කළු කුමාර වෛරෝඩිය ( 2 )




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

පසුගිය කොටසින්

" මටත් ඕක දවසක් පුතා කිව්වට මම ඒක එහෙමම අමතක වෙන්න දීලා තිබුණේ දෙන්නට ආස්සරේ කරලා බලන්න ඉඩ දීලා . අපේ පැත්තෙන් නම් විරුද්ධත්වයක් නැහැ "

" එහෙනම් අරනෝලිස් අයියේ ආයෙ චාරිත්තර වාරිත්තර මොකටද මේ මූණට තියෙන අපේ ගෙවල් දෙකේ . මගුල එහෙනම් තීන්දුයි . අපේ පැත්තෙනුත් විරුද්ධයක් නැහැ "

" සීයේ ඒත් දැන්මම විවාහ වෙන්න නම් අපේ බලාපොරොත්තුවක් නැහැ "

" ඒකට කාරී නැහැ . පොරොන්දම් බලලා අපල උපද්‍රව නොගැළපීම් එහෙම තියෙනවනම් ඒවාට පිළියම් එහෙමත් කරලා දෙන්නට හොඳ කාලයක් ආවම කියන්න . දෙන්නම කේන්දර බැලිල්ල ගැන දන්නෙවනේ . ආයේ අපි ඕවාට ඇඟිලිගහන්න උවමනා නැහැනේ ? "

" හොඳයි සීයේ "

පසුව වෙද සීයා වලව්වෙන් නික්ම සීයාත් සමග වෙද ගෙදරට යාමට පිටත්ව ගියේය . සීයා වෙද සීයා සමග වලව්වේ කඩුල්ල අසලට ගොස් නැවතත් හැරී පැමිණියේය . තවමත් මම ඉස්තෝප්පුවේ කරකියාගත දෙයක් නොමැතිව පුස්කොල පොත පෙරලමින් සිටියෙමි . අම්මාත් ආච්චිඅම්මාත් ඉවත්ව ගොසින්ය . සීයා මාහා කිසිවක් නොපවසා තමන්ගේ අදහස කවියකින් දන්වමින් මා සිටි තැන පසුකරමින් ඉවත්ව ගියේය .

කාල දේවල තපසු රජ මාලිගෙට වැඩි ජය මංගලම්
බාල රූබර කුමරු තපසුගෙ අතට වැඩි ජය මංගලම්
කෝල කේදර නොවී දෙපතුල සිරස පිට තැබූ මංගලම්
සීල පිවිතුරු බලෙන් වේවා මොවුන් හට ජය මංගලම්





අද එතැන් සිට 

කාන්තාවන් යනු මහා පුදුමාකාර ජීවී සමූහයකි . විටෙක ඔවුන් මුළු ලෝකයම වුවද හිසේ හොවාගෙන දිය යටින් ගින්දර ගෙන යා හැකි සුපරික්ෂාකාරී බුද්ධිමත් චරිත වේ . එහෙත් ගතින්ද සිතින්ද කෙතරම් ශක්තිමත් වූවත් අවස්ථාව ලද විට ඔවුන් හා රත්වෙමින් පවතින වෙඬරු පිඩක් අතර මහා ලොකු වෙනසක් නැත . මටද වූයේ එවැන්නක්ය . එහෙත් එය මෙසේ සිදුවීම එක අතකට හොඳය . මේ පිළිබඳව මමත් ඇයත් වැඩිහිටියන් සමග කෙලින් කතාවකට ගියේ නම් ඇයත් මමත් මීට වඩා අපහසුතාවයකට පත් වේ . ඇය දැන් සතුටින් හිඳිනු ඇත . එය මට මහත් අස්වැසිල්ලකි .

සියාතු සීයාගේ පුස්කොල පොත කල්පනාවෙන් කියවීමට කෙතරම් තැත් කලද උදෑසනම වෙද සීයා රැගෙන ආ සුබ මංගල පණිවුඩය නිසාවෙන් මාගේ හිත එක්තැන් කිරීම තරමක් අපහසු විය . ජීවිතයේ වැදගත් සිදුවීම් එසේ සරළව සිදුවීම විස්මය ජනකය . මම පුස්කොල පොතේ පත්තිරු නැවතත් පිළිවෙලට තබා කම්බා දෙක එකට ලං කර නූලෙන් ගැටගසා සියාතු සීයාගේ පොත් සහිත පෙට්ටගමට දමා එය වසා අගුල් ලා කල්පනා ලොවේ මදක් සක්මන් කිරීමට ඇඳට වැටුනෙමි .

මතකය දිවගියේ එදා චෛත්‍යයේ කොත පළඳවන දිනයටය . මුළුමනින්ම පාහේ මතකයෙන් ඉවත්කරසිටි රණබා නැවතත් මාගේ මනසේ හොල්මන් කිරීමට පැමිණියේ එදිනය . ඔහු හරිම ගුප්ත චරිතයකි . සීයා සමග පමණක් කතා කල හෙතෙම මා නොදැක්කා සේ යන්නට ගියේ ඇයි ? . මට එය මහත් ගැටළුවකි . ඔහු වලව්වේ සිටි දින කිහිපයේ මාත් සමග වඩාත් කුළුපග වූවා පමණක් නොව ගජ තුරඟ සංහාරය නමැති නැකත් ශාස්ත්‍රය පවා මාහට ඉගැන්වීය . නමුත් පන්සලට නැවත ආ දිනයේ ඔහු කතා කිරීම තියා මාදෙස හැරී බැලුවේවත් නැත . වසර දහසක් පමණ නිදා සිටි ඔහු සැබවින්ම ගුප්ත විය යුතුය .

අම්මා වතාවක් කාමරයට පැමිණ දවල් කෑම ලෑස්ති බව දැනුම් දී ගියද සඳමලී නංගි පිලිබඳ කිසිවක් විමසුවේ නැත . සමහරවිට තාත්තා සවස පැමිණි පසු ඒ පිළිබඳව විමසීමට සිටිනවා විය යුතුය . සීයානම් කිසිවක් අසන්නේ නැත . ආච්චි අම්මාද එසේය . කෙමෙන් කෙමෙන් පියවි ලෝකයෙන් නික්ම නින්ද යාගෙන එත්ම කවුදෝ වලව්වට පැමිණ සීයා ඇමතුවා මදිවාට මාද පියවි ලෝකයට නැවත රැගෙන ආවේය .

" ගුරුන්නාන්සේ ..................... "

නැවතත් වතාවක් ඔහු හඬ ගාත්ම මම ඇඳෙන් බැස නිදිගැට කඩමින් ඉස්තෝප්පුව වෙත ගියෙමි . ඒ යන අතරවාරයේ සීයා වත්ත පහල සිට වලව්ව ඉස්සරහට පැමිණ ආ අමුත්තා සමග කතාව ආරම්භ කර තිබිණි .

" කවුද මේ ............... ? මට එච්චර නිච්චි නැහැ . ඒ කියන්නේ මේ ගමේ කෙනෙක් වෙන්න බැහැ "

" මම එහා ගමේ ගුරුන්නාන්සේ "

" ඒක තමයි . ඉතින් කියමුකෝ බලන්න ආව කාරණාව "

" ගුරුන්නාන්සේ මගේ කෙලී අද දවල් මහා හයියෙන් හූ කියාගෙන ගේ ඉස්සරහා සිහි නැතිව ඇද වැටුණා . කෙල්ලගේ හූ තිබිල්ලට වටපිට ඉන්න උනුත් ගේ වටේට එකතු වුණා . කෙලීට සිහි ආව වෙලාවේ ඉඳලා විකාරෙන් වගේ කෑගහනවා මට බිල්ලක් දීපල්ලා මට බිල්ලක් දීපල්ලා කියලා . ඒ මදිවට කියනවා මම උඹලා සේරම මරණවා කියලා . හනේ මන්දා ගුරුන්නාන්සේ මම මොනවා කරන්නද කියලා . එදා වේල හොයාගෙන ජීවත්වෙන අපිට මොකක්ද මේ වෙච්ච වින්නැහිය කියලා . අපි කාටවත් කරදරයක් කරන්නේ නැතිව ජීවත් වෙච්ච මිනිස්සු "





කියමින් ඔහු මිදුලේ ඇණ තියාගත්තේය . ඔහුගේ මුහුණේ තිබෙන්නේ බලාපොරොත්තු රහිත සේයාවකි . මම ඔහු ලඟට ගොස් ඔහු අස්වසාලීමට උත්සාහ ගත්තෙමි .

" මාමා දුක්වෙන්නේ නැතිව ඉන්න . අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා . එන්න මේ ඉස්තෝප්පුවේ බංකුවෙන් ඈඳීගන්න "

ඔහු මාත් සමග වලව්වේ ඉස්තෝප්පුවට පැමිණ බංකුවෙන් හිඳගෙන බලාගත්වනම බාලගෙන සිටියේය . සීයද ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ හිඳ කල්පනා කරමින් සිටියේය . මම සීයා දෙස බලනවිට " ඔහොම ඉන්න " යන සංඥාව අතින් පා ඔහු නැවතත් කල්පනාවට එළැඹියේය . වී ඇත්තේ කුමක්දැයි සීයා කල්පනා කරනවා විය යුතුය .

විනාඩි පහක් පමණ එම නිහැඬියාව වලව්වේ ඉස්තෝප්පුවේ පැවතියේය . ඒ අතරවාරයේ ආච්චිඅම්මා වලව්වට ආ අමුත්තාට කහට කෝප්පයක් සහ හකුරු කැබැල්ලක් පිළිගැන්වීය . ඔහු එයද බොන බවක් පේන්නේ නැත .

" මොකක්ද මේ ළමයාගේ නම කිව්වේ ? "

" මගේ නම සරනේලිස් ගුරුන්නාන්සේ "

" සරනේලිස්ලට තරහා කාරයෝ එහෙම නැත්ද ගමේ ? "

" තරහා කාරයෝ කියලා කවුරුවත් නැහැ ගුරුන්නාන්සේ "

" හ්ම්ම් . ඒකත් එහෙමද ? . කෙල්ලගේ වෙනසක් එහෙම තිබුණේ නැත්ද මේ දවස්වල මොනවා හරි වෙනදට වඩා ? "





" කේන්ති යනවා ටිකක් . ඇඟපතත් කෙට්ටු වෙලා ගියා . අපි පුළු පුළුවන් හැටියට කන්න බොන්නත් දුන්නා . ඒත් කෙල්ලට පත්තියන් වෙච්ච පාටක් තිබුණේ නැහැ . සතියක් විතර වෙන්නේ අදට එහෙම කෙට්ටු වෙන්න වෙලා . කෙල්ල හීනෙන් බය වෙලත් තිබුණා දවසක් . මට හාමිනේ වැඩි විස්තරයක් කිව්වේ නැහැ ඒත් "

" හ්ම්ම්ම්ම් . එහෙනම් අපි යමුකෝ ගෙදර . ගිහින් බලමු . දැන් ඔය දරුවා දවල්ට කාලා එහෙමද ඉන්නේ ? . අපි මොනවා හරි කාලා යමු . කෙල්ලගේ පරිස්සමට ගෙදර අය ඉන්නවනේ නේද ? "

" හොඳමයි ගුරුන්නාන්සේ "

විනාඩි දහයක් යන්නට මත්තෙන් සීයාත් මමත් සරනේලිස් මාමාත් දවල්ට කා වලව්වෙන් පිටත් විය . කෑම කෑවා කීවාට ඔහු වැඩිය කෑවේ නැත . ඔහු තමාගේ දියණියගේ මේ අමනුෂ්‍ය දෝෂය නිසා විස්සෝපයෙන් පසුවෙනවා විය යුතුය .

ඔහු මුලින් කරත්තයට ගොඩවීමට අකමැති විය . ඒ සීයටත් මටත් තිබෙනා ගරුත්වයට විය යුතුය . සාමාන්‍යයෙන් ගමක කරත්තයක ගමන් කරන උදවිය හැරෙන්නට අනෙක් උදවිය කරත්තයක ගමන් කරන්නේ අසනීප වූවිට පමණි . එහෙත් මෙවර සීයා සරනේලිස් මාමාව කරත්තයට නංවා ගත්තේ ඔහුගේ නිවසට යාමට පැයක් දෙකක් ගතවන නිසා ඒ අතරතුර තවත් දැනගත යුතු යමක් ඇත්නම් දැනගැනීමටය .

" ගුරුන්නාන්සේ . මෙන්න මෙහෙම දෙයක් නම් වුණා හැබැයි "

" කොහොමද දෙයක්ද ? "





" අපේ කෙල්ලට තීන්දු වෙලා තියෙන්නේ ගමේ අපේ පවුලට ගැළපෙන පවුලක ළමයෙක් . ඒත් කෙලීගේ පස්සෙන් ආවා ඒ ගමේ පොල් මුදලාලිගේ පුතා . ඌ මහා වසවර්තියා ගුරුනාන්සේ . ඒත් ඉතින් මොනවා කියලා කරන්නද . මම කරගන්න දෙයක් නැතිව මුදලාලිට මේ ගැන කිව්වා . මුදලාලි හරි හොඳ මනුස්සයා . මුදලාලි කිව්වා මේ ගැන පුතාට තරවටු කරන්නම් කියලා . ඒත් ඉතින් කරදරවල අඩුවක් උනේ නෑ . ඒ අතරේ තමයි මේ කසාදය තීන්දු කරේ . ඊට පස්සේ පොල් මුදලාලිගේ පුතා කට ගොන්නක් බීගෙන අපේ ගෙදර ඇවිත් කිව්වා මේ කසාදෙ කරන්න දෙන්නේ නෑ කෙල්ලව මරණවා කියලා "

" ආ ඒකත් එහෙමද . මම හිතන්නේ එහෙනම් පොල් මුදලාලිගේ පුතා තමයි මේක කරන්න ඇත්තේ . ඔය කොල්ලට නවග්‍රහ පූජාවක් කරන්න කියලා මම ඉස්සර දවසක් එහෙ ගිහින් කොල්ලගේ වේලපත්කඩය බැලුවා . මහ පොරිසාදයෙක් වෙන ලකුණු තිබුණා වේලපත්කඩයේ . මේ ඒවා තමයි පේන්නේ "

" මගේ කෙල්ල බේරලා දෙන්න ගුරුන්නාන්සේ "

" හ්ම් . යමුකෝ අපි . ගිහින් බලමු මොකද වෙන්නේ කියලා "

මම අංජනම ගත්තේ සීයාගේ අනුදැනුම ඇතිවය . සිදුවී ඇත්තේ කුමක්ද කියා පරීක්ෂා කර බැලීමට සීයා අංජනම සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වලදීද භාවිතා කරනු ලැබේ . අදාළ නිවසට ළඟා වන විට පැය එකහමාරක් පමණ ගතවී තිබිණි .

සරනේලිස් මාමගේ දියණිය තවමත් හූ තියමින් සිටිනු මට ඇසිනි . මම කරත්තයෙන් බැස අංජනමද රැගෙන ඒ දෙසට යාමට සැරසෙන විට සීයා මා නතර කළේය .

" දැන්මම ඒ පැත්තට යන්න එපා . පොඩ්ඩක් ඉන්න . අංජනමට හොඳ නැති වෙන්න පුළුවන් "

" හා සීයේ "

සීයා සරනේලිස් මාමා සමග ඔහුගේ නිවසට ඇතුළු විය . එය පිදුරු සෙවිලි කල තරමක් ලොකුවට සාදන ලද නිවසකි . වටේ පිටේ කීප දෙනෙකු නිවසට පැමිණ සිටියේ සිදුව ඇත්තේ කුමක්ද කියා බැලීමට විය යුතුය . මම ජේමිස් සමග කඩුල්ල අසල නැවතී සිටියෙමි . මද වෙලාවක් ගතවීමට මත්තෙන් සීයා නැවතත් පැමිණියේය .






" කළුකුමාර දෝසයක් වගේ . ඒත් ගුරුකමක් කරලා තියෙනවා . කෙල්ල උන්නත් තව දෙතුන් දොහකට අල්ලල්ලා හිටින්නේ නැහැ . ඒ නිසා හෙටම කරන දෙයක් කරන්න වෙනවා . සරනේලිස් අපිට අංජනම අරින්න බැහැ මේ ගෙදර . ගෙදර පිරිසිදු නැහැ . ඒ නිසා වෙන ගෙදරකට යන්න පිළියෙළ කරලා දෙන්න පුළුවන් නම් හොඳයි "

" අල්ලපු ගෙදර හොඳයි ගුරුන්නාන්සේ . අපි එහෙට යමු . එහෙ තරුණ ගෑණු ළමයි ඇත්තේ නැහැ "

" චූටි පුතේ අංජනමත් අරගෙන එන්නකෝ . සරනේලිස් අපිට මල් ටිකක් අඹ කොළ අත්තක් අඟුරු ටිකක් සූදානම් කරගන්න ඕන ඉක්මනටම "

" හොඳමයි ගුරුන්නාන්සේ "

සරනේලිස් මාමා අපව ඔහුගේ නිවස අසල නිවසකට කැඳවාගෙන ගොස් අපව හඳුන්වා දී අවශ්‍ය ද්‍රවය සූදානම් කරදීමට පිටව ගියේය . ඒ අතරේ සීයාත් මමත් අංජනම ඇරීමට එම නිවසින් පුටුවක් ඉල්ලාගෙන ඒ මත සුදු රෙද්දක් එලා අංජනම තබා අපට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන තුරු බලා සිටියෙමු .

" සීයේ "

" ම්ම්ම්ම් "

" කොඩිවිනයක් කරලා වගේ නේද ? "

" ඒ වගේ තමයි . පුතා මොකද එහෙම කියනේ ? "

" මට ඒ ගෙදර මහා මූසල අඳුරු පාටක් පේනවා . මට හිතෙන්නේ කොඩිවිනයක් කරලා කියලා තමයි "

" ඔය සරනේලිස් එන්නේ ඕන ඒවත් අරගෙන . අපි අංජනම ඇරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියල "

සීයා අඹකොළ අත්ත අංජනම ඉදිරියේ තබා මල් අසුරා අඟුරු කබලට කට්ටකුමංජල් කුඩු ස්වල්පයක් දැමුවේය . මොහොතින් කට්ටකුමංජල් සුවඳ පැතිර ගිය අතර සීයා මන්ත්‍ර මතුරන්නට පටන් ගත්තේය .

ඕන්නමෝ මහාමේරු පර්වතේ බන්ධ හනුමන්තා රාජබන්ධ බහිරව දේවතාව බන්ධ ශ්‍රී දේවතා කුමාර බන්ධ ලලාටේ දේවතාවා බන්ධ විෂ්ණු ආලෝකේ බන්ධ දේවරාජා කන්ද කුමාර බන්ධ ත්‍රිකෝටි ගංගා දේවි බන්ධ චන්ද්‍ර සුර්ය බන්ධ කළු කුමාර කම්බිලි බන්ධ සමන්තවී බන්ධ අංජන දෙවීට මග හරි හරි පෝග පෝග අංජන දෙවියානේ පෝග පෝග එස්වහඃ

ඕන්ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී වරං අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ

" සීයේ හනුමා ආවා "

" හනුමා නෙවෙයි . කියන්න අංජනම් දේවියට වඩින්න කියලා "





" හරි සීයේ අංජනම් දේවිය වැඩියා "

" අහන්න මේ ප්‍රානකාරියට මොකද වෙලා තියෙන්නේ කියලා "

" සීයේ කළුකුමාර මෘතුව කියලා ගුරුකමක් කරලා තියෙනවා කියනවා . දිවිකදුරු කොලයක රූපය ඇඳලා ඒක උන පුරුකක හිර කරලා ඇලකට දාලා තියෙනවා කියනවා . මේක කොඩිවිනයක් කියලත් කියනවා . මේක කපන්න කියලා කියනවා . නැත්නම් තව දවස් තුනකින් මේ ළමයා කළුකුමාරයට බිලි වෙනවා කියලත් කියනවා "

" හ්ම්ම්ම් . එහෙනම් වැඩේ බරපතලයි . අදට ඇප නූලක් කරේ දාලා යන්න වෙන්නේ . ඒත් මමනම් හිතන්නේ නැහැ ඇප නූලට මේ යකා මෙල්ල වෙයි කියලා . හරි එහෙනම් අංජනම වහන්න "

සීයා අංජනම වැසීමට මන්තර මතුරා අඳුන් පෙට්ටිය වසා අතට  ගත්තේය .

" සරනේලිස් . මේක ලොකු ගුරුකමක් . මැරෙන එක සත්තයි කියලා ගුරුකම් උගන්වන පොත්වල ලියවිලා තියෙනවා . ඒ නිසා මේ කරලා තියෙන්නේ තමන්ගේ දුවත් එක්ක , තමන්ගෙ පවුලම එක්ක තියෙන තරහකට මේ කෙල්ලව මරලා දාන්නම හිතාගෙන . මට ඕන නම් මේ ගුරුකම ආපිට යවන්න පුළුවන් . ආපිට යැව්වම දඬුවම තීරණය කරන්නේ අමනුස්සයින්ම තමයි . නැත්නම් කෙල්ලව බේරලා දෙන්නත් පුළුවන් . මොකද කියන්නේ ? "

" අනේ ආයිබෝවන් . අපි අහිංසක මිනිස්සු වෙච්චි . අපිට පලි ගන්න උවමනා නැහැ . ඒත් දරුවෙක්නේ . මගේ කෙලී සනීප කරලා දෙන්න . ඒ ඇති . ඉක්මනටම මේ කෙල්ලව බන්දලා දීලා ගමෙන් පිටමං කරාම මේ දේවල් යටපත් වෙලා යන්නේ නැතැයි "

" හ්ම්ම් . එහෙනම් ලොකු බඩු ලැයිස්තුවක් තියෙනවා හොයාගන්න . මේ දේවල් හෙට උදේ වෙනකොට හොයලා තියන්න "

රත්හඳුන්
සුදුහඳුන්
පළතුරු
කොට්ටපොල්
අළු පුහුල් ගෙඩියක්
එළවලු වර්ග 5ක්
පලතුරු වර්ග 5ක්
මල් වර්ග 5ක්
කැවිලි වර්ග 5ක්
කුකුලෙක්
රා , පොල් අරක්කු
කළු කිකිළියෙකුගේ බිත්තර
වටු බිත්තර
නයි හැව
පස් තෙල්
විළඳ
මීපැණි
දෙහි ගෙඩි 20ක්
අහු ගෙඩි 20ක්
අමු කහ
වද කහ

" මේ දේවල් ඔක්කොම හොයාගන්න පුළුවන්ද ? "

" පුළුවනි ගුරුන්නාන්සේ . සල්ලිවලට ගන්නය කියලා දෙයක් නැහැ නෙව . අනේ මගේ කෙල්ලව බේරලා දෙන්න "

" හ්ම්ම් එහෙනම් අපි යමු ඇප නූල කරේ බැඳලා එන්න . හෙට වෙනකල් කෙල්ලව පරෙස්සම් කරගන්න . ගෙයින් පැනලා යන්න හැදුවොත් යන්න නම් දෙන්න එපා . ගියොත් ආයේ කෙල්ලගේ මළකඳවත් හොයාගන්න වෙන්නේ නැහැ "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" චූටි පුතා ඔහොමම ඉන්න "

" හොඳයි සීයේ "

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment