සඳ එළියේ අසිපත ( 13 ) අවසාන කොටස




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි







පසුගිය කොටසින්


“ මලයණ්ඩි . මම අනුරාධපුරයට ගිය වෙලාවේ චිත්තරාජ උත්තමයා හමු වුණා . මට සේරම දේවල් වෙනස් වෙලා කියලා කිව්වේ ඒ උත්තමයා තමයි . මට කතරගම දේවාලයට ගිහින් කඩොල් ඇතාගේ දල දෙක බලලා එන්න ඕන . මම කොච්චරනම් ලඟින් හිටපු ඇතෙක්ද ? . යුද්ධය වෙලාවේ පිටට වැටුණු ලෝදිය තුවාලත් එක්කම තමයි විජිතපුරයේ බලකොටුව බිඳින්න ඇතා ආයෙත් නැගිටලා දුවගෙන ගියේ . ඊට පස්සේ ඒ තුවාලවල තියෙන මලකඩ ඉවත් කරේ අපිමයි . අපේ සේනාවේ කඩු හදපු අය තමයි මුවහත් පිහි අරගෙන ඇවිත් ඇතාගේ මස කප කපා මලකඩ කුට්ටි ඉවත් කලේ . කොච්චර නම් වේදනාවක් තියෙන්න ඇතිද . ඒත් ගොරව ගොරවා හිටියා විතරයි කලබල කරන්නේ නැතිව . ඇතා මියගියා කියලා මට චිත්තරාජ උත්තමයා කිව්වට පස්සේ වාවන්නේ නැතිව ගියා . මට කතරගම ගිහින් දල දෙක බලලා එන්න ඕන ඇතාගේ “ 

සීයාත් මමත් කතරගම ගොස් රණබා රුහුණු කතරගම මහා දේවාලයට කැඳවාගෙන ගියෙමු . කඩොල්ඇතාගේ දල යුගල නැරඹීමට අවසර ගැනීමට කපු මහතා සමග දීර්ඝ කතාවක් කිරීමට අපට සිදු විය . පසුව කරුණු කාරණා තේරුම් ගත් කපුමහතා අවේලාවේ දෙවොල විවෘතකර කඩොල් ඇතාගේ දල යුගල හඳුන්කුඩමෙන් ඉවතට ගෙනවිත් රණබා අසලින් තබන ලදී . රණබා ඉතාමත් දැඩි හිතක් තිබෙන පුද්ගලයෙකි . එහෙයින් ඔහු හැඬුවේ නැත . ඒ වෙනුවට හෙතෙම ඇතාගේ දල යුවල අතගාමින් විනාඩි කීපයක් ඒ දෙස බලාගනම සිටියේය . අවසානයේ රණබාත් සීයාත් මමත් නැවත ගමට ආවේ රණබාගේ ජීවන ඉරණම ඊළඟට කැරකෙන්නේ කෙසේද යන්න පිලිබඳ තීරණය කරනු ලබන තීරණාත්මක මොහොතට මුල පිරීමටය . සඳ එළියේ අසිපතට පණපෙවීමට රණබා සූදානම් .





සඳ එළියේ අසිපත අවසාන කොටස මෙසේ දිගහරිමි 

රණබා වලව්වට පැමිණ දෙසතියක් ගතවිය . ගමේ උදවියවත් වලව්වේ උදවියවත් ඔහු පිළිබඳව කිසිඳු පැනයක් නැගුවේ නැත . ඒ සීයා සහ මා සමග ඔහු වලව්වට පැමිණි නිසාවෙනි . ඔහුගේ කෑම වේල පිලිබඳ යමක් සටහන් කිරීම වටනේය . ඔහු නිර්මාංෂී පුද්ගලයෙකි . නමුත් ඔහු දවසකට සහල් සේරු එකහමාරක පමණ බත් කෑමට තරම් සූරයෙක් විය . එම කාලය ඇතුළත අප ඔහුට සංග්‍රහ කරන ලද්දේ අපේම පවුලේ කෙනෙකු පරිද්දෙනි . දිනක් ඔහු සීයාත් මමත් සමග පන්සලට යාමට පැමිණියේය . 

“ ගුරුන්නාන්සේ මාමා . අපි පන්සලට ගියාම පන්සලේ ඉන්න නායක හාමුදුරුවන්ට මම කවුද කියලා අඳුන්වලා දෙනවද ? “ 

“ එහෙම කරන්න එපාය දරුවෝ . මොකද මේ රාජකාරිය අපිට පැවරුනේ පන්සලෙන් නෙව “ 

“ කාරී නෑ කාරී නෑ . මම ඒ ගැන ඇහුවේ මාමලාට ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා දැනගන්න ඕන නිසා “ 

“ නැහැ නැහැ . ඔය දරුවට කැමති දෙයක් නායක හාමුදුරුවෝ එක්ක කතා කරන්න “ 

“ මටත් මේ උදවිය එක්ක ජීවත් වෙන්න හිතයි . එත් සඳ එළියේ අසිපත මම එනකල් බලාගෙන ඉන්නවා . ගාමිණී කුමාරයා අසිපත පාවිච්චි කරලා අහවර උනාට පස්සෙත් මම තමයි සඳ එළියේ අසිපත රැකබලාගත්තේ “ 

“ ඉතින් ඇයි ඔය දරුවා බෙහෙත් ඔරුවක තැම්පත් කළේ ? “ 

“ මම පන්සලට ගියාමම කියන්නම් ඇයි එහෙම කළේ කියලා “ 

සීයාත් මමත් රණබාත් පන්සලට ඇතුළු වූ වහාම නායක ස්වාමීන් වහන්සේ රණබා කවුද කියා හැඳින ගත්හ . 

“ අරනෝලිස් විගහට ආවාසගෙට එන්න . විගහට ආවාසගෙට එන්න “ 

“ නායක හාමුදුරුවනේ මේ අර ............................... “

“ එන්න එන්න ආවාසගෙට . මම දන්නවා කවුද කියලා “

රණබා නායක ස්වාමීන් වහන්සේට නමස්කාර කළේය . පසුව අපි තිදෙනා නායක ස්වාමීන් වහන්සේ පසුපස ගමන් කර ආවාස ගෙය තුලට පිවිසියෙමු . රණබා බිම හිඳගත්තේය . මමත් සීයාත් තවමත් හිටගෙනය . 

“ ඔය දරුවත් මේ උදවිය එක්කම ඉඳගන්න “ 

“ කමක් නැහැ හාමුදුරුවනේ . මම කැමතියි බිම ඉඳගන්න “ 

“ ඔය දරුවා අවදි කරවන්න ඕන විදිය කියලා ලියලා තිබුණේ මෙන්න මේ සන්නසේ තමයි “ 

“ මට ඒක බලන්න අවසරද ? “

“ ආ එකට මක් වෙනවද . ඔය දරුවා කියවලා බලන්න . මෙන්න සන්නස “ 

“ දෙයියනේ මේ කපුරුනාත මහ වෙදනාගේ අකුරු “ 

රණබාගේ දෑස් දිලිසෙනු මම දුටුවෙමි . එහෙත් ඔහු අඬන්නට තරම් දුර්වලයෙකු නොවීය . 

“ මේ දරුවා කියන්නකෝ එහෙනම් ඒ කාලේ මේ දරුවාගේ කතාව කොහොමද කියලා “ 

“ මම උපන්නේ කොත්මලේ . මගේ අප්පොච්චා ලෝකුරු නයිදේ . අම්මා බිසෝ මැණිකා . අපේ අප්පොච්චා තමයි ගමේ කම්මලේ ගුරුන්නාන්සේ . ගමටම උදළු කැති පොරෝ මන්නා හැදුවේ අපේ අප්පොච්චා . ඔය අතරේ කඩු කිණිසි පවා හැදුවා . ඔය කාලේ තමයි ගාමිණී කුමාරයා කොත්මලේට පැනලා ආවේ . අපි මුල කාලේ දැනගෙන හිටියේ නැහැ ඒ හිටියේ ගාමිණී කුමාරයා කියලා . එත් පස්සේ පස්සේ අපිට දැනුනා මේ ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා . ගාමිණී කුමාරයා ගොඩක් වෙලාවට ඇඟපත මහන්සි කරලා වැඩ කරනවා වගේම භාවනා කරන්නත් හරිම ලැදියි . කොයිවෙලෙත් වැඩක් නැති වෙලාවට පන්සලට ගිහින් භාවනා කරනවා . අවුරුද්දක් විතර ගත වුණාට පස්සේ අපි ගමේ කීප දෙනෙක් හරියටම දැනගත්තා මේ ඉන්නේ ගාමිණී කුමාරයා කියලා . 






එහෙම දැනගන්න පුළුවන් උනේ සුරනිමල නිසා . සුරනිමල මාසෙකට වතාවක් ගමට එනවා . ඇවිත් ගාමිණී කුමාරයා එක්ක කතා කරලා යනවා . පස්සේ සුරනිමල මමත් එක්ක ටික ටික කුළුපග වුණා . එහෙම වෙලා සමහර දවසට සුරනිමල ගමට ආවම අපේ කම්මලටත් ගොඩවෙලා යනවා . ඔහොම දන අඳුරගත්තට පස්සේ තමයි සුරනිමල දැනගත්තේ මමත් අංගම් සාත්තරේ දන්නවා කියලා . අපි යකඩ තලන මිනිස්සු උනාට අපිත් අංගම් සාත්තරේ ඉගෙන ගත්තා . අංගම් ඉලංගම් මායම් ඔය තුන් ජාතියම අපි ඉගෙන ගත්තා . කඩු සටන් කිරීම ගැන හොඳ පුරුද්දක් මට තිබුණු නිසා තමයි සුරනිමල මාත් එක්ක කුළුපග උනේ . සමහර දාට සුරනිමලත් මමත් කඩු සටන් පුහුණු වෙන්න කියලා සටන් කරනවා . මට කොච්චර පුහුණුවක් තිබුණත් සුරනිමලගේ අකුණු පාරවල් වගේ වදින කඩු පාර වළක්වන්න ලේසි වුනේ නැහැ . ඒත් කීප වතාවකදීම සුරනිමලගේ අතින් කඩුව ගිළිහෙන්න තරම් දරුණු විදියට මමත් සටන් කළා . ඊට පස්සේ සුරනිමල මාව එක්කගෙන ගියා මාගමට . ගිහින් මාව රාජ සභාවට එක්ක ගිහින් කාවන්තිස්ස රජතුමාට මාව අඳුන්වලා දුන්නම කාවන්තිස්ස රජතුමා තමයි මාව සුරනිමලගේ අතවැසියා විදියට සේවය කරන්න කියලා පත් කලේ . 

විහාර මහා දේවියත් මම සේනාවට එකතු වෙනවට කැමැත්තෙන් තමයි හිටියේ . ඊට පස්සේ මම මාගම ඉඳලා හැමදාම මාසයකට වතාවක් කොත්මලේ එන්න පුරුදු වුණා . ඔහොම එන අතරවාරයේ තමයි සුරනිමල අතින් මට කියවුණේ අර අපේ ගමේ නැවතිලා ඉනේ ගාමිණී කුමාරයා කියලා . කුමාරයාගේ ආරක්ෂාව කොහොමද කියලා බලන්නත් එක්ක කාවන්තිස්ස රජතුමාර හොරෙන් සුරනිමල හැම මාසයකම කොත්මලේ එනවා කියලා කිව්වා . 






පස්සේ පස්සේ සුරනිමල ගමට එන එක අඩුකලා මොකද කාවන්තිස්ස රජතුමාට ඉව වැටිලා තිබුණේ ගාමිණී කුමාරයා කොත්මලේ පැත්තේ ඉන්නවා කියලා නිසා . ඒත් එතකොට තිස්ස රජතුමාගේ  කේන්තිය නම් නිවිලා තිබුණේ . කේන්තිය නිවිලා තිබුණත් ගාමිණී කුමාරයා ආයෙත් මාගමට යන්න කැමැත්තක් තිබුණේ නැහැ . එහෙම වෙන්න හේතු දෙකක් තිබුණා . එකක් කුමාරයා විවාහ වෙලා හිටපු නිසා . අනික කාවන්තිස්ස රජතුමා යුද්ධයට අවස්ථාව දෙන්නේ නැති නිසා . ඒ නිසා ගාමිණී කුමාරයා කොත්මලයටම වෙලා කුඹුරු කොටාගෙන බන භාවනා කරගෙන ජීවත් උනා . සුරනිමල ගමට එන එක අඩුකරාට පස්සේ මම තමයි ගාමිණී කුමාරයා පරෙස්සම් කරන්න කොත්මලේ කරක්ගහන්න ආවේ . මම ඉතින් ගාමිණී කුමාරයා එක්කම තමයි ඊට පස්සේ වැඩිපුර කාලය ගත කලේ . කුමාරයා සමහර වෙලාවට අපේ අප්පොච්චගේ කම්මලට ඇවිත් යකඩ තලන්නත් උදවු වුණා . කුමාරයාටත් කඩු හදන්න පුළුවන් හොඳට . 

ඔහොම ඉන්නකොට කාවන්තිස්ස රජතුමා මියගියාට පස්සේ ගාමිණී කුමාරයා මාගමට ගියා . මමත් ගමට සමුදීලා මාගමට ගියා . එතකොට අම්මා මියැදිලා . අප්පොච්චා කම්මලේ වැඩ කරගෙන හිටියා . මම ඉතින් මගේ මලයට අප්පොච්චා බලාගන්න භාර දීලා මාගම ගියා “ 

“ ඔය දරුවා ඉතින් ආයේ ගම ආවේ නැහැ ? “ 

“ ආවා . ඒ ආවේ අප්පොච්චාට අසනීපයි කියලා පණිවිඩයක් ආව නිසා . ඒත් මම එන ඩිංගට අප්පොච්චා ආන්තරා වෙලා “ 

“ එතකොට එළාර රජතුමාත් උන්නද ? “ 

“ ඔවු . එතකොට යුද්ධේ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තිබුණේ . පස්සේ මම ආයෙත් මාගමට ආවා . ඒ ඇවිත් ආයෙත් වැඩ පටන් ගත්තා “ 

“ මොනවද ඔය දරුවට තිබුණු වැඩ “ 







“ මම යකඩ උණු කිරිල්ලේ ඉඳලා කඩු සටන් පුහුණු කිරීම වෙනකල් හැම දෙයක්ම කරා . අන්තිමට තමයි සඳ එළියේ අසිපත මගේ භාරයට පත් කලේ “ 

“ ඇයි ඔය දරුවටම ඒක ලැබුණේ ? “ 

“ මම මේ දේවල් කලාට යුද්ධයට ගියේ නැහැ . මම හැමදේම කලේ යුද්දය පිටුපස ඉඳගෙන . මිනිස්සු පුහුණු කිරීම කඩු හැදීම වගේ දේවල් තමයි මම කරේ . සුරනිමලත් කැමති වුණේ නැහැ මම යුද්ධයට එනවට . මොකද සුරනිමල යුද්ධය කරන අය එක්ක ඉන්නවා වගේම මම මේ දේවල් කරන එක සුරනිමලට ලොකු හයියක් වෙලා තිබුණේ “ 

“ මොකක්ද දරුවෝ සඳ එළියේ අසිපත කියන්නේ ? “ 

“ ඔබලා හෙළ දීපයේ උදවිය හැටියට සඳ එළියේ අසිපත කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියන එකනම් හිතන්නත් පුදුමයි “ 

“ චන්ද්‍ර හාෂ් අසිපත කියන්නෙත් සඳ එළියේ අසිපතටම තමයි . රාවණා රජතුමාට තමන්ගේ ශක්තිය වැඩිකරගන්න ලැබුණු දෙයක් කියලා තමයි මම අහලා තියෙන්නේ “ 

“ ඉතින් ඒ අසිපත කොහොමද ගැමුණු කුමාරයාට ලැබුණේ ? “ 

“ කඳ කුමාරයා තමයි මේ අසිපත භාරව ඉන්නේ . එතුමා තමයි ගාමිණී කුමාරයට මේ අසිපත ලබා දෙන්නේ . පස්සේ මාව ඒ අසිපතේ භාරකරු විදියට පත්කරන්නත් කඳ කුමාරයා ගාමිණී කුමාරයට උපදෙස් දීලා තියෙනවා . මාව මේ විදියට බෙහෙත් ඔරුවක දාලා තැම්පත් කරෙන් කඳ කුමාරයාගේ උපදෙසක් නිසා කියලා තමයි කපුරුනාත වෙදනා කිව්වේ “ 

“ ඉතින් ඔය දරුවා එහෙම තැම්පත් කරන්න තිබ්බ හේතුව මොකක්ද ? “ 

“ කඳ කුමාරයා කියලා තිබුණේ අසිපතට අතුරු ආන්තරාවක් එන කාලයක් වෙනකොට මාව නැවතත් අවදි කරවනවා කියලා . මේ වෙන්න ඇත්තේ ඒ අවදි කිරීම තමයි . චිත්තරාජ උත්තමයා මට ගොඩක් දේවල් විස්තර කරා “ 







“ එහෙනම් මේ කාලෙත් අසිපතට අවදානමක් ඇති . ඒක තමයි ඔය දරුවාව අවදි කරවන්න ඇත්තේ “ 

“ අසිපත ඕන නම් කඳ කුමාරයට ආරක්ෂාව වෙනුවෙන් වෙනත් තැනකට තැම්පත් කරන්න පුළුවන් . ඒත් මාව අවදි කරවන්න ඇත්තේ මේ වෙලාවේ මාවත් අවශ්‍ය නිසා වෙන්න ඇති තව දවස් දෙකකින් පසළොස්වක පොහොය ලබනවා . පසළොස්වක සඳ මුදුන්වෙන වෙලාවට තමයි මට සඳ එළියේ අසිපත තියෙන තැනට යන්න දොරවල් ඇරගන්න පුළුවන් වෙන්නේ . ඒ නිසා මම එතනට යන්න කාලය දැන් ටික ටික ළං වේගෙන එන්නේ “

“ ඔය දරුවා දැන් එතනට ගිහින් මොකක්ද කරන්න හදන්නේ ? “ 

“ මම අසිපත තැම්පත් කරලා තියෙන තැනට වෙලා භාවනා කරලා සමාධියකට සමවැදීලා පුළුවන් කාලයක් අසිපතත් එක්ක ජීවත් වෙනවා . අසිපතට ආන්තරාවක් නම් මට පුළුවන් වෙයි අසිපත ආරක්ෂා කරගන්න “ 

“ හොඳයි . ඔය දරුවගෙන් අපි වැඩිපුර ප්‍රශ්න අහලා ඔය දරුවාව මහන්සි කරවන්නේ නැහැ . අපිට තේරෙනවා අපිට කරන්න ලැබිලා තියෙන රාජකාරිය මොකක්ද කියලා . ඉන් එහාට අපිටත් ඒවා ගැන අහන්න අයිතියක් නැහැ නෙව “ 

“ මටත් ඒ ගැන වැඩිය කියන්න අයිතියක් නැහැ . මම පොරොන්දු වෙලා ඉන්නවා සඳ එළියේ අසිපතේ රහස් පිටතට දෙන්නේ නැතිව ඉන්න “ 

“ හොඳයි එහෙනම් ඔය දරුවට යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා . එන්න මම පිරිත් නූලක් අතේ බඳින්න “ 

“ එපා . සමහර මගේ මියගිය අයට මට ලං වෙන්න බැරි වෙයි පිරිත් නූල් නිසා . ඕන වෙන්නේ නැහැ . ආශිර්වාදය විතරක් ඇති “ 

“ හොඳයි “ 






“ මමගැන ලියවිලා තිබුණු සන්නස් විනාස කරලා දානවනම් හොඳයි . මේවා ආයෙත් කවුරුවත් දැනගන්න උවමනා නැහැ . මෙහෙමම මේවා යට ගියාවේ . සඳ එළියේ අසිපත ආයෙත් කෙනෙක්ට ලැබෙනවද නැත්ද කියලා කඳ කුමාරයා තීරණය කරාවි “ 

රණබා නැවතත් පන්සලෙන් ආවේ ඔහුගේ ජීවිත කතාව ලියැවී තැම්පත් කර තිබුණු චෛත්‍යයද වන්දනා මාන කිරීමෙන් අනතුරුවය . දින දෙකකට පසු ඔහු වලව්වෙන් සමුගෙන යාමට සූදානම් විය . නමුත් ඔහු අපට සඳ එළියේ අසිපත තැම්පත් කර තිබෙන ස්ථානයට ඒමට අවසර තිබෙන බව ප්‍රකාශ කල බැවින් සීයාත් මමත් යුහුසුළුව සූදානම් වූයේ තුන් ලෝකයක් ඒකාලෝක කිරීමට සමත් බලයක් සහිත එම අසිපත තැම්පත් කර තිබෙන ස්ථානයට යාමට ඇති ආශාව නිසාවෙනි . 

එය පිහිටා තිබුණේ බලන්ගොඩ ප්‍රදේශයේය . අප ගිය කන්දෙහි නමක් දන්නේ නැති වුවද එම කන්ද පාමුල විශාල දිය ඇල්ලක් තිබිණි . එම දිය ඇල්ල කිසිදා නොසිඳෙන බවක් රණබා කීවේය . 

“ මේ ඇල්ල කවදාවත් හිඳෙන්නේ නැහැ . මේ ඇල්ල පිටිපස්සේ තමයි අසිපත තියෙන තැනට ඇතුලුවෙන ගුහා දොරකඩ පිහිටලා තියෙන්නේ . දොරටුව වැහිලා තියෙන්නේ . ඕන වෙලාවට එක විවෘත කරගෙන අපිට ඇතුළුවෙන්න පුළුවන් . ඊට පස්සේ තියෙන්නේ ඉතින් උමග දිගේ යන්න තමයි  “

“ කොහොමද දැන් ඉතින් මේකට ඇතුළු වෙන්නේ . මහා වතුර කන්දක්නේ කඩා හැලෙන්නේ “ 

රණබා සිනාසුනා පමණි . ඔහු භාවනා කරන ඉරියවුවෙන් හිඳගත් අතර මද වේලාවක් භාවනා කර ඉන් නැගී සිටියේය . අනතුරුව මොනවාදෝ මතුරා වැලි ස්වල්පයක් අතට ගෙන දිය ඇල්ලට විසි කළේය . එකවරම පොළව දෙදරන්නට විය . මම සීයාගේ අතින් අල්ලාගත්තෙමි . රණබා සිනාසෙමින් දොරටුව ඉදිරියට ඇදී එන ආකාරය දෙස  සිටියේය . එය ඔහුට සතුටු වන්ට කාරණාවකි . කාලයක් තිස්සේ තමාගේ භාරයේ තිබුණු මහානර්ඝ වස්තුව නැවතත් අල්ලා බැලීමට ඔහුට දැන් අවස්ථාව නැවතත් ලැබේ . 







දොරටුව සහිත ගල් විවරය දිය ඇල්ල හරහා ඉදිරියට පැමිණි අතර අපි ඒ වෙත ගමන් කරන ලද්දේ දිය ඇල්ලේ ඇති ගල් උඩින් පනිමින්ය . අපි එම මාවත ඔස්සේ ගමන් කර ගුහා දොරටුව අසලට ළඟා වීමු . රණබා තම අත ගුහා දොරටුව මත තබා තල්ලු කල විට ගුහා දොරටුව විවෘත විය . 

“ ඔන්න මගේ නවාතැන “ 

“ පුතේ පරෙස්සමට යමු එහෙනම් “ 

“ පරෙස්සම් වෙන්න මෙතන කිසිම ආන්තරාවක් නැහැ . මෙතන තමයි හෙළදීපයේ ආරක්ෂිතම ස්ථානය “ 

“ දැන් අපි කොහාටද දරුවෝ යන්නේ ? “ 

“ එන්නකෝ මාමා මම පෙන්වන්න “ 

අපි රණබාගේ පසුපසින් ගමන් කළෙමු . ගුහාවේ එළිය නොමැති බැවින් අපි හුළු අතු දැල්වීමට සූදානම් වූ විට රණබා එය නතර කළේය . ඔහු තමා අසල ඇති කණ්නාඩියක් කරකවාගුහාවම ආලෝකමත් කළේය . 

“ මේ ඉර එළිය තමයි ඇතුළට වැටෙන්නේ . මේ වගේම  සඳ  එළියත් මේක ඇතුළට වැටෙනවා “ 

පසුව අපි නතර වූයේ ගුහාවේ ඇති හතරමං හන්දියකය . 

“ මේ දකුණට තියෙන්නේ සීගිරියට යන පාර , මේක පුලස්ති සෘෂිතුමාගේ ශරීරය තැම්පත් කරලා තියෙන තැනට යන්න තියෙන පාර . මේ පාර නීල කුම්භිලා දේවාලයට යන පාර මේ මැදින් තියෙන්නේ අසිපත තියෙන තැනට යන පාර . අපි අසිපත තියෙන තැනට ඉක්මනට යමු “ 

අපි සඳ එළියේ අසිපත වෙත ගමන් ආරම්භ කළෙමු . උමග දිගේ ගමන් කරගෙන ගොස් අවසානයේ අපි ඒ උත්තරීතර අසිපත තැම්පත් කර තිබෙන ස්ථානයට පැමිණියෙමු . එහෙත් කිසිවක් එහි පෙනෙන්නට තිබුණේ නැත . එය කළුගල් වලින් කරන ලද විශාල කාමරයක් වැනි ස්ථානයකි . එහි මැද වූයේ කළුගල් කුට්ටියකි . 

“ කෝ දරුවෝ අසිපත “ 





“ පේනවද ඉහළින් සඳ එළිය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙනවා . පසළොස්වක හඳ අර පේන සිදුරට හරි කෙළින් වැටුණාම ඒ එළිය මේ කළුගල් කුට්ටියට වැටෙනවා . ඒ එළියෙන් ප්‍රාණවත් වෙන අසිපත මේ කළුගල් කුට්ටිය පසා කරගෙන ඉවතට පැමිණෙනවා . ආයෙත් හඳ එළිය බැස ගියාම මේ කළුගල් කුට්ටියේ අසිපත ගිලී යනවා . ඒ විදියට තමයි අසිපත ආරක්ෂා වෙන්නේ වගේම ප්‍රාණවත් වෙන්නේ “ 

සඳ එළිය කෙමෙන් කෙමෙන් කළුගල් කාමරයේ ඉහල ඇති සිදුර හරහා වැටෙන්නට විය . පසුව සඳ එම සිදුරට හරි කෙලින් දෘෂ්‍යමාන වන්නට වීමත් සමගම අප ඉදිරියේ වූ කළුගල් කුට්ටිය තුලින් ආලෝකයක් නිකුත් වීම ආරම්භ විය . 

“ ඔන්න බලාගන්න එහෙනම් සඳ එළියේ අසිපත ඉවතට එන හැටි “ 

ආලෝකය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අසිපත ඉන් පිටතට ආවේය . පසුව ආලෝකය ක්‍රමයෙන් අඩුවී ගියේය . අසිපත අසලට කිට්ටු වූ රණබා මදවේලාවක් එයට වැඳගෙන සිටියේය . පසුව සෙමෙන් සෙමෙන් අසිපත අසලට තම අත ලං කළේය . එසේ ලං කල අතින් ඔහු අසිපත අල්ලා ගත්තේය . 

ඔහු අසිපත අල්ලාගත් සැණින් නැවතත් අසිපතෙන් ආලෝකය නිකුත්වීම ආරම්භ විය . එකවරම ඔහු සිපත කළුගල් කුට්ටියෙන් ඉවතට ගත්තේය . එයින් මහත් ආලෝකයක් නිකුත්වී නතර විය . 

“ මේ තියෙන්නේ ඒ අසිපත තමයි . අල්ලන්නේ නැතිව බැලුවනම් හොඳයි “ 

එය කුඩා අසිපතකි . නමුත් එහි වර්ණය තරමක් වෙනස්ය . එය සාදා තිබෙන්නේ සුදු පැහැති ද්‍රව්‍යයකින්ය . මිට කළුපාට එකකි . ස්වල්ප වෙලාවක් අසිපත අතේ තබාගෙන සිටි රණබා නැවතත් එය කළුගල් කුට්ටිය තුලට කිඳා බස්සවා සඳ එළිය ඉවත්ව යන තුරු බලා සිටියේය . සඳ එළිය වැටීම ඉවත් වූ අතර කළු ගල් කුට්ටිය නැවතත් කලින් තිබුණු නිසසල කළුගල් කුට්ටියම බවට පත් විය . 

“ ඔන්න ඔය තියෙන්නේ ඉතින් අසිපත තමයි . දැක්කා නේද ඒක කොච්චර බලයක් තියෙන එකක්ද කියලා “ 

“ මම අහලා තියෙනවා ලංකාව එක්සේසත් කරපු රජවරුන්ට මේ අසිපත ලැබුණා කියලා . ඇත්ත වෙන්න ඇති නේද දරුවෝ ? “ 

“ ම්ම්ම්ම් මම නැතුව කොහොමද අසිපත ගන්නේ ??? “ 

“ රණබා ප්‍රශ්නාර්ථයකින් එය අවසන් කළේය “ 







“ එහෙනම් දරුවෝ අපි ගමරට බලා යන්නම් දැන් . ඔය දරුවට මේ අසිපත ආරක්ෂා කරන්න දහිරිය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා “ 

“ මම එහෙනම් මෙතන නවතිනවා . නැවතිලා භාවනා කරලා ජීවිතය මෙතනම ගෙවනවා . මට තව ගොඩක් කල් අසිපත බලාගන්න පුළුවන්. කවදාවත් මේ ගැන කාඑක්කවත් කියන්න එපා . ඒවගේම තමයි අසිපත හොයන අයට කියන්න අසිපත බලාගන්නේ  සේසි පහසු අය නෙවෙයි කියලා .  “ 
රණබා අප පසුපස ගුහා දොරකඩ අසලට පැමිණියේය . ගුහාවෙන් අප පිටත් වූ පසු ගුහා දොරටුව වටා ඇති ගල් පර්වතයක් එකවරම කඩා වැටී ගුහා දොරටුව වැසී ගොස් කලින් පැවති දිය ඇල්ල නැවතත් දෘශ්‍යමාන විය . මමත් සීයත් දීර්ඝ කතාන්දරයක අවසානය එසේ සනිටුහන් කර නැවතත් හිටිනමළුවට පැමිණියෙමු . 

අදත් රණබා එම ගුහාව තුල භාවනා කරමින් සඳ එළියේ අසිපත ආරක්ෂා කරන බව මා විශ්වාස කරමි  .

කොටස් දහතුනක් පුරාවට දිවආ සඳ එළියේ අසිපත මෙසේ සමාප්ත කරමි . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !






පලි :
සඳ එළියේ අසිපත ලියන්න මට මුල්ම අදහස ලැබුණේ අදක ඊයෙක නෙවෙයි . මම හය වසරේ විතර ඉන්න කාලේ තමයි මට චන්ද්‍රහාෂ් ගැන දැනගන්න ලැබුණේ . ඒත් එක්කම චන්ද්‍රහාෂ් ගැන මන්තරයක කියවිලා තිබුණු සමහර විස්තරත් මේක ලියන්න උදවු වුණා .

අනුරාධපුරේ ඉන්නවා අපේ නෑදෑයෝ . කපුරුනාත වෙදමහත්තගේ ගමෙත් අපේ නෑදෑයෝ ඉන්නවා . ඒ එක්කම අනුරාධපුරේ අපේ නෑයෝ ඉන්න පැතිවල ඇවිදිනකොට ගැමුණු කුමාරයා විජිතපුරය දක්වා හදවපු බලකොටු 32 ඉතිරිවෙලා තියෙන බලකොටු වල විශාල ගල් කුට්ටි තවමත් ඉතිරිවෙලා තියෙනවා . ඉපලෝගම , හිරිපිටියාගම වගේ ගම් හරහා යනකොට මේ ගල් පර්වත දැකගන්න පුළුවන් .

ඔයවගේ හිතේ තිබුණු දේවල් කීපයක් එක්ක තමයි මේ කතාව ලියන්න ඕන කියලා හිතුවේ . අදින් එහෙනම් ඒ කතාවත් ඉවරයි . ආයෙත් මේවගේ කතාවක් අරගෙන එන්නම් .
එහෙනම් සඳ එළියේ අසිපත ,

ඔබට බලවඩා ජයවඩා  ආවඩා

ආයුබෝවේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

4 comments:

  1. සඳ එලියේ අසිපත කථා මාලාව නම් ගොඩා......ක් හොඳයි. මේ කථා පෙළ මුල ඉදන් ආසාවෙන් කියවන් යනකොට බ්ලොග් එක බ්ලොක් කලා නේ. ඒ පාර කියවන්න විදියක් නැතිඋන නිසා තමයි ඔබ තුමාගෙන් පෞද්ගලිකව ඒ ගැන ඇහුවෙ. ලින්ක් එක දුන්නට ගොඩක් ස්තූති. ඒත් ඒකත් බ්ලොග් කලා නේ. ඉරිසියාකාරයො ඉන්නෙ මේ රටේ. මේවා රිපෝටි කරල උන් මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා.

    ReplyDelete
  2. ආයිත් ලින්ක් එක ඉල්ලුවට දුන්නෙ නෑ. ඔබ තුමා කාර්යබහුල නිසා අමතක වෙන්න ඇත. ඒකට කමක් නෑ. හැබැයි අතැරියෙ නෑ මන් කොහොම හරි හොයා ගත්තා. අන්තර් ජාලය ගැන වැඩි දැනුමක් නෑ මට. ඒත් ඉතින් උවමනාවක්, ආසාවක්, කැමැත්තක් තියෙනවනම් ඕන දේවල් කොහොම හරි ලබා ගන්න පුළුවන් නේ.

    ReplyDelete
  3. තව මේ වගේ ඔබ තුමා දන්න අපේ ඉතිහාසය සම්බන්ධ සත්‍ය කථා ලියන්න

    ReplyDelete
  4. ලිපියෙන් ලිපියට කමෙන්ට් නොකලට, හැම ලිපියක්ම කියවනවා හොඳද. ඒක නිසා තව ලියන්න

    ReplyDelete