සඳ එළියේ අසිපත ( 8 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

මන්තර මතුරන අතරවාරයේ සීයා අංජනම ඇර බැඳීමට අවශ්‍ය යකුන් ආවාදැයි පරීක්ෂා කරමින් සිටියේය . අවසානයේ සීයා යක්ෂ බන්ධනය කිරීමට අවශ්‍ය යකුන් ආ විට මුලින්ම ඔවුන්ට දොළ කැපකරදී ඉවත් වන්නට අණ කළේය . එහෙත් ඒ අණ ඔවුන් නොපිළිගන්නා නිසාවෙන්දෝ යක්ෂ බන්ධන මන්තර කියමින් නූලක් මතුර ගැට හිර කළේය .

පසුව පිදේනි තටුද රැගෙන කනත්තට ගිය සීයා යකුන් කනත්තේ ගසකට තබා කහ දියර ඉස ඇන ගසා නැවතත් වලව්වට ආවේය . සීයාගේ උදව්වට බෙරගල මාමාද සීයා සමග කනත්තට ගියේය . සියල්ල අහවරය . පසුව සීයා මගේ බෙල්ලේ ගැටගසා තිබුණු ආරක්ෂා නූල ඉවත් කළේය .

සඳ එළියේ අසිපත යනු කුමක්ද ?

මගේ සිතේ ඇති අලුත්ම ප්‍රශ්නය එයයි .

අද එතැන් සිට





සීයා යාතුකර්මය අවසාන කලද තවමත් එහි නියම අවසානයට ආවේ නැත . සීයා කරත්තය පන්සලට යවා නායක ස්වාමීන් වහන්සේත් තවත් ස්වාමීන් වහන්සේලා කීප නමකුත් වලව්වට වැඩම කරවීය . උන්වහන්සේලා මා ඉදිරියේ අසුන් ගන්වා රාත්‍රියේ සිට එළිවනතුරුම පිරිත් දේශනා කරවා අවසානයේ පිරිත්පැන් නහවා පිරිත්පැන් බීමට දීමෙන් අනතුරුව මගේ වස්දොස් ඉවත් වූ බව තහවුරු කරගන්නා ලදී . සීයා සියල්ල පිළිවෙලට කරවා මා ආරක්ෂා කරන ලද්දේ දම්වැලේ ඊළඟ පුරුක කැඩී ගියහොත් දම්වැලේ පැවැත්ම ගැන විශ්වාසයක් තැබීමට නොහැකි වන නිසා විය යුතුය .

පසුදා උදෑසන වනවිට සියල්ල නැවත යතා තත්ත්වයට පත්ව තිබිණි . සිදුවූ කිසිවක් පිළිබඳව සීය නැවත මාගෙන් කිසිවක් විමසා සිටියේ නැත . මමද ඒ පිලිබඳ මතකයන් අමතක කරදැමීමට කාලයට භාරදී අපගේ ඉදිරි පියවර පිලිබඳ සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටියෙමි . සුරනිමලගේ අතවැසියා අවදි කිරීමට සීයා සූදානම්ය .

නායක ස්වාමීන් වහන්සේ ලියා දුන් පිටපත සීයාද කියවා බලා නැවතත් මට දෙන ලදී . එහි යම් යම් කරුණු කාරණා කීපයක් සටහන් වී තිබුණු අතර ඒවායින් වැදගත් යැයි සලකියහැකි කරුණු කීපයක් මම මෙහි සටහන් කරමි .

දුටුගැමුණු කුමාරයා තම පියාණන් සමග ඇතිකරගත් ආරවුල හේතුවෙන් තම පියාණන්ට ස්ත්‍රී ආභරණ යවා තම අප්‍රසාදය පෙන්වූ ගාමිණී කුමරු අවසානයේ කොත්මලය ප්‍රදේශයට පැනගොස් වසර ගණනාවක් එහි සැඟවී හිඳිමින් තම අවස්ථාව ලැබෙනතුරු බලා සිටියේය . මේ සැඟවී සිටි කාලයතුලදී ගාමිණී කුමරුවෙනුවෙන් සූදානම්වන සේනාව පුරුදු පුහුණු කිරීම කරනු ලැබුවේ නන්දිමිත්‍ර , වේළුසුමන , සුරනිමල , පුස්සදේව ආදී දසමහා යෝධයින් විසිනි . මෙම යෝධයින්ගෙන් නන්දිමිත්‍රත් , සුරනිමලත් , පුස්සදේවත් දුටුගැමුණු කුමාරයාට වඩාත් සමීපතම යෝධයින් ලෙස කටයුතු කරන ලදී . කොත්මලේ සැඟවී සිටින අවදියේ වුවද තමා වෙනුවෙන් සේනාව සංවිධානය වන බව දුටුගැමුණු කුමාරයා දැන සිටියේ තමාගේ මේ සමීපතමයින් වෙත තබන ලද විශ්වාසය නිසාවෙනි .







කාවන්තිස්ස මහරජු කළුරිය කල අතර තිස්ස කුමරු විසින් විහාරමහා දෙවියත් , කඩොල් ඇතාත් රැගෙන දීඝවාපියට පලා ගියේය . තම පියා මල බව ආරංචි වීමත් සමගම මාගමට ආ ගාමිණී කුමරු තමා උපන් දිනයේම උපන් තමාගේ සෙවනැල්ල සේ සිටි කඩොල් ඇතාත් නොමැතිව කෙසේ යුධ කරම්දැයි සිතේ දෙගිඩියාවෙන් රජකම භාරගත්තේය . තිස්ස හා ගැමුණු කුමාරවරු එකිනෙකා හා යුධ වැදීමෙන් අනතුරුව කඩොල් ඇතු විසින් තිස්ස කුමාරයා ගසකට නංවා වහා දිව විත් දුටුගැමුණු කුමරු ඉදිරියේ දෙදළ බිම ඇණ තමා නැවත උරුමක්කාරයාවෙත පැමිණි බව සංඥා කළේය . විහාරමහා දේවිය නැවතත් මාගමට පැමිණි අතර මහා සංඝයාවහන්සේලාගේ උපායශීලී ක්‍රියාකලාපය අනුව තිස්ස හා ගැමුණු කුමාරවරු නැවතත් සමගි විය .

එළාර රජු හා සටන් වදින්නේ කෙසේදැයි කියා සැලසුම් කිරීම ආරම්භ කරන ලද්දේ ඉන් අනතුරුවය . තිස්ස කුමරු දීඝවාපිය ප්‍රදේශයේ වැව් අමුණු සියල්ල පිළිසකර කරවා අස්සක් මුල්ලක් නෑරම අස්වද්දා අටු කොටු පුරවා ආහාර අවශ්‍යතාවය සපුරාලීමට නූපසුබට වීරියෙන් යුතුව කටයුතු කල අතර ගාමිණී කුමරු වැඩිමනත් කාලය ගතකලේ යුධ සැලසුම් නිර්මාණය කිරීම සඳහාය . එහෙත් කොහෙන් ආරම්භ කලයුතුද කොහෙන් අවසන් කලයුතුද කියා ඔහු දන සිටියේ නැත .

දිනක් ගාමිණී කුමරු මහ වනාන්තරයේ තනිව ඇවිදිමින් ගස් වැල් අතර ඇවිදිමින් කල්පනා කරමින් සිටියේ තමාගේ මේ යුධ ක්‍රියාව කෙසේ සංවිධානය කරම්දෝ හෝයි කියාය . ගඟ අසලට පැමිණි ගැමුණු කුමරු දුටුවේ ගඟ එගොඩහ සිටින භාවනානුයෝගී තාපස කෙනෙකුගේ රූපයයි . එකවරම එම තාපස තෙමේ කඩුවකින් ගඟේ දිය දෙබෑවනසේ ගසා ගඟේ එගොඩටත් මෙගොඩටත් ගමන් කරන දර්ශනයෙන් ගාමිණී කුමරු පුදුමයෙන් පුදුමයට පත්වී ගියේය .






" ඔබතුමා කවුද ? "

ගාමිණී කුමරු විමසුවේ එපමණකි . තාපස වෙසින් ආ කඳ කුමරු ගාමිණී කුමරු සමග දීර්ඝ සංවාදයක යෙදී යුද්ධය කලයුත්තේ කෙසේද ? කලයුත්තේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමද කියා සියලු උපදෙස් ලබාදෙන ලදී . අවසානයේ රුහුණු කතරගම මහා දේවාලයට අදීගෘහිත කතරගම ස්කන්ධ කුමරුවන් ගාමිණී කුමරුට ලංකාව එකසේසත් කිරීමට ශක්තිය ලබාදීමට සමත් මංගල අසිපත ලබාදෙන ලදී .

මංගල අසිපත අතින්ගත් ගාමිණී කුමරු කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සහිතව එළාර පාලනය මුලින් උපුටාදැමීමේ සංග්‍රාමය ආරම්භ කළේය . එතුමාට ඒ සඳහා තිබුණු හොඳම ශක්තිය වූයේ කඩොල් ඇතාත් දසමහ යෝධයින් දසදෙනාත්ය . ඒ හා සමාන ඇත් අස් රිය පාබල හමුදාවක්ද එතුමාට සිටියහ . මෙම සේනාවෙන් කඩුව තම ආයුධය කරගත් සුරනිමල යෝධයා කඩු වාත්තු කිරීමේ සිට මුවහත තැබීමත් එම මුවහත එළාර සේනාවේ අවාසනාවන්ත ග්‍රීවයන් සිඳ දැමීමෙන් පරීක්ෂා කිරීම දක්වා සියලු කරුණු කාරණා පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් වීය .







කඳ කුමරුන් ගාමිණී කුමරුට දෙනලද අසිපත අතපත ගෑමට හෝ අවසර තිබුණු එකම තැනැත්තා වූයේ සුරනිමල පමණි . සුරනිමල මෙම අසිපත ප්‍රවේසම් කරන ලද්දේ තම ප්‍රාණය දෙවෙනිකොටය . කාර්යයන් අධික වීමත් සමගම සුරනිමල තමාගේ මෙම රාජකාරිය පැවරීමට තමාගේ දකුණත මෙන් සිටි රණබා නැමැත්තා තෝරාගත්තේය . අවසානයේ කඳ සුරිඳු දෙනලද අසිපත රණබාගේ රැකවරණය මධ්‍යයේ ගැමුණු කුමරුට ආශිර්වාද ලබාදුන් අතර එම අසිපත සතු බලයෙන් ගැමුණු කුමරු තම අභිමතාර්ථයන් ඉෂ්ටකරගත්තේය . එම අසිපත ක්‍රියාත්මක වූයේ හුදෙක් සතුරන් කඩුගසා දමන අසිපතක් ලෙස නොවේ . එය දෙවාභාරණයක් ලෙස ආශිර්වාද ලබාදෙන අසිපතක්ම විය .

අවසානයේ යුද්ධය ජයග්‍රහණය කළේය . ඉන් පසුව කඳ සුරිඳු දෙනලද අසිපතට වූයේ කුමක්ද ? එය රණබා භාරයේම පැවතුනේද ? නැතිනම් ගැමුණු කුමාරයා භාරයේ පැවතුනේද ? . කෙසේ හෝ මේ තැම්පත් කර තිබෙන්නේ රණබාගේ නොමළ ශරීරයයි .

රණබා යක්ෂ ගෝත්‍රිකයින්ට නෑකම් කියන පුද්ගලයෙකු බව සන්නසේ දීර්ඝව සඳහන් වේ . ඔහු පැවත එන්නේ පණ්ඩුකාභය රජුට රජකම් ලබාගැනීම සඳහා උදවු උපකාර කරන ලද චිත්තරාජ නම් යක්ෂ සේනාධිපතිවරයාගේ පරපුරෙන්ය . එනිසා ඔහු ලංකාවේ යක්ෂ නාග රාක්ෂස සහ දේව යන සිවු හෙළයේ එක් ශාකාවකට සම්බන්ධ පුද්ගලයෙකි . ඔහු ලංකාව එක්සේසත් කිරීමට දායක වන්නට ඇත්තේද එනිසා වන්නට ඇත . සන්නස ඔහුගේ අතීතය පිලිබඳ පවසන්නේ එපමණකි .


ඔහුව තැම්පත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාද කියා සන්නස කිසිවක් පවසන්නේ නැත . එහෙත් බෙහෙත් ඔරුවක බහා ඔහුව තැම්පත් කරේ ගැමුණු කුමරුගේ රාජකීය වෛද්‍යවරයා වන කපුරුනාථ වෙදමහතා බව සන්නසේ ලියවී තිබේ . ඔහුව අවදි කිරීමට කරන්නට තිබෙන්නේ මංජුසාවල ඇති ඖෂධ ඇතුළත් තෙල් වර්ග ඔහු තැම්පත් කර තිබෙන බෙහෙත් ඔරුවට වත්කිරීම පමණි .

දිඹුලාගල කඳු වැටියේ මෙම ශරීරය තැම්පත් කර තිබෙන ස්ථානයට යාමට අවශ්‍ය මාර්ග සටහන් සියල්ල සන්නසේ දක්වා තිබේ . කළයුතුව ඇත්තේ එම ස්ථානය සොයාගැනීමයි . එම ස්ථානයට ළඟකදී යනබවක් නම් පේන්නටවත් නොමැත . ඒ නිසා මේ දක්වා සිදුවූ සියල්ල මතක් කරමින් එම අතීතය රස විඳීම පමණක් දැනට ඉතිරිව තිබේ .

මමත් සීයාත් ඊළඟ දවස් දෙක තුන ගත කරන ලද්දේ දිඹුලාගල යාමට අවශ්‍ය දේවල් සූදානම් කරගැනීම සඳහාය . කලින් වතාවේ ගල් ගුහාව සොයාගැනීම වෙනුවෙන් ගමන් ගත් අවස්ථාවේ අප දෙනෙනා මුහුණ පෑ සමහර අවශ්‍යතා මේ වතාවේ සපුරාගෙන යාමට මමත් සීයාත් වගබලාගත්තෙමු . ඒ අනුව හුළු අතු කීපයක් , කල් තබාගත හැකි ආහාර කීපයක් , අල වර්ග , අවශ්‍ය තරමට සූදානම් කල අතර අලවංගුවක්ද විශේෂයෙන්ම ගත්තෙමු . ඊට හේතුව වූයේ හදිස්සියෙවත් මෙම ගමන අතරතුර අපට ගල්ගුහාවේ යාමට අපහසු තැනක් වුවහොත් එම අප අපහසුතා මගහරවා ගැනීමටයි .






අපි දිඹුලාගල යාමට මත්තෙන් ඊට කලින් දිනයේ පන්සලට ගොස් නායක ස්වාමීන් වහන්සේ හමුවීමට අමතක නොකලෙමු .

" අවසර හාමුදුරුවනේ "

" සුවපත් වේවා ! "

" හාමුදුරුවනේ චෛත්‍යයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවද මේ දවස්වල ? "

" ඒවානම් ඉතින් දායක සබාවේ අයගේ අනුදැනුම ඇතිව හොඳින් කෙරෙනවා අරනෝලිස් . මොකද දැන් අර දිඹුලාගල යන වැඩේට වෙන්නේ ? "

" හාමුදුරුවනේ මමයි චූටි පුතයි හෙට දිහාවට වගේ එහෙ යන්නයි කියලා හිතාගෙන ඉන්නේ . ඒ ගැන ඔබවහන්සේ එක්ක කතා කරන්න තමයි මේ පන්සලට ගොඩවැදුනේ "

" මේ කරන දෙයින් අපිට අවැඩක් වෙන එකක් නෑ කියලා අරනොලිස්ට විශ්වාසද ? "

" මටනම් බයක් නැහැ හාමුදුරුවනේ . මොකද මොනයම් හරි දෙයක් හරහට වෙනවනම් ඒ දේවල් පාලනය කරගන්න අපි දෙන්නට පුළුවන් වෙයි "

" ඒකනම් ඇත්ත අරනෝලිස් . ඒත් බලන්න කලින් වතාවේ මේ දරුවත් අසනීප උනේ ඔය දේවල් නිසා නේද ? "

" ඒවා ඉතින් අමනුස්සයෝ එක්ක හැප්පෙන අපිට හුරුපුරුදු දේවල්නේ හාමුදුරුවනේ . ඒවා ගැන ඉතින් වැඩිය වග වෙන්න කාරී නැහැ . කොහොම උනත් මමයි චූටි පුතයි මේ ගමන යනවා කියලා තමයි තීරණය කරලා තියෙන්නේ . ගිහින් ඔය ඉන්න මනුස්සයා කවුද කියලා බලලා කරන්න ඕන දෙයක් කරලා මේ වැඩේ පිළිවෙලක් කරනවා . දැන් ඉතින් අවුරුදු දහස් ගාණක් ජීවත් වෙච්ච කෙනෙක් නිසා ඒ මනුස්සයා කොහොම තත්ත්වයක ඉන්නවද කියලාවත් අපි දන්නේ නැහැ නෙව "

" අරනෝලිස් එහෙනම් පරෙස්සමට ගිහින් එන්නකෝ රත්නත්තරේ පිහිටෙන් "

" හාමුදුරුවනේ අපිට පිරිත් නූල් ටිකක් ඉල්ලගන්නත් ඕන කියලයි මේ ආවේ . පරෙස්සමට ඕන උනොත් කියලා මම හිතුවා පිරිත් නූල් අරගෙන යන්න "

" ඉන්න . ගිය සතියේ මම වැඩපු පිරිත් ගෙදරකින් මම නූල් බෝලයක් අරගෙන ආවා . ඒක මම අරනොලිස්ට දෙන්නම් "

නායක ස්වාමීන් වහන්සේ ආවාසගෙය තුලට ගොස් නූල් බෝලය රැගෙන නැවතත් වැඩියහ . පසුව නූල් බෝලය සීයාගේ අතේ තබා සීයාටත් මටත් පිරිත් කියා වටාපත සලා ආශිර්වාද කළහ .

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානිවා යානි ව අන්‌තලික්‌ඛෙ
සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු
අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.

තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ
මෙත්‌තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං
තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා

භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං
සඞ්‌ඝං නමස්‌සාම සුවත්‌ථි හොතූති.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.

" සාධු සාධු සාධු !!!! "






සීයාත් මමත් නැවත වලව්වට පැමිණ සන්නසේ සිංහල පිටපතත් ඖෂධ මංජුසා ටිකත් හැර ගෙනයායුතු සියල්ල කරත්තයේ අසුරා පසුදින යාමට සිදුවන තීරණාත්මක ගමන පිලිබඳ සිතිවිලි මවමින් නින්දට ගියෙමු .

සඳ එළියේ අසිපත . එතකොට දුටුගැමුණු රජතුමාට ආශිර්වාද කලේ සඳ එළියේ අසිපත . සඳ එළියේ අසිපත , චන්ද්‍ර හාෂ් අසිපත , කඳ සුරිඳු දුන් අසිපත මේ තුන තුනක්ද ? නැත්නම් එකක්ද ? . රාවණාගේ අසිපත කඳ සුරිඳුට ලැබුණේ කෙසේද ? . විසඳාගත නොහැකි ප්‍රශ්න වල ගිලෙමින් සිහින මැවීම එක් අතකට හරිම ආශ්වාද ජනක කටයුත්තකි . කෙතරම් එයින් මිදෙන්නට සූදානම් වුවද නැවත නැවතත් මා ගිල ගැනීමට එම අතීත වර්තමාන කාලයන් මා පසුපස හඹාඒම නතර කරගත නොහැක .

ලංකාව එක්සේසත්කරන ලද මහා රජවරුන්හට ආශිර්වාද දුන්නේ මේ චන්ද්‍රහාෂ් අසිපතද ? . එතකොට රාවණා රජතුමාගේ කාලයේ ඉඳලා මේ අසිපත තිබෙන්නේ කා ලඟද ? . සමහරවිට ලංකාව එක්සේසත් කරනු ලබන රජවරුන්ට මෙම චන්ද්‍රහාෂ් අසිපත යක්ෂ නාග රාක්ෂස දේව යන සිවු හෙළයින් විසින් ඒ ඒ කාලවලදී ලබා දෙන්නට ඇත .

කෙසේ වෙතත් දැන් මේ අප අවදි කිරීමට සූදානම් වන්නේ මෙම චන්ද්‍රහාෂ් අසිපතේ ආරක්ෂකයාද ?

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment