සඳ එළියේ අසිපත ( 9 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

සඳ එළියේ අසිපත . එතකොට දුටුගැමුණු රජතුමාට ආශිර්වාද කලේ සඳ එළියේ අසිපත . සඳ එළියේ අසිපත , චන්ද්‍ර හාෂ් අසිපත , කඳ සුරිඳු දුන් අසිපත මේ තුන තුනක්ද ? නැත්නම් එකක්ද ? . රාවණාගේ අසිපත කඳ සුරිඳුට ලැබුණේ කෙසේද ? . විසඳාගත නොහැකි ප්‍රශ්න වල ගිලෙමින් සිහින මැවීම එක් අතකට හරිම ආශ්වාද ජනක කටයුත්තකි . කෙතරම් එයින් මිදෙන්නට සූදානම් වුවද නැවත නැවතත් මා ගිල ගැනීමට එම අතීත වර්තමාන කාලයන් මා පසුපස හඹාඒම නතර කරගත නොහැක .

ලංකාව එක්සේසත්කරන ලද මහා රජවරුන්හට ආශිර්වාද දුන්නේ මේ චන්ද්‍රහාෂ් අසිපතද ? . එතකොට රාවණා රජතුමාගේ කාලයේ ඉඳලා මේ අසිපත තිබෙන්නේ කා ලඟද ? . සමහරවිට ලංකාව එක්සේසත් කරනු ලබන රජවරුන්ට මෙම චන්ද්‍රහාෂ් අසිපත යක්ෂ නාග රාක්ෂස දේව යන සිවු හෙළයින් විසින් ඒ ඒ කාලවලදී ලබා දෙන්නට ඇත .

කෙසේ වෙතත් දැන් මේ අප අවදි කිරීමට සූදානම් වන්නේ මෙම චන්ද්‍රහාෂ් අසිපතේ ආරක්ෂකයාද ?

අද එතැන් සිට







පසුදින උදෑසන සීයාත් මමත් වලව්වෙන් පිටත්ව යාමට සූදානම්වන මොහොතේ මාහට ඇයව සිහිපත්විය . ඇය හමුවී ආවානම් මේ වෙලාවේ සුදුසු වූවත් වෙද ගෙදරට දිව යාමට කිසිම උවමනාවක් මේ වෙලාවේ මාවෙත යේදී තිබුණේ නැත . වෙන දෙයක් වෙත්දෙන් කියා සීයා වෙත ගොස් මම මදකට වෙද ගෙදරට ගොස් එන්නෙමියි කීවෙමි . 

" සීයේ මම වෙදගෙදරට ටිකකට ගිහින් එන්නද ? " 

" අර මොකටද චූටි පුතේ "

" වෙද සීයා දැක්කෙත් නැහැ කාලෙකින් . මට ඒ පැත්තේ යන්න උනෙත් නැති නිසා මම ගිහින් එන්නම් යන්න කලින් " 

" වෙද මහත්තයා ආවනෙ පුතා සනීප නැතිව ඉන්න වෙලාවේ බලලා යන්න " 

" කමක් නැහැ සීයේ මම ගිහින් එන්නම් ඉක්මනට " 

" හා හා . මම සඳමලී කෙල්ලව මතක් කළාය කියලා කියන්න මතක ඇතිව " 

එසේ කියා සීයා සිනාසුනේ සීයා ලෙස නොව , කාලයක සිට අඳුනන මාගේ ළඟම යහළුවෙකු ලෙසය . සීයාට හංගන්නට නොහැකි බව මා දනිමි . කමක් නැත . සීයා දැනගත්තත් අමුතුවෙන් කිසිවක් වන්නේ නැත . මමත් සඳමලී නංගීත් එකිනෙකට බද්ධ වූ පාරවල් දෙකක ගමන් කරන දෙන්නේක්මි . කොතනදී හෝ මේ පාරවල් දෙක එක් වුවහොත් ඇයගේ වෙදකමටත් මගේ මන්තරයටත් වන්නේ යහපතක්ය . 

" වෙද සීයේ " 

" ආ පුතේ කොහොමද දැන් ? " 

" දැන් ඉතින් මට සනීපයි " 






" හ්ම්ම්ම්ම්ම්......... අද මේ උදේම මොකද මේ පැත්තේ ? . මම මේ ළඟ ගෙදරක ලෙඩෙක් වෙලා කියලා යන්නය කියලා ලැස්ති උනේ . සඳමලී දුව ඉන්නවා අන්න ලෙඩෙක්ට තෙල් බෙහෙත් වගයක් හද හද . ඒ පැත්තට ගිහින් බැලුවනම් . මම ඉක්මනට ගිහින් එන්නම් " 

" වෙද සීයේ මම මේ අද සීයාත් එක්ක ගුරුකමකට දිඹුලාගල පැත්තේ යන්න කියලා . යන්න කලියෙන් කියලා යන්නයි ආවේ මේ " 

" ආ එහෙමද ? . එහෙනම් දෙන්නත් එක්ක ගිහින් එන්නකෝ . දෙන්නගේ ගමන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා " 

මම වෙද සීයාට දණගසා වැන්දෙමි . 

" රත්නත්තරේ පිහිටයි "

අනතුරුව මම ඇය හමුවීමට බෙහෙත් ගබඩාව තිබෙන පැත්තට ගමන් කලෙමි . ඒ අතරේ වෙදගෙදරට ආ රෝගීන් කීපදෙනෙකුද මුණගැසී ඔවුන් සමග කතා කලෙමි . සඳමලී නංගිගේ අම්මා මට ඒ ඩිංගට තේ කෝප්පයක්ද සාදාගෙන ආවාය . ඇය අප වෙතින් ඉවත්ව ගිය පසු මම රහසෙන් මෙන් ඇයට මගේ ගමන පිළිබඳව කිවයුතු දේ පමණක් කීවෙමි . කලින් මා සිතු ලෙසම ඇය මුහුණ ඇඹුල් කරගත්තාය . 

" අයියා කවදද එන්නේ ? " 

" ඒවා ඉතින් කියන්න බැහැ " 

" මමයි සීයයි අපේ ගුරුකම ඉවරකරලා කවදා එයිද දන්නේ නැහැ .  වැඩේ ටිකක් බරපතලයි . ඒ නිසා මොන අවදානමක් තියෙයිද කියලා කියන්නත් බැහැ .  ඒ නිසා මම මේ නංගිව දැකලා යන්න කියලා ආවේ " 

ඇය බිම බලගත්තාය . 

" අයියා යන ගමන මම නවත්තන්නේ නැහැ . මොනවා උනත් අයියා කවදා හරි ආයෙත් මේ වගේ දේවල් කරන්න එපාය . මම ප්‍රාර්ථනා කරන්නේ අයියගේ ගමන සාර්ථක වෙලා අයියටයි ගුරුන්නාන්සේ සීයාටයි අතුරු ආන්තරාවක් නැතිව එන්න ලැබෙන්න කියලා තමයි " 

" හ්ම්ම්..... මම ගිහින් එන්නම් නංගි . සීයා බලාගෙන ඇති . නැන්දට කියන්න තේ එක  රස්නේ නිසා බොන්න වෙලාවක් නැතිව ඉතුරු කරලා ගියා කියලා " 

" ඒ ඉතින් ඕක ඉතුරු උනොත්නේ "







ඇය අතට ගත් තේ කෝප්පයේ ඉතිරි තේ ටික කෝප්පය මේසය උඩින් තබන විට එක විනාඩියට අවසන් වී තිබිණි . ලෝදිය හැලියක් වුවද ඇය මා වෙනුවෙන් පානය කිරීමට සූදානම්ය .

" මම යනවා එහෙනම් " 

" බුදුසරණයි අයියේ " 

" බුදුසරණයි නංගි " 

ඇය මගේ දෙපාමුල දණගසා වැන්දාය . අවසන් වතාවට ඇය මාහට වඳින ලද්දේ සිංහල අවුරුද්දටය . මම අයගේ හිස අතගා වෙද ගෙදරින් නික්ම ආවෙමි . කලින් මෙවැනි අවදානමක් ගන්නා අවස්ථා වලදී හිතට මෙවැනි බරක් දැනී නැත . එහෙත් බැඳීම් ඇතිවීම සිතේ බර වැඩි කර ඇත . 

වලව්වට පැමිණෙනවිට සීයා හාන්සිපුටුවේ හිඳගෙන ඉලත්තට්ටුව අතට ගත්තේය . 

" හා දැන් මූණ එළිය වැටිලා තියෙන්නේ . ඉක්මණට ගෙදර අයට කතා කරලා එන්න . මම දැන් යන්න ලෑස්තිවෙලා ඉන්නේ " 

මම ආච්චිඅම්මාටත් අම්මාටත් තාත්තාටත් වැඳ කරත්තයට ගොඩවීමට සූදානම් වීමි . සීයා කරත්තය අසලට ආ විට මම මුලින්ම කරත්තයට ගොඩ වීමි . සීයා කරත්තයේ ඉස්සරහින් හිඳ කෙවිට අතට ගත්තේය . අපි වලව්වෙන් පිටත් වීමු . ඖෂධ මංජුසා සහිත මල්ල මම අතට ගෙන උකුල උඩ ප්‍රවේසමට තබා ගත්තෙමි . 

" චූටි පුතේ " 

" ආ සීයේ " 

" මම දැන් ටික දවසක ඉඳලා බලාගෙන ඉන්නේ . පුතාට වෙද ගෙදරට වෙදකමට වඩා වැඩි සම්බන්ධයක් එහෙම තියෙනවද ? " 

" සීයා ඇයි එහෙම අහන්නේ ? " 

" නැහැ මම දැනගන්න විතරයි අහන්නේ . මම වලව්වේ කාටවත් තවම කිව්වේ නැහැ . අම්මා තාත්තා නම් මුකුත් දන්නේ නැහැ කියල තමයි මට හිතෙන්නේ . ආච්චිඅම්මාත් දන්නේ නැහැ . දන්නවනම් හරි එයාලට දැනුනානම් හරි මට ඒ ගැන කියනවා . නැහැ මම මේ ඇහුවේ එහෙම දෙයක් තියෙනවනම් මම ඒක වෙද ගෙදරත් එක්ක පිළිවෙලකට කතා කරන්නම් . ඒක නෙවෙයි මම අහපු දෙයට උත්තරයක් දෙන්නකෝ " 

" ඔව් සීයේ " 

මම එය කියා කරත්තයේ තට්ටුව දෙස බලගත්තෙමි . සීයා එවිට මා දෙස බලා සිනාසුනේය . 

" හා හා ඕකට ඉතින් ලැජ්ජ වෙන්න ඕන නෑ . දැන්මම මම වෙදගෙදරට මේ ගැන කියන්නද නැත්නම් පහු කරන්නද ? " 

" දැන්ම කියන්න ඕන නෑ සීයේ . තව අපිට ඉගෙන ගන්න තියෙනවා . මට වෙදකම ඉගෙන ගන්න ඕන . සඳමලී නංගිටත් වෙදකම තව ඉගෙන ගන්න ඕන කිව්වා . ඒ නිසා දැන්මම මේ ගැන අම්මලා එක්ක ලොකුවට කතා කරන්නේ නෑ කියලා තමයි අපි කතාවෙලා ඉන්නේ " 

" ඒ උනාට දරුවෝ ගමේ උදවියට මොනවාහරි දැනුනොත් ඔය දෙන්නට හොඳ නෑ නේද ? . ගෙවල් ගෙවල් වලින් කතා කරන එක තමයි හොඳ , වටින් ගොඩින් ආරංචි වෙනවට වඩා " 

" අපි දහම්පාසලේදී කතා බහ කරන්නේ ඒ තැන් වලට ගැළපෙන විදියට සීයේ . මමනම් හිතන්නේ නැහැ ගමේ අයට මොකවත් දැනෙනවා කියලා . අපි මගදී හම්බෙන්නෙත් නෑ . කතා බහ කරන්නෙත් වෙද ගෙදරදී තමයි " 

" එහෙනම් කමක් නැහැ . මේ දේවල් කතා කරන්න ඕන කියලා දෙන්නට හිතුනු දවසක මට කියන්න . මම වෙදගෙදර අයත් එක්ක කතා කරන්නම් " 

" හා සීයේ " 

අමනුෂ්‍යයින් දකින අවස්ථාවේ සැඟවී සිටින හීන් ඩහදිය මේ විනාඩි කීපයට සම හරහා පැමිණ මා තෙතබරිත කළේය . කරත්තය නොනවත්වාම ඉදිරියටම ගමන් කල අතර ඒ අතරවාරයේ සීයා කවි ගායනා කළේය . ඒවා කරත්ත කවිනම් නොවේ . තොවිල් පවිල් ගුරුකම් සම්බන්ධ කවිය . කරත්ත කවි අපගේ විඩා නිවනවාට වඩා වේගවත්ව එම කවි අපගේ විඩා නිව්වේය . 






දෙබර කන මී බැඳී නොයෙක් තැන ගෙමැද තුල හතු පිපෙන්නේ 
බඹර කන මී හුඹස් බඳිමින් ගෙටද ලිං කොන වැටෙන්නේ 
කබරගොයි ගෙරි ගැරඬි ගෙට වැද පහරමින් ඇඟ වැටෙන්නේ 
නපුරු දිවි දොස් මෙවැනි සළුවෙන් පිසදමා දුරු කරන්නේ 

රන් රිදී පිත්තලද ලෝකඩ බඩල් මෙහෙවර කෙරෙව් දෝසෙට 
නන් අයිති ගම් අයිති කරවා අහස පොළොවට දෙස් කෙරෙව්වට 
රන් රුවන් හා පිළිම තනවා එයින් පැමිණෙන දෝස වෛරෙට
ඉන් පැමිණි දොස යාය දුරු කර මෙවැනි සළුවේ බලෙන් විගසට

සීයාගේ කවි අවසානවන විට මම ආරම්භ කලෙමි 

බවන සක් රජුගෙ කෛලාසනය උණුවෙලා
විමන එසක් සුර බඹ දෙවි සමග රැස් වෙලා 
ලොව නර සත රකින ලෙසට උපත දෙවි කළා 
පවසන් පෙර බැන්ද වීදි ලකුණු පිලිවෙලා

සීයා ඊළඟ කවිය ආරම්භ කළේය 

බලා දෙරණ මැන ඉසිවර මෙයාගය ඇසින් 
වෙලා සරොස දාඩිය බිඳු හෙලා නළලතින් 
වලා නුමුසු සඳ ලෙස යන සලා දැලි රුවින් 
කළා උපත දෙවි විස්කම් මවා විගසකින් 

මම නැවතත් කවියට මුල පිරීමි 

උසත් මූණු පසක් ගත්තු වාත අසු පිටින් 
වැයත් නියත කටු මට්ටන් නූල දැලි රියන් 
පොතත් එපන් හිඳද රැගෙන බලා දිව නෙතින් 
ඉසුරුත් විස්කම් දෙවියෝ මැවූ මඩු එතැන් 

සීයා 

නොලස එසැම දෙවි සුර බඹ පිරිස අවි යොදා
විසල සමන් නාථ රාම කුමරු දෙවි කඳා
නොලස සතරවරම් එහිමි පතිනි දෙවි එදා 
මෙලෙස පිරිස මැද විස්කම් වීදි ගැප් බෙදා 

මම 

මැන බිම රුසිවරු සිටගෙන බල උතුරු දෙස
වෙන වෙන අට කොනට දොරටු බැඳලා සිවු දෙස 
දන බිම සමකල දෙරණත බලනා එක උස 
තැන තැන බැදි වංගු තොරණ ඇදලා තිර රැස

සීයා 

විමන ලෙසට සරසා සිවු දිග නිම කරලා
පුදන පඬුරු දොළ බිලි අට කොණ සරසාලා
මදන පිල්ලි ඉනා සොහොන් යකු ගෙන්නාලා
එදින දිෂ්ටි සූනියන්ද හැම පුද කරලා 

මේ ආකාරයට කවි කියමින් ගමන් ගත් ගමන මටත් සීයාටත් විඩාවක් ගෙන ආවේ නැත . හදිස්සියේම මම කතාව වෙනතකට හැරවීමි . 

" සීයේ අපිට දෙවස් කීයක් විතර යන්න වෙයිද ? " 

" මමනම් හිතන්නේ පුතේ දවස් තුනක්වත් යන්න වෙයි . දුර වැඩි නිසා මේ සතාව වේගයෙන් දක්කන්නත් මට හිත දෙන්නේ නෑ . මේ බර ඔක්කොම මේ සතා එපාය ඇදගෙන යන්න . ඒ නිසා අපි නැවතී නැවතී යමු " 

" අපි රෑට කොහෙද නවතින්නේ සීයේ ? " 

" මේ යන හැටියට හවස් වෙනකොට මම හිතන්නේ බුත්තල දිහාවට ලංවෙන්න පුළුවන් වෙයි . බුත්තල තියෙනවා මම දන්නා කඩයක් . ඒක කරත්ත කාරයෝ නැවතිලා බඩු බාහිරාදිය හුවමාරුකරගන්නා තැනක් . ඒ එක්කම නවාතැන් ගන්න කාමර දෙන කඩ තියෙනවා එතන . අපි ඒ කාමරයක් අරගෙන නැවතිලා ඉඳලා යමු . මේ බෙහෙත් ඖෂධ මංජුසා ටිකත් එක්ක පරෙස්සම් නැති තැනක නවතින්න මටනම් හිත දෙන්නෙම නැහැ . එහෙම නේද පුතේ ? " 

" ඒක ඇත්ත සීයේ . මේ බෙහෙත් ජාති ටික නැති උනොත් ඒ මනුස්සයා නැගිට්ටවන්න වෙන්නෙම නැහැ නේද සීයේ " 

" ඒක තමයි මමත් මේ කල්පනා කරේ . අපි මේ බෙහෙත් වර්ග මොනවායන් හදලා තියෙනවද කියලාවත් දන්නේ නැහැනේ " 

" සීයේ . ඇත්තටම මේ මනුස්සයා ඇයි දන්නේ නැහැ මෙහෙම කාලයක් යනකල් තැම්පත් කරලා තියෙන්නේ " 

" මට හිතාගන්න බැරි ඒක නෙවෙයි , මේ මනුස්සයා නැගිට්ටාට පස්සේ මොනවා කියයිද මොනව ඉල්ලයිද දන්නේ නෑ කියලා . දුටුගැමුණුරජතුමාගේ කාලෙ ඉඳලා එකපාරටම ජීවිතය නැවතිලා ආයෙත් දැන් ජීවිතය පටන් ගන්න හදන්නේ " 

" පිස්සු හැදෙයිද දන්නේ නෑ මේ තියෙන දේවල් දැකලා " 

" ඒක තමයි . රුවන්වැලි සෑය පවා අද තියෙන්නේ කොහොමද . අඩුම තරමේ චෛත්‍යයේ හතරැස් කොටුවවත් හරියට හදලා නැහැනේ " 

" ඒක තමයි . අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා "







සීයා කී ආකාරයටම හවස්වන විට බුත්තල ප්‍රදේශයට අපි ළඟා වීමු . එය සැබවින්ම වෙළඳ සංකීරණයක් වැනි ස්ථානයකි . කුඩා කුඩා කඩ කීපයක් එක පොකුරට සෑදී තිබුණු අතර එම ස්ථානය මැද විශාල මිදුලක් පිහිටා තිබිණි . සියාතු සීයාගේ ගුරුකම වැරදුනු මොහොතේද මෙවැනි තැනකට මමත් සීයාත් ආ බව මට යාන්තමට මෙන් මතකය . 

සීයා මා කැඳවාගෙන එක් කඩයකට ගියේය . 

" හත්වලාමයි , අරනෝලිස් ගුරුන්නාන්සේ . මට අඳුරගන්න බැරි උනා නෙවෙන්නන් " 

" ඉතින් සුවාරිස් . කොහොමද වෙළඳාම එහෙම . දැන් කලින්ට වඩා ජයයි වගේ " 

" කලින් කියන්නේ ගුරුන්නාන්සේ දැක්කේ කොච්චර කාලෙකට පස්සෙද ? . මම හිතන්නේ අවුරුදු විස්සක්වත් වෙන්න ඕන . මේ කවුද ගුරුන්නාන්සේ ? " 

" සුවාරිස්ට මතක ඇතිනේ වලව්වට ආව වෙලාවේ අර සුවාරිස්ගේ කරත්තයෙ කඩ ඇණය ගලවපු දඟයා . මේ එයා තමයි " 

" දෙයිහාමුදුරුවනේ මේ ගුරුන්නාන්සේගේ මුනුබුරාද ? . මම දකිනකොට අවුරුදු හත අටක් විතර ඇති මයේ හිතේ " 

" අපි මේ මහියංගණේ පැත්තේ යනගමන් සුවාරිස් . අද අපිට නවාතැන් ගන්න ඕන . රෑබෝවෙලා නිසා කරත්තෙන් යන්නත් බැහැ . පාරට අලි එන වෙලාව නිසා මම හිතුවා අද මෙතන නැවතිලා යන්න " 

" ගුරුන්නාන්සේට නම් මොකද ඉතින් අලි එකක් නෙවෙයි රැලක්ම ආවත් . මන්තර කිය කිය යන්න පුළුවන්නේ " 

" හඃ හඃ හඃ හඃ " 

" ඉතින් ගුරුන්නාන්සේ මගේ කඩේ කාමරේ ඉන්න . අද කවුරුවත් නැහැ . කන්න බොන්නත් හදලා දෙන්න පුළුවන් " 

" මමත් මේ මේ කාමරේ ගන්න පුලුවන්ද බලන්න තමයි ආවේ සුවාරිස් " 

" හිටියත් උන් එලවලා හරි මම ගුරුන්නාන්සේට කාමරේ දෙනවා .  ගුරුන්නාන්සේ කරත්තේ ගාල් කරලා , හරකා ගහක බැඳලා එන්න . මම අපේ කොල්ලෙක් එවන්නම් උදව්වට " 

" හොඳයි සුවාරිස් " 

" සූටියා ....... මෙහෙ වරෙන් කොල්ලෝ . මේ ගුරුන්නාන්සේ එක්ක ගිහින් උදවු වෙන්න ගුරුන්නාන්සේගේ වැඩ වලට " 

සුවාරිස් මුදලාලිගේ ගෝලයා කරත්තය සීරුවට කරුවක ගැටගසා අනතුරුව හරකා ලිහා ගසක බැන්දේය . අනතුරුව අප ගෙන ආ පිදුරු නොගෙන මුදලාලිගේ හරකුන්ට කන්නට තිබෙන පිදුරු වලින් පිදුරු මිටි දෙකක්ද ගෙනවිත් හරකාට කෑමට දැම්මේය . ඔවුන් ඒ තමරමටම සීයාට යටහත් පහත්ව සේවය කළහ . 

හෙට අප නවතින්නේ මහියංගණයේ බව සීයා කියනු මට ඇසිනි . මම ඖෂධ මංජුසා සහිත මල්ල අතට ගත්තෙමි . සීයා පොත අතට ගත්තේය . පසුව සුවාරිස් මුදලාලි සූදානම් කරදුන් කාමරයේ එදින රාත්‍රියේ නවාතැන් ගතිමු . අපට හෙට යාමට තිබෙන්නේ අලි ඇතුන් ගහන මහ වනාන්තරයක් මැදින්ය . සමන් දෙවියන්ට අයත් මහියංගණය ප්‍රදේශයට යාමට අපට සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නොඅඩුවම ලැබෙන මම මම විශ්වාස කරමි . ඒ එතුමන් සිවු හෙළයේ නාග ගෝත්‍රය නියෝජනය කරන නායකයෙකු නිසාය . 

ඊළඟ කොටසින් හමුවෙමු 


මකරාගේ සන්නස ලින්ක් එක ක්ලික් කරලා එකතුවන්න ෆේස්බුක් සමූහයත් සමග

- මකරාගේ සන්නස -

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments: