සඳ එළියේ අසිපත ( 11 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි





පසුගිය කොටසින්

ධූමරක්ගල කඳුවැටියේ අදාළ ස්ථානය සොයාගැනීමට මං සලකුණු ලෙස දක්වා තිබෙන දේවල් පිළිබඳව මම විමසිල්ලෙන් කියවීමි . සලකුණු කීපයක් තිබේ . අවසානයේ ගල්ගුහාවක් තිබේ . එම ගල් ගුහාවේ ගල් දොර විවෘත කර ඇතුළට ගිය විට අප සොයන බෙහෙත් ඔරුව තැම්පත් කර තිබේ . එම බෙහෙත් ඔරුවට මංජුසා අටක බෙහෙත් වත්කළ යුතුය . නවවෙනි මංජුසාවේ බෙහෙත් අවදිවන පුද්ගලයා පානය කළයුතුය .

" සීයේ ධූමරක්ගල කඳු වැටිය ළඟ ඉඳලා සලකුණු කීපයක් හොයාගෙන තමයි ගුහාවට යන්න තියෙන්නේ ? "

" ඒක තමයි මමත් කල්පනා කලේ . රෑ ජාමෙ වෙයි කන්දට කිට්ටු කරනකොට . කොහොමද කළුවරේ යන්නේ "

" කමක් නැහැ සීයේ . අපි කොහොමහරි යමු "

" චිත්තරාජ උත්තමයා අපිට උදවු කරයි "





අපි අල පුළුස්සා ආහාරයට ගෙන නැවතත් ගමන ආරම්භ කළෙමු . ධූමරක්ගල කඳු වැටිය අසලට පැමිණෙන විටදී අඳුර අපව වෙලාගනීමට සූදානම් වී තිබිණි . කරත්තයෙන් යන්නට පුළුවන් උපරිම දුර මෙපමණකි . එක ළඟ එක ළඟ සෑදී තිබෙන ගස් වැල් වලින් පැටලී අපට යන්නට නොදෙන බාධකයක් සේ නිර්මාණය වී තිබිණි .

" පුතේ දැන් කොහොමද යන්න තියෙන්නේ ? "

" සීයේ ආයෙත් අපිට මොණරෙක්ගෙ සලකුණක් හොයාගන්න තියෙනවා "

" මේ කළුවරේ කොහොමද යන්නේ ? "

" එන්න මා සමග . මම ඔබලාව අවැසි තැනට රැගෙන යන්නම් "

චිත්තරාජ අපව ගල් ගුහාව වෙත රැගෙන යාමට නැවතත් පැමිණියේය .


අද එතැන් සිට 


මමත් සීයාත් චිත්තරාජ යක්ෂ සේනාධිපති සමග ධූමරක්ගල පර්වතය තරණය කිරීම ආරම්භ කළෙමු . මම අලවංගුව අතින් ගත් අතර සීයා ඖෂධ මංජුසා සහිත මල්ල අතින් ගත්තේය . කිසිම දිනයක අත්දැකීමට නොලැබුණු මෙම අත්දැකීම මගේ ජීවිතයේ අමතක නොවන මතකසටහන අතරට එකතුවන තවත් වැදගත් මතකයන් ගෙන් එකක් වනු නොඅනුමානය . සීයාද මමද ගමන්කලේ කිසිම කතාවක් නොමැතිවය . මනුෂ්‍යයින්ගේ ගැටළු විසඳීම සඳහා අංජනමෙන් අමනුෂ්‍යයින් සමග ඕනෑවටත් වඩා කතා කලද චිත්තරාජ වැනි අමනුෂ්‍ය සේනාධිපති වරයෙකුගෙන් එසේ ප්‍රශ්න ඇසීම අපට යුතු නොවන්නක් බව සීයාද මමද ඒ මොහොතේ සිතන්නට ඇත. කෙසේ හෝ සීයාත් මමත් චිත්තරාජ සමග පැයකට ආසන්න කාලයක් ගමන්කල පසු එක් දිය පොකුණක් අසල හෙතෙම අපව නතර කළේය .

“ ඔබලා දන්නවාද මේ දිය පොකුණ කුමක්ද කියලා ? “

“ එහෙම නිච්චියක් නම් නැහැ “







“ මේ දිය පොකුණ ඖෂධීය ජලය උනන්නාවූ දිය පොකුණක් . ගෞතම හිමයන් ලංකාවට වැඩිය ගමනේදී උන්වහන්සේ මේ පොකුණ කිසිදා නොසිඳෙන ඖෂධීය ජලයෙන් පිරී ඉතිරී යන්නැයි අධිෂ්ටාන කළා . මේ තියෙන්නේ ඒ පොකුණ තමයි “

“ අනේ වාසනාවන් . මමත් කලින් එහෙම කතාවක් අහලා තියෙනවා . එත් අද තමයි හරියටම දැක ගත්තේ “

“ මා පසුපසම පැමිණෙන්න “

“ හොඳමයි “

චිත්තරාජ එකවරම අපව කැලය මැදින් කැඳවාගෙන ගියේ කිසි දිනක මිනිස් පා පහස නොලද මාවතකය . සමහර ස්ථාන වල එරමිණියා කටු පඳුරු පඳුරු පිටින් වැවී තිබිණි . හුළු අත්තේ එළිය අපට ඒවා මගහැර යාමට උදවු වීය . නමුත් කට්ටක් දෙකක් ඇණුනු අවස්ථා නොතිබුනෙම නැත . එම වෙලාවල් වළදී සීයා එම කටු ඉවත් කිරීමට මා හට උදවු වීය . සීයාගේ කකුලේ සම ඉතා ගොරෝසු බැවින්දෝ ඔහුට නම් එම එරමිණියා කටු වලින් අතුරු ආන්තරාවක් සිද්ද වුයේ නැත . අප එසේ නැවතී සිටින අවස්ථා වලදී චිත්තරාජ අප දෙස උපේක්ෂාවෙන් බලා සිටියා මිස කිසිවක් කීවේ නැත . සැබවින්ම ඔහු ඉටු කලේ ඔහුගේ රාජකාරිය පමිණි .  ඉන් එහා කිසිවක් ඔහු විමසීම හෝ පැවසීම සිදු කලේ නැත .

“ මේ ස්ථානයේ තමයි මා අතීතයේ ජීවත්ව සිටින සමයේ වැඩිපුරම කාලය ගත කලේ “

චිත්තරාජ විශාල ගල් ගුහාවක් දෙස අත දිගුකර පෙන්වීය . රාත්‍රී අන්ධකාරය නිසාදෝ සීයාටත් මටත් එහි නියමම ස්වරූපය දැක ගැනීමට හැකියාවක් නොලැබිණි . එහෙත් එය තවතම පිරිසිදු තත්ත්වයේ තිබෙන බව නම අපට පෙනී ගියේය .

“ මෙතන තවම හරිම පිරිසිදුයි නෙව “

“ මම තවමත් මේ තැනට යනවා එනවා . සමහර වෙලාවල් වලදී මා මෙතැන නතර වී සිටිනවා . එබැවින් මා මේ ස්ථානය පිරිසිදු කරවන්න මගේ සේවකයින් යොදවනවා “

“ අර පණ්ඩුකාභය රජතුමාගේ කාලේ මේ කන්ද වටේ වෙළඹක් පස්සේ පැන්නුවා කියන කතාව ඇත්තක්ද ? “

“ ඔබ මේ අසන්නේ චේතියා පිළිබඳව වෙන්නට ඕනා . ඔව් ඒ කතාව සැබෑවක් . මාමාවරුන් විනාශ කරදමලා රජකම ගන්න අපි හැමෝම පඬුඅබා කුමාරයාට උදවු උපකාර කළා “

“ අපිට තවත කොච්චර වෙලාවක් යයිද රණබා තැම්පත් කරලා තියෙන ගුහාවට යන්න ? “

“ තව ටිකක් කන්ද උඩට යන්නට ඕනා . අපි හැමෝම ඉදිරිපත්වෙලා මේ රණබාව මෙහෙම තැම්පත් කෙරෙව්වේ මනුෂ්‍ය වාසයකින් ඈත් කරලා ප්‍රවේසම් සහිතව තබන්නට අවශ්‍ය නිසායි “

“ ඉතින් ඇයි දැන් මේ මේ දේවල් මෙහෙම සිද්ද වෙලා රණබාව අවදි කරවන්න උවමනා කරලා තියෙන්නේ ? “

“ ඒක දැන්මම ඔබලා දැනගන්නට උවමනා නැහැ . අවශ්‍ය කාලය ආවාම ඔබලාට ඒ පිළිබඳව හොඳින් දැනගන්නට පුළුවන් වෙයි “

“ හොඳමයි “

චිත්තරාජ සීයාගේත් මගෙත් ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවේ ඒ ආකාරයටය . හැකිතාක් ඉවසාගෙන හිඳ අවසානයේ මෙම ප්‍රශ්න සියල්ලම අප විසින් අසන ලද්දේ අප කරන කාර්යයේ දිග පළල පිළිබඳව හොඳින් අප දැනගෙන සිටිය යුතු නිසාය .

එහෙත් අප ඒවා දැනගන්නේ ඒවා දැනගනීමට අවශ්‍යම අවස්ථාවේ පමණි . සියල්ල සිදුවන්නේ කලින් ඒ සියල්ලම මේ මේ ආකාරයට සිදුවිය යුතුයැයි සැලසුම් කර තිබෙන ආකාරයකට විය යුතුය . ඒවා සැලසුම් කලේ කවුරුන් විසින්ද ? . එයද විසඳාගත යුතු ප්‍රශ්නයකි .

“මේ දේවල් මෙහෙම වෙන්නා ඕන කියලා කවුද ඉතින් නියම කරලා තියෙන්නේ ? “

චිත්තරාජ එකවරම තම ගමන නතර කර අපවෙත හැරී

“ ඒවා රහස් “

යැයි කියා නැවතත් ගමන ආරම්භ කළේය . ඉන් එහා කිසිවක් විමසුවේ නැත . අවසානයේ අපි සියලුදෙනාම අපගේ ගමනාන්තය වෙතට පැමිණියෙමු . එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි ස්ථානයකි . එය ඉදිරිපස තිබෙන්නේ විශාල නුග ගසකි . නුග ගසට පිටුපසින් තිබෙන්නේ ගල් ගුහාවට ඇතුළුවීමට ඇති දොරටුවයි . එය මිනිසෙකුගේ උසට සාදා තිබෙන ගල් දොරටුවකි . එහෙත් එය විවර කරන්නේ කෙසේද කියා මමවත් සීයාවත් දන්නේ නැත . කොටින්ම කියනවානම් නායක ස්වාමීන් වහන්සේ ලියා දුන් සන්නසේ පිටපතේවත් එවැන්නක් සඳහන් වී නැත . එක වරම විශාල සුළඟක් හමා එන්නට විය . චිත්තරාජ සිටියේ අපට තරමක් නුදුරෙනි . ඔහු ඔහුගේ හඬ නැවතත් අවදි කළේය .






“ මගේ සේනාව , අතීතයේ හිඳ මිය ගිය සිවු හෙළයින් මේ අවස්ථාවට පැමිණෙනවා . මේ සුළං ධාරාව සංකේතවත් කරන්නේ එයයි . සඳ එළියේ අසිපතේ මීළඟ ආරක්ෂකයා ආතීතයෙන් අවදිවන මොහොත , සඳ එළියේ අසිපත නැවතත් හෙළ බිමේ ස්පර්ෂ කරවන්නා අවදිවන මොහොත . වසරගණනාවක් තිස්සේ අප බලා සිටියේ මේ අවස්ථාව උදාවනතුරුයි “

“ පුතේ ඔය අලවංගුවෙන් මේ දොර අරින්න උත්සාහ කරානම් “

“ නැහැ . එසේ කිරීම අවශ්‍ය වන්නේ නැහැ . වසර දෙදහස් ගණනකට පසුව අද රාත්‍රියේ යෙදෙන විශේෂ ග්‍රහ යෝගයෙන් උදාවන පුවසල නැකතෙන් මෙම දොරටුවේ අගුළු ඉබේම විවර වෙනවා . ඔබලාට තිබෙන්නේ බලා හිඳින්නට පමණයි “

සැබෑවකි . එකවරම ගල් දොරටුව දෙදරන්නට වීමෙන් මමත් සීයාත් විස්මයෙන් ඇලලී ගියෙමු . ගල් දොරටුව සෙමෙන් සෙමෙන් දෙදරමින් තිබී එකවරම එය මුණින් අතට වැටුණේ සීයාත් මමත් සිටින දිශාවට විරුද්ධ දිශාවටය . දින ගණනාවක් ලඳු කැලෑ ඔස්සේ බඩගෑවේ මෙම කාර්යය සිදු කිරීමේ අභිලාෂයෙනි . දැන් ඒ සියල්ල හමාර වීමට ඇත්තේ තවත් සුළු මොහොතකි .

“ ගුහාවට ඇතුළුවන්න . ඔබ එනතුරු වසර දෙදහසක් පමණ දීර්ඝ නිද්‍රාවක  බලා සිටි ඔහු අවදි කරවන්න .මෙතැන්  පටන් සියල්ල ඔබලාට භාරයි “

සීයා හුළු අත්තේ එළියෙන් ගල් ගුහාවට පිවිසියේය . සීයා පසුපස මමද ගමන් කලෙමි . එය වසර දෙදහසක පමණ කාලයක් මුළුල්ලේ වාතාශ්‍රය නොලද කළුගලින් සෑදුනු කුටියක් බඳු ස්ථානයකි . එහි බිත්ති මනාලෙස ඔප දමා තිබිණි . හුළු අත්තේ එළිය අල්ලා වටපිට බැලූ සීයා අතීතයෙන් පැමිණෙන අපගේ මිත්‍රයා නිදාසිටින බෙහෙත් ඔරුව සොයාගත්තේය .


“ අර තියෙන්නේ බෙහෙත් ඔරුව “

“ සීයේ ඒක පියනකින් වහලා නේද තියෙන්නේ ? “

“ ඔවු . යමුකෝ ලඟට ගිහින් බලන්න මොකක්ද කරන්න ඕන කියලා “

“ සීයේ චිත්තරාජ සේනාධිපතිගෙන් උදවු ගන්න වෙයිද ? “

“ මෙතැන් පටන් අපිට සියල්ල භාරයි කිව්ව නිසා මම හිතන්නේ මෙතන ඉඳලා සේරම දේවල් අපිට කරන්න පුළුවන් මම හිතන්නේ “

සීයාත් මමත් බෙහෙත් ඔරුව සහිත ස්ථානය අසලට ළඟා විය . එම ගල් පියන එහා මෙහා කිරීමට හැකිඅයුරින් සාදා තිබෙන බව දුටුවේ එවිටය . සීයා අලවංගුව රැගෙන බෙහෙත් ඔරුවේ පියන විවෘත කිරීමට සූදානම් විය . එහෙත් සීයාට එය කිරීමට වාරු නැති හෙයින් මමද සීයාට උදවු කලෙමි . ජරාස් ජරාස් හඬ නංවමින් බෙහෙත් ඔරුවේ පියන පැත්තකට ගමන් කිරීම ආරම්භ කළේය . බෙහෙත් ඔරුවෙන් ස්වල්ප ප්‍රමාණයක් විවර වූ පසු එයින් අධික සුවඳක් නිකුත් විය . මෙම සුවඳ ගුහාවට ඇතුළු වන වේලාවේද යම් තරමක් දුරට පැවතියද එය බෙහෙත් ඔරුවේ පියන විවෘත කිරීමත් සමගම සිය දහස් ගුණයෙන් වැඩි විය .

සීයා හුළු අත්ත අල්ලා බෙහෙත් ඔරුව පරීක්ෂා කළේය . සන්නස පැවසූ සියල්ල සැබෑය . බෙහෙත් ඔරුව තුල ඇති තෙල් තුල ගිලී ඇති මිනිස් රුවක චායාව මමද දුටුවෙමි . මෙයනම් අදහාගත නොහැකි දෙයකි . පසුව සීයාත් මමත් බෙහෙත් ඔරුවේ පියන සම්පූර්ණයෙන්ම බිමට දැම්මෙමි .

“ පුතේ ඔය බෙහෙත් මංජුසා වලින් ලොකුම එකේ ඉඳලා පිළිවෙලට තියන්න මෙතනින් “

“ සීයේ සන්නසේ කියලා තියෙන්නේ අන්තිමටම තියෙන පොඩි මංජුසාවේ බෙහෙත් මේ නැගිටින කෙනාට බොන්න දෙන්න කියලා “

“ එහෙනම් පුතාම ඔය මංජුසා එකින් එක අරගෙන බෙහෙත් ටික ඔරුවට වත්කරන්නකෝ “








මම බෙහෙත් ඖෂධ බෙහෙත් ඔරුවට එකතු කිරීමේ කාර්යය ආරම්භ කලෙමි . පළමුවෙන්ම ලොකුම මංජුසාවේ ඇති බෙහෙත් තෙල් සියල්ලම බෙහෙත් ඔරුවට එකතු කලෙමි . අනතුරුව පිළිවෙලන් බෙහෙත් තෙල් සියල්ලම බෙහෙත් ඔරුවට එකතුකර අවසාන වනවිට බෙහෙත් ඔරුවේ තිබුණු තෙල් මිශ්‍රණය රතු පැහැ ගැන්වී තිබිණි . තවමත් අපගේ ආගන්තුකයාගේ ප්‍රාණප්‍රාප්තිය සිදුවී නැත . විනාඩි පහක් දහයක් පමණ ගත වන්නට ඇත . අප බලාපොරොත්තු වූ එම අවස්ථාව උදා වූයේ එවිටය . බෙහෙත් ඔරුවේ තෙල් එක වරම කැලතෙන ස්වභාවයක් ගත් බව අපට පෙනී ගිය නිසා සීයාත් මමත් ඒ අසලට තවත් ලං වී බලා සිටියෙමු . අපගේ අමුත්තා එකවරම කඳ කෙලින් කර බෙහෙත් ඔරුවේ හිඳගත්තේය . ඔහු නහයෙන් හුස්ම ගැනීමට අපහුවෙන් තම නහය පොඩි කරමින් හිසට වැරෙන් පහර දෙමින් සිටියේය .

“ ඉන්න දරුවෝ පොඩ්ඩක් ඔහොම ඉන්න “

සීයා ඔහුගේ අතින් අල්ලා ඔහුව බෙහෙත් ඔරුවෙන් ඉවතට කැඳවා ගත්තේය . එහෙත් ඔහු තවමත් ඇස් ඇර නැත . සීයා ඔහුව බිම දිගා කරවා පිටට වැරෙන් පහර කීපයක් දුන්නේ නහයේ සිරවී තිබෙන තෙල් ඉවත් වීමටය . ඔහු එකවරම කහින්නට විය . පසුව සීයා ඔහුව උඩු අතට හරවා කම්මුලට තට්ටු කරමින්

“ දරුවෝ ඔය දරුවට දැන් කොහොමද ? “ යැයි කීප වරක් ඇසුවේය .

ටික වෙලාවකින් ඔහු ඇස් ඇරිය අතර වේගයෙන් හුස්ම ගත්තේය . මේ සියල්ල හුළු අත්ත අල්ලාගත් මා බලා සිටියේ ප්‍රාණය නිරුද්ධ වූවෙකු පරිද්දෙනි . මෙවැනි සිදුවීමක් කිසිදාක විශ්වාස කල හැකිද ? . එහෙත් එය දැන් අප ඉදිරියේ රඟ දැක්වෙමින් පවතී . අපගේ අමුත්තා මෙපමණ වෙලාවක් කතාවක් නොමැතිව හිඳ තම හඬ අවදි කළේය .

“ කවුද උඹලා දෙන්නා ? “

“ මම අරනෝලිස් කියලා ගුරුන්නාන්සේ කෙනෙක් . මේ ඉන්නේ මගේ මුණුබුරා “

“ ගැමුණු කුමාරයා කොහෙද බොලවූ ? “

“ මේ දරුවා ඒවා ගැන දැන් කලබල වෙන්න කාරී නැහැ . අපි ඉස්සෙල්ලා මෙතනින් පිටවෙලා යමු අපේ ගමට . ගිහින් බැරිය කතා කරන්න “

“ මට ස්වර්ණමාලි දාගැබ වැඳ පුදාගන්න යන්න ඕනි බොලවූ . මහා විහාරයේ රහතන් වහන්සේ නමක් බැහැදකින්නත් තියෙනවා යමක් දැන කියාගන්න . කපුරුනාත මහ වෙදනා හමුවෙන්න කොරහගල්ලට යන්නත් උවමනායි මට “

සීයා අතින් අල්ලාගෙන ඔහුව නැගිට්ටවා අතින් අල්ලාගෙන මද දුරක් ගමන් කළේය .

“ මේ දරුවට දැන් ඇවිදින්න පුලුවනිද ? “

“ පුළුවනි පුළුවනි . මාව බෙහෙත් ඔරුවක තැම්පත් කරා කියලා විතරයි මට මතක . දැන් මේ යන්න මොන රජතුමාගේ කාලේද බොලවූ . මට මේ කාලය ගැන විස්තර දැනගන්න ඕන . සඳ එළියේ අසිපත බලන්න යන්නත් ඕන . කඩොල් ඇතා කොහෙද ඉන්නේ දැන් ? . සුරනිමලවත් අන්තිමට දැක්කේ මාව බෙහෙත් ඔරුවේ දාන වෙලාවේ . කෝ බොලවූ සුරනිමල ? “

“ ඔය දරුවට සියල්ල මම විස්තර කරන්නම් . අපි දැන් යමුකෝ එළියට . ඔය දරුවා රණබා වෙන්න ඕන ? “

“ උඹලා කොහොමද මගේ නම දන්නේ ? . මම උඹලව දන්නේ නැහැ . ඒ කාලේ දැකලවත් නැහැ “

“ ඔය දරුවා දන්නේ නැහැ නේද ? ඔය දරුවා අවුරුදු දෙදාහක් විතර මේ බෙහෙත් ඔරුවේ තැම්පත් කරලා තිබුණේ කියලා “

“ අවුරුදු දෙදාහක් ? “

“ ඔවු එච්චර විතර වෙනවා . අපිට ඔය දරුවා අවදි කරවන්න මග පෑදුනු හැටි මං පස්සේ විස්තර කරන්නම්කො . අපි දැන් මෙතනින් පිටත්වෙලා යමු “

ගල්ගුහාවෙන් පිටත්වූ අප අනතුරුව පැමිණියේ ඖෂධ පොකුණ සමීපයටය .



“ ගුරුන්නාන්සේ මෙහෙන් ඩිංගක් නැවතුනානම් . මගේ මේ ඇඟේ තියෙන තෙල් ටික හෝදාගෙන යන්න “

රණබා සීයාට ගුරුන්නාන්සේ කියා ආමන්ත්‍රණය කළේය . ඔහු අඩි පහමාරක් හයක් පමණ උස ඇති පුද්ගලයෙකි . එමෙන්ම ඔහු මනා කාය විලාසයක් ඇති පුද්ගලයෙකි . ඔහුගේ මස්පිඩු යෝධයෙකුගේ ශරීරය මෙනි . මදක් කළු පැහැති සමක් ඔහුට හිමි විය . රාත්‍රී නිසාවෙන් තවමත් ඔහුගේ නියම ශරීර ස්වභාවය දැකබලාගැනීමට හැකි වූයේ නැත . ඔහු තවමත් සිටින්නේ නිරුවතින්ය . ඖෂධ පොකුණෙන් නාගත් ඔහුට මම මගේ සරමට උඩින් ඔතාගෙන සිටි සුදු රෙද්ද ගලවා දුන්නේ ඔහු අපත් සමග ගමට යායුතු බැවිනි . සිංහල ද්වීපය එදාට වඩා වෙනස් බව ඔහු තවමත් දන්නේ නැත .


ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment