේ ? " 





" නැහැ . මම මළගෙදර වැඩ කටයුතු බලලා එන්නම් . මොනවා වුණත් විනේ කැපුවේ මමනේ . ඒ නිසා මේ දේවල් මම බලන්න ඕන " 

" හොඳයි සීයේ " 

" දැන් එහෙනම් පන්සල් වත්තේ දිෂ්ටි තියෙනවද නැද්ද කියලා බලලා කියන්න . ඊට පස්සේ මම ආරස්සා මුට්ටි වලදානවා " 

මම අංජනම අසල නැවතත් හිඳගෙන අංජනමෙන් පන්සල්වත්ත පරීක්ෂා කර බැලුවෙමි . කිසිවක් නැත . හූනියම කැපී ඇති නිසා දැන් පොළව හාරා යමක් ගොඩ ගැනීමටද අවශ්‍ය නැත . 

" සීයේ පන්සල් වත්ත පිරිසිදුයි " 

" එහෙනම් ඒ රාජකාරියත් අහවරයි . පුතා අංජනම වහලා දාලා මේ තියෙන දේවල් බලලා අපිට ගෙදර ගෙනයන්න ඕන දේවල් ලෑස්ති කරගන්න . කඩුව අංජනම කිණිස්ස එහෙම මතක ඇතුව අරගන්න . අනිත් දේවල් ගමේ අය අස් පස් කරාවි . මම සාත්තර උන්දැගේ ගෙවල් පැත්තට යනවා මේ ආරස්සා මුට්ටි හතර යට කරායින් පස්සේ " 

" හොඳයි සීයේ " 

අංජනම වසා රැගෙන යායුතු සියල්ලද සූදානම් කර මම පන්සලේම ස්වාමීන් වහන්සේ නමක විසින් සකසා දුන් ස්ථානයක ඇලවුණේ මහන්සියට වඩා දරාගත නොහැකි නිදිමත තුනී කරගැනීමටය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයාගේ අනුදැනුම ඇතුව රැගෙන යායුතු සියල්ලද රැගෙන නැවතත් සිටිනාමළුව දක්වා පිටත් වීමි . එහි ප්‍රධාන අරමුණ වූයේ අංජනම කිල්ලෙන් ආරක්ෂා කරගැනීමයි . 

මරණයේ වැඩකටයුතු අවසාන වී සීයා වලව්වට පැමිණියේ පසුදා හවස් වන විටදීය . සාත්තර ආතා එසේ මාතරින් නික්ම ගියද ඔහුගේ බැල්ම තවමත් මාතරින් තුරන්වී නොතිබිණි . එහි ඊළඟ ඔට්ටුව ආරම්භ වූයේ සාත්තර ආතා මිය ගොස් දවස් හත ගතවූවාට පසුව වලව්වට ආ පණිවුඩයත් සමගය . එබැවින් විනය කැපීම ආකාරයකට කතාවේ නවමු ආරම්භයක් ලෙස සටහන් කල හැක . 

ඊලග කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment