සඳ එළියේ අසිපත ( 6 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

පසුගිය කොටසින්

" සීයේ මේ තියෙන්නේ ඒ ගල් දොරටුව වෙන්න ඕන "

මම මහත් සන්තෝෂයෙන් කීවෙමි . සීයා වහාම මාදෙසට ආවේය .

" ඇත්ත නේන්නම් . මේ තියෙන්නේ දොරටුවක සලකුණක් තමයි . මේක අරින්න ඕන නම් අපිට අර ගල් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් . ඒත් ගුරුකම් කරලා තියෙන නිසා අපි ඒ පිළිවෙලටම කරමු . මේවායින් මොන මොන දොස් ඇතිවෙයිද දන්නෙත් නැහැනේ "

" සීයේ මොකද කරන්නේ දැන් ? . අපි අද මෙතන ඉන්නවද නැත්නම් ආයෙත් යනවද ? . දැන් පාර දන්නා නිසා අපි දෙන්නට ඉක්මනටම මෙතනින් පිටත්වෙලා කරත්තය නවත්තලා තියෙන තැනට යන්න පුළුවන් වෙයි "

" හ්ම්ම් එහෙනම් ඉක්මන් කරලා යමු . දැන්මම ඇඳිරි වැටිලද දන්නේ නැහැ . අපි මේක ඇතුළට එනකොටත් හවස් වෙලා නෙව තිබුණේ "

සැබෑවකි . සීයාත් මමත් ගුහා දොරකඩට පැමිණෙන විට ඇඳිරි වැටී තිබිණි . අවසානයේ අපට සෙවනක් වූයේ ඉහත කී ආරණ්‍ය සේනාසනයේ භාවනා කරමින් සිටි භික්ෂූන් වහන්සේය . උන්වහන්සේ අපට රාත්‍රී ආහාරයත් නවාතැනුත් දුන්හ . ඇත්තෙන්ම උන්වහන්සේ පතන්නාවූ බෝධිය ළඟා කරගැනීමට ඒ කල පිංකම හේතු වාසනා විය යුතුය .

පසුදා උදෑසන අප පිටත් වීමට මත්තෙන් උන්වහන්සේ අපට අවවාදයක් දුන්හ........................

අද එතැන් සිට

" උපාසකතැන ආව කාරණාව මුදුන්පත් කරගත්තා නෙව ? " 

" එහෙමයි හාමුදුරුවනේ " 

" උපාසකතැන මතක තියාගන්න ඕන මේ වටපිටාව දැන් හැදිලා තියෙන්නේ අතීතයේ රජදරුවන් ජීවත් වෙච්ච කාලයට අනුව නෙවෙයි කියන එක . ඒ නිසා උපාසකතැන මේ උත්සාහ ගන්න කාරණාව මුදුන්පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම තව එක අවවාදයක් දෙන්න කැමතියි " 

" එහෙමයි හාමුදුරුවනේ " 

" උපාසක තැන අපේ ඉතිහාසයට යම් යම් දේවල් ඒ ඒ කාලවලදී එකතුවෙලා වගේම ඉතිහාසයෙන් ඉවත්වෙලා ඉවත්කරලා නැතිවෙලාත් තියෙනවා . ඒ නිසා ඒ ගලාගෙන ආව ඉතිහාසය මේ කාරණාව නිසා උඩුයටිකුරු වෙන්න දෙන්න එපා . තමන්ගේ සිත තැම්පත් කරගෙන කටයුතු කරන්න . සිහියෙන් කටයුතු කරන්න . තමන්ට වඩා හත් අට ගුණයක බලවේගයක් එක්ක තමයි මේ උපාසක තැන කරන රාජකාරියට සම්බන්ධ වෙලා තියෙන්නේ . ඒ නිසා ඒ දේවල් සිහියෙන් කරන්න . 

නැත්නම් උපාසක තැනගේ ජීවිතයට වෙන්න පුළුවන් අතුරු ආන්තරාවල් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වෙන්න පුළුවන් . තමන්ට අහන්න ලැබෙන ඉතිහාසය නිසා අපට ලැබිලා තියෙන ඉතිහාසය වෙනස් කරන්න උත්සහ කරන්න එපා . උපාසක තැන මේ කරන්න යන රාජකාරිය උපාසක තැනට පෙර ජාතියේ ඉඳලා උරුම වෙලා ආව දෙයක් . ඒ නිසා ඒ රාජකාරිය ඉෂ්ට කරන්න . මේ දේ හරහා තමන්ගේ බලය වැඩිකරගන්නත් උත්සාහ කරන්න එපා . තමන්ට අයිති දේ විතරක් කරන්න . තමන්ට අයිති දේ විතරක් ගන්න . අනිත් දේවල් සේරම අයිති අතීතයට . ඒ කියන්නේ සොබාදහමට " 

" එහෙමයි හාමුදුරුවනේ . මට තේරෙනවා ඔබ වහන්සේ කියන දේ . මම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්නම් . ඒ වගේම ඔබවහන්සේ කිව් දේවල් සිහියේ තියාගන්නම් . මම ආයෙත් මේ ආරණ්‍යයට එනවා ඔබෙවහන්සේ හමුවෙලා බණ දහම් ගැන ඉගෙන ගන්න " 

" එපා උපාසක තැන . මම විහාරයක කාලයක් වැඩ ඉඳලා ඒ තැන මගේ අරමුණට බාධාවක් නිසා ආරණ්‍යවාසී වෙච්ච හාමුදුරු කෙනෙක් . මහා කාශ්‍යප මහරහතන්වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ ආරණ්‍යවාසී වීම ආර්ය මාර්ගයේ ගමන් කරන තැනැත්තාට වඩාත් වැදගත් කියලා . ඒ නිසා උපාසක තැන මේ පළාතට ආයෙත් එන්න උවමනා නැහැ . ගමේ කිසිවෙකුටත් මම ගැන නොකියා ඉන්නවානම් තමයි මම කැමති " 

" එහෙමයි හාමුදුරුවනේ . අපට එහෙනම් යන්න අවසර . ගමේ සීමාවේ අපේ කරත්තේ නවත්තලා ආවේ අපි . අවශ්‍ය දේවල් අරගෙන අපි ආයෙත් එනවා . ඇවිත් ඒ පූජාවල් ඔක්කොම සිද්ද කරලා අපට උවමනා කරන දේවල් අරගෙන මෙහෙන් පිටමං වෙලා යන්නම් අපි . ඔබවහන්සේගේ අරමුණ ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා " 

" සුවපත් වේවා ! "





සීයාත් මමත් වනාන්තරයේ මහා රූස්ස ගස් මෙන්ම කුඩා පඳුරුද පසුකරමින් නැවතත් වනාන්තරයේ මායිමට පැමිණියෙමු . 

" සීයේ අපිට තනියමම අර ගෙනාව දේවල් අරගෙන එන්න පුළුවන් වෙයිද ? " 

" පුළුවන් වෙයි . කුකුලෙක් හොයාගන්න එක තමයි මේ වෙලාවේ කරන්න අමාරුම දේ . අනිත් දේවල් නම් සේරම ගෙනැල්ලා ඇති . බලමු . කරත්තය නවත්තලා ආව ගෙදර අය මම අඳුරන අය . ඒ අයට කියලා කුකුලෙක් හොයාගන්න පුළුවන් . නැත්නම් ගමේ ඇවිදලා කුකුලෙක් හොයාගමු " 

සීයාත් මමත් කරත්තය නවතා තිබෙන නිවසට  පැමිණියෙමු . අවසානයේ එම නිවසින්ම කුකුළෙකු සොයාගැනීමටද හැකියාව ලැබිණි . පූජාවල් සඳහා අවශ්‍ය කරන සියල්ල ගෝනි දෙකක පිළිවෙලින් අසුරාගත් සීයාත් මමත් වනාන්තරයට ඒමට පිටත්වන විට එම නිවසේ සිටි අයට පැවසූයේ තෙලක් හිඳීමට අවශ්‍ය පොතු සොයා ගැනීමට වනාන්තරයේ ගසක් පේ කිරීමට මෙම පූජා ද්‍රව්‍ය රැගෙන යන වගයි . එයින් ඔවුන්ගේ සැකය දුරුකළ සීයාත් මමත් කරතියාගත් ගෝනිත් සමගම මහ වනාන්තයට ඇතුළුවී නිධානය තැම්පත් කර තිබෙන ගල් ගුහාව බලා පිටත් වීමු . 

අපගේ ගමන වේගවත් නුවූයෙන් ගල් ගුහාව වෙත යාමට තරමක කාලයක් ගතවිය . සීයා ඒ ගමන අතරවාරයේ පූජාව කළයුතු ආකාරය පිළිබඳව මා සමග සාකච්චා කරන ලද්දේ සන්නසේ අදාළ දේවල් ලියා කියා මතක තබාගත්තේ මම පමණක් වීම නිසා විය යුතුය . කතාවෙන් කතාව ගල් ගුහාවේ ආරම්භය වෙත ආ අපි මහන්සි නොබලා ගල් ගුහාවේ ඇතුළට ඇතුල් වූයේ කරත්තය නවතා තැබූ නිවසින් සාදාගත් හුළු අතුද පත්තු කරගැනීමෙන් පසුවය . 

නිධන් දොරටුව පිහිටා තිබෙන ස්ථානයේ පූජාව තැබීමට සමතල කරන ලද ගල් තලාවක් පිහිටා තිබුණේය . එම ගල් තලාව මත පොල් තෙල් පහන් කීපයක් තබා පළමුවෙන්ම අපි ඒවා දැල්වීමු . ඉන්පසුව හුළු අතු නිවා දමා පසෙකින් තබා ගෝනිවල බහා රැගෙන ආ දේවල් එකින් එක රැගෙන පිටතින් තැබුවෙමු . වේලනලද දිය මස් ගොඩ මස් දියගොඩ මස් හාල් පොල් කපුරු කට්ටකුමන්ජල්  දෙසඳුන් කල්ක පොල් මල් පුවක් මල් ලදපස්මල් ඇතුළුව පූජා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඒවායේ අන්තර්ගත විය . 







පළමුවෙන්ම සීයා කරන ලද්දේ පූජාව තැබීමට නියමිත ගල් තලාවේ බුලත් කොළ ඇතිරීමයි . බුලත් අත් දහයක දොළහක පමණ සෑහෙන පුලත් කොළ එහි ඇතිරීමට සිදුවිය . පසුව අවශ්‍ය කරන වේලන ලද මස් මල් පහන් හඳුන් කූරු කපුරු සඳුන් ආදී සියලු ද්‍රව්‍ය එහි තබා මැටි කලයට වතුර පුරවා එයද ආසනය මත තැබීය . කුකුළා එම වතුර කලය ආසන්නයේ තබා සීයා මා දෙස බැලුවේ තවත් කරන්නට දෙයක් ඉතිරි නැති බව හැඟවීමටය . මන්ත්‍ර මැතිරීම වෙන වෙනම සිදුකිරීමට සීයාත් මමත් කථිකා කරගතිමු . සමහර මන්ත්‍ර වේගවත්ය බලවත්ය , සමහර මන්ත්‍ර බලයෙන් අඩු එහෙත් අනිවාර්යයෙන් මැතිරිය යුතු ඒවාය . සූනියම් දෙවියන්ට නමස්කාර කියූ සීයා සූනියම් දෙවියන්ට ආරාධනා කිරීමට මන්ත්‍ර පිරුවේය .

සාධු සාධු සාධු..........................!






තෙදවරම් පස්වාන් දහසකට ආයු ලැබ ඉරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ සිටින සිරසමත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොලොඟුන් දහතුනකින්ද රකුසු මුහුනකින්ද බඳවට නයින් ජාලයක්ද එක උරයක කරවැලුන් හතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිනිකබලක්ද ගෙලවට නයෙකුද හිස සිට දෙපතුල දක්වා නාගයන් දෙදෙනෙකුද දරා දිවිසම් වතින් සැරසුන නිල්වන් දේහයකින් යුතුව නිල්වන් අසෙකු පිට පැන නැගී යක්ෂ රාක්ෂ නාග රාජ කුමාරාදී දස අවතාරයකින් පෙනී සිටින දස දෙස විපුල කීර්ති සත්‍යානුභාවයෙන්ද තවද මෙම ශ්‍රී ලංකාද්වීපයේ සහ එක්ලක්ෂ හතලිස්දහසක් ගණ කෝවිල්වලට යහතින් දිවස් ලූ කබලෑවට අරක් ගත් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේට දෙපා වැඳ මා කරන කන්නලවුව ඔබගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඔබවහන්සේ නමින් ඔප්පු කරන සුවඳ දුම් මල් පහන් පුද පූජා පිළිගෙන මේ ආතුර ප්‍රාණ කාරයන්ට වැදී ඇත්තාවූ සකලවිද උවදුරු දුක්ඛාන්ධකාරයන් දුරින් දුර නසා මොවුන් වෙත බැල්ම දිෂ්ටිලා විනකර අම්ලාකර සිටින්නාවූ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් සැනෙකින් පලවා හැර සෙත් සාන්තිකර සකල රෝගාබාද ධූරීභූතකර ආයු රක්ෂාකර දී වැඩ වදාරන සේක්වා !!!

ශිව මස්තු නමෝ රාමඃ
කන්ධ සේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණී කණ්ඨ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ


....................................ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ................................

උගුර පාදමින් හඬ තීව්‍ර කරන සීයාගේ මන්ත්‍ර හඬ මුළු ගල්ගුහාවම ගුගුරා යන තරම් වේගවත් විය . විටෙක එම මන්ත්‍ර හඬ වැඩිවනවිට ගල් ගුහාවේ ගල් කුට්ටි කඩා වැටේයැයි මම බියපත් වීමි . එහෙත් එසේ වන්නේ නැත . නමුත් මන්ත්‍ර හඬ සියල්ල අභිබවා ඉස්මතුවී පැමිණියේය . සූනියම් දෙවියන්ට ආරාධනා කල සීයා බහිරව පූජාව තැබීම සඳහා බහිරව දේවතාවන්ට ආරාධනා කළේය 






.............ඕන් කල්ල කූට ධාරනේ ශ්‍රී බහිරවයා වර වර විකට බහිරවයා වර වර නව කොටි බහිරවයා වර වර අෂ්ට භුජංග සංහාර බහිරවයා වර වර මාලනී කපිල බහිරවයා වර වර නීලගිරි මණි මකුර ධාරණී බහිරවයා වර වර උග්‍ර තේජ තේජාන් බල පරාක්‍රම බහිරවයා වර වර භූම දේවතාවී ඉඩ හැරී බහිරව දේවතාවී අණින් මහා බහිරව දේවතාව වරවර ඇවිලී ඇවිලී දැවටී මකුට උග්‍ර තේජ බහිරව දේවතාවා වර වර ..............................

බහිරව දෙවියන්ට ආරාධනා ස්තෝත්‍ර ගායනාකර මන්ත්‍ර මතුරා බහිරව දෙවියන්ට පූජාව කැප කළ සීයා බහිරව දේවතාවා වෙනුවෙන් තබන ලද වතුර කලය ගෙන නිධන් දොරටුව වෙත පියවර කීපයක් ගමන් කර නිධන් දොරටුව තෙමී යන පරිදි එම වතුර භාජනය විසිරුවා හැරියේය . ඒත් සමගම බහිරව දේවතාවට කළයුතු සත්කාර අවසාන විය . දැන් එළඹ තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවය . ඒ නිධානය ආරක්ෂා කරන දිෂ්ටි ගෙන්නවා නිධන් දොරටුව විවෘත කරගැනීමය . 

සීයා නවනීල දිෂ්ටි මන්ත්‍ර මතුරමින් අමනුෂ්‍ය දිෂ්ටි සඳහා අපගේ රඟමඩල කැපකරදීම ආරම්භ කළේය . 



................ඕන් ඉංදීර වඩිග නවනීල දිෂ්ටී වාරුං වාවා 
සිව වඩිග නාරායනේ ක්‍රේම සූනියන් දිෂ්ටි වාරුං වවා 
ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි වාවා 
ශ්‍රී විෂ්ණු ඔඩ්ඩි ගරුඬ මණි මකුට වෛරොඩී දිෂ්ටි වරෙන් 
ඉර හඳ පලාගෙන වරෙන්
මහමෙර දෙබෑ කරගෙන වරෙන් 
සක්වල වෙව්ලුවාගන වරෙන් 
විල් හතේ නොසිට වරෙන්
ඇලි හතේ නොසිට වරෙන් 
කෛලාස යුගන්ධාර සප්ත සමන්තකූට පර්වතේ නොසිට වරෙන්
පොත්ගුල් හතරේ ඇණ යතුරු ඉගිළී වරෙන් 
නිධන් යතුරු හිල් ඉගිලීගෙන වරෙන්
රාවණාගේ යගල් කෝවිලේ අණ යතුරු පිපිරී වරෙන්
විෂ ධූම කෙතුමාලාවෙන් වරෙන් 
සොහොන් කටුවෙන් වරෙන් 
මදන කටුවෙන් වරෙන්
දිෂ්ටි දිෂ්ටි මා දුන් සඳුන් මල් පහන් දොළ පිලි කැපකර ගනින් 
මා මේ කී දේ බලාගනින් යාලුවා වරෙන් 
රීරි කුමාරයා වරෙන් 
තුං බිල්ලෙ මදන සොහොන් යක්ෂයා යක්ෂනී වරෙන් 
විකාර මදන පිල්ලි කුමාරයා වරෙන් 
රතිකාම මල් මදන මෝහිනී වරෙන් 
නීල රෑම දිෂ්ටි දැඩිමුන්ඩ දේවසැර දිෂ්ටි දෙවොල් සමයං
කුරුඹු දිෂ්ටි ඔඩ්ඩි කුමාර සිවරාම දිෂ්ටි දිෂ්ටි එස්වාහඃ......................................


සීයා එකදිගටම මන්ත්‍ර මතුරමින් දිෂ්ටි ගෙන්වීමට ආරාධනා කරන අතරවාරයේ අතින් සංඥා කරන ලද්දේ මාහට මැතිරීමට නියමිතව තිබුණු මන්තර මැතිරීම ආරම්භ කිරීමටය . සීයාද මමද හරි හරියට මන්තර මැතිරීම සිදුකරගෙන යන විට කට්ටකුමන්ජල් කුඩු අතට ගත් සීයා ඒවා අසල තිබෙන ගිනි ගොඩට දැම්මේය . එයින් නැගුනු දුම් වලාවන් ගල් ගුහාව තුල අතුරු සිදුරු නැතිව විසිරී ගියේය . සීයා අඩි පොළවේ හප්පමින් වියරු වැටුණු විලාසයෙන් මන්තර මතුරනවිට ඒ හඬ සමග කුකුලාගේ කෑගැසීමද වේගවත්විය . 

කුකුලා තම ජීවිතය පූජා කිරීමට ආසන්නවී ඇති බව එයින් සටහන් විය . කෙමෙන් කෙමෙන් අවසානය ළඟාවිය . සීයාගේ හඬේ උච්චතම අවස්ථාවත් මගේ හඬේ උච්චතම අවස්ථාවත් සමග කුකුලාගේ කෑගසීමද උච්චත්වයට පැමිණ එකවරම කුකුලා නිහඬවනවාත් සමගම නිධන් දොර පුපුරා බිමට පතිත විය . සැබවින්ම එය අදහාගත නොහැකි මොහොතකි . එහෙත් කලින් අප නිධන් ගන්නා වෙලාවල් වලදීද මෙවැනි අත්දැකීම් අපට ලැබී තිබිණි . 

" පුතේ එහෙනම් ඔයාම එතනට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා " 

" සීයත් යමු , මට තනියම යන්න ටිකක් හැකයි වගේ " 

" දැන් ඉතින් සියලු දෝසයන් සමනය වෙලා තියෙන වෙලාවේ මොනවට බය වෙනවද . ගිහින් බලන්න . මේ රාජකාරියේ වැඩිමනත් උරුමයක් තියෙන්නේ මට වඩා පුතාට නෙව " 

මම සෙමෙන් සෙමෙන් නිධන් දොර පුපුරා වැටුණු ස්ථානයට ගොස් විපරම් කර බැලීමු . කළුගල් කුට්ටි කීපයකින් නිධන් පෙට්ටිය වටකර තිබිණි . 

" සීයේ අපට ඕන දේ තියෙනවා . මේ ගල් ගෙඩි ටික පැත්තකට කරලා තමයි මේ නිධන් පෙට්ටිය බලන්න වෙන්නේ " 

" ඉන්න එහෙනම් මමත් එන්නම් " 

සීයාත් මමත් එක්ව කළුගල් කුට්ටි ඉවත් කර නිධන් පෙට්ටිය ඉවතට රැගෙන එය විවෘත කළෙමු . අගුලු නොදා තිබුණු එම පෙට්ටිය දඹ රන් පෙට්ටියක් විය යුතුය . 

" සීයේ මේක දඹ රන් පෙටියක්ද ? " 






" ඒවගේ තමයි මටත් පේන්නේ . ඒකනේ කඩන්නේ බිඳින්නේ නැතිව ලේසියෙන්ම අරින්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ . ඒත් කමක් නැහැ මේකේ තියෙන ඖෂධ මන්ජුසාවල් ටිකට අතුරු ආන්තරාවක් වෙන්නේ නැතිවෙන්න වෙන්නැති මෙහෙම තැම්පත් කරලා තියෙන්නේ . නැත්නම් අගුල් කඩනකොට මේ පෙට්ටියටයි ඇතුලේ තියෙන දේවල්වලටයි අතුරු ආන්තරාවක් වෙන්න පහසුයි නෙව "

සීයාත් මමත් එම දඹරන් පෙට්ටිය විවෘතකර එහි ඇති ඖෂධ මංජුසා සියල්ල සහ සන්නස රැගෙන පෙට්ටිය වසා කලින් එය තැම්පත් කර තිබුණු ස්ථානයේම තැම්පත් කළෙමු . එය අපට අයිති නැති අතීතයට අයිති වස්තුවකි . ස්වභාවධර්මයා එහි ඉරණම තීරණය කරනු ඇත . භාවනානුයෝගී හිමියන් අපට දුන්නේ එම අවවාදයයි . 

සීයාත් මමත් ඖෂධ මංජුසා සහ සන්නස ප්‍රවේශම් සහිතව රැගෙන ගල්ගුහාවට සමුදී කල් වේලා නොගෙන එදින රාත්‍රියේම කරත්තය නවතා ඇති නිවසට ගොස් එහි වූ අයට ස්තූති කර වලව්ව බලා නිකම් ගියෙමු  . 

ඊළඟ කොටසින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පලි : අද කතාව වැඩිය දිගට ලියන්න ලැබුණේ නැහැ . තවත් ඉස්සරහට ලියලා වැඩක් නැති නිසා මෙතනින් නතර කළා . මේ දවස්වල වයලීනොට වැඩ වැඩි නිසා කතාව ලියන්න වෙන්නේ නැහැ . කැම්පස් එකේ එක්සෑම් ළඟ නිසා වෙලාවක් හොයාගන්න බැරිවෙයි ඉදිරි දවස් වලදී . ඒ නිසා අදින් ටික කාලෙකට කතාව නතර වෙනවා . ආයෙත් අතර මැද දවසක කතාව ලියන්න වෙලාවක් නොලැබුණොත් ජුනි මාසයේ 17 වැනිදා තමයි කතාව ලියන්න වෙන්නේ . කතාව ගැන ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා . ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙත් කතාවේ මැද හරියේදී තමයි . ඒ නිසා දැන්ම එවාට මුකුත් කියන්න බැහැ . ඒ නිසා සමාවෙන්න ඕන ප්‍රශ්න අහපු අය . ඒවගේම කතාව ලියන්න පරක්කු වෙන එක ගැන සමාව ඉල්ලනවා . අවිද්‍යාව වගේම විද්‍යාවත් ඉගෙන ගන්නෙපාය ඇත්ත නැත්ත බලන්න . එහෙනම් වයලීනෝ ගිහින් එන්නම් . 


හදිස්සියේම ඇති වූ ගංවතුර හේතුවෙන් විශ්වවිද්‍යාල විභාග කටයුතු කල් ගොස් තිබේ . එබැවින් මෙම කතාවේ ඉතිරි කොටස් ජුනි මස 25 වැනි දින සිට පළකෙරෙන බව කරුණාවෙන් සලකන්න .

සඳ එළියේ අසිපතත් එක්ක රැදී ඉන්න ....................
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment