බලි ශාන්තිකර්මවල ආදි කතෘන් තොටගමුවේ වීදාගම හිමිවරුන් ද ?






මලයාල නාග වෛරෝඩිය කතාව ලිව්වට පස්සේ මම හිතාගෙන හිටියේ මාර්තු මාසය වෙනකල් බ්ලොග් එකේ යක්කු භූතයෝ සම්බන්ධව මුකුත් ලියන්නේ නෑ කියලා . ඒත් ජෝතිෂ්‍ය ගැන ලියන අතරවාරයේ කතාව වෙන පැත්තකට හැරුනා . ඒ මොකද කියනවනම් අපේ මුතු අක්කා කමෙන්ට් කරලා තිබුණා ග්‍රහ අපල ගැන ලිව්ව ලිපියේ , බලි ශාන්තිකර්ම ගැනත් පුළුවන් නම් ලියන්න කියලා . ඇත්තම කියනවනම් මම බලි ශාන්ති කර්ම ගැන ලියන්න කියලා හිතාගෙන තමයි හිටියේ . කරුණු කාරණා කවි ශ්ලෝක මන්තර අරවා මේවා ගොඩකුත් එකතු කරගෙන හිටියේ .

ඒත් ඒවා ටයිප් කරන්න කම්මැලි කම නිසා මම වැඩේ අතෑරලා දාලා තිබුනේ . වැඩිම හේතුව උනේ බලි ශාන්තිකර්ම දැන් ගොඩක් අභාවයට ගිහින් නිසා කට්ටිය මේවා ගැන උනන්දු වෙනවද දන්නෙත් නැති නිසා . ඒ කෙසේ වෙතත් මම කම්මැලිකම අතෑරලා ඔන්න බලි ශාන්තිකර්ම ගැන ලියන්න තමයි මේ හදන්නේ .

විස්තර එකතු කරලා මෙහෙම මෙහෙම වෙනවා කියලා කිව්වට ඇත්තටම මට බලි ශාන්තිකර්මයක් සම්පූර්ණයෙන්ම දකින්න තාමත් අවස්ථාව ලැබිලා නැහැ . ඒත් වයලීනොගේ අම්මා නම් ඇති පදං බලි ශාන්තිකර්ම දැකලා තියෙනවා . ඒ තාත්තගෙයි මගෙයි බලි නෙවෙයි . අම්මා වැඩි කාලයක් හිටියේ දෙවියන්ගේ නගරයේ නිසා .ඒ පැත්තේ ග්‍රහ අපල වගේ දේවල් වලට ඉඳලා හිටලා තවමත් බලි ශාන්තිකර්ම කරනවා කියලා අපේ අය කියනවා මට ඇහිලා තියෙනවා .

බලි අඹන හැටි , පූජාවල් කරන හැටි ගැන මම පොත් පත් වලින් සහ තවත් අයගෙන් අහලා දැනගත්ත දේවල් , අම්මා කිව්ව දේවල් එක්ක ගළපලා තමයි මේ ලිපිය ලියන්නේ . ඒ නිසා මම බලියක් දැකලා නැතිවීම ගැන විස්සෝප වෙන්න කාරී නැහැ .





රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන නවග්‍රහයින් නවදෙනා වගේම තවත් දේව යක්ෂ රාක්ෂ පිශාච කුම්භාණ්ඩන් වෙනුවෙන් බලි හදලා පුද පූජා පවත්වලා ඒ අයගෙන් උදවු උපකාර පිහිට ලබාගැනීම සහ ඒ අයව සතුටට පත් කරලා ඒ අයගෙන් වැළඳිලා තියෙන දොස් සමනය කරන්න තමයි බලි ශාන්ති කර්ම කරන්නේ . මෙතනදී මට මතක් වෙනවා මම කොඩිවින ගැන ලියනකොට ලිව්ව කාරණාවක් .

කොඩිවින කරනකොට සමහර වෙලාවට මැටියෙන් රූප අඹලා නම් ගම් ලියලා හිර කරලා කටු ගහලා නරකක් නපුරක් කරන ක්‍රියා පිළිවෙලක් තියෙනවා . ඔයාලට මතකනම් පයිරෙට්ස් ඔෆ් ද කැරෙබියන් චිත්‍රපට මාලාවේ හතරවෙනි චිත්‍රපටයේ තියෙනවා ජැක් ස්පැරෝව් වගේ බලියක් හදලා ජැක්ට බලපෑම් කරන විදියක් . ඒකත් මේ වගේ තමයි ඈ . ආයේ වෙනසක් නෑ . එහෙත් තියෙන්නේ මෙවම තමයි .







බලි ශාන්තිකර්ම වලදී කරන්නෙත් ඒවගේ දෙයක් . මෙතනදී කරන්නේ ඒ ඒ අදාළ අමනුෂ්‍යයාගේ රූප කාය අඹලා ඒ අමනුෂ්‍යයාගේ ඇල්ම බැල්ම ඒ රූපයට ලබාගෙන ඒ රූපයට පුද පූජාවල් තියලා පිහිට ප්‍රාර්ථනා කිරීම . දේවාලයකට ගිහින් අපි පුද පූජා තියන්නේ ගාථා ස්තෝත්‍ර කවි සෙත් කවි අරවා මේවා කන්නලවු මලඉලවු ඔක්කොම කියලා . දේවාලේදී අපි රූප අලුතෙන් අඹලා නෙවෙයිනේ පිහිට පතන්නේ . බලියක වෙනසකට තියෙන්නේ ඒ ඒ හෝරා නැකත් දින බලලා නියම ශාස්ත්‍රානුකූලව අදාළ අමනුෂ්‍යයාගේ රූපය ඇදුරා විහින්ම අඹලා ඒ පුද පූජා සිද්ද කිරීම .

ග්‍රහයන්ට වන්දනා මාන කිරීම ගැන මම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලෙ පවා මේ ග්‍රහ තාරකා වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවනේ . සුමේරියන් , මෙසපොතේමියන් , නයිල් , ඉන්දු නිම්න , හොවැන්හෝ වගේ ශිෂ්ටාචාරවල පවා මේ ග්‍රහ තාරකා වලට වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා . එත් ලංකාවේ ඇති වෙච්ච මේ බලි ශාන්තිකර්ම වලදී ගොඩක් වෙලාවට කරන්නේ ඒ ඒ ග්‍රහයන්ගේ අපල ඇතිකිරීම භාර අරගෙන ඉන්න අමනුෂ්‍යයින් වෙනුවෙන් බලි හදලා පුද පූජා පැවැත්වීම . මන්තරවල කියවෙන හැටියට අසූහාරදහසක් බලි ශාන්තිකර්ම නම් කරලා තියෙනවා .ඒත් අද වෙනකොට නාමමාත්‍රිකව හරි ඉතුරුවෙලා තියෙන්නේ තිස්පහත් හතළිහත් අතර ගණනක් විතරයි .

යන්තර මන්තර ගවේෂණයේ මම තොරතුරු එකතු කරන කාලයේ මට ලැබුණා පොතක් බලි යාග රත්නාකරය කියලා . කොපි පොතක් නෙවෙයි . පුස්කොල පොතක් . ඒක කියවලා මම බලි ගැන ටිකක් දැනගත්තා . එත් බලියාග ගැන සම්පූර්ණ විස්තරයක් ඒ පොතේ තිබුණේ නැහැ . ඒ පොතේ තිබුණේ බලි කීපයකට අදාළ උපචාර විධි විතරයි . ඒ නිසා මම ඒ පොත ආයෙත් අයිතිකරුවන්ටම දුන්නා .

බලි ශාන්තිකර්ම ඇතිවුණා කියලා දැනට පිළිගැනීම තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒ මතයට මම එකහෙලාම විරුද්ධයි . ඒ තියෙන උපචාර විධි සහ ශිල්පීය ක්‍රම එක්ක බැලුවම බලි ශාන්තිකර්ම ඇතිවෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විජයගේ ලංකා ගමනට පෙර . ඒ කියන්නේ රාවණාගේ කාලෙ වෙන්න ඕන . යක්ෂ රාක්ෂ වගේ අයට මේ බලි කැපවෙලා තියෙන නිසා තමයි මම එහෙම වැඩිපුරම විශ්වාස කරන්නේ . ඒත් ජනශ්‍රුතිවලට අනුව කියන්නේ වීදාගම හිමිගේ කූට උපක්‍රමයක් අනුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අසීමිත ස්මරණ ශක්තිය නිසා බලි ශාන්තිකර්ම ලංකාවේ ප්‍රචලිත උනා කියලා .





හැබැයි ඒ මතයත් තරමක් දුරට ඇත්ත එකක් වෙන්න පුළුවන් . මොකද දන්නවද . මම සබරගමුව මහ සමන් දේවාලයේ දේවාභරණ ගැන ලියන්න කරුණු කාරණා ඉතිහාස කතා ගැන හොයන කාලෙ මට දැනගන්න ලැබුණා මෙන්න මෙහෙම දෙයක් .

සබරගමුව මහ සමන් දේවාලයේ දැන් පෙරහැර කාලෙට දේවාභරණ විදියට පෙරහැරේ වැඩම කරවන්නේ ඊතල . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ නාභියට විද්ද බ්‍රහ්මස්ත්‍රය බඩෙන් ඇනිලා පිටෙන් පිටවෙලා වැටුනා කියන්නේ සබරගමුවටනේ . ඒ ඊතල තමයි දැන් ඔය පරෙස්සමට තියලා වන්දනා මාන කරනවා කියලා එක ඉතිහාස කතාවක සඳහන් වෙන්නේ .

හැබැයි මේ ඊතල වන්දනාව ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒකට හේතුව වෙන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ බ්‍රාහ්මණයින් ව්‍යාප්තවීම . කොටින්ම කියනවනම් හයවෙනි පරාක්‍රමභාහු රජතුමා නීලපෙරුමාල් මයිලප්පෙරුමාල් කියන බ්‍රාහ්මණයින් දෙන්නට තමයි සබරගමුව මහ සමන් දේවාලයේ කපු නිලය ලබා දෙන්නේ . ඒ නිසා ලංකාවේ බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රචලිත උනා වෙන්න පුළුවන් .

දැන් මේ වීදාගම , තොටගමුවේ නාහිමිවරුදෙනම ගෑවිලා තියෙන කතාවත් බ්‍රාහ්මණයින් සම්බන්ධවෙලා වෙච්ච සිද්දියක් නිසා සමහරවිට කලින් තිබ්බ බලි ශාන්තිකර්ම නැවතත් පුනර්ජීවනය ලබන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් . මෙන්න මෙහෙමයි කෝට්ටේ යුගයේ වීදාගම හිමියන් සහ තොටගමුවේ හිමියන් බලි ශාන්තිකර්ම සිංහලයින්ට ලබාදුන්නා කියලා කියන්නේ .

දවසක් වීදාගම හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්න වෙලාවක ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආව ජෝතිෂ්‍ය , යාග හෝම , යන්ත්‍ර මන්ත්‍ර විෂයන්ගේ කෙලපැමිනි බමුණෙක් වීදාගම හාමුරුදුවෝ හම්බෙන්න පන්සලට ඇවිත් තියෙනවා . පස්සේ දෙන්නා එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඉන්න අතරේ ටික ටික කතාව විවාදයක් බවට පත්වෙලා .

ඒ ලංකාවේ ශාස්ත්‍රය සහ ඉන්දියාවේ ශාස්ත්‍රය ගැන . අන්තිමට ග්‍රහ දෙවියන් වෙනුවෙන් කරන බලි පූජා ගැන කතාව ගිහින් තියෙනවා . මේ නිසා අන්තිමට වීදාගම හාමුදුරුවෝ අර බමුණට කියලා තියෙනවා එයා දන්නා බලි ශාන්තිකර්ම පිළිවෙල සම්පූර්නෙන්ම කියන්න කියලා අපේ ශිල්පයත් එක්ක ඒක පෑහෙනවද කියලා බලන්න ඕන නිසා .





බමුණත් රැල් බුරුල් ඇරලා කියලා දාලා තියෙනවා දන්නා කියන ඔක්කොම දේවල් ටික . ඔය වෙලාවේ තොටගමුවේ හාමුදුරුවෝ පන්සලේ ඉඳලා තියෙනවා. එතුමා ගැන ඉතින් කියන්න ඕන නැහැනේ . මේ වෙනකොට තොටගමුවේ හාමුදුරුවෝ සරස්වතී තෙල් වළඳලා ඇහෙන ඇහෙන දේ මතක හිටින තත්ත්වයට පත්වෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඒ නිසා එතුමා කරලා තියෙන්නේ මේ බමුණා බලි ගැන කියන්න ගත්තට පස්සේ ඒ ඔක්කොම දේවල් තමන්ගේ මතකයේ තැම්පත් කරගන්නා අතරේ පොස්කොලවල සටහන් කරපු එක .

අන්තිමට බමුණා තමන්ගේ ශිල්පය සහ අදාලා කවි ශ්ලෝක ස්තෝත්‍ර ඔක්කොම කියලා ඉවර උනාට පස්සේ වීදාගම හාමුදුරුවෝ කියලා තියෙනවා " රාහුල අර කළු මැදලා නැති පුස්කොල පොතක් තියෙනවා නේද පොත්ගුලේ ? අන්න ඒක අරගෙන එන්න කියලා .

රාහුල හාමුරුවොත් ඉතින් මුකුත්ම දන්නේ නෑ වගේ පොත අරගෙන ඇවිත් පෙන්නුවා . ඊට පස්සේ තමන්ගේ මතකයේ තියෙන අර බමුණා කිව්ව සේරම දේවල් කියාගෙන කියාගෙන ගියා . එවෙලේ තමයි බමුණට තේරිලා තියෙන්නේ එයා ගාව තියෙන දැනුමම වීදාගම හාමුදුරුවෝ ලඟත් තියෙනවා කියලා . පස්සේ වීදාගම හාමුදුරුවන්ටයි තොටගමුවේ හාමුදුරුවන්ටයි වැඳලා පන්සලෙන් පිටත් වෙලා ගිහින් . තොටගමුවේ හාමුදුරුවෝ මේ පිටපත් කරපු බලි ශාන්තිකර්ම ශාස්ත්‍රය අවසානයේ වීදාගම හාමුදුරුවන් විසින් සිංහල බලි ශාන්ති නිධානය කියලා පොතක් විදියට රචනා කරලා සිංහලයින් අතරේ ප්‍රචලිත කරලා තියෙනවා . අන්න ඒ බලි ශාන්තිකර්ම තමයි මේ අද අපි භාවිතා කරනවා කියලා කියන්නේ .

ඒත් බලි ශාන්තිකර්මවල උත්පත්තිය නම් වෙලා තියෙන්නේ එතන නෙවෙයි . බලි ශාන්තිකර්මවල උත්පත්තිය මහා සම්මත රජතුමා දක්වා ඈතට ඇදිලා යනවා . ලෝකයේ පළවෙනි රජතුමා විදියට හඳුන්වන්නේ මහාසම්මත රජතුමා . එතුමා නින්දේ ඉන්නකොට තමන්ගේ ඇඟට සර්පයෙක් වැටෙනවා දැකලා හීනෙන් බයවෙලා තියෙනවා .

පස්සේ මේගැන විමසලා බලනකොට ඒ ශාස්ත්‍රය සම්බන්ධ නිපුන පුද්ගලයින් කියලා තියෙන්නේ ග්‍රහ දෙවියන්ට පුදපූජා පවත්වලා ශාන්තිකර්මයක් කරනවානම් මේ ලෙඩේ සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ඒ ඒ ශිල්පීය ක්‍රම වලට බලි හදලා නවග්‍රයින්ට පූජා පැවැත්වූවාට පස්සේ රජතුමාට සනීප වෙලා තියෙනවා . අන්න එතන තමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය ඇතිවුණා කියලා කියන්නේ .






බලි ශාන්තිකර්මවල උත්පත්තිය ගැන තියෙන අනිත් කතාව තමයි විශාලා මහා නුවර ලිච්චවී රජවරුන් සම්බන්ධ කතාව . ලිච්චවී කුමාරවරු පිරිසක් දවසක් ජලස්නානයට ගිහින් තියෙනවා පොකුණකට . මේ පොකුණ ළඟ තියෙනවා විශාල ගහක් . මේ ගහේ ඉඳලා තියෙනවා යක්ෂයෙක් . මේ යක්ෂයාගෙන් අවසර අරගෙන තමයි පොකුණට බහින්න ඕන . එත් මේ කුමාරවරුන්ගෙන් එක්කෙනෙක් එහෙම කරලා නෑ . ඒ නිසා යක්ෂයාට තරහා ගිහින් කුමාරයා ක්ලාන්ත කරලා වට්ටලා තියෙනවා .

ඊට පස්සේ අනිත් කුමාරවරු හොඳටම බයවෙලා ළඟ තිබ්බ මල් අරගෙන කුමාරයාගේ ඇඟට දාලා කුමාරයා තරමක් සනීප කරගෙන මාලිගාවට එක්ක ගිහින් තියෙනවා . පස්සේ රජතුමා මේ ගැන නිමිති දත් ඇදුරන්ගෙන් විමසලා බැලුවට පස්සේ එයාලා කියලා තියෙනවා යක්ෂයා වෙනුවෙන් බලියක් හදලා පූජා කරාම කුමාරයා සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ගැබ් 81ක් සහිත මල් බලියක් හදලා යක්ෂයාට කැප කරලා අර කිව්ව පොකුණට දැම්මට පස්සේ කුමාරයාට සනීප වෙලා තියෙනවා . එදා තමයි බලි ශාන්තිකර්ම ඉපදුනා කියලා කියන්නේ .දොන්ත තකට තත් තරිකිට ගෙම්බෝ පැනපි මල් බලියටකියලා කතාවක් තියෙනවා නේද ? . ලිච්චවී රජකුමාරයාට හදපු මල් බලියෙන් තමයි ඔය කතාවට අදාළ මල් බලියත්හැදිලා තියෙන්නේ .

ඔන්න ඔහොමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය වෙලා තියෙන්නේ . පරස්පර විරෝධී කතා කීපයක් තමයි තියෙන්නේ . ඒත් ඉතින් විරෝධියි කියලා ඒවා එකක්වත් බැහැර කරන්න සම්ප්‍රදායන් අපිට ඉඩක් දෙන්නේ නැහැ . ඒ ශක්තිමත් පාදම නිසා තමයි මේ වෙනකල් මේවා පැවතගෙන එන්න ඇත්තේ . බලි ශාන්තිකර්මවල උපත මෙන්න මේ විදියයි කියලා කියන්නයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සහ වීදාගම මෛත්‍රීය නාහිමියන්ගේ බලි ශාන්තිකර්ම සඳහා තියෙන කතෘත්වය ගැන පැහැදිළි කරන්නයි තමයි මේ ලිපිය මම ලියන්න හිතුවේ . බලි ශාන්තිකර්ම කොහොමද කරන්නේ කියලා අපි තවත් ලිපියකින් කතා කරමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය