සඳ එළියේ අසිපත ( 7 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි






පසුගිය කොටසින්

" ඒවගේ තමයි මටත් පේන්නේ . ඒකනේ කඩන්නේ බිඳින්නේ නැතිව ලේසියෙන්ම අරින්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ . ඒත් කමක් නැහැ මේකේ තියෙන ඖෂධ මන්ජුසාවල් ටිකට අතුරු ආන්තරාවක් වෙන්නේ නැතිවෙන්න වෙන්නැති මෙහෙම තැම්පත් කරලා තියෙන්නේ . නැත්නම් අගුල් කඩනකොට මේ පෙට්ටියටයි ඇතුලේ තියෙන දේවල්වලටයි අතුරු ආන්තරාවක් වෙන්න පහසුයි නෙව "

සීයාත් මමත් එම දඹරන් පෙට්ටිය විවෘතකර එහි ඇති ඖෂධ මංජුසා සියල්ල සහ සන්නස රැගෙන පෙට්ටිය වසා කලින් එය තැම්පත් කර තිබුණු ස්ථානයේම තැම්පත් කළෙමු . එය අපට අයිති නැති අතීතයට අයිති වස්තුවකි . ස්වභාවධර්මයා එහි ඉරණම තීරණය කරනු ඇත . භාවනානුයෝගී හිමියන් අපට දුන්නේ එම අවවාදයයි .

සීයාත් මමත් ඖෂධ මංජුසා සහ සන්නස ප්‍රවේශම් සහිතව රැගෙන ගල්ගුහාවට සමුදී කල් වේලා නොගෙන එදින රාත්‍රියේම කරත්තය නවතා ඇති නිවසට ගොස් එහි වූ අයට ස්තූති කර වලව්ව බලා නිකම් ගියෙමු  .

අද එතැන් සිට

සීයාත් මමත් වලව්වට යාමට මත්තෙන් පන්සලට යාමට අමතක කලේ නැත . ඒ පන්සලේ නායක හිමියන්ට සන්නස භාර දීමට සහ ඖෂධ මංජුසා ප්‍රවේසම් සහිතව පන්සලේ තැම්පත් කර තැබීමටය . සීයාත් මමත් ඒ වනවිට අධික බඩගින්නකින් පෙළෙමින් සිටි අතර එම ගින්නටද පන්සලෙන් තාවකාලික සිසිලසක් ලබාගැනීමට හැකිවිය .

" ආ සීයයි මුණුබුරයි දැක්කේ දවස් කීපයකට පස්සේ . එන්න එන්න අරනෝලිස් "

" හාමුදුරුවනේ ආවාස ගෙය පැත්තටම ගමන් ගත්තනම් තමයි මේ වෙලාවේ වටින්නේ "

" අරනෝලිස් ගියපු කාරණාව මුදුන්පත් කරගත්තද එහෙනම් ? "

නායක ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව විමසන ලද්දේ රහසෙන් මෙන් ඇස්දෙක තරමක් ලොකුකර අපවෙත එල්ල කිරීමෙන් අනතුරුවය .

" එහෙමයි හාමුදුරුවනේ "

" එන්න එන්න දෙන්නම මාත් එක්ක "

සීයාත් මමත් නායක ස්වාමීන් වහන්සේත් ආවාසගෙය තුලට ඇතුල්වී අනතුරුව එහි දොරගුළු ලාගතිමු .

" අරනෝලිස් කියන්නකෝ බලන්න මොකද උනේ කියලා "







" හාමුදුරුවනේ ඒ තැන හොයාගන්න මටයි චූටි පුතාටයි ලේසි උනේ නම් නැහැ . ඒත් අපි තියෙන සලකුණුවල හැටියට ගිහින් කොහොමහරි තැන හොයාගත්තා . අපිට භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් මුණගැහුනා . උන්වහන්සේ අපිට ගොඩක් උදවු කරා . නවාතැන් දුන්නෙත් උන්වහන්සේම තමයි . මේවා තිබුණු තැන ආරක්ෂා කරන්න යක්කු එහෙමත් බැඳලා තිබුණේ . නයක් හාමුදුරුවෝ ඉතින් දන්නවනේ සන්නසේ තිබුණු දේවල් "

" හ්ම්ම්ම් "

" හාමුදුරුවනේ අපිට වතුර ටිකක් බොන්න තියෙනවනම් හොඳයි . අපිට තවම උදේට කන්න ලැබුනෙත් නැහැ . දැන් දවල් වෙන්නත් ආවා නෙව "

" දවල් දානේ වෙලාවත් තවම නැති එකේ ඉන්න මම අරනොලිස්ලට කන්න දෙයක් දෙන්නම් "

නායක ස්වාමීන් වහන්සේ සීයාටත් මටත් දායකයින් විසින් පූජා කරන ලද කැවුම් සහ කෙසෙල් ඇවරියක් ලබා දුන්හ . එයින් බඩගින්න නිවාගන්නා අතරේ සීයා නැවතත් නායක ස්වාමීන් වහන්සේ සමග කතාවට වැටිණි .

" හාමුදුරුවනේ අපි මේ වලව්වට යන්නේවත් නැතිව තකහනියක් පන්සලටම දුවගෙන ආවේ මේ සන්නසයි ඖෂධ මංජුසා ටිකයි පන්සලේ තියලා යන්න . සන්නස කියවන්න නම් අපිට කොහොමත් පුළුවන් කමක් නැති නිසා ඔබවහන්සේටම තමයි ඒක කියවලා අපිට තේරුම් බේරුම් කරලා දෙන්න වෙන්නේ "

" හොඳයි අරනෝලිස් . මම ඒ රාජකාරිය ඉෂ්ට කරලා දෙන්නම්කො . එහෙනම් මේ මංජුසා ටික මගේ පෙට්ටගමට දාන්න . ඒක අගුල් දැම්මට පස්සේ කවුරුවත් ඒක පරික්ෂා කරන්නේ නැති නිසා අතුරු ආන්තරාවක් සිද්ද වෙන එකක් නැහැ . සන්නස මම කියවලා ඒක සිංහලෙන් ලියලා තියන්නම් . එතකොට අරනොලිස්ලට කියවල තේරුම් ගන්නත් පුළුවන්නේ "

" මම හවස්වෙලා එන්නම් හාමුදුරුවනේ . එතකොට මට පුළුවනි ලියාගන්න . නැත්නම් හාමුදුරුවන්ට කියවන්නයි ලියන්නයි අපහසුයි "

" නැහැ , ඔය දරුවා අද ටිකක් විවේක ගන්න . එකදිගටම මහන්සි උනා නෙව . ඒ නිසා මම ඒ උපකාරය කරන්නම් . ඔය දරුවා අද ටිකක් විවේක ගන්න "

අනතුරුව නායක ස්වාමීන් වහන්සේට සමුදී මමත් සීයාත් පන්සලෙන් නික්මී වලව්වට යාමට පිටත් වීමු . සීයා දිගු වෙලාවක් නිහැඬියාව රකිමින් කරත්තය දැක්කුවේය . එම නිහැඬියාව බිඳ දැමීමට මටද ශක්තියක් එම අවස්ථාවේ නොතිබුණු බැවින් මම කරබාගෙන සිටියෙමි . එහෙත් සීයාම එම නිහැඬියාව බිඳ දැම්මේය .

" පුතේ , නායක හාමුදුරුවෝ ලියලා දෙන ඒවා පුතාටත් මටත් පැහැදිලිව කියවාගන්න පුලුවන්වෙයිද දන්නේ නෑ "






" නෑ සීයේ . හාමුදුරුවන්ගේ අකුරු පැහැදිළියි . හාමුදුරුවෝ පුස්කොල පොත්වලත් රවුම් අකුරෙන් ලියලා තියෙනවා . ඒ නිසා හාමුදුරුවෝ ඒ පුරුද්දට පැන්සලෙන් ලියන්නෙත් හොඳට පැහැදිලිව තමයි "

" ආ එහෙනම් කමක් නැහැ . පුතා කොහොමද හාමුදුරුවන්ගේ අකුරු දැක්කේ ? "

" දහම්පාසලේ වැඩ වලට හාමුදුරුවන්ගේ සමහර ලියකියවිලි ගන්නකොට මම දැකලා තියෙනවා හාමුදුරුවන්ගේ අකුරු "

කරත්තය වලව්වට ළඟාවූයේ අපට නැවතත් නවමු පුවතක රසය ගෙන ඒමේ අපේක්ෂාවෙන්ය . එනම් පන්සලේ විනාශවී ගිය චූඩාමාණික්‍ය වෙනුවට රත්නපුරයෙන් ගෙන ආ අලුත් චූඩාමාණික්‍යය වලව්වට ලැබී තිබීමයි . අප නැති අතරේ රත්නපුරයේ එම ප්‍රභූවරයා මනා ලෙස කපා ඔපදමන ලද චූඩාමාණික්‍යය සුදු රෙදිකඩකින් ඔතා කුඩා ලී පෙට්ටියක මනා ලෙස අසුරා වලව්වට ඒවා තිබිණි . විශේෂත්වය වූයේ එම චූඩාමාණික්‍ය පළුදු රහිත චූඩාමාණික්‍යයක් වීමයි .

මම චූඩාමාණික්‍ය බලා නැවතත් එය තැම්පත්කර කාමරයට ගොස් මන්තර පොත් සහිත පෙට්ටගම විවෘතකර බලා නැවතත් එය වසා දමා ඇඳට වැටී හොඳින් නිදාගත්තෙමි . ඇඳට වැටුණු වහාම නින්ද යන්නට ඇත්තේ ඒ දක්වා ආගිය මාවත් එතරම් පැහැදිළි මාවත් නොවූහෙයින් බව මම විශ්වාස කරමි . සවස අවදිවනවිට සීයා වලව්වේ සිටියේ නැත . චූඩාමාණික්‍ය රැගෙන පන්සලට ගිය බව මම පසුව  ආච්චි අම්මාගෙන් දැනගත්තෙමි .

අප මේ කරන්නට සැරසෙන්නේ ඉතිහාසය උඩුයටිකුරු කරන කාර්යයක්ද ? . මෙම ප්‍රශ්නය සාම මොහොතකම මාගේ සිත තුල නලියන ප්‍රශ්නයකි . එහෙත් භාවනානුයෝගී හිමිනම පවසන ලද්දේ මෙය සීයාට ආත්ම ගණනාවක් තිස්සේ පැවරී තිබුණු රාජකාරියක් බව අමතක නොකරන ලෙසයි . කතරගම දෙවියන් සහ දුටුගැමුණු රජතුමා අතර තිබුණු යම් යම් ගණුදෙනු පිලිබඳ රසවත් කතා මම අසා තිබේ . ඒවායේ ඇත්ත නැත්ත සමහරවිට මේ අවදිවන පුද්ගලයාගෙන් අසා දැනගැනීමට මටත් සීයාටත් හැකිවනු ඇත . ඒ නැතත් ඒ කාලෙ යුද්ධය පිළිබඳව ඔහුගෙන් විස්තර අසා දැනගැනීමට හැකිවනු ඇත . එහෙත් මොහුගේ දේහය නොදිරන නොමැරෙන ලෙස තැම්පත් කරේ ඇයි ? . එයද විසඳාගත නොහැකි ප්‍රශ්නයකි . එම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම අනාගතයටම භාරදී මම අවසාන වතාවට කියවමින් සිටි මන්තර පොතේ නවත්වන ලද තැන පෙරලාගෙන ඇඳේ හාන්සි වී එය කියවීම ආරම්භ කලෙමි . එය සියාතු සීයාගේ මන්තර පොත් එකතුවේ පොතකි . එනිසා පාඩම් කිරීමට වඩා මුලින්ම කල යුත්තේ තිබෙන්නේ මොනවාදැයි කියා පරීක්ෂා කර බැලීමයි .

සීයා නැවතත් වලව්වට පැමිණෙනවිට වලව්වේ ඇති බට්ටා ඔරලෝසුව රාත්‍රී හතේ කණිසම නාදකර අවසානය . සීයා කෙලින්ම ආවේ මගේ කාමරයටය . සීයාගේ එක් අතක නායක ස්වාමීන් වහන්සේ ලියා දුන් පිටපතත් . අනෙක් අතේ ඖෂධමංජුසා අඩංගු මල්ලත් තිබිණි . මම වහා ඇඳෙන් බැස ඖෂධමංජුසා සහිත මල්ල අතට ගත්තෙමි .






" සීයේ මේ ඖෂධමංජුසා ටික නේද ? "

" ඔව් මේ ලියලා තියෙන්නේ අර සන්නසේ තිබ්බ දේවල් . හාමුදුරුවෝ ඒ දේවල් එහෙමම ලිව්වා කියලා තමයි මමත් එක්ක කිව්වේ . ආ මට කියන්න අමතක උනා . පුතා නිදාගෙන හිටපු නිසා මම කතා කරන්නේ නැතිවම ගියා පන්සලට . චූඩාමාණික්‍ය මම හාමුදුරුවන්ට භාර දුන්නා . හදන අලුත් කොතට ඒක සවිකරන්න පිළියෙළ කරන්න ඕන නිසා මම වේලාසනම ඒක නායක හාමුදුරුවන්ට දෙන්න ඕන නිසා වෙලාව ලැබුණු වෙලේ පන්සලට ගියා "

" එකට කමක් නැහැ සීයේ "

" මටත් දැන් හරිම තෙහෙට්ටුයි . මමත් නිදාගන්නවා තව ටිකකින් . පුතා එහෙනම් පොත කියවන්නකෝ "

" හොඳයි සීයේ . මම හාමුදුරුවෝ ලියලා දුන්නු දේවල් කියවලා බලන්නම් . මන්තර එහෙම ඕනවෙනවා නම් මම ඒවත් හොයලා තියන්නම් "

" පුතේ මේ වැඩේට මන්තර ඕන වෙන්නේ නැහැ . හාමුදුරුවෝ කිව්ව විදියට මේකට කරන්න තියෙන්නේ මේ ඖෂධ මංජුසාවල තියෙන ඖෂධවර්ග ටික ඒ මනුස්ස පරාණය තැම්පත් කරලා තියෙන බෙහෙත් ඔරුවට වක්කරන්න විතරයි "

" එහෙනම් කමක් නැහැ . මන්තර මතුරන ඒවා තිබුණත් ඉතින් කමක් නැහැ . ඒත් මෙච්චර ලේසියෙන් මේ දේ කරන්න තියෙනවා කියන්නේ අපිට වැඩ පහසු වෙනවා කියන එකනේ නේද සීයේ "

සීයා මද සිනහවක් පා කාමරයෙන් පිටත්වී ගියේය . මම නැවතත් ඇඳට වැටුණේ සීයා රැගෙන එන ලද නායක හාමුදුරුවන්ගේ පරිවර්ථනය කියවා බැලීමටයි . එහි සඳහන්වී තිබුණේ ධූමරක්ගල කඳුවැටියේ එක් කඳුශිඛරයක ගල් ලෙනක් තුල ප්‍රවේසම් සහිතව තැම්පත් කර තිබෙන සුරනිමල යෝධයාගේ අතවැසියාගේ නොමළ ශරීරයට ප්‍රාණය නැවත ලබා දීමේ ක්‍රියා පිළිවෙල පිළිබඳවයි .

ධූමරක්ගල ප්‍රදේශය අතීතයේ සිටම රාක්ෂස ගෝත්‍රිකයින් වාසය කල ප්‍රදේශයක් බව මා අසා තිබේ . පණ්ඩුකාභය රජතුමා සහ චේතියා වෙළඹ ලෙස වෙස් ගත් යක්ෂණිය පිලිබඳ කතා පුවත නිර්මාණය වී තිබෙන්නේ මෙම ධූමරක්ගල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයකය , ඉන් එහා ගිය ඉතිහාසයක් මෙම ධූමරක්ගල ප්‍රදේශයට තිබෙන බව මම කියවන ලද පොත් පත් වල සඳහන් වී තිබේ .

ධූමරක්ගල යනුවෙන් සඳහන් වන්නේ අතීතයේ ප්‍රාදේශීය පාලකයෙක් ලෙස රජකම් කරන ලද " සුමාලි " නම් රාක්ෂස නායකයාගේ පුත්‍ර ධූම්ර රාක්ෂ නම් රාක්ෂස සෙන්පතියාගේ වාසස්ථානය සහිත ප්‍රදේශයයි . මොහු ලංකේෂ්වර උතුම් මහරාවණ රජුගේ සහෝදරයෙක් බවද සඳහන් වී තිබේ . එනම් ධූම්ර රාක්ෂ යනුවෙන් හඳුන්වන්නේ රාවණ මහරජුගේ මාමා කෙනෙක්ය . රාම රාවණ සටනේදී මෙම ධූම්රරාක්ෂ සෙන්පතියා රාවණ සේනාවේ සෙන්පතියෙකු ලෙස කටයුතු කල අතර අවසානයේදී රාවණ රජුට පළමුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය . ඔහුගේ බල ප්‍රදේශයට සුරනිමලගේ අතවැසියා තැම්පත් වූයේ ඇයි ? . ඔහු රාක්ෂස ගොත්‍රිකයෙකුවත්ද ?

රාත්‍රී දොළහේ කණිසම නාදවීමත් සමගම මට නැවතත් නිදිමතක් ආ හෙයින් නායක ස්වාමීන් වහන්සේ විස්තර ලියා එවන ලද පොත පැත්තකින් තබා නැවතත් නින්දට වැටුනෙමි . මාහට එසැනින් නින්ද ගියද සුළු මොහොතකින් මා නැවතත් අවදි වූයේ අවටින් හමා ආ මහා සුළඟට කාමරයේ ජනේල පළුවක් මහා හඬක් නවමින් ජනේල උළුවස්සේ වැදීම නිසාය . මම ඇඳෙන් බිමට බැස නිදිගැට කඩමින් ජනේලය අසලට ගොස් එය වසා අගුලු දැමීමට සැරසෙන මොහොතේ නිකමට වාගේ මිදුල දෙස බලනවිට දුටු දෙයින් පුදුමයට පත් වීමි . සුදු හැඳගත් හතරදෙනෙකු මිදුලේ පැහන්පැල අසල නැවතී වලව්ව දෙස බලා සිටි අතර මා ජනේලය අසලට ආ විට ඉන් එකෙකු මා සිටි සමීපයට එන්නට සැරසුනේය . මම ජනේලය වසා දමා කාමරයේ දොර විවෘත කර සීයාගේ කාමරයේ වෙත දිවගියෙමි .







" සීයේ සීයේ . ඉක්මනට නැගිටින්න . අන්න අර ගුහාව මුර කරපු යක්කු හතරදෙනා වලව්වට ඇවිල්ලා "

මම සීයාගේ කාමරයේ දොරට වේගයෙන් පහරදෙමින් සීයා අවදි කිරීමට උත්සාහ ගත්තෙමි . සීයා අවදි වූයේ නැත . පසුව මම තනිවමම වලව්වේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පිවිසියෙමි . සුදු හැඳගත් හතරදෙනා දැන් සිටින්නේ මම සිටින තැනට අඩි කීපයක් ඉදිරියෙන්ය .

" ඔය ඇත්තෝ මොකද මෙහාට ආවේ ? "

" උඹ අපිව නොමග යවලා අපි අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කරපු වස්තුව අපෙන් උදුරගත්තා . අපි ආවේ උඹෙන් පලි ගන්න "

" ඒවා උඹලට අයිති දේවල් නෙවෙයි . ඒවා උඹලට තාවකාලිකව අයිති කරලා තිබුණු දේවල් විතරයි . දැන් ඒවාට කරන දේවල් තීරණය කරන්නේ අපි "

" හඃ හඃ හඃ හඃ . උඹලා අපේ අයිතිය නැති කරා . අපි අවුරුදු ගාණක් ඒවා ආරක්ෂා කරේ මිනිස්සුන්ට ලැබෙන්න සලස්වන්න නෙවෙයි . අපේ සනුහර් උන් රජකරන දවසක ප්‍රයෝජනයට ගන්න . උඹලා අපේ දේවල් හෝරා ගත්තා . උඹලා හදන්නේ අපේ සනුහරේ එකා අවදි කරලා සඳ එළියේ අසිපත හොරාගන්න "

මම ගුහා දොරකඩ අසලදී මෙන් වෙසමුණිසැරය නැවතත් පිඹීමි .


.....................ඕන් ද්රීඟ ද්රීඟ වෛමණ්ඩල සුබාහානා අතීන්ද්‍ර ප්‍රාතා තීල ගවරාමා ජළඟ කර්ග්ග විෂ්ණු පූට්ටු ආදේසා දේවගුරු සක්කෝල සාමා සර පූට්ටු ආදීග්ර වූ සූරිය මණ්ඩල ඉරු රැස් රාම ශර පූට්ටු කඳ කුමාර නාරයනේ විෂ්ණු ගිනි පූට්ටු කියා මයුර විල්ලෝඩි දැපනේ සිටු කියා මේසේ මේ මන්ත්‍ර රාජයාගේ ආනුභාවයෙන් වෙසමුණි දිව්‍ය රාජයින් වහන්සේත් නමස්කාර කර සිටියාහ ඕන් ගරුඬ ජාල කදිර නාරායනේ විෂ්ණු ගිනි පූට්ටු කියා සමන් දෙවියොත් නමස්කාර කර සිටියාහ ඕන් සුක්‍රී ගුරු ලාදාර දේස් රාජාහෝ පූට්ටු කියා මයුරාසන කඳ ස්වාමීන් වහන්සේත් නමස්කාර කර සිටියාහ වෛමණ්ඩල විෂ්නුගිනි පූට්ටු නාරායනේ වෙසමුණි සැර දහර දහර මත මත චම්පා සැර දහර හෙනගිණි පටලවා බන්ධ බන්ධ යක්ෂ යක්ෂයා යක්ෂනී ආලෝක දැපනේ හිටු යක්ෂයා ආලෝක දැපනේ හිටු........................

" හඃ හඃ හඃ . උඹ හදන්නේ අපිට ආයෙත් වෙසමුණි සැරය පිඹලා අපිව බය කරන්නද ? "

එසේ කියමින් එම සුදු හැඳගත් හතර දෙනා නැවතත් යක්ෂ වෙස් ගෙන මා වටා කැරකෙන්නට විය . මම කිසිවක් කරකියාගත නොහැකිව ගල්ගැසී බලාගෙන සිටියෙමි . අවසානයේ ඉන් එකෙකු කඩුවකින් මට කෙටූ අතර මම " මාව මරන්නට එපා ! " යැයි දෙතුන් වතාවක් කෑගසීමි .

මා අවදිවනවිට සීයාත් ආච්චිඅම්මාත් අම්මාත් තාත්තාත් මා වටකරගෙන සිටියහ . ඔවුන් කාමරයට පැමිණ තිබෙන්නේ මා කෑගැසූ හඬ ඇසීමෙනි .

" චූටි පුතේ "

" හ්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්............ "

" පුතා හීනෙන් බය උනාද ? "

මට කතාකරගන්න බැරි තරමටම මා දුබල වී සිටියෙමි . එහෙත් අමාරුවෙන් වචන ගැටගසා මම සීයාට මා දුටු දේ විස්තර කලෙමි .

" ස්ස්ස්ස්........සීයේ . අර................ ය්ය්ය්ය්......ක්කු හතර දෙනා  . මට කඩුවකින් ගැහුවා ,,,,,,,,,,,........ "

මට මතක එපමණකි . මා නැවතත් නින්දට වැටී තිබුණු අතර මා නැවතත් අවදි වූයේ උදෑසනය . ඇඟපත සෙලවීමටවත් නොහැකි තරම් අප්‍රාණික බවක් දැනේ . එහෙත් මම අමාරුවෙන් අමාරුවෙන් ඇඳෙන් බිමට බැස්සෙමි .

" අම්මේ..... "

මම අමාරුවෙන්ම අම්මාට කතා කලෙමි . ඒ අතරේ කාමරයේ දොර අසලට යාමට සෙමෙන් සෙමෙන් පා තබා ඇවිදගෙන ගියද වැඩිදුරක් යාමට මත්තෙන් මා නැවතත් ඇදගෙන වැටෙන්නට යනවා මෙන් දැනිණි . ඒත් එක්කම දකින සියල්ල අපැහැදිලිවී ගියේය . මට මතක එපමණකි . මා නැවතත් සිහි නැතිව ඇදගෙන වැටී ඇතිඅතර මට සිහිය එනවිට සීයා මගේ හිසට අත තබාගෙන මතුරමින් සිටියේය . අම්මාත් තාත්තාත් මගේ දෙපා අසල සිටගෙන සිටියහ .

ආච්චිඅම්මා කට්ටකුමන්ජල් දුම් අල්ලමින් සිටියාය . මම වචන ගැටගසා කතා කිරීමට සැරසෙනවිට සීයා අනෙක් අතේ දබරගිල්ල මුව අසලට කිට්ටු කර කතා නොකරන ලෙස මට සංඥා කළේය . ඒවනවිට මගේ මුළු ශරීරයම ගිනි කබලක් මෙන් රත්වී තිබිණි . මතුරමින් සිටි සීයා මද වෙලාවකින් කාමරයෙන් පිටත්වගොස් ගැට දමන ලද සුදු නූලක් රැගෙන ආවේය . නැවතත් මතුරන අතරේ සීයා එය මගේ බෙල්ලේ ගැටගැසුවේය . මට යක්දොසක් ඇතිවී ඇතිබව මම වටහාගත්තෙමි . අමනුෂ්‍යයින් සමග සෙල්ලම් කල මටද ඔවුන් කොකාපෙන්නන බවක් පෙනේ .

නූල දැමූපසු ඇඟට තරමක ප්‍රාණවත් බවක් ලැබිණි . මම සීයාට හීනය පැහැදිළි කල අතර සීයා මට කාමරයෙන් පිටතට තනිවම නොඑන ලෙසත් මේ යක්කු හතරදෙනා බන්ධනයකර සොහොනක ගසක තබා ඇන ගැසීමට හෝ බෝතලයක සිරකර දැමීමට හෝ අවශ්‍ය බව කීවේය . එය කිරීමට ගුරුකමක් කිරීමට අවශ්‍යය . එය ලොකු ගුරුකමකි . සියල්ල සිදුකිරීමට වන්නේ සීයාටය . මේ මොහොතේ මම අකර්මණ්‍ය තත්වයේ සිටිමි .

" චූටි ගුරුන්නාන්සේට යක්දොසක් "







ගම පුරාම කතාව පැතිරගොස් ඇතිබවක් මට සිතුනේ දවල් වනවිට මා බලන්නට ආ අයගෙන්ය . මුලින්ම ආවේ වෙදගෙදරින්ය . වෙද සීයා සමග ඇයද මා බැලීමට ආ අතර මා සමග වචනයකුදු කතා නොකර බලාගත්වනම බලා සිටියාය . පන්සලේ නායක ස්වාමීන් වහන්සේද වලව්වට වැඩියහ . සීයා සමග උන්වහන්සේ කාමරයට වැඩ මාගේ සුවදුක් විමසූහ .

" ගුරුන්නන්සේලටත් මෙල්ල වෙන්නේ නැති අය ඉන්නවා එහෙනම් "

කියමින් නායක ස්වාමීන් වහන්සේ පිරිත් කියන්නට සැරසිණි . සීයා නායක ස්වාමීන් වහන්සේව නතර කළේය .

" හාමුදුරුවනේ මේ වෙලාවේ පිරිත් කියන එක ඇඟට ගුණ නැහැ . මෙතන වෙන දෙයක් තියෙන්නේ . ඒ නිසා පිරිත් කියලා මේක නවත්තන්න බෑ . ගුරුකමෙන්ම තමයි මේ දේ කරන්න ඕන "

" හොඳයි හොඳයි අරනෝලිස් . අපි ඉතින් යක්කු භූතයෝ මෙල්ල කරන විදිගැන දන්නේ නැහැ නෙව "

හවස්වනවිට වලව්වට කීපදෙනෙක් පැමිණ ඇතිබව මට කතා කරන ශබ්දයෙන් හඳුනාගත හැකි විය . සීයා යක්කුන් බැඳීමට සූදානම් වනවා වියයුතුය . පසුදා සවස වන විට සියල්ල සූදානම් විය . බෙරගල මාමාද තවත් බෙර ගසන කෙනෙක්ද වලව්වට ආහ . සවස හය පමණ වන විට සීයා මාව කාමරයෙන් එලියට කැඳවාගෙන ගියේය .

 මල් ආසන , යක් තටු ආදිය සියල්ල සූදානම් කර තිබිණි . සීයා තෙරුවන් වැඳ රාජකාරිය පටන් ගත්තේය .

උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරනේ
සමග සඟ සරනේ - සදා වඳිමුව මෙතුන් සරනේ

සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස , ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීප සතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, , දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයත් දිවැස්‌ බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස·. අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්වයාට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස මොහුට වැළඳී ඇත්තා වූ දේව දෝෂ යක්ෂ දෝෂ ඇස්‌වහ කටවහ හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්‌වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී මොහුගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්‌වායි, ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·!!!!!

සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනාරූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද · මුහුණු සයකින් · විචිත්‍ර නානාවිධ ආයුධ දොළසක්‌ අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· කතරගමට කිරි වෙහෙරට, මැණික්‌ ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩිහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබදෙවි හාමුදුරුවන් වහන්සේට අතනගා අයෑද සිටින්නේ මොහුට සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් මා අත යම් වරදක්‌ ඇතත්, ඔබ වහන්සේ සමා වී මා විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද· ඇස්‌වහ, කටවහ, නවග්‍රහ හූනියමකින් වැද පැමිණි සියලු දොaෂ ගසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා· ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා !!!!!

තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි . තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් මේ ආතුරයාආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!

ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩවසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක්‌ ගෙන එය ආරක්‍ෂා කරන මහාධීර වීර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,
අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ මණිඅක්‌ත නාරජුගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වැඩි ගමනේදී ඔබ වහන්සේගේ ඉල්ලීම පිළිගෙන වසර පන්දහස්‌ පන්සියයක්‌ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය බැබළෙන බැව් දිව නෙතින් දැක සමන්තකූඨ පර්වත මස්‌තකට වැඩම කොට තමන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාලෙන් බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදු වූයේ ඉමහත් සේවයකි.
එවක්‌ පටන් ඔබ වහන්සේ ශ්‍රී පාදස්‌ථානය භාරව සිංහල දේශයත් බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරනවා සත්‍යයයි. දොහොත් ඒ සත්‍යානුභාව බලයෙන් මුදුන්දී ඉල්ලා සිටින මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා අප වෙත බලපාන්නා වූ අණ විණ දෝෂාන්ධකාර යක්‍ෂ, භූත ප්‍රේත පිසාචාදීන්ගේ ඇල්ම, බැල්ම, විද්වංශනය කොට දී වාත පිත්ත සෙලෙස්‌මාදියෙන් වන දොෂාන්ධකාර ග්‍රහ දෝෂ හිරු දුටු පිනි මෙන් දූරී භූත කරවා ඔබ වහන්සේගේ පිහිටපතා වැඳවැටී අයදින්නා වූ අපගේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්‌වා කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!

....................................ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නම................................

සීයා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කර යක්ෂ දිෂ්ටි ගෙන්වාගැනීමට මන්තර පුරන ලදී 

...............මරුකාම හස්තිරේ වා වා නසී කොන්ඩු වාරුම් වර බන්ධ යක්ක සේනා හෙන ගිනි බන්ධන ඉඩහැරී එන්ඩ යක්ක සේනා වා අඩා වා................
ආකාශ වාරුන් පාතාල වාරුන් වර යක්ක සේනා වඩිග බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා .....................
ඇසුර ගිනි රාක්ෂ යක්ක සේනා රාම ශර බන්ධන ඉඩහැරී එන් යක්ක සේනා වා අඩා වා ............
සත් ඉර සත්දන්ත කපාල කොන්ඩු විෂ්ණු දළ කඩවර වර යක්ක සේනා පිල්ලි බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා.......................
සිවාකා මේ කා කා වාරුන් වර යක්ක සේනා රාම බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ................
භාගිනි රාක්ෂයා වඩිග හඬ දැරූ ගිනි රාමයෙන් යක්ක සේනා තෙලිඟු බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා .........................
කල්ලු ගිනි රාක්ෂ දේව ගිනි නීල රාක්ෂ යක්ක සේනා විෂ්ණු බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ........................
කයිරප්පාම් රාඩී වර සොහොන් යක්ක සේනා දෙවගිනි බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ............
දේව කාම ගුරුළු නීල කොන්ඩු වැරුම් වර යක්ක සේනා දේව බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ...................
ගුරු පේසා හැර ගිනි වඩිග කොන්ඩු වැරුම් වර යක්ක සේනා ජාල බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා .................
සූර්ය නීලා කොන්ඩු ප්පේසා සීසා යක්ක සේනා තාරුකා බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ......................
රන් ගිනි කුමාර අප්පොච්චී පාතාල නාග වාරුම් යක්ක සේනා චන්ද්‍ර බන්ධන ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ....................
කදිර වා පාතාල යක්ක සේනා ග්‍රහ බන්ධන පිපිරී ඉඩ හැරී එන් යක්ක සේනා වා අඩා වා ..............

මන්තර මතුරන අතරවාරයේ සීයා අංජනම ඇර බැඳීමට අවශ්‍ය යකුන් ආවාදැයි පරීක්ෂා කරමින් සිටියේය . අවසානයේ සීයා යක්ෂ බන්ධනය කිරීමට අවශ්‍ය යකුන් ආ විට මුලින්ම ඔවුන්ට දොළ කැපකරදී ඉවත් වන්නට අණ කළේය . එහෙත් ඒ අණ ඔවුන් නොපිළිගන්නා නිසාවෙන්දෝ යක්ෂ බන්ධන මන්තර කියමින් නූලක් මතුර ගැට හිර කළේය . 

පසුව පිදේනි තටුද රැගෙන කනත්තට ගිය සීයා යකුන් කනත්තේ ගසකට තබා කහ දියර ඉස ඇන ගසා නැවතත් වලව්වට ආවේය . සීයාගේ උදව්වට බෙරගල මාමාද සීයා සමග කනත්තට ගියේය . සියල්ල අහවරය . පසුව සීයා මගේ බෙල්ලේ ගැටගසා තිබුණු ආරක්ෂා නූල ඉවත් කළේය . 

සඳ එළියේ අසිපත යනු කුමක්ද ? 

මගේ සිතේ ඇති අලුත්ම ප්‍රශ්නය එයයි . 


ඊළඟ කොටසින් හමුවෙමු . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments: