සාත්තර ආතා ( 1 )






ස්වස්ති සිද්ධම්

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .





" චූටි අයියේ "

" ම්ම්ම්ම්ම්ම්................ "

" දැන් අයියලගේ වලව්වෙන් අපේ වලව්වට ඇවිත් පෝය දොළහකටත් කිට්ටුයි නේද ? "

" හ්ම්ම්ම්....................... "

" හැම එකටම හ්ම්ම්ම් හ්ම්ම්ම් කියන්නෙපා මූකලන් බස්සා වගේ . අපි බඳින්නේ නැද්ද ? "

" හ්ම්ම්ම්ම්.................. "

" මම යනව යන්න . බස්සොත් එක්ක කතා කරලා වැඩක් නැහැ "

ඇය යන්නට සැරසෙන විටදී මම මහසෝනා හට ආරාධනා කලෙමි .

" තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් "

" ඔය ඉතින් , දැන් මාව බය කරානම් වෙද ගෙදරට ගිහින් ඇරලවන්න . මහ නපුරුයි "





මට ඒත් සමග සිනහ පහළවිය . එහෙත් මන්තරයේ ඉතිරි කොටසකුත් දිව අගම රැඳෙමින් තිබුණු බැවින් එයද කියා දැමීමට මම දෙවරක් නොසිතුවෙමි .

" ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් "

" ඇති ඇති ඇති . ඉන්නකො ........ මම ගුරුන්නාන්සෙ සීයට කියනවා වැරදි මනුස්සයට මන්තර උගන්නලා තියෙන්නේ කියලා "

" හ්ම්ම්ම්....... "

" බස්සා . දැන් මාව වෙද ගෙදරට එක්ක යන්න . මට බෑ යක්කු මතක් කර කර මේ ගොම්මන් වෙලාවේ තනියම යන්න "

" බඳින්න ඕන නෑ . අපි මෙහෙම ඉමු දිගටම "

" ආ ඇත්තද චූටි ගුරුන්නාන්සේ ? "

ඇය මගේ පිටට වැරෙන් පහරක් ගසා

" යමු යමු දැන් හවස් වේගෙන එන්නේ . මම අයියත් එක්ක පන්සලට ගොහින් එනවා කියලා ආවේ . අද ලෙඩෙක් ඉන්නවා තැවිලි කරන්න බලාගෙන . උන්දැට තැවිලි හදන්නත් ඕන "

" මොනවා වෙච්ච ලෙඩෙක්ද ? "

" පිළිකාවක් කියලා තමයි සීයා කියන්නේ . මට තවම එච්චර දුරක් ගැන පැහැදිළියක් නැහැ වෙදකමේ . මම දන්නා කාලෙක පිළිකා ලෙඩෙක් වෙද ගෙදරට ඇවිල්ලත් නැහැ "

" ම්ම්ම්... පිළිකාවක් නම් තියෙන තැන කොහෙද කියලා බලන්න පුළුවන් අංජනමෙන් . හනුමා ඇඟ ඇතුලේ පිළිකාව කොහෙද තියෙන්නේ කියලා පෙන්නනවා "

" ඇත්තටමද...........................? "

" ඔව් . ඔය සීයා දවසක් ලෙඩෙක් බලන්න ගිය වෙලාවක හනුමා ඇවිත් පිළිකාව තියෙන තැනත් කියලා බෙහෙතුත් කියලා දුන්නා කරන්න . හැබැයි මැරෙන කාලෙත් කිව්වා බෙහෙත් කරොත් ඒ කාලේ වෙනකල් ඉන්න පුළුවන් ඒ නැත්නම් සති දෙකකින් වගේ මැරෙනවා කියලා . බෙහෙත් වලට ඒ ලෙඩා සනීපවෙලා කාලයක් ඉඳලා හනුමා කිව්ව කාලේ වගේ තමයි මැරුණේ "

" එහෙනම් හවස වෙද ගෙදරට එන්න අංජනමත් අරගෙන "

" මං සීයාගෙන් අහලා එන්නම් "

" ගුරුන්නාන්සේ සීයා එපා කියන එකක් නැහැ "


බෝධි පූජාවක් වෙනුවෙන් පන්සල් ගිය මමත් සඳමලී නංගිත් සෙමෙන් සෙමෙන් පිය නැගුවේ ගමේ කුඹුරු යායට වතුර හරවා බඳින ලද කළුගල් වේල්ල මත හිඳ මද වේලාවක් කතා කර කර හිඳීමෙන් අනතුරුවය . ඇය අමනුෂ්‍යයින්ට පොඩ්ඩ ඇත්නම් බිය වන , එසේ බියවී මුහුණ වසාගන්නා තත්වයට පත්වූයේ කළුකුමාරයා වැසී අසනීප වී සනීප වූවාටත් පසුවය . ඇයගේ එම බිය කෙමෙන් කෙමෙන් පහවී ගියත් තවමත් අළුයට සැඟවගත් ගිණිපුපුරු සේ ගිණි දමමින් තිබේ . ඇගේ එම බිය තුරන් කිරීම සඳහා වරින් වර මා යම් යම් දේවල් කලද අධික ලෙස මනසේ කිඳා බැස තිබෙන එම බිය තුරන් කිරීම ලේසි පහසු දෙයක් වූයේ නැත .

සෙමෙන් සෙමෙන් ගමන් ගත් අපි දෙදෙනා අවසානයේ වෙද ගෙදරටත් ගුරුන්නාන්සේ වලව්වටත් පාරවල් වෙනව යන ස්ථානයේ නැවතීමු .

" අයියා වෙද ගෙදර එන්නේ නැද්ද ? "

" දැන් බැහැ . නංගි යන්න . සීයා කැමති වුණොත් මම අංජනමත් අරගෙන එන්නම් ලෙඩාව බලන්න "

" අයියා එන්නේ ලෙඩා බලන්නමද ? "

" ඔව් "

" නපුරා නපුරා . ඕන නෑ . මම ලෙඩාව බලාගන්නම් "

" ආතුර ප්‍රාණය හැර මහසෝන් යක්ෂයා වින කල ඇදුරා ඇදුරී බලා පලයන් රාවණාගේ යගල් කෝවිලේ ඇණ යතුරු පුපුරවා මහසෝන් අවතාර යක්ෂයෝ අටදෙනා වින කල ඇදුරාගේ හර්දය පලා "

" හ්ම්හ් . ඔයා මහ නරකයි චූටි අයියේ . ඉන්නවා . මම ගුරුන්නාන්සේ සීයට දැන්මම කියනවා "

ඇය වේගවත් ගමණින් මා ද පසුකරමින් වලව්වට යාමට පිටත් වූවාය . එහෙත් මම ඇය නොනැවත්වීමි . ඇයගේ එම බොළඳ බය දැකීමට මම ආශා කලාදෝ යැයි මම සිතමින් ඇය පසුපසම ගමන් කර වලව්වේ මිදුලට සේන්දු වීමි .

" අරනෝලිස් සීයේ......................... "

ඇය සීයාට කතා කළාය .

" ආ මගේ වෙද මිණිබිරී මොකද මේ හවස් ජාමේ . දෙන්නා එක්ක පන්සල් යන්න නේද පිටත් වුණේ . බෝධි පූජාව තියලා අහවර වුණාද ? "

" සීයේ නඩුවක් තියෙනවා කියන්න "

" ඈ.......හ්හ් ඒ මොකක්ද ඒ . හා හා කියමු බලන්න එහෙනම් "

සීයා හාන්සි පුටුවේ හිඳ ගනිමින් සඳමලී නංගිට හිඳ ගැනීමට ඉස්තෝප්පුවේ පසෙක තබා තිබුණු පුටුවක් පෙන්නුවේය . සීයා ඉදිරියේ මා කෙතරම් කුඩා දරුවෙක්ද යන්න මා හට තේරුම් ගියේ සීයා බනීවිද යන සිතුවිල්ල ටිකෙන් ටික සිත තුල මෝරා ඒමත් සමගය . ඇය හිඳ ගන්නේ නැත්වම අයගේ හඬ අවදි කළාය .

" සීයේ , අපේ වෙදගෙදරට ඇවිත් ඉන්නවා පිළිකාවක් තියෙන ලෙඩෙක් "

" හා ඉතින් ? "

" ඒ මනුස්සයා ගැන දැනගන්නයි පිළිකාව තියෙන තැන දැනගන්නයි අංජනම බලමුද කියලා මම චූටි අයියගෙන් ඇහුවම අයියා කියනවා සීයාගෙන් අහලා ඕනි බලන්න කයලා . ඉතින් මම ආවේ සීයාගෙන් අවසර ගන්න "

" හාහ් හඃ හඃ හඃ ...................... "

මගේ බිය කෙමෙන් කෙමෙන් පහව ගියේ සීයාගේ සිනහව දැකීමත් සමගය .







" ඕකට මගෙන් අවසර පත්තර උවමනාය . ඔය තියෙන්නේ අංජනම . නා කියාගෙන පිරිසිදුවෙලා අරගෙන ගිහින් බලන එකනේ තියෙන්නේ "

" ඒකනේ චූටි අයියේ මම කිව්වේ සීයා අකමැති වෙන්නේ නැහැ කියලා . ඔයා බොරුවටනේ බය වුණේ . අයියා නාලා කියලා අංජනමත් අරගෙන එන්නකෝ . මම එනකල් වලව්වේ ඉන්නම් . කෝ ආච්චි අම්මා , අම්මා එහෙම ? "

" ඔන්න ඔය පැත්තේ හිටියා . රෑට කන බොන කළමණා පිළියෙළ කරනවා ඇති මයේ හිතේ . දූම ගිහින් බලන්නකෝ............... "

ඇය මා දෙස බලා අහිංසක සිනහවක් පා වලව්වේ පිටුපසට ගමන් කළාය . මම කාමරය දෙසට හැරෙත්ම සීයා අමුතු සිනහවක් පා

" ගෑණු මායම් නේද පුතේ ? "

කියා සෙමෙන් මාහට ඇසෙන සේ පමණක් කීවේය . සැබෑවකි . ඇය මේ වනවිට වලව්වේ සියල්ලෝම දිනාගෙන අවසානය . ඇය සැබවින්ම කාටත් ලෙන්ගතු චරිතයකි . වෙදකමත් සමග ඇයට එම ලෙන්ගතු බව උරුමවන්නට ඇත . කය සනීප කරන්නට පෙර සිත සනීප කලයුතු බව වෙදකමේත් හෙදකමේත් සෑම තැනකම කියනු මම අසා තිබේ .

මම නා පිරිසිදුවී පෙට්ටගමේ යතුර ගෙන පෙට්ටගමට වැඳ යතුර කරකවා එය විවෘත කලෙමි . සති දෙකක් පමණ කාලයක් අංජනමට වැඩක් ලැබුණේ නැත . හනුමන්තා හට දැන් නැවතත් තම සේවය ඉටු කිරීමට අවස්තාව ලැබී තිබේ .

මම අංජනම ගෙන සුදු රෙදිකඩක ඔතා රෙදි මල්ලේ දමා කිනිස්සද ගෙන ඉනේ ගසා ගත්තෙමි . දැන් ඕනෑ කරන්නේ අඹ කොළ අත්තක් , බුලත් කොළ සහ සුදු මල් ටිකකි . එය වෙද ගෙදරින් ලබාගත හැකිය .

" සඳමලී නංගි , අපි යමු එහෙනම් ? "

" සීයේ අපි ගිහින් එන්නම් "

" බුදුසරණයි දුවේ , බුදුසරණයි පුතේ "

සඳමලී නංගිත් මමත් වලව්වෙන් පිටත් වීමු . ඒත් සමගම සීයා නැවතත් මා ඇමතුවේය .

" ඔය ගෙවල් වල දිෂ්ටි නවත්තලා එන්නෙපා . දිෂ්ටි යන්න මතුරලා දුම් අල්ලලා එන්න "

" හොඳයි සීයේ "

" ඇහුණා නේද ? . දිෂ්ටි නවත්තලා එන්න එපා . ඒවත් අරගෙනම යන්න "

" අරගෙන තමයි යන්න ඕන මේ දිෂ්ටියව "





මම ඇයගේ කණ මිරිකුවෙමි . රෑ බෝ වී තිබුණු බැවින් මම සඳමලී නංගි සමග ඉක්මන් ගමණින් වෙදගෙදරට ගියෙමි . වෙද ගෙදර වෙද සීයා ඉස්තෝප්පුවට වී පාර බලාගෙන සිටියේය .

" මම මේ ඇඳිරි වැටීගෙන එන නිසා බලාගෙන උන්නේ මේ වෙද හාමිනේ පරක්කු මොකද කියලා බලාගෙන . අර ලෙඩෙක් ඉන්නවා නෙව නැවතිලා . තැවිල්ලක් තියෙනවා හදන්න . ඒකට "

" ඒක තමයි වෙද සීයේ . මේ මම කියන දේ අහන්නෙත් නැතුවම වලව්වට ගියානේ "

" ඔන්න සීයේ මම අද තව වෙද මහත්තයෙක් එක්ක ආවා ලෙඩාට බෙහෙත් කරන්න "

වෙද සීයාට සිනහ පහළ විය .

" හා හා එහෙනම් දෙන්නා එක්ක වෙදකම් කරන්නකෝ . මම පැත්තකට වෙලා ඉන්නම් "

" සීයේ චූටි අයියා අංජනම අරගෙන ආවා . අපි බලමු පිළිකාව කොහෙද තියෙන්නේ කියලා "

" ඒක මට කල්පනාවට ආවේම නැහැ නෙව . මමත් මේ පිළිකාවක් කියලා තේරුම් ගත්තත් කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරිවයි උන්නේ . තැවිල්ලෙන් වේදනාව අඩුකරගන්න පුලුවන්ද කියලා තමයි බැලුවේ "

" බලමුකෝ සීයේ . හනුමා ලෙඩ තියෙන්නේ කොහෙද කියලා කියනවා . දවසක් අපි එහෙම ලෙඩෙක් බලලා තියෙනවා . බලමුකෝ බෙහෙත් අහගන්න . ලෙඩේ තියෙන තැනත් එක්ක බෙහෙත් අහගන්න පුළුවන් වුණොත් සීයට පහසු වෙයි බෙහෙත් හේත් කරන්න "





" සඳමලී නංගි , ගෙන්නකෝ ලී පුටුවකුයි සුදු රෙද්දකුයි . සුදු මල් ටිකකුත් ඕන . ආ අඹ කොළ අත්තක් කඩාගත්තේ නැහැනේ "

" අඹ කොළ කඩාගන්න පුළුවන් දරුවෝ ඔය මිදුලේ අඹ ගහ ළඟ තියෙන පොඩි අඹ පැළයෙන් "

" හොඳයි සීයේ "

මම අඹ කොළ අත්තක් කඩාගෙන ආවෙමි . සඳමලී නංගි අවශ්‍ය අනෙක් සියල්ල සූදානම් කළාය . මම ලී පුටුවේ සුදු රෙද්ද එලා ඒ මත බුලත් අතුරා අංජනම තබා මල් අසුරා පහන දල්වා අංජනම් එළිය ඇරීමට සූදානම් වීමි . සඳමලී නංගි රෝගියාව කැඳවාගෙන අවුත් මා අසල පදුරක හාන්සි කරවූවාය . ඊට ඇයගේ පියාද උදවු විය . මම කට්ටකුමංජල් අහුරක් ගෙන අල්ලේ තබාගෙන අනෙක් අතේ දබරගිල්ලෙන් කලවම් කරමින් ජීවම් කරන්නට පටන් ගත්තෙමි .

.............. ගජවරණ දිල්ලී පිල්ලී බාහේස් සාහේස් බ්‍රලාන්තු පුරදේව ගිරි රාම ඉන්දුපුර වාන්දූතමේ දේව රාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා යමකරුවාල් ගිරි හන්දි දෙරණ තර්ජනා වාවා සර්ප සාම්බු මුහුද කම්පා චලිත වාවා දේවගිනි මුද්‍රාසනී අහස තර්ජනා වාවා කල්ලෝඩි බාහේස් ගිණි කදිර කමලාසනේ පෙරලී වාවා  රාම නාරායනේ අණින් කදිර දේව මාලා ගිණි කරවා හනුමා පලිප්පු වෛරෝඩි වාවා බ්‍රාබුසාලා හෝ හෝ විරූල්හමේ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා අෂ්ටප්‍රලෝක ඉරන්දුක්කාල් ශර ගිණි බන්ධ විරූපාක්ෂ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා කුන්සුඩාප්පෝර පෙරියෙල් මරු මරණ තෝඩ මුඩොන් කුවේර වෛශ්‍රවණ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා ......................

හනුමා වෛරෝඩියෙන් පලිප්පු කරවා කට්ටකුමන්ජල් දිෂ්ටි කරවා මම අඟුරු කබලට දමා හනුමන්තාට ආරාධනා කලෙමි .

පහන් දැල්ලේ එළිය දෙබෑ කරගෙන හනුමා පෙනී සිටියේය . මම අතින් රෝගියා පෙන්වා හනුමාගෙන් රෝගියා පිලිබඳ විමසුවෙමි . හනුමා රෝගියාගේ ශරීර අභ්‍යන්තරය පෙන්වීය . ඔහුගේ ශරීරයේ සෑම තැනකම පාහේ පිළිකාව පැතිරී තිබිණි . ලේ සමග පිළිකාව පැතිරී තිබිණි . හනුමා පැවසූයේ ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගියා නිට්ටාවටම සුව කිරීමට හැකි බවත්ය . ඒ සඳහා අවශ්‍ය ඖෂධ වට්ටෝරුද හනුමා පැවසුවේය . මම විසින් වෙද සීයාට එම බෙහෙත් වට්ටෝරු කියවූ අතර ඔහු ඒවා කඩදාසියක සටහන් කරගත්තේය .





" මමනම් මෙහෙම බෙහෙත් ගැන අහලාවත් නැහැ . කරලා බලන්න ඕන "

" දිගටම මාස තුනක් මේ බෙහෙත් සහ කෑම වර්ගම ඇඟ ඇතුලට වැටෙනවානම් සනීප කරන්න පුළුවන් කියලා තමයි සීයේ කියන්නේ "

" ඒක තමයි . ඔන්න ගොයියෝ . උඹට මාස තුනක් වෙද ගෙදර තපින්න තමයි වෙන්නේ "

වෙද සීයා රෝගී පුද්ගලයාට බැරෑරුම් ස්වරයෙන් කීවේය .

මම දෙවියන්ට පිං දී අංජනමෙන් ඉවත්වන්න යැයි හනුමාට ආරාධනා කලෙමි . එහෙත් හනුමා ඉවත්ව යන්නේ නැත . හනුමා ඉවත්ව යන්නට මත්තෙන් පහන නිවීම පාරම්පරික ඇදුරන් විසින් කරන්නේ නැත . හනුමා ඉවත්ව නොයන්නේ වැදගත් කාරණාවක් නිසා විය යුතුය . මම හනුමාගෙන් ඒ පිළිබඳව විව්මසීමි .

හනුමා එම අවස්ථාවේ කියන ලද කාරණාවෙන් මම වික්ෂිප්ත වීමි .

" මොනවා සාත්තර ආතා පන අදිනවා ? "

මම මාහටම කියා ගත්තෙමි .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment