පුලතිසි (3)





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

" ඔව් මැණික් හාමි තමයි . ගුරුන්නාන්සේ දන්නවද උන්දැව ? "

" ඔව් මම දන්නවා . මැණික්හාමි බොහොම පරණ ගුරුකම් පරපුරක කෙනෙක් නෙව . යක්කුන්ගේ ඇස් බඳින හැටි දන්නවා ඇති ඒ පරපුරත් මම හිතන්නේ "

" ඒවායින් දැන් කාරී නැහැ . සිහගිර නැතිවෙන්න තියෙන්නේ තව ටික දවසයි . ඊට කලින් අපි මොනවා හරි කරන්න ඕන "

රණබා එසේ කියත්ම මහා රාත්‍රියේ අන්ධකාරය දුරුකරමින් චිත්තරාජ යක්ෂ සේනාධිපතියා අප ඉදිරියේ දෘශ්‍ය මාන විය . ඒ තනියම නොව . ඔහුගේ යක්ෂ පිරිවරද සමගය .


අද එතැන්සිට






" ඔබගේ හැකියාවෙන් මේ මුළු මහත් දේශයේම වසර දහස් ගණනක් රැකගෙන ආ රහස් තවදුරටත් රැකගැනීමට හැකිවේවි . ඔබ දෙදෙනාට සිවු රැහේ ආශිර්වාදය "

චිත්තරාජ ඇතුළු පිරිවර අතුරුදහන් විය . සීයාත් රණබාත් කිසිවක් නොකියා සිටින බැවින් මමද නිහඬවම සිටියෙමි . කරත්තය නැවතත් ගමන ආරම්භ කළේය . රාත්‍රී අන්ධකාරය කරත්තය වෙලාගන්නට මෙන් පසුපසින්ද ඉදිරිපසින්ද වටපිටාවෙන්ද අප හා ම පැමිණියේය .

රණබා කරත්තය දක්කාගෙන යමින් සිටින අතරේ සීයා නිදාවැටෙන්නට විය . මමද ස්වල්ප වේලාවකින් නිදාවැටෙන්නට වූයෙන් කරත්තයේ ඇන්දට හේත්තුවී නිදාගන්නට වීමි . ඉන්පසු සිදුවූ කිසිවක් සීයාත් මමත් දන්නේ නැත . අවදිවනවිට මමත් සීයාත් සිටියේ සීගිරිය ආසන්නයේය . එහෙත් මහා ඝන කැලෑවක් අසල අප සිටින බව අපට තේරුම් ගියේය . ඊට පෙර කිව යුතුය ; අප සිටින්නේ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශයක බව දැනගත්තේද රණබාගෙන්මය . 

" ඈ දරුවෝ . මෙච්චර ඉක්මණට හිටිනාමලුවේ ඉඳලා සීගිරියට එන්න පුලුවනිද  ? "

" හඃ හඃ හඃ.............................. මමත් සීගිරියේ ඉඳලා ඉක්මණට ආවා වගේම ඔය ඇත්තනුත් මම සීගිරියට එක්ක ආවා . වරදක් නැහැ නෙව . මායම් වලින් අපිට පුළුවනි විදුලි වේගයෙන් ගමන් කරන්න . තවමත් ඒ හැකියාව අපේ ඇත්තන්ට තියෙනවා " 

" දැන් මේ අපි කොයි ඉසව්වේ වගේද ඉන්නේ ? "

" ආන් අර ඈතින් දිස්නේ දෙන බුබුළු වගේ පේනවා නේද ? . ඒ තමයි සිහගිරේ පිටත අල්ලලා තියෙන චන්ද්‍රකාන්ති බුබුළුවල දිස්නය " 

" මමත් ඉස්සර කියවලා තියෙනවා පොත් පත්වල සීගිරි ගලේ පඩිවල චන්ද්‍රකාන්ති ගල් සවිකරලා තිබුණා කියලා . කාශ්‍යප රජ්ජුරුවෝ මේ දේවල් කොහොම කරාද කියලා හිතාගන්නවත් බැහැ " 

" කාශ්‍යප ? "

රණබා ඒ මොහොතේනම් සීයාට දැක්වූයේ ආක්‍රමණශීලී බැල්මකි . 

" කාශ්‍යප කලෙත් අද මේ පරදේසක්කාරයෝ කරන්න ආව දේම තමයි . පුලතිසි ගුරුතුමා හදවපු අපේ සිවුහෙළයේ මුල් තැන විනාස කරා . කාශ්‍යප මැරුණේ අපේ රැහේ ශාපයක් වැදිලා . නැතිව දිවි නහගත්තා කියන කතාව පස්සෙන් පහු ගෙතුණු කතාවක් . චිත්තරාජ කාලවේල උත්තමයෝ මුගලන් මේ බිම භාරගන්න ආවට පස්සේ කාශ්‍යපට ශාප කරා මියැදෙන්න . නැත්නම් සිහගිරේ අවුරුදු දහස් ගණනක රහස් හෙළි වෙනවා දවසෙන් දෙකෙන් . කාශ්‍යප මේ ගල මුදුනේ ගඩොල් මාලිගා හදලා නතරවුණාට කාශ්‍යපටත් ගල ඇතුලේ මාළිගාවට ඇතුළුවෙන්න ඉඩක් තිබ්බේ නැහැ අපේ අය " 

" ගල ඇතුලේ මාළිගාව ? "

" ඔව් එහෙමත් කියන්න පුළුවන් ඒ මාළිගාවට " 

" දැන් ඉතින් උන්නාන්සේලට මේ උදවියටත් ශාප කරන්න පුළුවන් කමක් තියෙනවා නෙව . ඇයි උන්නාන්සේලා එහෙම නොකරන්නේ ? " 

" මැණික්හාමිට පුළුවන් යක්කුන්ගේ ශාප වදින්නේ නැතිවෙන්න බේරෙන්න . ඒකත් මෙතන තියෙන පුරස්නයක් " 

" ඔය දරුවා ඉන්න කාලේ කාශ්‍යප රජතුමා ඉන්න බැහැ නෙව . කොහොමද ඔය දරුවට ඒ විස්තර දැනගන්න ලැබුණේ ? " 

" චිත්තරාජ උත්තමයා එදා ඉඳලා අද වෙනකං සියළුම දේවල් මට කියා හිටියා . අනාගතයේ අපේ දේවල් වලට වෙන උවදුරු ගැනත් කියා හිටියා . ඒ අනුව තමයි මම මේ දේවල් දැනගත්තේ " 

" දැන් අපි මොකද දරුවෝ කරන්නේ ? . මේ මහා වනාන්තරේ ඇතුලට යනවද නැත්නම් පාන්දර ජාමේ ඉර පායන්න ගත්තායින් පහුව සීගිරියට යන්න පිටත් වෙනවද ? " 

" ගුරුන්නාන්සේ මාමලාට අපේ රැහෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා කියලා චිත්තරාජ උත්තමයා මට දැනුම් දුන්නා . අපි දැන්මම සිහගිර බලා පිටත් වෙන්න ඕන . දැන් හෙමින් හෙමින් කරත්තේ දක්කනකොට ඉර දෙවියෝ පායාවි " 

" ඔය දරුවා හොඳ විදිහක් කරන්නකෝ එහෙනම් " 

රණබා වලව්වේ කරත්තය දැක්කුවේ පුරුදුකාරයෙකු මෙන්ය . කෙමෙන් කෙමෙන් මහා ඝන කැලෑව ඔස්සේ රණබා අපව රැගෙන ගියේ කලකට ඉහත මහා සුරපුරයක්ව පැවති සීගිරිය නම් එම රාජධානිය වෙතය . කරත්තය යන අතරමග තැනින් තැන දැවැන්ත හස්තීන් රංචු පිටින් අප ඉදිරියට ආ නමුත් ඔවුන්ගෙන් අපට කරදරයක් වූයේ නැත . රණබා ඒ සියල්ලම හොඳින් හඳුනන බව ඔහුගේත් හස්තීන්ගේත් අදහස් හුවමාරුවෙන් අපට තේරුම් ගියේය . 

පාන්දර වනවිට අපි සීගිරිය පාමුලට පැමිණියෙමු . සැබවින්ම එය දෙස හිස ඔසවා බැලීමටවත් සිත් දෙන්නේ නැත . ඒ තරමටම එය ගාම්භීරය , එහි තැනින් තැන රූස්ස ගස් වැඩී තිබෙන්නේ කාලයක් තිස්සේ එය පිරිසිදු කිරීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවූ නිසාද එසේත් නැතිනම් වල් වැදීමෙන් එය මනුෂ්‍යන්ගේ ග්‍රහණයට නතුවීමේ හැකියාව මදවන නිසාද කියා මම නොදනිමි . නමුත් සීගිරියේ ඇති ගාම්භීර පෙනුම සමගම එය එයට පිටුපසින් සැඟවුණු ගුප්ත බවකින් වෙලී ඇතිබව මට පෙනී ගියේය . 

මෙතෙක් වෙලා නිහඬව සිටි මම රණබා ඇමතීමි . 

" ඇත්තටම මේ ගල මුදුණට මෙච්චර රූස්ස ගස් හැදෙන්න තරම් වතුර එහෙම ලැබෙන්නේ කොහොමද ? " 

" මලයන්ඩිව මම ගල මුදුණට එක්කගෙන යන්නම් . එතකොට පෙනීවී වතුර කොහෙන්ද එන්නේ කියලා " 

" මම පොත්වල කියවලා තිබුණට මම හිතුවේ නැහැ සීගිරිය මෙච්චර ලොකු ඇති කියලා " 

" හඃ හඃ හඃ ........................ "

රණබා උපහාසයෙන් මෙන් සිනහ වී අපව කැඳවාගෙන ගියේ සීගිරි පර්වතය පාමුල ඇති ගුහා දොරටුවක් වැනි ස්ථානයක් අසලටය . එය අසලට ගිය රණබා අප එම ගුහා දොරකඩ ඉදිරියේ රඳවා ඉදිරියට ගොස් ගුහාවේ දොරටුව අසල සිටගත්තේය . අනතුරුව මදක් වේලා ගුහාවේ දොරටුව දෙස බලා හිඳ අත් දෙකම දොරටුවට තබා දෙඅල්ලෙන්ම දොරටුව තද කළේය . ඒත් සමගම ගොරහැඩි හඬක් නංවමින් ගුහාවේ දොරටුව විවෘත විය . 

" එන්න " 

රණබා අපටද දොරටුව අසලට එන්නට යැයි ආරාධනා කළේය . මමත් සීයාගේ පසුපසින් ගුහා දොරටුව වෙත ගමන් කලෙමි . 

" මේ තියෙන්නේ අවුරුදු දහස් ගණනක් මනුස්ස පුළුටක් නොගෑවෙන්න පරෙස්සම් කරපු පුලතිසි ගුරුතුමා හදවපු රාවණා මහ රජතුමාගේ වාසභවන . යක් රක් නා දෙව් සේනාවක් මේ ගල ඇතුලේ තියෙන මාළිගාවේ අදටත් එදා ඉඳලාම ඉන්නවා . ඒ නිසා සංසුන් ගමනින් මගේ පස්සෙන් එන්න . ඔය තියෙන කිසිම දෙයක් චිත්තරාජ උත්තමයා හමුවෙනතුරු , කියනතුරු අතපතගාන්න එපා . තමන්ට ලැබුණේ කිසිම මනුෂ්‍ය පරාණයකට ලැබෙන්නේ නැති වටිනා දෙයක් කියලා මතක තියාගන්න ඕන " 

රණබා මහත් ගෞරව ඇතිව කියාගෙන ගියේය . 

ගුහා දොරටුවෙන් ඇතුළට වත්ම , අඳුරු නමුත් දිළිසෙන පුවරු වලින් ආලෝකය විහිදුවන විශාල ශාලාවකට අපි තිදෙනා පිවිසියෙමු . රාවණා රජතුමාගේ මාලිගාව මෙයද ? . මගේ හදවත යකුන් ඉදිරියේ නොගැහෙන වේගයෙන් ගැහෙන බවක් මට දැනිණි . සීයාද වික්ෂිප්තවී  නමුත් සංසුන්ව එහා මෙහා බලමින් රණබා සමග ගමන් කළේය . එම ශාලාව ගමේ පන්සලේ බණ ශාලාව මෙන් විසි තිස් ගුණයක්වත් විශාල වන්නට ඇත . එහි හතර පැත්තක ඉහළටත් පහළටත් පඩිපෙල් හතර බැගින් විහිදී තිබිණි . 

" මේ පඩිපෙල් කොහාටද තියෙන්නේ දරුවෝ ? " 

සීයා විචාළේය .

" සිහගිරේ ඉඳලා මේ දීපය පුරාවටම විහිදෙන විදියට පුලතිසි ගුරුතුමා උමං හදවන්න සැලසුම් කරලා තිබුණා . රාවණා රජතුමා අවසානයේ ඔය උමං කර්මාන්තය සම්පූර්ණ කරලා මුළු රටම සිහගිරට එකතු කරගත්තා . ඒ උමං මාවත් වලට යන්න තියෙන ප්‍රධාන පඩිපෙල් හතර තමයි ඔය වටේට තියෙන පහළ උමං පඩිපෙල් හතර . මේ උඩට තියෙන්නේ සිහගිරේ උඩට යන්න තියෙන පඩිපෙල් හතර . ගල ඇතුලේ තියෙන අනෙක් මැදුරු කාමර වලට මේ පඩිපෙල් සම්බන්ධ වෙනවා . ඔයින් අර අතන තියෙන පඩිපෙළ රාවණා රජතුමාට විතරක්ම කාරිය වෙන්වෙලා තුබුණු පඩිපෙළ . 


ඔතනින් ආවේ ගියේ රාවණා රජතුමා විතරයි එදා ඉඳලාම . උවමනාවක් වෙනුවෙන් ගියොත් මිසක් අපේ සිවුරැහේ කිසිම කෙනෙක් ඔය පඩිපෙලේ පය තියන්නේ නැහැ . ඔතැනින් ගියාම තියෙන පළවෙනි මන්දිරයේ තමයි මේඝනාද කුමාරයාගේ මෘත ශරීරය තැම්පත් කරලා තියෙන්නේ . ඊට පස්සේ තියෙන මන්දිරයේ රාවණ රජතුමාගේ බිසවගේ ශරීරය තැම්පත් කරලා තියෙන්නේ . ඊටත් උඩින් තියෙන මන්දිරයේ පුලතිසි ගුරුතුමාත් ඊටත් උඩින් තියෙන මන්දිරයේ සඳ එළියේ අසිපතත් තැම්පත් කරලා තියෙනවා " 

රණබා දීර්ඝ ලෙස කියාගෙන ගියේය . 

" දැන් අපි ඉහළට ගමන් කරන්න ඕන . චිත්තරාජ උත්තමයා ඔය ඇත්තන්ට සූදානම් කරවපු භෝජන සංග්‍රහය බුක්ති විඳින්න . එන්න මාත් එක්ක මේ පැත්තෙන් " 

" මේඝ නාදය කිව්වේ කවුද දරුවෝ ? " 

" ඉන්ද්‍රජිත් කුමාරයා " 

" ආ රාවණ රජතුමාගේ පුත්‍රයා නෙවෙන්නන් " 

" කුමාරයා ඉපදුන දවසේ අකුණු හෙනගිනි දේවතාවාට වඩා ලොකු හඬකින් තමයි අඬලා තියෙන්නේ . ඒ නිසා රාවණ රජතුමා කුමාරයට මේඝනාද කියලා නම තියනවා . ඒත් මහාබ්‍රහ්මයා තමයි ඉන්ද්‍රජිත් කියන නම තියලා තියෙන්නේ . කාලයක් ඉන්ද්‍ර දෙවියන් මේ සිහගිර මාළිගාවේ පොළවෙන් පහළ මන්දිරයක හිර කරලා තියලා තියෙනවා මේඝනාද කුමාරයා . ඒ නිසා මහා බ්‍රහ්මයා ඉන්ද්‍ර දෙවියන් දිනූ කියන අදහස දෙන්න මේඝනාද කුමාරයට නම තියෙනවා ඉන්ද්‍රජිත් කියල " 






කෙමෙන් කෙමෙන් රණබා මමත් සීයාත් කැඳවාගෙන සීගිරි ගලතුල පිහිටා ඇති මාලිගා සංකීර්ණයේ ඉහළ මාල වෙත නැගීමට ඇති පඩිපෙල් හරහා කැඳවාගෙන ගියේය . පසු කරන සෑම ශාලාවකම විශාල පළිඟු කණ්නාඩි සවිකර ඒවායින් ආලෝකය ලබාගෙන පහල මන්දිර වෙත ලබා දේ . ඒවායින්ය පහල මන්දීර ආලෝකමත් වන්නේ . එම කණ්නාඩි එකිනෙක ආලෝකය හුවමාරු කරගන්නා ආකාරයෙන් සවිකර ඇති නිසා නොකැඩෙන ආලෝක ධාරාවක් එක් කණ්නාඩියක සිට අනෙක් කණ්නාඩිය දක්වා ගමන් කිරීම ගැටළුවක් නැතිව සිදුවේ . 

සෑම මන්දීරයකම , ශාලාවකම හා කාමරයකම රත්‍රන් වලින් නිමවන ලද විවිධ ආකාරයේ රූප තබා තිබේ . මේවා මේ තරම් ආරක්ෂා වන්නට ඇත්තේ මෙම යක්ෂ සේනාවේ ආරක්ෂාව නිසා විය යුතුය . නැතිනම් වෙනත් රටවල් වලින් වූවායයි සැලකෙන ආක්‍රමණ හේතුවෙන් මේවා විනාශ වන්නට මහත් අවකාශයක් තියෙන්නට ඇත . හෙළයින්ගේ උරුමය විනාශ වන්නේ හෙළයින්ගේ දනුමෙන්ම බව මම කල්පනා කලෙමි . 

මැණික්හාමි ලෙස හඳුන්වන සීයා දන්නා නමුත් මා නොදන්නා එම ඇදුරා ඇත්තෙන්ම කරන්නේ තමන්ට නොවටිනා දෙයකි . තමන් භාවිතා කරන මන්ත්‍ර ශාස්ත්‍රයේ මුල් උරුමය අයත් වන්නේ මෙම මාළිගාවේ ජීවත් වූ මහා දැනුමැති පුද්ගලයින්ට බව ඔවුන් සිහිපත් කලයුතුය . එහෙත් එම දැනුමෙන්ම අද එම මාළිගාව අවදානමට වැටී තිබේ . 

සීයාත් මමත රණබා සමග සීගිරියේ ඉහළට ගමන් කරන ගමනේ අවසානයට මත්තෙන් දකින්නට ලැබුණු කාමරයේ විශාල ගිණි ජාලාවක් නංවන බඳුනක් විය . එහි තෙල් කැකෑරෙමින් ගිනිගෙන දැවෙමින් තිබිණ .

" මේ ගින්දරෙන් තමයි රාත්‍රී කාලයේ මාළිගාව එලිය කරන්නේ . හඳ එලිය නැති දවසට පළිඟු පුවරු කරකවලා මේ ගින්නෙන් තමයි ආලෝකය ගන්නේ " 






සීයාත් මමත් හාවක් හූවක් නැතිව බලාගත්වනම බලාගෙන රණබා කියන සියල්ල අසාගෙන සිටියෙමු . අවසානයේ සීයාත් මමත් රණබා සමග සීගිරි ගල මුදුණට පැමිණියෙමු . එම විවරය පිහිටා තිබුණේ ගලේ පැත්තකට වන්නටය . එම විවරය වසා තිබුණේ විශාල ලෝහ තහඩුවකින්ය . රණබා ඉහළට ගොස් එයට තට්ටු කරත්ම එය විවෘත කරන ලද්දේ කළු පැහැති ශරීර්යක් හිමි යකෙකුගේ විලාසය ඇති පුද්ගලයෙකි . 

සීයාත් මමත් රණබා සමග ඉදිරියට ගමන් කළෙමු . මගා සුළඟක් හමමින් චිත්තරාජ යක්ෂ සේනාධිපතියා සීගිරි ගලමත්තේ දෘශ්‍යමාන විය . 

" අතුරු ආන්ත්‍රාවක් නොමැතිව මේ ස්ථානයට ඔබලා රැගෙන එන්න අපගේ යක් රැහේ උන් කටයුතු කරනු ලැබුවා . දැන් මේ භෝජනය භුක්ති විඳලා අපට අවශ්‍ය වැඩ රාජකාරි පටන්ගන්නයි උවමන කරන්නේ " 

" එහෙමයි එහෙමයි " 

සීයා යටහත් පහත්ව පිළිතුරු දුන්නේය . ගමේදී ගමේ මිනිසුන් ඉදිරියේ දක්වන තේජවන්ත ස්වභාවය යක්ෂ සේනාධිපතියෙකුගේ ඉදිරියේ දක්වන්නට නොහැක . 

චිත්තරාජ ඇතුළු යක්ෂ පිරිවර සීගිරි ගල මුදුනේදී අපට ලබාදුන් භෝජන සංග්‍රහයේ කොස් දෙල් අල බතල මඤ්ඤෝක්කා සුවඳඇල් හාලේ බත් ඇතුළුව නොයෙක් වර්ගයේ කෑම වර්ග තිබිණි . ඒවා පිසින ලද්දේ කවුද කියා නොවිමසීමට සීයාද මමද වගබලාගත්තෙමු . එය අපට අවශ්‍ය නොවන කාරණයකි . 

සියළුම ආහාර වර්ග දමා තිබුණේ රත්‍රන් පැහැති බඳුන් වලය . වතුර බීමට තිබුණේ රත්‍රන් පැහැති කොතල දෙකකි . සීයාත් මමත් ප්‍රමාණවත් තරමට එම භෝජනය භුක්තිවිඳ අවසාන වත්ම යක්ෂ පිරිවරේ සේවකයෝ එම දේවල් ඉවතට රැගෙන ගියහ . 

අපගේ ගමනේ වැදගත්ම කථිකාව ඇරඹුණේ එතනින් අනතුරුවය . චිත්තරාජත් මමත් සීයාත් රණබාත් පමණි එතැන සිටියේ . 

" මැණික් හාමි සිහගිර පෙන්වන්න කැඳවාගෙන ආ පරදේසක්කාරයින්ගේ මහ එකාගේ නම බෙල් කියලා නමක් . තවත් සුදුහම් තියෙන පරයින් රැලක්ම මැණික්හාමි මෙහි කැඳවාගෙන ආවා . පළවෙනි දිනයේ ඔවුන් වළකුනත් දෙවෙනි දිනයේ ඔවුන් මන්තර බලයෙන් සිහගිර අසලටම පැමිණියා . තවමත් ඔවුන් උමං දොරටුව අසලට පැමිණියේ නැහැ . නමුත් හෙට දිනයේ ඔවුන් නැවතත් පැමිණෙනවා . නීලකුම්බිලා දේවතාවියගේ ප්‍රතිමාව ඔවුන් සොයන්නේ . මේ වෙනුවෙන් අපට ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නැහැ . මතුරේ බලයෙන් අපට නොපෙනෙන්න ඔවුන්ට එන්න පුළුවන් . ඒ වෙනුවෙන් ඔබට යමක් කරන්නට වෙනවා . මේ රාජධානිය විනාශ වුණොත් රහස් සේරම හෙළිවෙලා රාවණ රජතුමා අවදිවන දවසට මේ කිසිවක් ආයෙත් නොමැති වෙන්න දෙන්නට කොහෙත්ම බැහැ " 

චිත්තරාජ යක්ෂ සේනාධිපතියා කියාගෙන කියාගෙන ගියේය . 

ඊළඟ කොටසින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment