පුලතිසි ( 5 )









මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්


" හොඳමයි සෘෂි තුමණි . ඔබවහන්සේ එක්ක කතාකරන්න ලැබීම වාසනාවක් . ආයෙත් අපිත් එක්ක කතා කරන්න වඩින්න ආරාධනා කරන්න අවසරද ? "

" අවශ්‍ය වෙන්නේ නැහැ දරුවා "

සැනෙකින් ප්‍රභාශ්වර ආලෝකය අතුරුදන්වී අංජනම වැසී ගියේය . අංජනමට හනුමා ගෙන්වා ගැනීමට සීයාත් මමත් නොකඩවා මන්තර මතිරුවද හනුමා ආවේ නැත . අන්ජානී දේවතාවියට ආරාධනා කලද අංජනම අක්‍රීය වී තිබිණි .

" චිත්තරාජ උත්තමයෝ "

" රණබා "

" අපි දැන් තියාම වැඩ රාජකාරි ආරම්භ කරමු නේද චිත්තරාජ උත්තමයෝ . මේ දේවල් අර පරයි එන්න කලින් ගුරුතුමා කිව්ව ආකාරයට මෙතනින් පිටමං කරමු "

" මම කාලවේල එක්ක කථිකාකරගෙන එන්නම් . අසිපත ගන්න සූදානම් වෙන්න රණබා . දන්නවනේ අසිපත තියෙන තැන වෙනස් කරනකොට වෙන දේවල් . මේ දෙන්නට අවශ්‍ය දේවල් සපයන්න වෙන කෙනෙක් පත්කරන්න . මම අශෝක වනයේ ගුහාව පරීක්ෂා කරන්න පිටත්වෙලා අනිත් සේනාධිපතිවරු කැඳවාගෙන එන්නම් "


අද එතැන් සිට 





චිත්තරාජ යක්ෂ සේනාධිපති සීගිරි පර්වත මාලිගාවෙන් පිටත්වී ගියේය . ඔහු ගියේ තනිවමය . රණබා අප දෙදෙනාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණකරන ලෙස ගිවිස ඔවුන්ගේ යක් රැහේ කෙනෙකු අප අසල රඳවා සඳ එළියේ අසිපත සම්බන්ධ රාජකාරි සඳහා සූදානම් වීය . ඔහු අප සමග කතා කරමින්ම එම රාජකාරිවල නිරතවීමෙන් ඔහු දත් අප නොදත් කරුණු කාරනා රාශියක් අනාවරණය කරගත හැකි විය .

" අසිපත මෙතන තැම්පත් කරේ ලේසි පාසුවෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ නෙවෙයි . ඒ නිසා ඉවත් කරන එක ලේසි පාසු වෙන එකක් නැහැ අදත් . පොලව කම්පා වෙන්න තරම් දේවල් වෙයි "

" ඇයි දරුවෝ ඉතින් එච්චර ස්ථාවර විදියටම මේ කඩුව තැම්පත් කරේ "

" අසිපතට අතුරුආන්තරාවක් වෙයි කියල ආපි හිතුවේ නැහැ නෙව . ඒ නිසා රාවණා උත්තමයා අවදිවෙනකල් අපි මෙතනම අසිපත තැම්පත් කරලා තියන්න තමයි හිතාන හිටියේ "

" පුලතිසි සෘෂි තුමා කිව්ව තැන පරෙස්සම් ඇති කියලා මටත් හිතෙනවා . ඔය මහමෙර ගැන මන්තර වල එහෙමත් සඳහන් වෙලා තියෙනවා . ඒ විස්තරත් එක්ක බැලුවම එතන ආරක්ෂා සහිත ඇති කියලා හිතන්න පුළුවන් "

" එතන ආරක්ෂාව ස්ථීරයි . ඒ නිසා තමයි එතන තැම්පත් කරන්න කියලා ගුරු තුමා කිව්වේ .රාවණ රජතුමා කැමති නැහැ කියලා තමයි මම අහලා තියෙන්නේ අසිපත මෙහෙන් පිටත් කරනවට . ඒ නිසා තමයි ගුරුතුමා කියන්න ඇත්තේ ඇහුවොත් රජතුමාට එතුමා මුණගැහෙන්න කියන්න කියලා "

රණබා තමන් මෙතෙක් වෙලා පිට හරහා විහිද යනසේ විදාහැර තිබුණු තම කෙස් වැටිය දෑතින් අල්ලා මනාසේ පිහිටන ලෙස ගැටගසා ගත්තේය . ඒත් එක්කම ඔහු සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී පැමිණියේය . සඳ එළියේ අසිපත මාළිගාවෙන් ඉවත් කිරීමට සියල්ල සූදානම්ය . දැන් සියල්ලෝම බලාපොරොත්තුවෙන් සිටින්නේ චිත්තරාජ යක්ෂ සේනාධිපතියාගේ පැමිණීමයි . ඔහු සීගිරි මාලිගාවෙන් නික්ම ගියේ තවත් යක්ෂ සේනාධිපතිවරුන් කීප දෙනෙකු කැඳවාගෙන ඒමටය .





" ජයශ්‍රී සේනාධිපති තුමණි "
" ජයශ්‍රී සේනාධිපති තුමණි "
" ජයශ්‍රී සේනාධිපති තුමණි "

තුන්වරක් සීගිරි පර්වත මාළිගාව තුල සිටි සියලුම යක් රැහේ උදවිය හඬ නගන්නට විය . ඒත් සමගම අප සිටි තැනට පියගැට පෙළ පසුකර පැමිණියේ චිත්තරාජ යක්ෂ සේනාධිපතියාත් තවත් යක්ෂ සේනාධිපති වරුන් තුන් දෙනෙකුත්ය . මින් එක් අයෙකු නම් කාලවේල යක්ෂ සේනාධිපති බව සහතිකය . අනෙක් දෙදෙනා කවුරුන්ද ? . 

" කාලවේල , මේ සිටින්නේ මා ඔබත් සමග පැවසූ ඇදුරු දෙදෙනායි " 

කාලවේල යක්ෂ සේනාධිපති සීයාටත් මටත් ආචාර කිරීමෙන් පසුවය අප හඳුනා ගත්තේ ඒ කාලවේල යක්ෂ සේනාධිපති බව . ඔහු චිත්තරාජ තරම් ප්‍රසන්න පෙනුමක් සහිත වූවෙකු නොවේ . හැඩිදැඩිය , නමටම ගැළපෙන අයුරින් කාල වර්ණයෙන් පරිපූර්ණය නමුත් ශාන්ත කටහඬක් සහිතය . 

" ඔබ දෙදෙනාගේ එක්වීම අපට සතුටක් " 

සීයාත් මමත් ආචාර කළෙමු . අනෙක් යක්ෂ සේනාධිපතිවරු දෙදෙනාද අපට ආචාර කළහ . අපි ඔවුන්ටද ආචාර කළෙමු .

" රණබා ඔබ සූදානම්ද ? " 

" එහෙමයි චිත්තරාජ උත්තමයෝ " 

" එහෙනම් අසිපත අතට ගන්න " 

රණබා සංසුන් ගමණින් පියගැටපෙළ තරණය කිරීම ආරම්භ කළේය . යක්ෂ සේනාධිපතිවරුන් සිවුදෙනාද ඒ පසුපස ගමන් කිරීම ආරම්භ කරන අතරේ චිත්තරාජ සීයාටත් මටත් ඒ සමග පැමිණෙන ලෙස නිහඬ බැල්මකින් ආරාධනා කළේය . 

" සීයේ මොකක්ද ඒ කියන්නේ ? " 

" අපිටත් ඒ එක්ක එන්න කියලා කියනවා . අපි දෙන්නත් ඒ උදවියත් එක්ක යමු " 

සීයාගේත් මගෙත් කෙටි සංවාදය ඇසුනාදෝ චිත්තරාජ නැවතත් අප දෙස තම ශාන්ත බැල්ම හෙලුවේය . පියගැට පෙළවල් කීපයක් තරණය කිරීමෙන් අනතුරුව රණබා ත් , යක්ෂ සේනාධිපතිවරුන් හතරදෙනාත් සීයාත් මමත් ඒ මහානර්ඝ වස්තුව , සඳ එළියේ අසිපත තැම්පත් කර ඇති ශාලාවට පැමිණියෙමු . සඳ එළියේ අසිපත කවාකාරව නිමවන ලද ආසනයක තැම්පත් කර තිබිණි . රණබා අපට සංඥා කලේ පසෙකට වී බලා සිටින්න කියාය . අනතුරුව හෙතෙම අසිපත තබා තිබුණු කවාකාර ආසනය අසලට ගොස් දීර්ඝ හුස්මක් ඉහළට ඇද ක්‍ෂණිකවම එය පිටකර සඳ එළියේ අසිපතට දොහොත් මුදුන් දී නමස්කාර කරමින් මොනවාදෝ මුමුණන්නට විය . 






මේ අතරේ යක්ෂ සේනාධිපතිවරු සිවුදෙනා ආසනය වටා සතර දිශාවන්ට පසුපස ලා සිටගත්තේ සඳ එළියේ අසිපතට වන්දනා කරගෙනමය . තමන්ගේ වත්පිළිවෙත් අවසන් කල රණබා වෙව්ලන සුරත අසිපතේ මිට අසලට කිට්ටු කළේය . අත ලංවත්ම අසිපතෙන් රශ්මි ධාරාවන් නිකුත් වන්නට පටන් ගත් නිසා රණබා මදක් වේලා නිසොල්මනේ හිඳ අසිපතේ මිට අල්ලාගත්තේය . තවමත් අසිපත තිබෙන්නේ කවාකාර ආසනය මතය . අසිපතෙන් නොනවත්වාම රශ්මි ධාරාවන් නිකුත් වෙමින් තිබිණි . එකවරම රණබා අසිපත කවාකාර ආසනයෙන් ඉහළට එසවීය . 

අහසේ අකුණු පුපුරා ගියේය . අසිපත තබා ඇති ශාලාවට ආලෝකය ගැනීමට ඇති කවුළුව හරහා අකුණු එලිය සීගිරි ගල තුළටද පැමිණියේය . පොලව දෙදරුම් හඬක් ඇසෙන බැවින් මමද සීයාද බියට පත් වීමු . එහෙත් අපට අතුරු ආන්තරාවක් වන්නේ නැත යන ස්ථීරසාරබව නිසා සිටි තැනම සිටීමට අපි වගබලාගතිමු . විනාඩි පහක පමණ වේලාවක් පොළව දෙදරමින් තිබිණි . අවසානයේ රණබා අසිපත ආසනයේ සීමාවෙන් ඉවතට ගත්තේය . ඒත් සමගම අසිපතෙන් රශ්මිධාරාවන් නිකුත්වීමද අවසන් විය . පොළව දෙදරීමද නතර විය . සියල්ල සංසුන් වීමත් සමග සීයාටත් මටත් සැනසුම් සුසුම් හෙළීමට ඉඩ අවකාශය ලැබිණි . 

යක්ෂ සේනාධිපතිවරු හතරදෙනා රණබා වටකරගත් අතර අසිපත අතැතිව රණබා ඔවුන් සමගම පිටත්වී ගියේය . ඔවුන් මහමෙර පාමුල අසිපත රඳවා නැවතත් පැමිණීමට සැලකියයුතු කාලයක් ගත් අතර එම කාලය තුල සීයාත් මමත් සැලසුම් කරන ලද්දේ පුලතිසි සෘෂි තුමා අඳුන හරහා අපර පවරන ලද රාජකාරි කෙසේ කරන්නේද කියලා සැලසුම් කිරීමටය . අපට අවශ්‍ය ද්‍රව්‍ය පිලිබඳ දැනුවත් කරන්නට අප අසල සිටියේ රණබා විසින් අපගේ වැඩ කටයුතු වලට සහය වීමට පත් කරන ලද යක් රැහේ සාමාජිකයාය . හෙතෙම් අපට අවශ්‍ය දෑ සියල්ලම පාහේ සම්පාදනය කර දුන් අතර ඒවා සීගිරි පර්වතයේ ඉහළම තැම්පත් කර තැබීමට අපි ඔහු දැනුවත් කළෙමු . 

සැලකියයුතු වෙලාවකට පසුව චිත්තරාජ කාලවේල සහිත යක්ෂ සේනාධිපතිවරුන් හතරදෙනා සමග රණබා නැවතත් සීගිරියට පැමිණියහ . 

" ඒ කාරණාව අහවරයි . දැන් චිත්තරාජ උත්තමයා අනිත් දේවල් බලාගනීවි " 





ඒ අයුරින්ම මේඝනාද කුමරුගේ ශරීරයත් , බිසවුන් වහන්සේලාගේ ශරීරත් , නීල කුම්බිලා දේවතාවියගේ පෞරාණික පිළිරුවත් ආදී වශයෙන් ආරක්ෂා කලයුතු සියල්ල රාවණා කෝවිලට පිටත්කර හැරියහ . ඒ සියල්ලම වතාවන් කීපයකදී රැගෙන ගියේ යක්ෂ සේනාධිපතිවරුන් හතරදෙනා විසින්ම පමණි . 

මෙම කරුණු කාරනා සියල්ල සම්පූර්ණ කිරීමට වරු තුනක් පමණ ගතවිය . ඒ කාලය තුලම සීයාත් මමත් සිදුවන්නේ කුමක්ද කියා බලමින් සීගිරි පර්වතය තුලටම වී සිටියෙමු . කලයුතු සියල්ල අවසාන විය . 

" ඔබ මැණික් හාමි වෙනුවෙන් කුමක් කිරීමටද බලාපොරොත්තු වන්නේ ? "

චිත්තරාජ සීයාගෙන් විමසුවේය ? .

" මරණවා ! " 

සීයාගේ පිළිතුර සෘජු පිළිතුරක් විය . 

" හොඳයි . අනිත් උදවිය ? " 

" පරදේසක්කාරයින්ට සාප කරන්න කියලා තමයි සෘෂි තුමා දැනුම් දුන්නේ . ගෙනියන දේවල් පුරවාගන්න නැව මුහුදේ ගිල්ලන්න කිව්වා . ඒකටත් කරන්න දේවල් මට තියෙනවා . ඒ ඇරෙන්න ඉන්න අයට කරන්න දෙයක් තියෙනවා මට . මම ඕනෑ කරන දේවල් ඔක්කොම ගෙන්නාගත්තා නිස්කාරනේ වෙලාව ගත කරන එකේ " 

" බොහොම අගෙයි බොහොම අගෙයි . අපේ ඔත්තුකරුවන් මට දැනුම් දුන්නා දැන් ඒ අය පිටත් වෙලාය කියලා . එහෙනම් මෙතන ඉඳලා අපිට හැකි වැන්නේ ඔබට උදවු උපකාර කරන්නට පමණයි . අවශ්‍ය හැම දෙයක්ම අපිට සපයන්නට හැකියි " 

" අපිට මෙතන ඉඳලා මේවා කරන්න බැහැ . එන අය අවසානයේ එන්නේ ගල මුදුනට . අපිට ගල මුදුනට වෙලා ඉන්න තියෙනවානම් තමයි හොඳ මේ දේවල් කරන්න "

" හොඳයි " 

සීයාත් මමත් රණබා ඇතුළු යක් රැහේ සියල්ලන්ම සීගිරි පර්වතයේ ඉහළට ගියෙමු . සීගිරි පර්වතය තුල ඇති මාළිගාව දැන් හිස් වී තිබේ . ගල මුදුනටවී සැඟවී අප බලාසිටියේ මැණික්හාමි ඇතුළුව එන පිරිස එනතුරුය . වැඩිවෙලාවක් යන්නට මත්තෙන් ඔවුන් එහි පැමිණෙනු අපි දුටුවෙමු . 

" සීයේ අන්න කවුද එනවා පේනවා " 

" ඔය එන්නේ මැණික්හාමි තමයි . ඔහොම එන්න අරින්න " 





මැණික්හාමි සීගිරි ගල අසලට පැමිණ මන්තර මතුරන්නට පටන්ගත් බවක් අපට දක්නට ලැබිණි . එහෙත් සීයා කිසිවක් නොකර බලා සිටියේය . එහෙත් මොහොතක් ගතවන්නට මත්තෙන් යක් රැහේ පිරිස තම දෙකන් දැතින් තදින් වසාගෙන පීඩිතව දනගසාගෙන ඇඹරෙන්නට පටන් ගත්හ . මන්ත්‍රය එතරම් ප්‍රභලය . 

එබැවින් සීයා මන්තර මතුරා පිඹිත්ම යක් පිරිවර නැවතත් සාමාන්‍ය තත්වයට පැමිණියහ . මැණික්හාමි ඒ අතරේ සීගිරි ගල තුලට පිවිසෙනු අපි දුටුවෙමු . ඔවුන් පැමිණ තිබෙන්නේ කරත්ත රැගෙනය . එම කරත්ත බඩු පටවාගෙන යාමට හැකිවන ආකාරයේ ඒවාය . සමහරවිට මැණික්හාමි සියල්ලම ගැන පවසා එක වතාවෙන්ම සීගිරි ගලතුල තිබෙන සියල්ල පාවා දෙන්නට අදිටනින් මෙහි පැමිණෙන්නට ඇත . සියල්ලෝම ගුහා දොරටුව විවෘත කරගෙන පර්වත මාළිගාව තුලට පිවිසිණි . 


" දැන් ඔක්කොම කොල්ලකන්න පුළුවන් ඒවා කොල්ලකනවා ඇති . උන් ඒවා කරත්දාවේ . මම මැණික්හාමිට අංගම යවනවා දැන් " 

සීයා ගලමුදුනේම හිඳ යක්ෂයින්ට ආරාධනා කරන මන්ත්‍ර මතුරන්නට පටන් ගත්තේය . මේක බලගතුම යක්ෂ අංගමකි . මන්ත්‍ර කිසිවකට වළකාලන්නට නොහැකි අංගමකි . එය දන්නේ මමත් සීයාත් පමණි . සීයා මෙම මන්ත්‍රය මතුරා වතුර කලය බිමට වත් කළේය . 

" මේ වතුර කලේ වතුර බිමට වැටිලා දියවෙලා ගියාවගේම මැණික් හාමිවත් බිමට වැටේවි " 

" අන්න අර පරදේසක්කාරයෝ මොනවද ගෝනිවල පටවාගෙන එළියට අරගෙන යනවා " 

" සංසුන් වෙන්න රණබා . ගෙනියන්නේ කුඩා පිළිමත් වෙනත් සාමාන්‍ය ස්වර්ණමය ආම්පන්න පමණයි . මේවා හෙළදීපයේ සීමාවෙන් පිටවෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි " 





ඔවුහූ පැය ගණනාවක කාලයක් තිස්සේ මෙම බඩුබාහිරාදිය ගුහා දොරටුවෙන් ඉවතට රැගෙනගොස් තම කරත්තවල පටවාගත්හ . මැණික්හාමි පේන්නේ නැත . ඔහුට විය යුත්ත වී ඇතැයි අවි විශ්වාස කළෙමු . අවසානයේ පරදේසක්කාරයින් විශාල කළුපැහැති හතරැස් පෙට්ටියක් වැනි යමක් අමාරුවෙන් මෙන් ඔසවාගෙන එළියට ආහ . එය මිනිසෙකුට ඇතුළුවී සිටීමට තරම් හැකි පෙට්ටියක් වැන්නකි . නමුත් එය කැටයම් කර ඇතිබවක් පෙනිණි . ගල මුදුනේ සිට සැඟවී බලාසිටින හෙයින් ගලපාමුල ඇති එම වස්තූන්ගේ පැහැදිලි විස්තරයක් දැකබලා ලබාගැනීමට හැකියාවක් අපට නොලැබිණි . 

" ඔය තියෙන්නේ රාවණා රජතුමා සීගිරි ගලේ පිටත බිත්තියේ සවිකරලා තිබුණු රත්තරන් සෝපානය . මේ පරයින් මේකත් උස්සාගෙන යන්නයි හදන්නේ " 

රණබා කේන්තියෙන් මරහඬ දී කෑගැසුවේය . චිත්තරාජ වහා ඉදිරියට පැන රණබා නිහඩ කළේය . එහෙත් මේ හඬ පහළට ඇසිනි . එනිසා පහල සිටි පරදේසක්කාරයින් හා ඔවුන් හා සහයට පැමිණි ගැමියන් ගල මුදුන දෙස හැරී බැලූහ . සීයාත් මමත් අසල වූ ගල් බැම්මකට වහා මුවා වීමි . 

" හරි . තව ටිකකින් එකා එකා එයි උඩට " 

සීයා අංගම් පිඹීමට සූදානම් විය . සීගිරි ගලේ ඉහල දොරටුව අසල සීයා රැදී සිටියේ එන එන අයට අංගම් පිඹීමටය . 

පැයක් පමණ ගතවන තෙක් කිසිවෙක් පැමිණියේ නැත . අංගමට මුහුණ දුන් පළමුවැන්නා පරදේසක්කාරයෙකි . මේ අයුරින් ඉහළට ආ සියල්ලෝම පාහේ අංගමට හසුවිය . පසු දිනයකදී සීයා මා හා පැවසුවේ හතලිස් දෙවතාවක් එකම අංගම පිම්බ බවය . අවසානයේ ඉහළට ආ ගැමියා අල්ලාගන්නා ලෙස සීයා නියම කළේය . එම නියමය අනුව රණබා වහා ඉදිරියට පැන ගැමියා අල්ලාගත්තේය . 

" ඉන්න මම කියන්නම් කියන්න ඕන ඒවා . හා කියපන් බලන්න දැන් තොපි මොකටද ආවේ කියලා ? " 

" මට යන්න දීපල්ලා . බෙල් උත්තමයා ආවොත් තොපිට වෙඩි තියාවි " 

" කට වහපන් පරයා . අපේ දේවල් පිටට දෙන්න තොපි හිතුවා මදි . කියපන් කවුද කිව්වේ ගල ඇතුලේ මේවා තියෙනවා කියලා " 





සීයා කේන්තියෙන් කෑගැසීය . ඒත් එක්කම රණබා එම ගැමියාගේ බෙල්ල වටා අත දමා අත තද කළේය . බෙල්ලේ හිරවන්න හිරවන්නම ගැමියා සිද්ධිය කීවේය . 

" මැණික්හාමි ගුරුන්නාන්සේ තමයි අඳුනෙන් බලලා මේ දේවල් බෙල් උත්තමයා එක්ක කියලා තියෙන්නේ . ගල ඇතුලේ රත්තරන් පුරවලා තියෙනවා ඒවා ගන්න පුළුවන් කියලා . ඊට පස්සේ දවස් දෙකතුනක්ම අපි ආවා . ඒත් ඇතුළට ආවේ නැහැ . මැණික් හාමි ගුරුනාන්සේට බෙල් උත්තමයා පඬුරු දුන්නට පස්සේ තමයි අද අපි කරත්ත අරගෙන ආවේ තියෙන නිධානය අරගෙන යන්න " 

" නිධානය අරගෙන යන්න ? . අරගෙන පල තොගේ නිධානය එහෙනම් පරලෝකෙටම " 

රණබාගේ ඉනේ සැඟවී සිටින කිනිස්සේ අඟල් කීපයක් ගැමියාගේ පපුව තුල සැඟවී ගියේය . පසුව එම ගැමියාගේ මියගිය ශරීරය ගලෙන් පහළට විසිකර දැම්මෙත් රණබා විසිනි . 

" අපි යමු පහළට . බඩු පටවාගත්ත උදවිය යන්න වගේ හදන්නේ " 

සීයා මාළිගාවට ඇතුළුවෙන්නට පෙරමග ගමන් කළේය . 

" අපිට දැන් ඕනෑනම් ඒ උදවිය නවත්තන්නට පුළුවනි . එහෙත් ගුරුතුමා පැවසු අන්දමට මේ සියල්ලම මේසේ සිද්ද වෙන්නට දී අපට බලා හිඳින්නට වනවා නිසැකයි " 

" අපි මාළිගාව පරීක්ෂා කරලා ගුහා දොරටුව වසා දමමු . තවම දැක්කේ නැහැ මම මැණික් හාමි කොහේද ඉන්නේ කියලා . උන්දා එලියට ආවේ නැහැ කියන්නේ අංගම වැදිලා වැටිලා ඇති ඔය කොහේ හරි " 

මාළිගාව තුල තවත් කිසිවෙක් ඉතිරිවී සිටියේ නැත අංගම් පිම්බ වැටුණු සියල්ලෝම ගල මුදුනේය . ඔවුන්ගේ මෘත ශරීරවලට කරන්නේ කුමක්ද කියා සීයාත් මමත් චිත්තරාජ යක්ෂ සේනාධිපතියාගෙන් විමසූ අතර එයට පිළිතුරක් නොලැබිණි . 

" මට දුක සෝපානයත් අරගෙන ගිය එක " 

" දුක්වෙන්න කාරී නැහැ . ඕවා රටෙන් පිටමං කරන්න වෙන්නේ නැහැ . දවස් හතෙන් ඕවා මුහුදේ ගිලෙනවා . මම කරන්න ඕන දේවල් කරලා ඉවරකරලාම තමයි මෙහෙන් යන්නේ " 

සීයා රණබා අස්වසාලමින් කීවේය . 

සීගිරි ගල තුල පැය ගණනාවක් දින ගණනාවක් පවතී මෙම සංග්‍රාමය එයින් අවසාන විය . කරත්ත සියල්ල ලහි ලහියේ පිටව ගියේ නැවතත් එන සලකුණු තබාගෙනය . 

" මැණික්හාමි නැහැ කියන්නේ ආයෙත් ගල ඇතුළට කාටවත් එන්න වෙන්නේ නැහැ . ඒ නිසා බයවෙන්න කාරී නැහැ . ගුහා දොරටුව වහන්න . ඉහළ තියෙන දොරටුවත් වහන්න . මේ ගල වටේටම බඹර දෙබර මැසි පිලවුන් අරක් ගනීවි . ඒ අය මේ ගල ආරක්ෂා කරාවි . පිටින් ඇවිත් කරන දේවල් කරත්දාවේ . ඇතුල්වෙන්න ඉඩ දෙන්න එපා . එහෙම වෙන්නත් පුළුවන් වෙන එකක් නැහැ . ගලේ ඉහළ දොරටුවත් වසා දමන්න . අදෘශ්‍යමාන දොරටුවක් මින් පස්සේ පාවිච්චි කරන්න ගල ඇතුළට ඇතුල් වෙන්නයි පිට වෙන්නයි " 

සීයා තම උපදෙස් රණබා වෙත කීවේ චිත්තරාජ යක්ෂ සේනාධිපතිට ඒවා කෙලින්ම කීමට නොහැකි නිසාවෙනි . නමුත් චිත්තරාජ නිහඩතාවයෙන් ඒවා සියල්ල අනුමත කළා යැයි පැවසුවේය . මාළිගාවේ ශාලාවන් පරීක්ෂා කරන අතරතුරේ එක් ශාලාවක රත්‍රන් පිළිමයක් අතින් ගෙන මැණික් හාමි වැටී සිටියේය . රණබා මැණික්හාමිගේ කකුල් දෙකෙන් අල්ලා ඇදගෙන ගොස් පැත්තකින් තැබුවේය . 

" ඇයි දැන් උන්දව තියාගෙන මොනවා කරන්නද ඔය දරුවා හදන්නේ ? " 

" රාවණ රජතුමා අවදිවෙනකල් මම මුන්දව තියනවා මෙහෙ . තියලා රජතුමාට පෙන්නනවා මාළිගාව අපවිත්‍ර කරේ මුන්දා තමයි කියලා " 

" ඔය ළමයාගේ කැමැත්තක් " 



අවසන් කොටසින් හමුවෙමු 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේව !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment