පුලතිසි ( 4 )



මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

අපගේ ගමනේ වැදගත්ම කථිකාව ඇරඹුණේ එතනින් අනතුරුවය . චිත්තරාජත් මමත් සීයාත් රණබාත් පමණි එතැන සිටියේ . 

" මැණික් හාමි සිහගිර පෙන්වන්න කැඳවාගෙන ආ පරදේසක්කාරයින්ගේ මහ එකාගේ නම බෙල් කියලා නමක් . තවත් සුදුහම් තියෙන පරයින් රැලක්ම මැණික්හාමි මෙහි කැඳවාගෙන ආවා . පළවෙනි දිනයේ ඔවුන් වළකුනත් දෙවෙනි දිනයේ ඔවුන් මන්තර බලයෙන් සිහගිර අසලටම පැමිණියා . තවමත් ඔවුන් උමං දොරටුව අසලට පැමිණියේ නැහැ . නමුත් හෙට දිනයේ ඔවුන් නැවතත් පැමිණෙනවා . නීලකුම්බිලා දේවතාවියගේ ප්‍රතිමාව ඔවුන් සොයන්නේ . මේ වෙනුවෙන් අපට ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නැහැ . මතුරේ බලයෙන් අපට නොපෙනෙන්න ඔවුන්ට එන්න පුළුවන් . ඒ වෙනුවෙන් ඔබට යමක් කරන්නට වෙනවා . මේ රාජධානිය විනාශ වුණොත් රහස් සේරම හෙළිවෙලා රාවණ රජතුමා අවදිවන දවසට මේ කිසිවක් ආයෙත් නොමැති වෙන්න දෙන්නට කොහෙත්ම බැහැ " 

චිත්තරාජ යක්ෂ සේනාධිපතියා කියාගෙන කියාගෙන ගියේය . 





අද එතැන් සිට 

" එහෙනම් අපි ඉස්සෙල්ලම මැණික්හාමි මුණගැහිලා කතාකරලා බැලුවනම් හොඳයි කියලා තමයි මම හිතන්නේ . මට පුළුවන් වෙයි මැණික්හාමි නවත්තන්න " 

" මැණික්හාමි ඒ පරදේසක්කාරයින්ට පෙන්නන්න ඕන දේවල් පෙන්නලා ඉවරයි . තව අහවර වෙන්න තියෙන්නේ ගල ඇතුළට පිවිසෙන එක විතරයි . උන්දෑ ඒකත් කරයි ටික දොහකින් " 

රණබා තම අදහස නොසඟවා පැවසුවේය . 

" මට නම් කරනවානම් කරන්න වැඩ දෙකයි තියෙන්නේ . එක්කෝ මට පුළුවන් මැණික්හාමි එක්ක ඔය සුදු උන්නැහේල ටිකම හැඳිගෑවිලා යන්න මොනවා හරි කරන්න . එහෙමත් නැත්නම් මට පුළුවන් අංජනම ඇරලා මේ දේවල් වලට මොකද කරන්නේ කියල බලන්න " 

" මගෙත් කැමැත්ත ඔබගේ අංජනම අනුව කටයුතු කරන එක තමයි " 

චිත්තරාජ යක්ෂ සේනාධිපතියා තම අදහස පැවසුවේය . 

" මට එහෙනම් අංජනම අරින්න මෙතන බැහැ . ගල ඇතුලේ ආවරණයක් තියෙන තැනකට යන්න පුළුවනි නම් තමයි හොඳ " 

" එහෙනම් මම එක්ක යන්නම් . එන්න මාත් එක්ක " 





රණබා සීයාත් මමත් කැඳවාගෙන සීගිරි ගල මුදුනේසිට නැවතත් ගල තුලට දිවෙන පඩිපෙළ වෙත ගමන් කළේය . රණබා ඉස්සරහින් ගමන් කල අතර මමත් සීයාත් ඔහු පසුපස ගමන් කළෙමු . පළමු වතාවට චිත්තරාජ අපගේ පසුපසින් පැමිණියේය . එවැනි උතුම් චරිතයක් හෙබි පුද්ගලයෙකු මනුෂ්‍ය ප්‍රාණ දෙකකට මුල්තැන දුන් අවස්ථාවක් විය එය . 

පඩිපෙළ බැස අප නැවතත් විශාල ශාලාවක් වැනි ස්ථානයකට පැමිණියෙමු . පලිඟු කණ්නාඩි කරකවා ඉහළින් එන ආලෝකය ලබාගෙන එම ශාලාව ආලෝකවත් කර තිබිණ . වටේටම එක් එක් තරමේ මුර කරුවන් වැනි රූප කායක් සහිත අයගේ පිළිම නෙලා තිබිණි . ඒ සියල්ලන්ගේම අත්වල අඩුම තරමේ පලිහක් හෝ තිබිණි .

උඩුකය නිරුවත් ඔවුන් ඇඳ සිටියේ යටිකය වැසෙනසේ රෙද්දක් පමණි . එයද දණහිසට තරමක් ඉහළින් අවසන් වනසේ ඇඳ සිටියහ . ඔවුන්ගේ ඇඟපත මනාලෙස වැඩී ඇති ආකාරයට රූප නෙලා තිබිණි . මස් ගොබ මනා ලෙස කැපී පෙනිණි . මෙම පිළිම එකත් එකටම රාවණා රජතුමාගේ කාලය දක්වා පැරණි ඒවා විය යුතු යැයි මම සක කලෙමි . මම එම පිළිම දෙස ඇස කරකවනවිට රණබා මා ඇමතුවේය . 

" ඔය ඉන්නේ මලයන්ඩි රාවණා රජතුමාගේ කුඩා සේනාවල් භාරව හිටපු යෝධයෝ පිරිස . ඒ හැමෝම වෙනුවෙන් රාවණා රජතුමා පිළිම නෙලලා තියෙනවා . ඒ හැම කෙනෙක්ගෙම හිස් කබල ඔය පිළිම යට තැම්පත් කරලා තියෙනවා . කවදා හරි දවසක රාවණා රජතුමා අවධිවෙන දවසක එතුමා මේ හැම කෙනෙක්වම නැවතත් අවදි කරවන බවට ප්‍රතිඥා දී තිබෙනවා .

ඒ නිසා තමයි පිළිම නෙළලා අපි හැමෝටම මේ අයව මතක් වෙන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ . ඉතිහාසය අමතක කරනවට රාවණා රජතුමා කැමති නැහැ කියලා තමයි මට චිත්තරාජ උත්තමයා කියලා දීලා තියෙන්නේ " 

" ඉතින් මේ අයව කලින් නැගිට්ටවන්න බැරිද , අපි අයියණ්ඩිව නැගිට්ටෙව්වා වගේ ? " 





" බැහැ . ඒ රාජකාරියට කරන දේවල් රාවණා රජතුමා විතරයි දන්නේ . යුද්ධය වෙලාවේ මැරෙන මැරෙන යෝධයා මෙතනට අරගෙන ඇවිත් තැම්පත් කරලා තියෙනවා . රාවණ රජතුමා යුද්ධය පැරදුනාට පස්සේ මැරුණු යෝධයෝ කවුරු තැම්පත් කරාද කියලා දන්නේ නැහැ . සමහරවිට රාවණ රජතුමා ඒ වෙනුවෙන් මොනවා හෝ සැලසුම යොදලා තියෙන්න ඇති . කොහොම නමුත් මේ යෝධයෝ ආයෙත් උපදින්නේ රාවණා රජතුමා අවදී වුනාට පස්සේ තමයි " 

" දැන් එතකොට රාවණා රජතුමා සැතපිලා ඉන්නේ කොහේද ? " 

" ඒක රහසක් . හැබැයි එතනටත් මෙතනින් පාරක් තියෙනවා . මම චිත්තරාජ උත්තමයා එක්ක මේ දේවල් ඉවර වුණාට පස්සේ කතා කරලා බලන්නම් එතනට එක්ක යන්න පුලුවන්ද කියලා . හැබැයි මට එක දෙයක් විශ්වාසයි " 

" ඒ මොකක්ද ? " 

" චිත්තරාජ උත්තමයා කැමතිවෙන්නේ නැහැ රාවණ කෝවිලට ඔය දෙන්නව එක්ක යනවට . මමත් එතනට ගිහින් තිබුණට මම කවදාවත් ඒ සිරුර දැකලා නැහැ . මට ඇතුළට යන්න දෙන්නේ නැහැ . දෙවියන්ට , යක්ෂ සේනාධිපතිවරුන්ට , සෘෂිවරුන්ට විතරයි ඇතුළට යන්න පුළුවන් . මේඝනාද කුමාරයාගෙ ආත්මය කොයිවෙලෙත් රාවණ රජතුමාගේ සිරුර දිහා ඇහැ ගහගෙන ඉන්නේ . වරදක් වෙනවනම් ඒවා හරිගස්සන්න ඉදිරිපත් වෙන්නෙත් මේඝනාද කුමාරයාගෙ ආත්මය " 

" ඉතින් සීගිරිය ගැනත් මේඝනාද කුමාරයට මොනවා හරි කරන්න පුළුවන්නේ ? " 

" බැහැ . ඒවා අපිට පැවරිලා තියෙන රාජකාරි . අනුන්ගේ වැඩ රාජකාරිවලට ඒ අය වුණත් අත පොවන්නේ නැහැ . වරදක් වෙනවනම් ඒවා ඒ ඒ අයට තමයි භාර වෙන්නේ . රාජකාරිය වගේම වරද සහ දඬුවම හැම කෙනෙක්ටම වෙන් වෙච්ච දෙයක් " 

මේ අතරේ සීයා අංජනම ආසනයක තබා මන්තර මැතිරීමට මටද ආරාධනා කළේය . මම එහි යනවිටම සීයා මන්තරය මැතිරුවේය .





“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී වරං අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

" සීයේ ඔන්න හනුමන්තා වැඩියා " 

" පුතේ කියන්න අපිට පුලස්ති ඉරිසි තුමා වඩම්මලා දෙන්නය කියලා " 

හනුමන්තා එය ප්‍රතික්ෂේප කළේය .

" සීයේ හනුමා කියනවා පුලස්ති සෘෂි තුමාට මේ අංජනමට වඩින්න බැහැ කියලා " 

" ඇයි ඒ කියලා අහන්න " 

" සීයේ අංජනම පිරිසිදු නැහැ කියලා කියනවා " 

" අංජනම පිරිසිදු කරන්න මොනවද කරන්න ඕන අහන්න " 

" සීයේ මන්තරයක් තියෙනවලු . ඒක කියලා කට්ටකුමන්ජල් මතුරලා දුම් අල්ලන්න කියලා කියනවා " 

" අහන්න මන්තරේ මොකක්ද කියලා " 

හනුමන්තා මන්තරයක් කීවත් එය මට වහා ධාරණය කරගත හැකි නොවීය . 

" සීයේ හනුමා මන්තරේ කියනවා . ඒත් ඒක මතක තියාගන්න බැහැ එකපාරටම " 

" මොකක්ද මන්තරේ මුල " 

මම මන්තරයේ මුල කියත්ම සීයා එය දන්නා බව පැවසීය . පසුව සීයා එම මන්තරයෙන් කට්ටකුමන්ජල් මතුරන්නට පටන් ගත්තේය . කට්ටකුමන්ජල් ජීවම් කිරීමෙන් පසුව සීයා එය දුම් කබලට දමා දුම් ඇල්ලුවේ අන්ජනමට සහ එය තබා තිබුණු ආසනයටය . 

පළමුවෙන්ම එම අංජනම් එලිය ඇරීම සඳහා අපගේ එම සූදානම් පිළිබඳව සිහිපත් කිරීමට මා හට අමතක විය . අංජනම තැබීමට චිත්තරාජ යක්ෂ සේනාධිපතියාගේ පිරිවරේ කිහිපදෙනෙකු විසින් සීයාට උදවු උපකාර කළේය . ඔවුන් ලෝහමය කනප්පුවක් සීයා ඉදිරියේ ගෙනවිත් තබා එහි මල් තබා සුවඳ දුම් ඇල්ලීම සඳහා කට්ටකුමන්ජල් සහ අඟුරු භාජනයක්ද ගෙනවිත් තැබුවේය . අවසානයේ ඔවුන් ආරක්ෂාවට මෙන් අංජනම අසල හතර පැත්තේ රැකවල් ලා සිටියේය .






සීයා දුම් ඇල්ලීමෙන් අනතුරුව නැවතත් හනුමාගෙන් විමසුවේ පුලස්ති සෘෂිතුමා වැඩම කරවීමට අංජනම පිරිසිදුද කියාය . නමුත් දුම් අල්ලත්ම හනුමා අතුරුදන් විය . අංජනම හිස්ය . මද වෙලාවක් ගතවත්ම මහත් ආලෝකයක් අංජනම තුලින් දිස්විය . එම ආලෝකය දිස්වත්ම චිත්තරාජ යක්ෂ සේනාධිපතියා දොහොත් මුදුන් දී වන්දනා කරමින් 

" ආයුබෝ වේවා ගුරුතුමණි  " කියමින් තුන්වරක් කීවේය . 

එම ආලෝකය විහිදෙන පසුබිමේ ප්‍රභාශ්වර දෙවියෙකුමෙන් දෘශ්‍යමාන වූයේ පුලස්ති සෘෂිතුමාය . මම එතුමා හඳුනන්නේ නැත . මම එතුමා විමසීමි . 

" අවසරයි දෙවියනේ , ඔබතුමා කවුද ? . මම කලින් දැකලා නැහැ අංජනමට වඩිනවා . අපි පුලස්ති සෘෂිතුමාට වඩින්න පුළුවන් වෙන්න තමයි අංජනම පිරිසිදු කරේ . ඔබතුමා කවුද ? " 

" ඔබගේ ආරාධනය මට දැනුනා . මම භාවනානුයෝගීව ඉන්නා වෙලාවේ හනුමාන් මා අසලට පැමිණ මට ආරාධනා කළා . මා පැමිණියේ ඒ ආරාධනය වෙනුවෙනුයි . කියන්න දරුව . ඔබට මොනවාද අවශ්‍ය කරන්නේ ? " 

" ඔබතුමාද පුලතිසි සෘෂිතුමා ? "

ප්‍රභාශ්වර වූ එම දෙවියන් සිනහවකින් මුවසරසාගත්තා පමණි . චිත්තරාජ යක්ෂසේනාධිපති මා ඇමතුවේය .

" ඔය වැඩ ඉන්නේ පුලතිසි සෘෂිතුමා . විමසන්නට අවශ්‍ය දේ විමසන්න එතුමාගෙන් . මට එතුමා පෙනෙනවා "

" සෘෂිතුමනි , ඔබතුමා නිර්මාණය කරපු මේ සිහගිරට අද අතුරුආන්තරාවක් වෙන්න යන්නේ . ඒ නිසා ඒ වෙනුවෙන් මොකද කරන්න ඕන කියල දැනගන්න තමයි ඔබතුමාට ආරාධනා කළේ "

මෙවර සෘෂිතුමා ඇමතුවේ සීයා ය .

" මගේ සිහගිර ? . නැහැ සිහගිර ඔය හැමෝටම අයිතියි . සිහගිර සිහල දීපයේ උපන් ඔබ හැමටම අයිතියි . මේ කියන දේවල් සිහි ඇතිව මතක තියාගන්න . දෛවයේ ලියවිලා තියෙන හැටියට මම දැක්ක අනාගතයේ හැටියට අද මේ වෙන දේ වෙනවාමයි කියලා . කාටවත් ඒ දේවල් නවත්තන්න පුළුවන් කමක් නැහැ . ඒ නිසා මෙන්න මේ දේවල් හරියටම කරන්න . චිත්තරාජ , ඔබට මාව ඇහෙනවාද ? "

" එහෙමයි ගුරුතුමණි "

චිත්තරාජ අංජනම ඉදිරියේ දණගසා වැඳගෙන සෘෂිතුමා සමග කතාව ආරම්භ කළේය .

" චිත්තරාජ , මගේ ශරීරය විනාශ කරන්න . ඒක වෙන කෙනෙක් අතට යන එක වළක්වන්න "

" අවසරයි ගුරුතුමණි . මටනම් ඒ දේ කරන්න නොහැකියි "

" ඒ ඇයි චිත්තරාජ ? "

" ගුරුතුමණි , රාවණ රජතුමාට අපි ප්‍රතිඥා දී තිබෙන ආකාරයට එතුමා අවදිවෙනතුරු ඔබතුමාගේ ශ්‍රී දේහය අප ආරක්ෂා කලයුතුයුයි "

" තවම මනුස්ස පරාණයක් ලංවෙලා නැත්තේ කොයි ප්‍රදේශද චිත්තරාජ ? "

" සෘෂිතුමනි , ධූම්රරාක්ෂ අඩවිය පිරිසිදුයි . ලකේගල පිරිසිදුයි , අශෝක වනය පිරිසිදුයි , ගුරුලුපව්ව පිරිසිදුයි , කූරගල පිරිසිදුයි "

" මගේ දේහය අශෝකවනයේ අදෘශ්‍යමාන ගල්ගේ තුල තැම්පත් කරන්න "







" ගුරුතුමණි , අසිපත ? "

" අසිපත මහමෙර පාමුල ගල්ගුහාවට පිටත්කර හරින්න "

" හෙළ දීපයෙන් අසිපත පිටමං කරන්න පුලුවනිද ගුරුතුමණි ? . රාවණ රජතුමා අපිට සෝලි පාවී අවදිවුණු දවසක "

" තව කීප වසරකින් රාවණ අවදිවෙනවා . අවදිවෙලා හිමාලයේ භාවනා කරන්න පිටත් වෙනවා . වසර සිය ගණනක් රාවණ එතැන භාවනානුයෝගීව හිඳීවි . ඒ නිසා අසිපත එතන තැම්පත් කරන්න . හේතු විමසුවොත් මගෙන් කරුණු කාරණා විමසන්න බ්‍රහ්ම ලෝකයට එන්න කිව්වා කියලා ඔහුට පවසන්න "

" හොඳමයි ගුරු තුමණි , ගුරුතුමණි ? "

" ඇයි චිත්තරාජ ? "

" නීලකුම්බිලා දේවතාවියගේ පිළිරුව ? "

" නීලකුම්බිලා රාවණ කෝවිලට පිටත්කර හරින්න "

" හොඳමයි ගුරුතුමණි "

" මේඝනාදගෙ ශරීරය මේඝනාදට භාර කරන්න රාවණ කෝවිලේදී . අනිත් ශරීර රාවණ කෝවිලේ තැම්පත් කරන්න "

මෙතෙක් වෙලා පුලතිසි සෘෂිතුමා සහ චිත්තරාජ කලයුතු නොකළයුතු සෑම දෙයක් පිළිබඳවම සාකච්චා කළහ . සීගිරි ගලෙන් ඉවත් කලයුතු සහ නොකළයුතු දේවල් පිළිබඳව ඔවුන් දීර්ඝ ලෙස සාකච්චා කළේය . රාවණ රජුට සම්බන්ධ සියලු මෘතශරීර ගලෙන් ඉවත්කළ යුතුව තිබිණි . වෙනත් වස්තුව එසේම පවතින්නට දෙන්න යැයි සෘෂිතුමා උපදෙස් දුන්නේය . ඒවා හෙළදිව සීමාවෙන් පිටත් වන්නේ නැති බව සෘෂිතුමා පැවසුවේය . අනතුරුව එම සාකච්චාව අවසානයේ සීයාට යමක් ඇසීමට ඉතිරිවිය .

" අවසරයි ඉරිසි තුමණි "

" ඔව් "

" දැන් මේ වෙන්න තියෙන දේවල් වලක්වන්න මගේ මන්තර සාත්තරේට බැරිවද ? "

" දරුවා , මේ දේවල් වෙන්න නියම වෙලා තියෙන දේවල් . සිහලදීපය ටිකෙන් ටික පිරිහෙනවා . කළගුණ නොදත් මසුරු ජාතීන් හමුවේ සිහල ජාතිය පිරිහෙනවා . ආරක්ෂා කළයුතු දේවල් පමණයි ඉතිරිවන්නේ . අනෙක් සියල්ලම විනාශ වෙනවා . ඒ නිසා වෙන්න තියෙන දේවල් වෙන්න දෙන්න . ආරක්ෂා කරන්න ඕන දේවල් ආරක්ෂා වේවි . අවසානය සටහන් කිරීම ඔබට භාරයි . මේ අයගේ ජීවිත ඔබට බාරයි . ශාප කිරීමත් ඔබට භාරයි . සිහගිරෙන් වෙනත් දිවයිනකට යාත්‍රා කරන්න පිටමං කරන  වස්තුව ඔවුන්ගේ යාත්‍රා වලට රැස් කරගත්තායින් පසුව යාත්‍රාව දියේ ගිල්වන්න . එයත් ඔබට භාරයි . සිහගිර ඇතුල දකින වෙනත් ඇසක් වෙනත් දේවල් ආයෙත් දකින්න උවමනා වෙන්නේ නැහැ . රාවණට මම උගන්වපු නීතිය ඒකයි "





" හොඳමයි සෘෂි තුමණි . ඔබවහන්සේ එක්ක කතාකරන්න ලැබීම වාසනාවක් . ආයෙත් අපිත් එක්ක කතා කරන්න වඩින්න ආරාධනා කරන්න අවසරද ? "

" අවශ්‍ය වෙන්නේ නැහැ දරුවා "

සැනෙකින් ප්‍රභාශ්වර ආලෝකය අතුරුදන්වී අංජනම වැසී ගියේය . අංජනමට හනුමා ගෙන්වා ගැනීමට සීයාත් මමත් නොකඩවා මන්තර මතිරුවද හනුමා ආවේ නැත . අන්ජානී දේවතාවියට ආරාධනා කලද අංජනම අක්‍රීය වී තිබිණි .

" චිත්තරාජ උත්තමයෝ "

" රණබා "

" අපි දැන් තියාම වැඩ රාජකාරි ආරම්භ කරමු නේද චිත්තරාජ උත්තමයෝ . මේ දේවල් අර පරයි එන්න කලින් ගුරුතුමා කිව්ව ආකාරයට මෙතනින් පිටමං කරමු "

" මම කාලවේල එක්ක කථිකාකරගෙන එන්නම් . අසිපත ගන්න සූදානම් වෙන්න රණබා . දන්නවනේ අසිපත තියෙන තැන වෙනස් කරනකොට වෙන දේවල් . මේ දෙන්නට අවශ්‍ය දේවල් සපයන්න වෙන කෙනෙක් පත්කරන්න . මම අශෝක වනයේ ගුහාව පරීක්ෂා කරන්න පිටත්වෙලා අනිත් සේනාධිපතිවරු කැඳවාගෙන එන්නම් "

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


පලි : මම කතාවේ මේ කොටසට පස්සේ වෙනත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ . ඒක පබ්ලිෂ් කරාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි ඇයි කතාව පරක්කු වෙන්නේ කියලා . හැමෝමගෙන් සමාව ඉල්ලනවා කතාව පරක්කු වෙනවට . ඒත් වෙනත් අත්‍යාවශ්‍ය වැඩත් එක්ක කතාව ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි . අපිත් එක්ක දිගටම රැඳෙන්න .

- වයලීනෝ - 
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment