කළු කුමාර වෛරෝඩිය ( 3 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

 පසුගිය කොටසින්

 " මේ දේවල් ඔක්කොම හොයාගන්න පුළුවන්ද ? "

" පුළුවනි ගුරුන්නාන්සේ . සල්ලිවලට ගන්නය කියලා දෙයක් නැහැ නෙව . අනේ මගේ කෙල්ලව බේරලා දෙන්න "

 " හ්ම්ම් එහෙනම් අපි යමු ඇප නූල කරේ බැඳලා එන්න . හෙට වෙනකල් කෙල්ලව පරෙස්සම් කරගන්න . ගෙයින් පැනලා යන්න හැදුවොත් යන්න නම් දෙන්න එපා . ගියොත් ආයේ කෙල්ලගේ මළකඳවත් හොයාගන්න වෙන්නේ නැහැ "

 " හොඳමයි ගුරුන්නාන්සේ "

 " චූටි පුතා ඔහොමම ඉන්න "

 " හොඳයි සීයේ "

 අද එතැන් සිට

සීයා විසින් අසනීප දැරිවියගේ කරේ ඇප නූල බැඳ ඒමට නැවතත් නිවසට පිවිසියේ සරනේලිස් මාමා සමගය . මේ වනවිට සරනේලිස් මාමාගේ නිවසට පැමිණි පිරිසගෙන් නිවසත් මිදුලත් පිරී තිබිණි . එබැවින් ඇප නූල බැඳීමට අවශ්‍ය වාතාවරණය සකසා දීමට සරනේලිස් මාමා තම නිවාස තුල සිටි කිහිප දෙනෙකු නිවසින් පිටතට එව්වේය .





සීයා පැය භාගයක් පමණ මන්තර මැතිරුවේය . මතුරා ඇප නූල කරේ ගැට ගසන වේලාවේදී අසනීප දැරිය මහත් හයියෙන් කෑගැසුවාය . ඒ බව මා දැනගත්තේ සීයා පැමිණි පසුවය . අනතුරුව කරත්තයට නැගගත් සීයාත් මමත් ඉක්මණින්ම වලව්වට පැමිණියෙමු . ඒ එන අතරවාරයේ සීයා කරත්තය ඉදිරියට ආ ගමේ අඳුරන කෙනෙකු හට හැකිනම් සවස්වනවිට වලව්වට කිරිමැටි ටිකක් රැගෙන එන්න යැයි කීවේය . වලව්වට පැමිණ පැයක් හෝ පැය එකහමාරක් පමණ ගතවනවිට ඔහු කිරිමැටි රැගෙන ආවේය . සීයා ඔහුට වලව්වේ කුස්සියට ගොස් තේ කහට ටිකක් බීමට ආරාධනා කලද ඔහු එය ප්‍රතික්ෂේප කලේ තම නිවසේ කටයුත්තකට සවස නිවසේ සිටිය යුතු නිසාය . ඔහු පිටවී ගිය පසු සීයාත් මමත් කළුකුමාරයා මෙල්ල කිරීමේ සටනට සූදානම් වීමු .

" චූටි පුතේ . පුතාට මන්තර මතකද ? . අද රෑට ආයේ බලන්න ඕන සීයේ . කලින්ම බලලා තියනවට වඩා මතුරන්න කිට්ටුවෙලා වතාවක් දෙවතාවක් කියවගත්තම අමතක වෙන්නේ නැහැ "

" හ්ම්ම්ම් . ඒක හොඳයි . අපි දෙන්නා එහෙනම් මේ ගුරුකමට ඕන බලිය අඹලා තියලා හෙට උදේ වෙනකොටම ඒ ගෙදරට යමු . ඉක්මනට විනේ කැපුවේ නැත්නම් කෙල්ලට අතුරු ආන්තරාවක් වෙන්න පුළුවන් "

" සීයේ මම ඒවෙලාවේ කිව්වේ නැහැ . මේ ගුරුකම කරලා තියෙන්නේ කවුද කියලා අංජනමෙන් කියවුණා "

" කවුද ? "

සීයා දෑස් විශාල කර මගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළේය .

" අර පොල් මුදලාලිගේ පුතා තමයි කරලා තියෙන්නේ . තව අනුරාධාපුරය පැත්තේ මලයාලි ඇදුරෙකුත් සම්බන්ධයි කිව්වා . කොහොමත් පොල් මුදලාලිගේ පුතාට මේවා තනියම කරන්න බැහැනේ "

" ඔය කොල්ලා උපන් ගෙයි මෝඩයා උනාට මහා කපටි කෛරාටික කොල්ලා . මම උන්දගෙ වේලපත්කඩය බලපු වෙලාවේ මුදලාලිටත් ඒ ගැන හංගන්නේ නැතිවම කිව්වා . මේ ළමයා හොඳට සැර වැර කරලා උගන්වන තැනකට යවලා උගන්වන්න කියලා . ඒත් මම හිතන්නේ ඒ දේවල් කලත් වැඩක් වෙන්න නැහැ . කොහොමින් කොහොමහරි සරනේලිස්ගෙ මනුස්සකම නිසා තමයි ඒ කොලුවා බේරුණේ . ආපිට යන්න කපන්න කැමති උනානම් මමත් ආපිට යන්න කපන්න හැදුවේ දඬුවමක් ලැබෙන්නවත් කියලා හිතාගෙන "

" හ්ම්ම්ම් . මටත් ආව කේන්තියට මටත් හිතුනා ආපිට කපලා දාන්න . ඒත් ඉතින් සීයා සරනේලිස් මාමාගෙන් අරම අහලා එපා කීව නිසා මමත් කරබාගෙන හිටියා "





" අපිට එන කේන්තිය වගේ නෙවෙයි චූටි පුතේ . මේ සාත්තරේ කරනකොට අපෙන් උදව් ගන්න එන කෙනා කියන දේ තමයි අපි පළමුවෙන්ම සිහිපත් කරගන්න ඕන මේ වගේ දේවල් කරනකොට . එයා එපා කියලා කියනවනම් අපි ඊට එහා දේවල් කරන්න හොඳ නැහැ . චූටි පුතාට තේරුණාද ? . හැමදාටම ඒක මතක තියාගන්න ඕන හොඳද ? "

" හොඳයි සීයේ "

මැටි මල්ලත් වතුර බාල්දියකුත් මම ගත් අතර සීයා අඩියක අඩි එකහමාරක පමණ ලෑල්ලක් ගත්තේය . පසුව අප දෙදෙනා කරත්තය ගාල් කරන මඩුව වෙත ගොස් ගෙන ආ සියල්ල බිම තබා කුඩා බංකු දෙකක් රැගෙන මඩුවේ පැත්තකින් හොඳ හැටි වාඩි වී බලිය අඹන කාර්යය ආරම්භ කළෙමු .

" පුතේ ඉස්සෙල්ලම ඔය මැටි ටික බිමට හලන්නකෝ "

" හරි සීයේ . ඊළඟට මොකද කරන්න ඕන ? "

" ම්ම්ම් . මට අමතක උනා . මේකට ඕන තව දෙහි ඇඹුල් ටිකකුයි අඟුරු කැට ටිකකුයි . මැටි වලටම ඒවා දාලා තමයි අනාගන්න ඕන . පුතා මැටි ටික අනන්න . මම අරගෙන එන්නම් දෙහි ගෙඩි දෙකතුනකුයි අඟුරුයි "

සීයා වලව්වේ පිටුපසින්ම කුස්සිය වෙත ගිය අතර ඔහු නැවත එන තුරු මා කරන ලද්දේ පදමට එන තෙක් වතුර දමමින් කිරි මැටි හොඳින් අනා ගැනීමයි . සීයා අඟුරු කැට කීපයක් සහ දෙහි ගෙඩි කීපයක් රැගෙන නැවත ආවේය . පසුව ඔහු දෙහි ගෙඩි කීපය කපා දෙහි ඇඹුල් මැටි ගොඩටම මිරිකා අවසානයේ වැටුණු දෙහි ඇට සීරුවට අල්ලා ඉවත් කළේය . ඉන් පසුව අඟුරු කැට පොඩිකර මැටි ගොඩට එකතු කළේය . සුදු පැහැයට තිබුණු කිරිමැටි ගොඩ එකවරම අළු පැහැ ගැන්වී ගියේ කිරිමැටිවල සුදු පැහැයත් අඟුරු වල කළු පැහැයත් සමග මිශ්‍ර වීමෙනි .

මෙම බලියට මන්ත්‍ර මතුරා ප්‍රාණ සිද්ධි කිරීමෙන් එම දැරිවියගේ ප්‍රාණය මෙම බලියේ ප්‍රාණය සමග හා කරනු ලැබේ . අනතුරුව එම දැරිවියට බැඳ ඇති කළුකුමාර දිෂ්ටියද මෙම බලියට බැඳ අවසානයේ කිනිස්සට මතුරා බලියේ හිස් මුදුනට ඇනීමෙන් එම යක්ෂ දිෂ්ටිය දැරිවියගේ ඇඟෙන් ඉවත් කරනු ලැබේ . අනතුරුව දෙහි කපමින් දැරිවියගේ දොස් ඉවත් කර දමා නැවතත් කළුකුමාර දිෂ්ටිය නොඑන සේ කළුකුමාර ආරක්ෂා මන්තර මැතිරිය යුතුය .





පළමු අදියරය වන්නේ බලිය සෑදීමයි . එයින් මැටි ඇනීම දැන් අවසන් වී තිබේ . අනතුරුව තිබෙන්නේ ඉර බැස ගිය පසු ලෑල්ල මත බලිය ඇඹීමේ කටයුත්ත සිදු කිරීමයි . ඉර බසින්නට තිබුණේ තවත් හෝරාභාගයක් පමණි . ඉන් පසුව බලිය ඇඹීම සීයා විසින් සිදු කරන ලදී . එය නියම හැඩයට සාදා ඇස් කන් නාසාදියද තබා වැඩ අවසන් කල පසු එය නියමම ස්ත්‍රී ස්වරූපය ගත්තේය .ඉහළට එසවුණු නග්න පියයුරු යුවලත් නාභියත් හා ස්ත්‍රී රහසඟත් එම ස්ත්‍රීත්වය එම බලියට වඩ වඩාත් ලබා දීමට දායක විය .

බලියේ වැඩ අහවර කරන ලද සීයා එය මහසෝනාට පහන පත්තු කරනුලබන පහන් පැළ ඉදිරියේ පහන් කණුවට තබා රාත්‍රී සඳ එළියෙන් වේලෙන්නට ඉඩහැරියේය . එහෙත් නින්දට යන්නට මත්තෙන් බලිය නැවතත් වලව්ව තුලට ගෙන ප්‍රවේසම් සහිතව තැබුවේ රාත්‍රී වැසි වැටී එය හේදී යා හැකි නිසා මිස වලව්ව තුලම එය තැම්පත් කර තැබිය යුතු නිසා නොවේ .

රාත්‍රියේ නින්දට යාමට මත්තෙන් මම පෙට්ටගම විවෘතකර කළුකුමාර දෝෂයට මතුරන මන්තර සහිත පොත් කීපයක් පෙරලා බලා අවශ්‍ය මන්තර මතකදැයි පරීක්ෂා කිරීමට අමතක කලේ නැත . පොත් කියවා බලා ඒවා නැවතත් පෙට්ටගමට දමා අගුල දමා මා නින්දට වැටුණු වහාම මට නින්ද ගියේ දවස පුරාම එහා මෙහා ඇවිදිමින් මහන්සි වූ නිසා විය යුතුය .

අප සරනේලිස් මාමාගේ නිවසට යාමට නියමිතව තිබුණේ පසුදා උදෑසනය . උදෑසන මමත් සීයාත් එහි යාමට සූදානම් වනවිට තවත් වැදගත් දෙයක් සිදුවිය . ඒ සඳමලී නංගි පිලිබඳ තාත්තා මගෙන් විමසීමයි .

" අම්මා මට කිව්වා වෙද මාමා ආව කියලා සඳමලී දුව ගැන කතා කරන්න . අපි කලින් ඉඳලා දැනගෙන හිටියේ දෙන්නා අතරේ මොනවා හරි තියෙනවා කියලා . අපේ අකමැත්තක් නැහැ . ඒ ළමයත් එක්ක කතා කරලා එහෙ අපිට යන්න දෙවසක් කතා කරලා කියන්න . මේවා ඔයාලා කතා බැහැ කරගෙන උන්නට , අපේ ගෙවල් දෙක ළඟින් ආස්සරේ කරාට චාර්ත්‍ර වාරිත්‍ර හරියට කරලා තමයි සඳමලීව මෙහෙට කැන්දගෙන එන්න ඕන . හරිද ? "





" හා තාත්තේ "

" ඒ දේවල් උනාට පස්සේ ඔය දෙන්නට හොඳ කාලයක් ආවම අපිට පුළුවන් මංගල්ලේ ජයටම ගන්න . ගෙවල් වලින් කතා කරන්නේ නැතිව මේ දේවල් ගමේ මිනිස්සු දැනගත්තොත් සීයටත් හොඳ නැහැ , ඊළඟට ගුරුකම භාරගන්න ඉන්න ඔයාටත් හොඳ නැහැ . තෙරුනාද ? "

" තේරුනා තාත්තේ "

" සඳමලී දුව ආයෙත් මුණගැහෙන්නේ කවදද ? "

" අනිද්දා දිහාවට ඉරිදා දහම් පාසලේදී කතා කරන්න ලැබෙනවා "

" එහෙනම් මට අනිද්දා රෑට දවස කවදද කියලා කියන්න . නැත්නම් සඳමලී දුවට කියන්න මම කිව්වා කියලා අපිට එහෙ එන්න දවසක් වෙද ගෙදරින් අහලා කියන්න කිව්වා කියලා . එතකොට එයාලාට පහසු දවසක් කියයිනේ "

" හා තාත්තේ "

තාත්තා එසේ කියා කතාව අවසාන කළේය . එහෙත් මාහට ඇති ගැටළුව අප දෙදෙනාගේ කතාබහවත් ඇසෙන්නට ඉඩක් නැති මොහොතක දෙදෙනාගේම නිවෙස්වල සිටින අය අප ගැන දැනගත්තේ කෙසේද යන්නයි . කොටින්ම කියතොත් මේ පිළිබඳව කතා කිරීමට මාහට යාළුවෙකු හෝ නැත . පිරිවෙනේ ඉගෙන ගන්නා කාලයේ මා හා ඉගෙනගත් සපුමල් දැන් ගමේ නැත . ඔහු සිටියානම් ඔහු සමග අනිවාර්යයෙන්ම මම මේ පිළිබඳව කතා කරමි . එහෙත් කෙසේ හෝ නිවෙස්වල අය මේ පිළිබඳව දැන සිටියහ .

" චූටි පුතේ , කිනිස්සයි , අංජනමයි ගන්න "

" සීයේ මම ඒවා වෙනමම මල්ලකට දාගත්තා . අර බලිය ගන්නත් ඕන නේද ? "

" ආ බලිය මම කලින්ම කරත්තයට අරං ගිහින් තිබ්බා . ගන්න ඕන ඒවා ඔක්කොම හරි . අද රෑ වෙනකල් වගේ මතුරන්න වෙයි . ඒ නිසා යමු දැන්මම "

" සීයේ තාත්තා කිව්වා සඳමලී නංගිලාගේ ගෙදර යන්න දවසක් කතා කරගන්න කියලා . මම සඳමලී නංගිට ඉරිදට දහම්පාසැල් ගියාම කියන්න ඉන්නේ තාත්තා එහෙම කිව්වා කියලා "

" ඔව් ඉතින් ඒවත් වෙන්න එපාය . කමක් නැහැ දෙන්නා එක්කම මේ දේවල් කතා කරගත්ත එකේ අපිට එහෙ යන්නත් දවසක් දෙන්නම කතා කරගෙන කියන්නකෝ . හා හා දැන් ඉක්මනට යමු "

සීයාත් මමත් ජේමිසුත් පමණි මෙම ගමනට සහභාගී වූයේ . පැය දෙකක පමණ කරත්ත ගමනකින් අපි සරනේලිස් මාමාගේ නිවාසට ළඟා වීමු . අදත් ගමේ වැසියන් දහ දොළොස් දෙනෙක් සරනේලිස් මාමගේ නිවස අසලට එක් රොක් වී සිටියේ සිදුවන්නේ කුමක්දැයි බැලීමට විය යුතුය .

" ආයිබෝවන් ගුරුන්නාන්සේ "

" ආයිබෝවන් ආයිබෝවන් සරනේලිස් . කොහොමද කෙල්ලට ? "

" ඊයේ රෑත් කෑගැහුවා ගුරුන්නාන්සේ . කරේ තිබ්බ නූලත් කඩන්න හැදුවා . අපි දෙතුන් දෙනෙක් අල්ලාගෙන තමයි නවත්ත ගත්තේ . මම මේකිව මරණවා . මරලා බිලි ගන්නවා . කියලා තමයි කෑ ගගහා හිටියේ . දැන් නම් ඔය ඉන්නවා මළකඳ කඩා දාලා වගේ "

" සරනේලිස් . මෙන්න මේ බලිය අරගෙන යන්න ප්‍රවේසමට . මේක ජීවම් කරන්න ඕන කෙල්ලගේ ළඟ තියාගෙන "

" කේ දෙන්න ගුරුන්නාන්සේ මම අරගෙන යන්නම් "

" හෙමීට තියන්න . ඕක පුපුරලා පළුදු වෙන්න හොඳ නැහැ දැන්මම "

" හොඳයි ගුරුන්නාන්සේ "

" චූටි පුතේ . අංජනම කරත්තේම තියෙන්න අරින්න . ගෙට ගේන්න එපා "

" හා සීයේ "

" ජේමිස් . කොහෙවත් යන්න එහෙම එපා . අංජනම කරත්තේ තියලා අපි ගෙට ගොඩ වෙන්නේ . කොහේ හරි යන්න උවමනා නම් මට හරි චූටි ගුරුනාන්සේට හරි කියලා යන්න ඕන හොඳද "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" අපි යමු පුතේ "

සීයාත් මමත් සරනේලිස් මාමාගේ නිවසට ඇතුළුවනවිට පිටින් පැමිණ සිටි සියල්ලෝම නිවසින් ඉවතට පැමිණ මටත් සීයාටත් නිදහසේ කරන්නට ආ යාතුකර්මය කිරීමට ඉඩ හසර සලසා දුන්නේය .

සීයා කෙසෙල් කොලයක් කපා ගෙන්නවාගෙන ඒමත් බලිය සහිත ලෑල්ල තබා ඒ වටේට මල් වර්ග අතුරා පලතුරු කැවිලි ඇතුළුව සියලුම පූජා කලයුතු දේවල් තබා ජීවම් කිරේම ආරම්භ කළේය . පළමුවම හූනියම් දෙවියන්ට ආරාධනා කල අතර අනතුරුව හූනියම් දැහැන හත කියා ප්‍රාණ ජීවම් කිරීම ආරම්භ කළේය . එය මා සිතන පරිදි පැය පහක හයක පමණ කාලයක් සිදුකළයුතු ක්‍රියාවක්ය . සීයාට එකදිගටම මැතිරීම සිදු නොකළ හැකි බැවින් අනිවාර්යයෙන්ම ඒ සඳහා මා ආරාධනා ලබනවා නිසැකය .






ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ


ඕන් ශ්‍රී සත්කාර ව්‍යාඝු හස්තිඃ රනි හිසරත නමඃ ඕන් ගඩසත්තාරිත්‍රි මුනි අන් වෂග්‍රර්‍ෂතුලජලරූදා ගජරදිවමුදා ව්‍යාග්‍ර ගිනි ධරාන ප්‍රාණ ජීව දිෂ්ටී නාමඃ ඕන් අෂ් ර්‍ට ගුරුගජෙන්ද්‍ර විප්පු මලමටඩලත්‍රි විදා සත්කාරව්‍ය ග්‍රමුචලින්ද්‍ර ගිනිධරාන නාමඃ ඕන් තයියේ රුමෝයේ රුත්තොඹු ගජසින්හ ව්‍යාග්‍ර හිනි පචෙන්ද්‍ර මුදා සත්කාර ප්‍රාණ ජීවං දිෂ්ටී වර වර නමඃ නමඃ ඕන් අගර්‍ග ශ්‍රී බ්‍රහ්ම ඉනු වර බු ගජෙන්ද්‍ර භවනේ නයිර ගිනි ව්‍යාග්‍ර ගිනිධරාන ප්‍රාණ ජීවං දිෂ්ටී වර වර නමඃ ඕන් ගනකඩ ධරන ගිනි ධරත මුධු ගිනිධරාන ප්‍රාණ ජීවං දිෂ්ටී වර වර නමඃ ඕන් දේව ගිනි මුයෙන් අහපං ගිනි කලේමි පචෙච්ත්‍ර මුයෙන් පෙනිලව ගිනි කලේමි වෙසමුනි නයනා යුධ මුයෙන් සක්දඹ ගිනි කලේමි මා දුටු යකුනි යක්ෂනියන්ල ඉසි ජලිත ඇස් ජලිත කදචලිත කරයන කඩපතගය කිමෙන් යක්ෂයා තාගේ අමගත කුලල්ගත සන්ඨගත නහරගත සියොලග වේලී වේලී ගිනි දරණ යකුගන පටලවා චලිත චලිත මාගේ පා පිටෙ ගැසෙත්වා ගැසෙත්වා ප්‍රාණ ජීවං දිෂ්ටී වර වර නමඃ ඕන් ග්‍රිනි යමකාලි දේවතා කැපගං පලයං තෝ සෙවඃ ඹේත් කර්‍ලලඩිදාරන කිපටටු හිර හරහඃ ඕන් පලා ජලරාම් හෙන ගිනි පුපුරා ගරහැම අවතාර කගර්‍ගද්‍රිගරදඃ ඕන් ක්‍රර්‍ලලාඩි ක්‍රර්‍ලලාඩි ඕන්ධාරන කිපටටු හර හරහඃ ඕන් රාම රාම මාරුලකි දෙහො රාජද්‍රිඝිදිසි අං අං ඉං ඉං උං උං පුර පුර බන්ද්‍රානි නිලිබන්දුන් වස්ටි සටිගටකා රැබන්දුන් ඉං ඉං බන්දුන් චිත්ත්‍රරාජා හාම් පුත්ත්‍ර ජාතම් යම අද්ද බන්දුත් චන‍ද්‍ර කුජ බන්දුත් අලලා බන්දුන් දෙෂට පාපශැති බන්දුනි රං රං රුං රුං වරං රෙං මරු දෙව පුත්ත්‍ර චිත්ත්‍ර පත්ත්‍ර රාම රාමයි රබුම රිං රිං යෝ ගිනි බන්දුනි ජල මල බන්දුනි සුකක්‍ර පරනි ලී බන්දුනි බුම්මඩලෙ කට්ටු හිරහරඃ ප්‍රාණ ජීවං දිෂ්ටී වර වර නමඃ

පැය දෙකක් පමණ සීයා මන්ත්‍ර මැතිරූ අතර ඉන් පසුව මම මන්ත්‍ර මතිරීම ආරම්භ කලෙමි . මෙසේ දෙවාරයක් පමණ මාරුවනවිට බලිය ජීවම් විය .

" මාව ගිණි ගන්නවා . නවත්තපල්ලා ඕක . මට මේකිව මරන්න දීපල්ලා . තොපි සේරම මම මරණවා "

අසනීප කෙල්ලට ආවේශ වූ කළුකුමාර දිෂ්ටිය මොර දෙන්නට විය . තවදුරටත් මතුරනවිට ඇයගේ අවසිහිය පහවගොස් පියවි සිහිය උදාවිය . දැන් ඇයගෙන් දිෂ්ටිය ඉවත්වී බලියට දිෂ්ටිය වැටී ඇති බව සීයාත් මමත් අවබෝධ කරගත්තෙමු . දැන් තිබෙන්නේ කළුකුමාර මන්ත්‍ර මතුරා දිෂ්ටිය ඉවත් කළ යුතුය . එය සීයාම භාර ගත්තේය .

" චූටි පුතා ඉන්න . මම ඒක කරන්නම් . කෝ කිනිස්ස අරගෙන එන්න කරත්තෙට ගිහිල්ලා "

මම කරත්තයට නවතා ඇති තැන වෙත ගොස් කිනිස්ස රැගෙන ආවෙමි .

" කෝ මෙහාට දෙන්නකෝ ඕක . පුතා අර දෙහි ගෙඩි ටිකයි අහු ගෙඩි ටිකයි අරගෙන කහ දියරෙන් සෝදලා ලෑස්ති කරගන්නකො මේ කෙල්ලට දෙහි කපන්න . මගේ වැඩේ අහවර උනාම ඒ වැඩේ පටන් ගමු . හවස හත ඇට විතර වෙනකොටවත් ජීවම් කිරිල්ල අහවර කරලා අහු දෙහි කපලා අපිට වලව්වට යන්න පුළුවන් "

" හොඳයි සීයේ "

මම සරනේලිස් මාමාගෙන් අහු හා දෙහි ගෙඩි ඉල්ලාගෙන ඒවා කහ දියරෙන් සෝදන අතර වාරයේ සීයා කළුකුමාර මන්තර මතිරීම ආරම්භ කළේය .

කළු කුමාර වෛරෝඩි වා වා නසී කොන්ඩු වාරුම් වර කළුකුමාර වෛරෝඩි හෙන ගිනි බන්ධන ඉඩහැරී එන්ඩ කළුකුමාර වෛරෝඩි වා අඩා වා................ ආකාශ වාරුන් පාතාල වාරුන් වර කළුකුමාර වෛරෝඩි වඩිග බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ..................... ඇසුර ගිනි රාක්ෂ සොහොන් කාලි අම්මා රාම ශර බන්ධන ඉඩහැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ............ සත් ඉර සත්දන්ත කපාල කොන්ඩු විෂ්ණු දළ කඩවර වර කළුකුමාර වෛරෝඩි පිල්ලි බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා....................... සිවාකා මේ කා කා වාරුන් වර කළුකුමාර වෛරෝඩි රාම බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................ භාගිනි රාක්ෂයා වඩිග හඬ දැරූ ගිනි රාමයෙන් කළුකුමාර වෛරෝඩි තෙලිඟු බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ......................... කල්ලු ගිනි රාක්ෂ දේව ගිනි නීල රාක්ෂ කළුකුමාර වෛරෝඩි විෂ්ණු බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ........................ කයිරප්පාම් රාඩී වර කළුකුමාර වෛරෝඩි දෙවගිනි බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ............ දේව කාම ගුරුළු නීල කොන්ඩු වැරුම් වර කළුකුමාර වෛරෝඩි දේව බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................... ගුරු පේසා හැර ගිනි වඩිග කොන්ඩු වැරුම් වර කළුකුමාර වෛරෝඩි ජාල බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ................. සූර්ය නීලා කොන්ඩු ප්පේසා සීසා කළුකුමාර වෛරෝඩි තාරුකා බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ...................... රන් ගිනි කුමාර අප්පොච්චී පාතාල නාග වාරුම් කළුකුමාර වෛරෝඩි චන්ද්‍ර බන්ධන ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා .................... කදිර වා පාතාල කළුකුමාර වෛරෝඩි ග්‍රහ බන්ධන පිපිරී ඉඩ හැරී එන් කළුකුමාර වෛරෝඩි වා අඩා වා ..............

මන්තර මතුරනවිට ක්‍රම ක්‍රමයෙන් දැරිය නැවතත් ආවේශ වන්නට විය . කළුකුමාර කට්ටුවේ දිෂ්ටි රඟමඩලට වැටී ඇති බව අපට ප්‍රත්‍යක්ෂය . සීයා මහා හඬින් තම දිෂ්ටි මන්ත්‍රය නැවත නැවත මතුරා හිඳිමින් දිෂ්ටිය බලවත් කරගත් අතර අවසානයේ කළුකුමාර වෛරෝඩිය නම් මහා බලගතු මන්ත්‍රය මතුරා තම අත ඇති කිනිස්සෙන් බලියේ හිස් මුදුනට ඇන්නේය .

ගිරියටින් කෑගසා අසනීප දැරිය නිහඬ විය .

" ඉක්මනට ඔය කහදියර කොතලේ ගනිල්ලා "





යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
 තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

 යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

" හා දැන් යකා ගිහින් අහවරයි . අපි ආරස්සාවටත් එක්ක . තව තියෙන අගුණයක් නැතිවෙන්න කියලා මේ දෙහි ගෙඩි ටිකයි අහු ගෙඩි ටිකයි කපමු . හැබැයි ඒකට ටිකක් වෙලා යනවා . තවම ඒවා ජීවම් කරලා නැහැ . ඒ නිසා මේ ළමය දෙහි කපන්න කලින් පිරිසිදු වෙලා එන්න පුළුවන් . ඔය වැඩිහිටි ගෑණු උන්දලා දෙතුන් දෙනෙක් එක්ක මේ ළමයාගේ අම්මා ගිහින් මේ ළමයා නාවලා පිරිසිදු කරගෙන සුදු ඇඳුමක් අන්දගෙන එන්න මෙහාට . බඩගිණියි වගේ දැනෙනවානම් බත් එක්ක කිරිහොද්දක් හදලා මේ ළමයට කන්න දෙන්න "

සීයා එසේ කියා මා ඇමතුවේය .

" කෝ පුතේ දෙහි ටිකයි අහු ටිකයි "

" මම හෝදලා කෙහෙල් කොලයක දවටලා තිබ්බා සීයේ "

" එහෙනම් පුටුවක් ගෙන්නගෙන මල් ආසනයක් හදා ගන්න . හදාගෙන අහු ටිකයි දෙහි ටික ඒකෙ තියලා ජීවම් කරන්න පටන් ගන්න . මම පොඩ්ඩක් නැගිටින්නම් . ඉඳගෙනම ඉඳලා මගේ තුනටිය අමාරුයි වගේ "

" හා සීයේ "

මම අසල සිටි අයෙකු ලවා පුටුවක් ගෙන්නවා ඒ මත සුදු රෙද්දක් එලා කෙසෙල් කොලයක් තබා මල් , පුවක් මල් , පහන් ආදිය පිළිවෙලට තබා අහු දෙහි සියල්ලද පිළිවෙලට තබා මැතිරීම ආරම්භ කලෙමි .

 ඕන් ජෙතා ලංක ක්‍රලාඩිංද හොරවා ගිනි ගිනි දෙස් ගිනි ගිනි පට්ටා ක්‍රින්තු ක්‍රිස් ගිනි දළුන හෙහෙස් කුමාර ශර අලගු පෙසු පෙසු සලාහම්. ඕන් ආදෙස් ක්‍රාලා එමා ඉස්පු ලෙන්ද කොඩෙන් අඝොර විර පත්ත්‍ර නාරායනේ ගිනි ගිනි සිලංබර කතානඩි තෙලංග දොළුවර දෙස් සර්‍වසූනියන් නාරායනේ ඉගිල වර වර සලාහම්. ඕන් විර පශාඩි තෙලිහ දොළුවරදෙස් ගිනි ගිනි සහර ගිනි දැපන මන්ත්‍ර දෙස් දෙවගුරුධාරිනේ පෙසු පෙසු සලාහම්. ඕන් තල්ලාත් ක්‍රාන්තු කායිල් කරුවන්ද්ලි හං තෙසු පිල්ලි සුනියන් ගිනි ගිනි කන්දස්වාමි නාරායනේ ගිනි පත්ති තිස ලඹ සරිචි ගිනි ගිනි ආදෙස් ආදෙස් සලාහම්. ඕන් හ්‍රී ජලතිදෙස් පෙසු පෙසු ලාහෙස් ගිනි ගිනි නහි නහි ලාකාසුර ළුව් හැම දෙවි දෙස් සර්‍ව සූනියන් අරු අරු ඉකිල වර නාරායනේ සලාහම්. ඕන් ක්‍රයිවුලා ඩිවාතේ තෙගු තෙගු වයිර වා වා පෙසු පෙසු කුල ඉක් පෙසනිපෙසුං කවල දෙහොලාඩබුවිඩි නොබාක්‍රලහත්ති අජාහෙ ජලර්‍ල භූතානාහිත හො පුල්ලි ලාවාඩි හෙනතු ශ්‍රන්බෙත තුබා හෙස් ගිනි ගිනි පෙරිය කමල ඉර්‍ලලඩි ගිනි අලගු සෙල්ලූම්. ඕන් භුතානා හා භුන්ජෙතුමා ලා තොඩා දෙහො කලි නොඩා ජලි රජ බාහුන් ශ්‍රී ජාලාහලබාහෙජා ලඩිහරි හ්‍රීස් තොඩා ජාකාජාලරෙහි ලල්මි සිවිසි ජෙතා වුහි ගිනි ගිනි වාඩිතා විර ජා සෙල්ලම්. ඕන් පුල්ඩිමාරා දොහොම් විසනු භාරෙසු කඩි අකිලාඩි හො ජලා හෙඃ ස්මිල්ලා නොතවි තල්ල හෙහෙස් අල්ල හත්ති ජටා දෙහොස්ලා හොජාලා හෙ හෙස්කි හන්ති දෙදෙස් අරා දෙහෙස් තුකි ජල හො පෙස ගිනි ගිනි සෙල්ලූම්. ඕන් හරනර පුරකදිර නාරායනේ ඉරි ඉරින්දු පෙස ගිනි කාලි සෙගු සෙගු බනු බනු ගිනි හිර මුලජ්ලාඩීගිඩි ශැර කාවාප්‍රොරදෙස් දිල පිලලි බාහෙස්. කල්ලූ ප්‍රදෙස් හර හර හර්‍ලලාඩි ගිනි ගිනි අලගු සෙල්ලූම්. ඕන් ප්‍රොන් ජෙස්සං ක්‍රාව්ග්‍රෙන්ස්‍රෝන් බ්‍රහොස් ක්‍රන්තු හෙස් ජරංහෙන් තු ශොනක්‍රොන් හෙ හෙස් හ්‍රීන් ප්‍රොන්තු දෙඩෙස්දොන් දොන්තු අක්‍රාමිදෝස් හොරාත් තුජක්ක්‍රාම් ශ්‍රෝන්තු බාහෙස් ඉංක්ක්‍රාත් ශ්‍රෝංක්‍රෝබාහෙස් ගිනි ගිනි අලගු සෙල්ලූම්. ඕන් ඉරගුරළු ශක්ක්‍රම් දිවගුරළු ශක්ක්‍රාම් සුරිය ශක්ක්‍රාම් කවිචි ගිනි ශක්ක්‍රාම් විර පත්ත්‍ර ගිනි ශක්ක්‍රාම් ගිඩි ගිඩි ශක්ක්‍රාම් විෂ්නු කවිචි ගිනි ශක්ක්‍රාම් ගිනි ශක්ක්‍රාම් කුඹාධාරනී හර හර කල්ලූශර ගිනි ගිනි විත සෙල්ලූම්. ඕන් හ්‍රීන් අරුවලවු යෙල් සිවා සිවා කායුම් මුරි මුරිනේ යුම් ඇරි ඇරි කොඩාගුරු යුම්පෙපෙන් ගිනි ගිනි වා වා පුඩි පුඩි පුඩිබානුම් ඉරි ඉරි තුඩ වොනුම් ජලතුඩා වෙර කාලිම්ත සෙල්ලූම් කොයිරාඩි වයිරෙවට කාලි නමඃ

අලගු කැපිල්ල ලෙස නම් දරා තිබෙන මෙම මන්ත්‍රය යකුන් ලෙඩ කල විටද , වින වැදුණු විටද දොස් නැගුනු විටද ඒවා ඉවත් කිරීමට සෙත් ශාන්තිය සැලසීමට භාවිතා කරන මන්තරයකි . මම එයින් අහු දෙහි ජීවම් කලෙමි . මන්ත්‍ර පිරී ජීවම් කර අවසාන වනවිට රාත්‍රී හත පමණ වන්නට ඇත . අනතරුව අසනීප දැරිය මා ඉදිරියේ පැදුරක් එලා ඒ මත හිඳවීය .





මම හිසේ සිට පාදාන්තය දක්වා ගිරයේ තබාගෙන අහුත් දෙහිත් මතුරමින් ඒවා කපා වස් දොස් ඉවත් කර එම යාතුකර්මය අවසාන කෙළෙමි . දැරිය සුවපත් වූ බව දැනෙනවිට සිතට දැනුනේ මහත් අස්වැසිල්ලකි . නමුත් පොල් මුදලාලිගේ පුතා නැවතත් සක්‍රීය විය හැක .

" සරනේලිස් "

" ගුරුන්නාන්සේ ? "

" අර පොල් මුදලාලිගේ පුතාගෙන් කෙල්ල පරෙස්සම් කරගන්න . ඉක්මනටම මේ කෙල්ල බන්දලා දීලා ගමෙන් පිටමං කරන්න . නැත්නම් නිදහසේ පවුල් කන්නවත් මේ ළමයට පුළුවන් වෙන එකක් නැහැ "

" එහෙමයි ගුරුන්නාන්සේ . කෙල්ලව සනීප කරාට බුදුබව අත්වෙන්න ඕන . අපට ඒ වෙනුවෙන් දෙන්න නම් දෙයක් නැහැ . මම වී ගෝනි දෙකක් පැටෙව්වා කරත්තෙට . කරපු උදව්ව වී ගෝනි දෙකෙන් මැන්නා කියලා නම් හිතන්න එපා . අපේ පුළුවන් කමට දෙන දේ තරහා නැතිව බාරගන්න ගුරුන්නාන්සේ "

" ආ ඒ ඩිංගට වීත් පැටෙව්වද ? . මම එහෙනම් එක වී ගෝනියක් පන්සලට යවලා අනිත් එක වලව්වේ තියාගන්නම් අපේ ප්‍රයෝජනයට . එහෙනම් අපි යන්නම් සරනේලිස් . උදව්වට ආව අයටත් තේ කහට ඩිංගක් වත් හදලා දෙන්න බුලත් විටක් එක්ක "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" චූටි පුතේ එහෙනම් අපි යමු "

සරනේලිස් මාමගේ බිරිඳත් , දුවත් , සරනේලිස් මාමාත් අපිට වැඳ ආචාර කළහ . පැමිණ සිටි අයගෙන්ද වැඩි දෙනෙක් අපට ආචාර කළහ . අපි නිවසින් නික්මුනෙමු . මීළඟට තිබෙන්නේ සඳමලී නංගි මුණගැසී සිදු වූ සහ සිදුවන දේවල් පිළිබඳව කතා බහ කිරීමයි .

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


පලි : දෙයක් කියන්න තියෙනවා . කමෙන්ට්ස් වැටෙන විදියට මම දැන් විශ්වාස කරනවා මේ කතාවලට පාදක වෙච්ච දේවල් මම අහපු විදියටම මගේ හිතේ මවාගෙන තියෙන පරිසරයම ලියන කතාවේ මැවිලා තියෙනවා කියලා . ඒ වගේම මන්තර හා අමනුස්සයො ගැන මම ලියලා තියෙන විදියටම කියවන අයත් භාර ගන්නවා කියලා . ඒත් මේ මන්තර ඇත්ත ඒවා නෙවෙයි . මම ලියන කතා වලට මන්තර ඕන නිසා තමයි මම මෙහෙම මන්තර දාන්නේ . අනික මම දාන මන්තර ඔක්කොම වෙනස් කරලා තමයි මම දාලා තියෙන්නේ . ඒ නිසා හැමදාම කියනවා වගේ මන්තර කියෙව්වා කියලා වරදක් වෙන්නේ නැහැ .

ඒක නෙවෙයි කියන්න ඕනෑම දේ . මම කතාවලට මන්තර දැම්මා කියලා මම මන්තර දන්නවද නැත්ද කියලා මේ කතා කියවන අය ගැටළුවක් කරගන්න උවමනා නැහැ . ගොඩක් පෝස්ට් වල මම කියලා තියෙනවා වගේ කතාවෙන් එහාට හෝ ලියලා තියෙන ලිපියෙන් එහාට මන්තර ගැන වැඩිදුර මගෙන් නාහනවානම් තමයි මම කැමති .

මොකද බ්ලොග් එකේ ලියන්නේ කියන්න පුළුවන් උපරිම සීමාවටමයි . ඉන් එහා අහනවා කියන්නේ වයලීනෝ ගැන දාන්න අය දන්නවා මම කොහොම උත්තරද දෙන්නේ කියලා . ඒ නිසා ඒවා මගෙන් ඇහුවම මම කණට ගහන තාලෙට උත්තර දුන්නම වෙන්න පුළුවන් හිත් අමනාප වීම් ඇතිවීම වළක්වාගන්න ඕන නිසා තමයි මම එහෙම කිව්වේ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments:

  1. ලිපි පෙල හොදයි. ඒ වගේම මැවිල පේනවා.

    ReplyDelete
  2. ඔබ තුමාත් ඒ පොත් වලින් ප්‍රයෝජනයක් ගන්න. මිනිසුන්ට උපකාර කරන්න.

    ReplyDelete