පුලතිසි ( 6 ) අවසාන කොටස




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

" මැණික්හාමි නැහැ කියන්නේ ආයෙත් ගල ඇතුළට කාටවත් එන්න වෙන්නේ නැහැ . ඒ නිසා බයවෙන්න කාරී නැහැ . ගුහා දොරටුව වහන්න . ඉහළ තියෙන දොරටුවත් වහන්න . මේ ගල වටේටම බඹර දෙබර මැසි පිලවුන් අරක් ගනීවි . ඒ අය මේ ගල ආරක්ෂා කරාවි . පිටින් ඇවිත් කරන දේවල් කරත්දාවේ . ඇතුල්වෙන්න ඉඩ දෙන්න එපා . එහෙම වෙන්නත් පුළුවන් වෙන එකක් නැහැ . ගලේ ඉහළ දොරටුවත් වසා දමන්න . අදෘශ්‍යමාන දොරටුවක් මින් පස්සේ පාවිච්චි කරන්න ගල ඇතුළට ඇතුල් වෙන්නයි පිට වෙන්නයි "

සීයා තම උපදෙස් රණබා වෙත කීවේ චිත්තරාජ යක්ෂ සේනාධිපතිට ඒවා කෙලින්ම කීමට නොහැකි නිසාවෙනි . නමුත් චිත්තරාජ නිහඩතාවයෙන් ඒවා සියල්ල අනුමත කළා යැයි පැවසුවේය . මාළිගාවේ ශාලාවන් පරීක්ෂා කරන අතරතුරේ එක් ශාලාවක රත්‍රන් පිළිමයක් අතින් ගෙන මැණික් හාමි වැටී සිටියේය . රණබා මැණික්හාමිගේ කකුල් දෙකෙන් අල්ලා ඇදගෙන ගොස් පැත්තකින් තැබුවේය .

" ඇයි දැන් උන්දව තියාගෙන මොනවා කරන්නද ඔය දරුවා හදන්නේ ? "

" රාවණ රජතුමා අවදිවෙනකල් මම මුන්දව තියනවා මෙහෙ . තියලා රජතුමාට පෙන්නනවා මාළිගාව අපවිත්‍ර කරේ මුන්දා තමයි කියලා "

" ඔය ළමයාගේ කැමැත්තක් "





අද එතැන් සිට

" මට මුන්දව මරන්න ලැබුණ නම් මම මෙහෙම නෙවෙයි මුන්දව මරන්නේ . කෑල්ල කෑල්ල කපලා ඇත්ත නැත්ත අහගෙන තමයි මරන්නේ "

" හා දැන් ඒවාට කාරී නැහැ . අපි අපේ රාජකාරි ඉෂ්ට සිද්ද කරන්න ඕන . පුලතිසි උත්තමයාට අපි පොරොන්දු වූ හැටියට අර අයට ශාප කරන්නත් නැවු ගිල්වන්න පිල්ලි යවන්නත් ඕන " 

" නැව් ගිල්වීම සඳහා ඔබගේ වේලාව වැය කිරීම තව දුරටත් අවශ්‍ය වන්නේ නැහැ . ඒ වෙනුවෙන් අපි කටයුතු සිද්ධ කරන්නම් . දඬුවම් කිරීමේ කාර්යය ඔබ විසින් සිද්ද කරන්න . ඔබට කිසිවක් සිද්ද වන්නේ නැහැ . ඔබ පවට හසු වන්නේ නැහැ කියලා මට විශ්වාසයි . ඔබ කරන්නේ වරදට දඬුවම් දීමක් "

සීයාගේ සැලසුමට චිත්තරාජ යක්ෂ සේනාධිපතියා පිළිතුරු දුන්නේ මේ ආකාරයටය . සීයා ඉන් පසුව තමන්ගේ අවසාන රාජකාරිය ඉටු කිරීමට සියල්ල සූදානම් කරමින් ඒවා හරිහැටි සිදුවෙනවාදැයි සොයා බැලීමට ගියේ මා රණබා සමග කතාවට වැටුණු පසුවය . 

" මලයන්ඩිට මාළිගාවේ පෙන්වන්න දේවල් තියෙනවා . එන්න අපි ටිකක් ඇවිදලා බලමු . ආයේ කවදා මේවා දකින්න ලැබෙයිද දන්නේ නැහැනේ . ඒ නැතත් ආයේ මේ දේවල් කොහොමින් කොහොම වෙනස් වෙයිද කියලා දන්නෙත් නැහැ නෙව " 

" මොනවද මෙහෙ තව බලන්න තියෙන්නේ ? "

" හාහ් හාහ් හාහ් . මලයන්ඩි රාවණා රජතුමාගේ දේවල් ගැන තවම දන්නේ නැහැ . එන්නකෝ . මේ සිහගිර පොළවෙන් උඩට පේනවා වගේම තමයි පොළවෙන් ඇතුළටත් තියෙනවා . ඒ ඇතුලේ මාළිගාව ජයටම හදලා තියෙනවා . යමු බලන්න . කවදා හරි දන්නා අයට කියලා දෙන්න සිහගිර කියන්නේ නිකන්ම නිකන් ගලක් නෙවෙයි කියලා . ඒ නිසා තමයි මම මේ දේවල් මලයන්ඩිට පෙන්වන්න අවසර ගත්තේ " 

" කාගෙන්ද ? " 

" චිත්තරාජ උත්තමයගෙන් " 

" යමුකෝ එහෙනම් බලන්න " 





රණබා මා කැඳවාගෙන ගියේ සීගිරි මාළිගාවේ ඇතුළත ඇති පහත මාලය වෙත ගමන් කරන පඩිපෙළක් අසලටය . එතැන් සිට අප ගමන් ගත්තේ පඩිපෙළක් බැසගෙනය යාමෙන් පසුවය . විශාල ශාලාවක් තුළට අප පිවිසියායින් පසුව රණබා තමන්ගේ විස්තර කිරීම ආරම්භ කළේය . 

" මේ තියෙන්නේ මේඝනාද කුමාරයා එක්ක රාවණ මහ රජතුමා තල්කොළ වල තමන් සොයාගන්නා දේවල් ලියන්න පාවිච්චි කරපු තැනක් . මේ වගේම තැනක් තියෙනවා අසෝක උයනේ . එදා පුලතිසි ගුරුතුමා කතා කරන වෙලාවේ කිව්වේ අදෘශ්‍යමාන ගුහාවක් ගැන . අන්න එතන තමයි මෙතනට අමතරව පොත් පත් ලියන්න රාවණ රජතුමා කාලය ගත කරේ " 

" ඉන්ද්‍රජිත් කුමාරයාත් පොත් ලියලා තියෙනවද ? " 

" ඔව් . අර තියෙන්නේ කළුගල් පෙට්ටියක් . ඒ ඉන්ද්‍රජිත් කුමාරයාගේ තල්කොළ පොත් . ඒවා කවදාවත් දිරන්නේ නැතිවෙන්න විශේෂ බෙහෙත් වර්ග ගල්වලා ඔය කළුගල් පෙට්ටියේ තැම්පත් කරේ මේඝනාද කුමාරයාම තමයි . අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනාට ඒවා ලබා දෙනවා කියලා මේඝනාද කුමාරයා රාවණ රජතුමාට පොරොන්දු වෙලාත් තියෙනවා . රාවණ රජතුමාගේ කාලේ උන්නු මහා දැනුමැති අය ආයෙත් ඉපදුනාට පස්සේ මේඝනාද කුමාරයාගේ ආත්මය ඇවිදින් අපේ චිත්තරාජ උත්තමයට දැනුම් දෙනවා මේ මේ පොත් අසවල් කෙනාට ලැබෙන්න සලස්වන්න කියලා . හෙළ දැනුම අන්න එහෙම තමයි මෙතැනින් බෙදාහරින්නේ . මෙතැන තියෙන රහස් කවුරුන් හෝ එළිකරනවානම් හරි පිටට දෙනවානම් හරි ඒ කෙනාව ආයේ ඉතුරුවෙනවද නැද්ද කියලත් තීරණය කරන්නේ මේඝනාද කුමාරයාම තමයි . මේවා ඒ උත්තමයෝ තමන්ගේ මහන්සියෙන් එකතු කරලා තිබ්බේ මිනිස්සුන්ට වින කටින්න නෙවෙයි . යහපත වෙනුවෙන් වැඩ කරන්න " 

" මම ඒ පොත් තැම්පත් කරලා තියෙන තැනට යන්නද ටිකක් ? " 

" මලයන්ඩිට කැමැත්තක් කරන්න අවසර තියෙනවා " 

මගේ උස මේ වනවිට අඩි හයකට වඩා අඩුවෙන් ඇත්තේ අඟලක් හෝ දෙකක් පමණි . මෙම පොත් බහා තිබෙන කළුගල් මංජුසාව මම මෙන් තුන් ගුණයක් පමණ දිග ඇතිබවත් මට වඩා අඩියක් පමණ උස බවත් මම සිතෙන් මැනගත්තෙමි . මෙපමණ පොත් ප්‍රමාණයක් මෙවැනි ස්ථානයක වසර දහස් ගණනක් ප්‍රවේසම් සහිතව තබා ගැනීමම අපගේ ජාතියට කරනු ලබන මහත් සේවාවකි .





" ඔය තියෙන්නේ පොත් ලියන්න රජතුමායි කුමාරයායි ඉඳගත්ත ආසන දෙක "

රණබා අප අසල මදක් ඈතින් පිහිටා තිබෙන ශෛළමය ආසන දෙකක් පෙන්වා මට කීවේය . 

" අපි යමු . තව පෙන්වන්න දේවල් තියෙනවා "

රණබා මා කැඳවාගෙන තවත් පහළට ගියේය . සෑම තට්ටුවකටම ආලෝකය සමව ලැබෙන සේ පලිඟු කණ්නාඩි සවිකර තිබිණි . ඒවායින් ඉහළ සිට පතිතවන ආලෝකය එක් එක් අතට හරවා එම ශාලාවන් සියල්ල ආලෝකමත් කර තිබිණි . 

" මෙතැනින් එහාට තවත් මාළිගාව හදලා නැහැ . රජතුමා තව යටට මාළිගාව හදන එක නවත්තලා තියෙන්නේ තවත් පහළට හදනවානම් මේ තරම් පහළට ආලෝකයත් හුළඟත් ගන්න උවමනා වෙන නිසා . ඒත් ඕන නම් හදනවා කියලා තමයි ඉඳලා තියෙන්නේ " 

" අයියණ්ඩි , එතකොට අර උඩ මාළිගාවේ බිත්ති අයිනෙන් උඩට ගිහින් තියෙන ගල් කණු මොනවද ? . මම දැක්ක හැටියට ඒවා ඉහළම තට්ටුවේ ඉඳලා පහළටම එකම තැනකින් දකින්න තියෙනවා " 

" ඒ ගල්කණු නෙවෙයි " 

" එහෙනම් ? " 

" ඒ වාරි නළ " 

" එහෙනම් ඒ කතාව ඇත්ත නේද ? " 

" මොකක්ද ? " 

" සීගිරි ගලේ උඩත් වතුරමල් තිබුණාය කියන එක ? " 

" මෙතන ඉඳන් යොදුන් ගානක් ඈතින් තියෙනවා කන්දක් . ඒ කන්දේ තියෙනවා විශාල පොකුණක් . ඒ පොකුණ කවදාවත් හිදෙන්නේ නැහැ . ඒ පොකුණ එක්ක තමයි ඔය වාරි නළ සම්බන්ධ කරලා තියෙන්නේ . මමත් දවසක් ඔය පොකුණට ගියා . ඒ පොකුණේ ඉඳලා උමගකින් තමයි මෙහාට වතුර ගලාගෙන එන්නේ . එතනයි මෙතනයි වතුරේ බර වෙනස හරියනකල් වතුර මේ නළ දිගේ ඉහළට ගමන් කරනවා . එතකොට උඩට ඉබේම වතුර ලැබෙනවා . උඩ තියෙන වතුර මල් ක්‍රියාත්මක වෙන්නේ අර මම කිව්ව කන්දට වැස්ස වැඩියෙන් වැටුණු කාලෙට . ඒ නැත්නම් පහල වතුරමල් විතරයි ක්‍රියාත්මක වෙන්නේ . ඒ කොහොම වුණත් හැමදාම සිහගිරට ජලයෙන් නම් අඩුවක් තිබුණේ නැහැ " 

" එතකොට අර පහල තියෙන වතුර මල් වලට වතුර කොහෙන්ද එන්නේ ? " 

" උඩට යන වතුර , පාවිච්චි කරන වතුර , වැහි වතුර එහෙම එකතුවෙන්න ගල මුදුනේ වෙනමම පොකුණක් තියෙනවා . ඒකට වතුර පිරුණම තමයි පහල වතුරමල් වලට වතුර ගලාගෙන යන්නේ " 

" ඒ වතුර එන නළ කොහේද තියෙන්නේ ? " 

" ගල අයිනේ කාණුවක් වගේ එකක් තියෙනවා . ඒ පහළ තියෙනවා කුහරයක් . එතැනින් වතුර යන්නත් වෙනමම නළ ඇතුළෙන් වතුර යන්නත් තමයි හදලා තියෙන්නේ " 

" මේවා අවහිර වුණොත් ලේසි වෙන්නේ නැහැ නේද හදන්න ? " 

" අපහසුවක් නැහැ . අපේ උදවියට ඉන්න ප්‍රමාණයට වඩා කුඩා වෙන්න පුළුවන් . ඒ අයට පුළුවන් නළ දිගේ පහළට ගිහින් අවහිර තැන් හරිගස්සන්න " 

" එහෙමද ? " 

මම පුදුමයෙන් මෙන් ඇසීමි . මාළිගාවේ ඇති වස්තුවෙන් අඩුම තරමේ සීයෙන් පංගුවක් වත් ඉවතට ගෙන යන්නට පරදේසක්කාරයින්ට හැකි වූයේ නැත . මම එය වටහාගත්තේ රණබා සමග මාළිගාවේ තැනින් තැන ඇවිදීමෙන් අනතුරුවය . මාළිගාවේ මම වඩාත් සිත් ගත් දෙයක් වූයේ තැනින් තැන තබා තිබෙන හක් ගෙඩි සමූහයයි . කුඩා කල සිටම මගේ ඇස ගැටෙන මානයේ හක්ගෙඩියක් තබාගෙන සිටීමට මම ප්‍රිය කලෙමි . එහි ඇති ගැඹුරු හඬට මම ආදරය කලෙමි . කලබලකාරී අවස්ථාවක වුවද මාළිගාවේද හක්ගෙඩි දැකීමෙන් මම තරමක් කුල්මත් වීමි . 

" අයියණ්ඩි ? " 

" ඇයි මලයාන්ඩි ? " 

" ඇයි මේ තැනින් තැන හක්ගෙඩි තියලා තියෙන්නේ ? " 

" රජතුමා ඉන්න කාලේ හැමදාම මේවා පිඹලා තියෙනවා . උදේට හවසට රාජකාරි වෙලාව මතක් කරන්න සක පිඹලා තියෙනවා . ඒවගේම තමයි රජතුමා නීලකුම්බිලා දේවතාවියට පුද පූජා පවත්වනකොටත් මේවා පිඹලා තියෙනවා " 

" මමත් පොඩි කාලේ ඉඳලම දකින්න කැමති දෙයක් තමයි මේ හක්ගෙඩිය " 

" හා හා ඕවා අල්ලන්න එපා . ඕවාට අයිති උදවිය ඉන්නවා . ඒ අය කෝප වේවි " 

" කවුද අයිති අය ? " 

" ඕවා පිඹින අය තවමත් ඉන්නවා . ඒ අය කැමති නැහැ ඒවා අල්ලනවට " 

" කෝ එය ? " 

" ඒ අය ඕන වෙලාවට එනවා තමන්ගේ සක පිඹින්න . මේ දවස්වල කලබල නිසා චිත්තරාජ උත්තමයා කියලා තියෙන්නේ එන්න එපා කියලා . ඒත් ඒ අයට තමන්ගේ සක කවුරු හෝ අල්ලනවානම් දැනෙනවා " 

" හ්ම්ම් . ඒකත් එහෙමද ? " 

" අපි යමු . දැන් මලයන්ඩිගෙ සීයා රාජකාරි කරන්න සූදානම් වෙනවා ඇති මයේ හිතේ " 

සීයා අප පැමිණෙන විටද අවශ්‍ය කාරණාව ඉෂ්ට කිරීමට මන්ත්‍ර පුරමින් සිටියේය . ඔහු මා දකිත්ම එතනට එන්න යැයි අතින් සංඥා කළේය . මම වහා එහි පිටත් වීමි . සීයා මරු නැංවීම ජයටම කරමින් සිටියේය . විනයක් පිල්ලියක් යැවීම වැනි බරපතල කාරනාවකදී සීයා මරු නංවන්නේ කලාතුරකිනි . එහෙත් මේ වතාවේ මරණයම බලාගෙන මෙම දේවල් සිදුකරන බැවින් මරු නැංවීම අත්‍යාවශ්‍ය කරුණකි . 

.............................................ඕන් සුරුන්ඩු මරු දිෂ්ටි වර වර විෂ්ණු රාම ආනුභාවයෙන් මරුවාට අඬගසා මරු නැගී නැගී මරු රීරි යක්ෂයා වර වර ඉජ , ඕන් ක්‍රලාදී කොන්ඩු වර වර ඊශ්වර ආනුභාවයෙන් මරු බිල්ල දිෂ්ටියෙන් මරු නැගී නැගී වර වර මම කැප කර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මෙපිට මරුවාට භාරයි වන් අන්සෙන් ගොස් දකුණු අන්සේ නේත්‍රය කැප ගන්න මරු පොල්ලෙන් තරව තරව ගසා ඉස මොළ කටු ගලවා දෙකන්සකින් විදුරු දිව ගසා ඇට සංදී නහර කුලල් මරු හඬ ගස ගසා ඇද ඇද කා ඉරාපන් අකුණු හෙණක් මෙන් මරු නැගී නැගී බාරගන් ඔහුගේ සිටිනා තැනට නැගෙනහිරෙන් පැන භාරගන් වරුණ දිග භාගයෙන් ක්‍රේම මරු රීරි යක්ෂයා වත්ත වටේ තුන් වළල්ලක් මරු හඬ තුනක් ගසා බිල්ල කෙලගන් 

ඕන් කංකාල මරු දිෂ්ටි මා ලෝ දැල් බැන්ද ආනුභාවයෙන් මරුවාට මම භාර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මරුවාට භාරයි හිටුපිය නොසොල්වා මරු දිෂ්ටි හිරයි 

ඕන් නමෝ ශ්‍රී විෂ්ණු රාම වාලි මකුට මාල........................................





සීයා මරු නංවා පිල්ලි මන්ත්‍ර කියා ලේ ගොටු ජීවම් කර එකින් එක ගිනි ගොඩට වත්කරමින් තමන්ගේ අනසකට යටත් වූ පිල්ලි සමූහයා පිටත් කර හැරියේය . සිතුවාට වඩා වෙලාවක් ගත විය එම කාරණාව ඉටු කිරීමට . එබැවින් අධික තෙහෙට්ටුව නිසා මම නිදාවැටෙමින් සිටියෙමි . සීයා අවසන් ලෙ ගොටුව වත්කරන විට මහා හයියෙන් හෙන හඬ පුපුරා ගොස් වහින්නට පටන් ගත්තේය . මා අවදි වුයේ එම විදුලි සැර මගින් නිකුත් කල මහා හඬේ ඇති බියකරු බවින් තිගැස්සීය . 

" පුතාට නිදිමතයි වගේ ? " 

" ඔව් සීයේ මේ දවස් ටිකටම නින්දක් නැහැනේ . අපේ වැඩ ඉවරයි නේද සීයේ ? " 

" ඔව් සේරම අහවරයි . ආයෙත් මේවගේ තැනකට එන්න වෙන්නේ නැති නිසා පුතා මේ තැන ටිකක් ඇවිදලා බලපු එක හොඳයි " 

" මම පහල මාළිගාව බැලුවා . සීයත් ගිහින් බලන්න . ලස්සනයි එතන තියෙන දේවල් " 

" මට ඒ හැටි ආසාවක් නැහැ දරුවෝ " 

කියමින් සීයා මද සිනහවක් පෑවේය . සියල්ල සංසුන් බව මම සීයාගේ සිනහවෙන් තේරුම් ගත්තෙමි . 

" අපි එහෙනම් දැන් යන්න ලක ලැස්ති වෙමු " 

සීයාත් මමත් සියල්ල අවසන් කර සීගිරි මාළිගාවෙන් පිටත් වීමට අවශ්‍ය බව රණබාට දන්වා සිටියෙමු . ඔවුන් අපට නැවතත් සංග්‍රහයක් සූදානම් කර තිබිණි . එයින් පසුව චිත්තරාජ යක්ෂ සේනාධිපති අප දෙදෙනාට ස්තූති කළේය . ඔහු අත යමක් තිබිණි . ඒ අලංකාර මංජුසාවකි . 

" ඔබ දෙදෙනාගෙ උදවු උපකාර නැතිවන්නට මෙම මාලිගාවෙන් අප සදහටම වෙන් වෙන්නටත් ඉඩ තිබුණා . ඔබගෙන් මම යමක් ඉල්ලන්නට කැමතියි . අපිව බන්ධනය කරන්න පුළුවන් මන්තර තියෙන තැන් හොයලා අපට දන්වන්න ; හැකියාවක් තියෙනවානම් . මේ මංජුසාව ඇතුලේ තියෙනවා තල් කොළයක ලියලා එක ශ්ලෝකයක් . මේ ශ්ලෝකය මමම හදාපු එකක් . අඳුනට මේ ශ්ලෝකය තුන් වතාවක් කියන්න . මම අඳුන තුළින් ඔබව දකින්නම් . මන්තර තිබෙන තැන් පිළිබඳව මාව දැනුවත් කරන්න . අපි ඒවා විනාශ කරන්න ක්‍රියා කරනවා ; මතුවටත් මේවාගේ අවදානම් සහිත දේවල් වෙන්න මත්තෙන් . ඒ පරපුරවල් පවා නැති කරලා දන්නවා . ඒකෙන් කවදාහරි මේ හෙළබිම සතුරන්ගෙන් ආරක්ෂා වේවි " 

" එහෙමයි එහෙමයි "

සීයා එම ඉල්ලීම පිළිගත්තේය . 





" මේ මංජුසාවේ තියෙන දේවල් ඔබ  දෙපළට භාරයි . කෘතගුණ දැක්වීමක් වශයනේ රාවණ රජතුමාගේ ප්‍රධාන සෙනෙවි තුමා භාවිතා කරන ලද ජය ශංඛය මම ඔබ දෙපළට තෑගී කරනවා මේ වෙලාවේ . ඒත් එක්කම රාවණ රජතුමාගේ පිළිරුවක්ද සහිත වෙනවා . හැම අමාවක දවසකම අමාවක ගෙවුණු වෙලාවේ මේ පිළිරුවට පූජා පවත්වන්න . ඔබ දෙපළත් ඔබ දෙපළගේ ලේ උරුමක්කාරයිනුත් රාවණ පරපුර සමග සදාකල් සබැඳියාවෙන් පවතීවි . ඒ උත්තමයින්ගේ නොමද ආරක්ෂාව උදවු උපකාර ඔබලාට ලැබේවි . 

දීර්ගායු වේවා !
දීර්ගායු වේවා !
දීර්ගායු වේවා ! " 

චිත්තරාජ තමා අතැතිව තිබුණු ලෝහමය මංජුසාව සීයා අත තැබීය . 

" මම තව අවුරුදු කීපයයි ජීවත් වෙන්නේ . පස්සෙන් පහු මේ දරුවා තමයි මේ දේවල් කරන්නේ .ඒ නිසා මට නැති වුණාය කියලා කාරී නැහැ . මේ දරුවා ඔය ඇත්තන්ට භාරයි . මම හැමදේම මේ දරුවාට උගන්වලා තියෙන්නේ . තව පාඩම් කීපයයි තියෙන්නේ . ඒවා ඉගැන්නුවට පස්සේ මම නිදහස් . ඉන් පස්සේ මේ දරුවා ආරක්ෂා කරන්න ඔය ඇත්තෝ ඉදිරිපත් වෙන්න ඕනා . මට උවමනා එච්චරයි . ඔය ඇත්තන්ටත් සියළුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන " 

සීයා එය කියා අවසන්වත්ම මාළිගාවේ ස්වර්ණමය ආසනයක් මත විශාල ආලෝකයක් නිකුත් වෙන්නට පටන් ගත්තේය . එය සුදු පැහැති විශාල ආලෝකයකි . එම ආලෝකය තුළින් මතුවුයේ වෙන කවුරුන් හෝ නොව . හෙළයේ මහා මොළකරු වූ පුලස්ති මහා සෘෂි තුමාය . 

ආයුබෝවේවා ගුරුතුමණි 
ආයුබෝවේවා ගුරුතුමණි 
ආයුබෝවේවා ගුරුතුමණි 


යක් රැහේ සියල්ලෝම එක හඬින් ජය ඝෝෂා පැවැත්වීය . 

" දරුවනි . ඔබ සියල්ලන්ටම යහපතක්ම වේවා ! "

සුදුපැහැති ආලෝකය එකවරම අතුරුදන් විය . අප අවසානයේ ප්‍රාර්ථනා කරේ එයයි . ඒ ආකාරයටම පුලස්ති මහා සෘෂි තුමා අපට ආශිර්වාද කළේය . 

" එහෙනම් රණබා දරුවෝ අපිට යන්න කාලේ හරි නේද ? " 

" රණබා මේ ඇත්තන්ව ගමට පිටත් කර නැවත මෙහි පැමිණෙන්න . ගුහා දොරටුව වසා දැමීම ඉක්මණින්ම සිදු කළයුතුයි . ඒ සඳහා ඔබගේ පැමිණීම අනිවාර්යයි " 

"එහෙමයි උත්තමයෝ එහෙමයි " 

" අපි යමු මලයන්ඩි " 

" කරත්තය සූදානම් කරලා තියෙන්නේ " 

" දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ . මට හරකට කන්න දුන්නද නැද්ද අහන්නවත් මතක් වුණේ නැහැ නෙව " 

" ඒවා අපි සියල්ලම වෙලාවට ඉෂ්ට කරලා ඇති " 

රණබා සිනහව පාමින් සීයාට කීවේය . 

ජය ශ්‍රී 
ජය ශ්‍රී 
ජය ශ්‍රී 

සීගිරි ගුහා දොරටුව හරහා මාළිගාවෙන් ඉවතට එන මොහොතේ අවසන් වරට අපට ඇසුනේ සීගිරි මාළිගාව තුල අදටත් ජීවත් වන යක්ෂ සේනාව අප දෙදෙනාට කරන ලද එම ආශිර්වාදයයි . 


ජීවිතයේ මම ලත් වටිනාම අමතක නොවනම මතක සටහන එයයි . කිසිදිනෙක ඉන් පසු මා හට එම ස්වර්ණමය මන්දීරයට පිවිසීමට අවස්ථාවක් ලැබුණේ නැත . එහෙත් තවමත් මාගේ මතකයේ එය නොමැකෙන සේ තැම්පත්ව තිබෙනා මතකයකි . රණබා අපව වලව්වට කැඳවාගෙන ආවේ කෙසේදැයි අප දන්නේ නැත . ඒ අත බලා මේ අත බලනවිට වලව්වේ කඩුල්ල අපට පෙනිණි . මෙය ඇස් බැන්දුමක් දෝ මම සැක කලෙමි . එහෙත් එහි සත්‍යතාවය ඔප්පු කිරීමට චිත්තරාජ දුන් මංජුසාව හූමිටි තැබුවේය . 

" එහෙනම් මාමණ්ඩි . මම ගොහින් එන්නම් " 

" ඔය දරුවට සමන් දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි " 

රණබා අපෙන් සමුගත්තේ නැවතත් ඔහු අප හමුවීමට පැමිණේවිද ? යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින්ය . කෙසේ වෙතත් කාමරයේ පෙට්ටගම උඩ තබා තිබෙන රාවණ යුගයේ ජය ශංකය මෙම මතකයන් නැවත නැවතත් ආවර්ජනය කිරීමට විටින් විට මා හට අවස්ථාව සලසා දුන්නේය . 





කොටස් හයක් පුරාවට දිව ආ පුලතිසි කතා මාලාව මෙසේ සමාප්ත කරමි !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

4 comments:

  1. පුලතිසි කථා ටිකත් කියෙව්වා ඔන්න මන්. මුලින්ම මට හම්බුනේ මේ කථා මාලාව. පස්සෙ තමයි සීයා මුණුපුරා කථා සෙට් එකම එක තැනකින් කියවන්න පුළුවන් උනේ. ඒත් කියවගෙන යනකොට බ්ලොග් එක බ්ලොක් කලා නේ. බොහොම අමාරුවෙන් තමයි අලුත් ලින්ක් එක හොයාගත්තේ. එක පාරක් නම් ඔබ තුමාගෙන්ම ඉල්ලා ගත්තා. ආයිත් ඉල්ලුවට දුන්නෙ නෑ. එහෙමයි කියල අතහැරියෙ නෑ. පිස්සුවෙන් හිටියෙ ඉතුරු ටික කියවන්න විදියක් නැතුව. රසාස්වාදයට බාදාවක් උනා කඩින් කඩ කියවනකොට. අවුලක් නෑ හොඳයි අපේ ඉතිහාසය ගැනත් තියෙනවා නේ.

    ReplyDelete
  2. ඒ ඉතින් මේ දේවල් ගැන දන්නෙ කීයෙන් කී දෙනාද. ගොඩක් අය රාවනා නම විකුණන් කනව. තව අය කියනවා දේවත්වයට පත් වෙලාලු. ඒවා අහල මේක කියෙව්වම ලොකු වෙනසක් තියෙනවා හිතන් ඉන්න විදියෙයි ඇත්ත තත්වෙයි.

    ReplyDelete
  3. හැබැයි ගවේශණය කරන්න නම් අවස්ථාවක් නෑ මට. කරන සේවයත් එක්ක. පස්සෙ පුළුවන් කාලෙකදි බලන්න දැන්ම ඉදන් සුදානම් වෙනවා. දැනටමත් පරක්කුයි, ඒත් දරුවන්ට හරි කියල දෙන්න පුළුවන් නේ.

    ReplyDelete
  4. ඔබ මේවා විනෝදයටද ලියන්නෙ, නැත්නම් අපේ ඉතිහාසයේ ඇත්ත නැත්ත ගැන සමාජය දැනුවත් කරන්නද කියල ඉඩ ලැබුනු වෙලාවක කමෙන්ට් එකක් දාන්න. ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක් කියල මම දන්නවා.

    ReplyDelete