කළු කුමාර වෛරෝඩිය ( 4 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

 පසුගිය කොටසින්

" ආ ඒ ඩිංගට වීත් පැටෙව්වද ? . මම එහෙනම් එක වී ගෝනියක් පන්සලට යවලා අනිත් එක වලව්වේ තියාගන්නම් අපේ ප්‍රයෝජනයට . එහෙනම් අපි යන්නම් සරනේලිස් . උදව්වට ආව අයටත් තේ කහට ඩිංගක් වත් හදලා දෙන්න බුලත් විටක් එක්ක "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" චූටි පුතේ එහෙනම් අපි යමු "

සරනේලිස් මාමගේ බිරිඳත් , දුවත් , සරනේලිස් මාමාත් අපිට වැඳ ආචාර කළහ . පැමිණ සිටි අයගෙන්ද වැඩි දෙනෙක් අපට ආචාර කළහ . අපි නිවසින් නික්මුනෙමු . මීළඟට තිබෙන්නේ සඳමලී නංගි මුණගැසී සිදු වූ සහ සිදුවන දේවල් පිළිබඳව කතා බහ කිරීමයි .

අද එතැන් සිට

සීයාත් මමත් වලව්වට එන අතරමගදීම කරත්තය පන්සල වෙත හරවාගෙන ගොස් සරනේලිස් මාමා ලබාදුන් වී ගෝනි දෙකෙන් එකක් පන්සලේ තබා ඒමට අපි අමතක නොකළෙමු . රාත්‍රියේ වුවද එය කිරීමට සීයා උනන්දු වූයේ වලව්වට රැගෙනවිත් නැවතත් ගෙනයනවාට වඩා කලින්ම පන්සලට රැගෙන ගොස් තබා ඒම වටිනා බැවිනි .





වලව්වට එන විට රාත්‍රී එකොළහ පමණ වී තිබිණි . අප නැවත පැමිණෙනතුරු අම්මාත් ආච්චිඅම්මාත් අවදිව සිටියහ . කෑම මේසයට බෙදා වට්ටියෙන් වසා තිබිණි . සීයා කෑවේ නැත . එහෙත් මම කෑවෙමි . දවාලටද හරිහමන් කෑමක් නොගත් නිසා මම තරමක් හාමත්වී සිටියෙමි . කෑම පිඟාන බෙදාගත් පසුව අම්මා මට ඉස්තෝප්පුවට එන්න යැයි කියමින් ඉස්තෝප්පුව දෙසට ගියාය . මම එහි ගිය පසු නැවතත් මාතෘකාව වූයේ සඳමලී ය .

" තාත්තා කිව්වා වෙදගෙදර යන්න දවසක් කතා කරගන්න කියලා . ඉරිදට මතක ඇතුව සඳමලීදුවට කියන්න එහේ එන්න දවසක් අහලා කියන්න කියලා "

" හා "

" කේන්දරේ එහෙමත් ඉල්ලගන්න වෙයි "

" මං ගාව තියෙනවා "

" ආ දෙන්නා පොරොන්දනුත් බලලද තියෙන්නේ ? "

" හ්ම්ම්ම් "

කියමින් මම සිනාසුනෙමි .

" බලන්න අම්මේ . මේ ළමයි අන්තිමට කසාද බඳිනකණුත් අපි දන්නේ නෑ . පොරොන්දනුත් බලලලු තියෙන්නේ "

" ඔව් ඉතින් වැඩිපුර ඉගෙනගත්තේ ඒවත් කරගන්නනේ "

කියමින් මම නැවතත් සිනාසී කතාව අවසන් වන බවක් නොපෙනුණු හෙයින් ඉස්තෝප්පුවේ මම හිඳගෙන සිටි පුටුවෙන් නැගිට කෑම මේසය මත හිස් පිඟාන තබා කාමරයට ගියෙමි . මෙතෙක් වේලා මල්ලක දමා තිබුණු අංජනමත් කිනිස්සත් අතටගත් මා ඒවා ඇඳ උඩ තබා පෙට්ටගම විවෘත කලෙමි . අංජනම හා කිනිස්ස නියම තැන තබා පෙට්ටගම වසා අගුල්ලා යතුර ඉවතට ගෙන මම නිදාගන්නට සැරසුනෙමි .

ඇඳට වැටුණු මා හට එසැනින් නින්ද ගියේ නැත . මා කල්පනා කලේ මිනිසුන්ගේ නොපනත්කම් පිළිබඳවය . තමන්ට අකමැති කෙනෙකුට විවාහ වීමට යෝජනා කිරීම මෙන්ම එයට අකමැති වූවිට අනෙකාගෙන් පළිගැනීම කෙතරම් නින්දිත ක්‍රියාවක්ද . ඒවාට හූමිටි තියන අය මෙන්ම මන්තර ශාස්ත්‍රය භාවිතා කරන අයද සමාජයේ ගැරහුමට ලක්විය යුතුය .





පසුදා සම්පූර්ණ දිනයම මා ගත කරන ලද්දේ දහම්පාසලේ ඉගැන්වීමට අවශ්‍ය පොත් කීපයක් කියවීමටය . ඒ ඒ වයසේ ළමුන්ට ඉගැන්වීමට නියමිත දහම් කරුණු නැවතත් ස්මරණය කරගැනීම වෙනුවෙන් මම ඒ පොත් කියවීමි . සඳමලී පිළිබඳව නැවතත් වලව්වේ කිසිවෙක් කතා කලේ නැත . පසුවදා ඉරිදාය . මම දහම්පාසල් යාමට සැරසී පොත් මිටියත් අතින් ගෙන වලව්වේ සියල්ලන්ටම වැඳ යන්නට සැරසුනෙමි . එවිට අම්මා

" මතකයිනේ තාත්තා කිව්ව දේ ? "

කියමින් වෙද ගෙදර යාමට දිනයක් කතා කරගතයුතු බව මාහට නැවතත් සිහිපත් කළාය . මම සිනහවකින් එයට පිළිතුරුදී වලව්වෙන් පිටත් වීමි . වලව්වේ කඩුල්ල දෙසට යනවිට ඈතින් වෙදගෙදර පෙනේ . මොහොතකින් වෙද ගෙදරින් සඳමලී නංගිද පිටත්වී මා ඉදිරියටම ආවාය . ඇයද දහම්පාසලය යන්නට සූදානම්ය . ඇය ආවේ බිම බලාගෙනය . මා ඉදිරියට ආ ඇය පන්සල දෙසට හැරුනා මිස මාහා වචනයකුදු කතා කලේ නැත . මමද කතා නොකරම පන්සල වෙත ගමන් ඇරඹුවෙමි .

" චූටි අයියේ "

" ම්ම්ම්ම්ම්ම් "

" චූටි අයියේ "

" ම්ම්ම්ම්ම්ම් "

" කතා කරන්නකෝ ඉතින් "

" ම්ම්ම්ම්ම්ම් "

" මං තරහයි එහෙනම් "

" ම්ම්ම්ම්ම්ම් "

ඇය අප්‍රසාදයෙන් බිම බලාගෙන පන්සලටම ගියාය . එදින දහම් පාසලේ වැඩකටයුතු හොඳින් සිදුවිය . ඒ අතරවාරයේ ඇය සමග මුහුණට මුහුණ හමුවුවද වචනයකුදු කතා නොකිරීමට මම වගබලා ගත්තෙමි . දහම්පාසල නිමාවිය . මම ඇය එන මග බලා හිඳ ඇය සමගම නැවතත් වලව්වට යාමට පිටත් වුණෙමි .

" චූටි අයියා මාත් එක්ක තරහද ? "

" හ්ම්ම්ම්ම්ම් "

" කතා කරන්නකෝ "

" ඔන්න තාත්තා කිව්වා අපිට එහෙ මනමාලි බලන්න එන්න දවසක් අහලා කියන්න කියලා . ගෙදර ගිහින් අහලා දවසක් කියන්න අපිට එන්න "

ඇයගේ මුහුණ එළිය වැටුණේ එවිටය .

" හෙට එන්න "

" නංගි ගෙදර ගිහින් අහලා කියන්න . හෙට නෙවෙයි වෙන දවසක් "

" එහෙනම් අද එන්න "

මම වටපිට බලා ඇයගේ කණෙන් අල්ලා ඇද්දෙමි .

" පැහිලා වැඩියි "

" ඇයි මම විතරද ? චූටි ගුරුන්නාන්සේ දැන් පැහිලා ඉදිලා . ඉස්සර පිරිවෙණට යනකොට මූණ බලලා කතා කරන්නේ නෑ . ඒකට දැන් "

" එහෙම තමයි ග්‍රහයා මාරු වෙනකොට . මම යන්නම් නංගි . එහෙනම් දවසක් අහලා කියන්න "

" හා "

" බුදුසරණයි "

" බුදුසරණයි "





ඇය වෙදගෙදරට හැරුණු පසු මම වලව්ව දෙසට හැරුනෙමි . වෙද ගෙදර පැත්තේ ළඟකදී ගියේ නැත . වෙදකම් ඉගෙන ගනිල්ලද අතරමග ඇනහිට ඇත . එහෙත් දැන්මම එහි යාම හොඳ නැත . මේ සිදුවන සියන්න සාමකාමී වූ පසු නැවතත් වෙද ගෙදර යායුතුය . එසේ සිතමින් මම වලව්වේ ඉස්තෝප්පුවට ගොඩවැදුනෙමි .

" අම්මේ "

කියමින් මම වලව්වේ පිටුපසට ගමන් කලෙමි .

" මම සඳමලී නංගිට කිව්වා දවසක් අහලා කියන්න කියලා "

" ඒක හොඳයි කල් යවන්නේ නැතුවම කිව්ව එක "

නැවතත් උදා වූයේ නිහඬ නිස්කලංක ජීවිතයකි . මම වලව්වට වී පොත් කියවමින් කාලය ගත කලෙමි . සමහර දිනයන්හීදී වෙද ගෙදර ගියානම් හොඳයි යන හැගීම ඇතිවුවද මේ ටික දිනයේ නොයාම සුදුසුය යන්න මම නැවත නැවතත් සිහිපත් කලෙමි . දින කිහිපයකට පසුව වෙද සීයා , සීයා හමුවී වෙද ගෙදර ඒමට දිනයක් දන්වා තිබිණි . ඉන් අනතුරුව වලව්වේ සියල්ලෝම සූදානම් වන්නට පටන් ගත්තේ ගුරුන්නාන්සේ වලව්වේ අලුත්ම සාමාජිකාව බැලීමට යාමටය . අම්මාත් ආච්චිඅම්මාත් එකතුව කැවුම් කොකිස් මුංකැවුම් ආස්මි ආදී කැවිලි සෑදුවේය . සීයා වත්ත පහල තමා සිටුවා ඇති ආනමාලු කෙසෙල් පඳුරේ ඉදීමට ඔන්න මෙන්න තිබෙන කෙසෙල් කැනක් ජේමිස් ලවා කප්පවා ගෙනාවේය . තාත්තා සියල්ලන්ටම අලුත් ඇඳුම් ගෙනාවේය . එවලව්වේ පොඩි පහේ මංගල්‍යයක් බඳුය .

නියමිත දිනයේ වලව්වේ සියල්ලෝම වෙද ගෙදර ගියහ . කැවිලි පුරවන ලද විශාල තල්කොළ පෙට්ටියක්ද ආනමාලු කෙසෙල් කැනද කරත්තයේ වැඩි ඉඩක් ගත්තේය . එබැවින් තාත්තාත් මමත් කරත්තය සමග පයින් ගියෙමු . වෙද ගෙදරට පළමුව පා තැබුවේ සීයාය . අනතුරුව අනිත් සියල්ලෝම වෙද ගෙදරට පිවිසියහ . සියල්ලන්ම පිළිගත්තේ වෙද සීයාත් ආච්චිඅම්මාත් සඳමලී නංගිගේ තාත්තාත් විසිනි .

" කෝ වෙද මල්ලියේ සඳමලී දුවගේ අම්මා ? "

" කෙල්ලව ලෑස්ති කරවනවා අරනෝලිස් අයියේ "

" ඔන්න එහෙනම් පරණ නෑදෑකම් ආයෙත් අලුත් වෙන්න යන්නේ "

" ඒකතමයි අපිත් කලින් කතා වුණේ . කොච්චර දෙයක්ද ඒක "





ටික වෙලාවක් කතා කරමින් සිටි පසු සඳමලී නංගිගේ අම්මා සඳමලී නංගිව වෙද ගෙදර සාලයට කැඳවාගෙන ආවාය . ඇය ලා කහ පැහැති ඔසරියකින් සැරසී උන්නාය . කොණ්ඩය බැඳ එහි කහපාට මලක්ද ගසා තිබිණි . ඇය බුලත් හෙප්පුව රැගෙනවිත් මාහට පිළිගන්වා ලජ්ජාවෙන් බිම බලාගෙන සිටියාය . ඇය නැවතත් කාමරයට යන්නට සැරසෙන විට සීයා ඇයව ඇමතුවේය .

" හා හා දෙන්නා එක්ක හොරෙන්ම කතා බැහැ කරගෙන දැන් ලැජ්ජාවේ කාමරේට යන්නේ මොකටද ? . මෙන්න මෙහෙන් ඉඳගන්න "

කියමින් සීයා මා අසල තිබුණු හිස් අසුන පෙන්වීය . එය ඉබේ හිස් වූවක් නොවේ . හිතාමතාම හිස් කරන ලද අසුනකි . ඇය එහි හිඳගත් පසු සියල්ලෝම අප දෙදෙනා අපහසුතාවයට පත් කරන අන්දමේ විහිලු තහළු කරමින් මදවේලාවක් උන්හ . අනතුරුව සඳමලී නංගිගේ අම්මා අපට වතුර අල්ලා දිවා භෝජන සංග්‍රහය භුක්ති විඳීමට ආරාධනා කළාය .

එදින මගේ ජීවිතයේ තවත් වැදගත් දිනයක් විය . මාගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂය එදින නිල වශයෙන් සනිටුහන් විය . දැන් තිබෙන්නේ අප දෙදෙනා විවාහ වීමෙන් එම හැරවුම් ලක්ෂය ඔස්සේ නවමු මාවතකට අපගේ ජීවිත රැගෙන යාමයි . සඳමලී නංගි බැලීමට ගියපසු චූටි ගුරුන්නාන්සේ සහ සඳමලී වෙද හාමිනේ අතර ඇති සම්බන්ධය කුමක්ද කියා ගමේ කවුරු කවුරුත් දැනගත්හ . දැන් ඔවුන් එය දැනගත්තා කියා ප්‍රශ්නයක් වෙන්නේ නැත . දෙදෙනාගේම නිවෙස්වල සිටින අය මේ සියල්ල දන්නා නිසා ගැටළුවක් නැත . සියල්ල සමාදාන වීමෙන් අනතුරුව සඳමලී නංගි අපේ වලව්වට ඒමත් . මම වෙද ගෙදරට යාමත් සාමාන්‍ය දෙයක් විය . අප දෙදෙනා අපගේ සීමාව කුමක්දැයි හරිහැටි අවබෝධ කරගෙන ආශ්‍රය කල නිසාවෙන් දෙදෙනාගේ වැඩිහිටියන්ගෙන අපට බාධාවක් වූයේ නැත .





මසක් පමණ ගතවූ පසු එක් දිනයක කවදාවත් ගුරුන්නාන්සේ වලව්වට නොආ විශේෂ අභියෝගයක් ලැබිණි . ඒ පොල් මුදලාලිගේ පුතාගෙන්ය . එදින මා උන්නේ වලව්වේ ඉදිරිපස බැංකුවේ හිඳගෙනය .

" ඕයි........... ගුරා.................. මෙහෙ වරෙන් හොර ගුරා............... තොපි මාව කෑවා යකෝ..........."

යැයි ඔහු කා ගැසුවේය . මම එහෙත් නෑසුනා සේ සිටියෙමි . නමුත් මාහට එය පුදුමය දනවන සිදුවීමක් විය .

" තොපි මම කරපු බන්ධනේ කඩලා දාලා අරකිව අරුත් එක්ක බැන්දෙව්වා වල් හැත්ත . තොපිට සහ ගහනවා යකෝ . මම ඒකිව මගේ කරගන්න හදත්දී තොපි මොනවද කලේ "

එසේ කියමින් ඔහු කඩුල්ල පැන කෙමෙන් කෙමෙන් වලව්ව දෙසට ආවේය . ඔහු සිටින්නේ යහපත් සිහියෙන් නොවේ . නමුත් මා තවමත් හිඳින්නේ බංකුව මතය .

ඔහු වලව්වේ ඉදිරියට පැමිණ දෙපැත්තට වැනෙමින් නැවතත් කෑගැසුවේය .

" ඒයි අරනෝලිසා මෙහෙ වරෙන් යකෝ . මට උඹත් එක්ක ගණුදෙනුවක් තියෙනවා බේරගන්න . උඹයි උඹේ මුණුබුරයි මගේ ගුරුකම කැඩුවා . තොපිට තියෙන අමාරුව මොකද්ද යකෝ මගේ ගුරුකම කඩන්න ? "

සීයා ඒ වෙලාවේ වලව්වේ ප්‍රධාන දොරටුවෙන් එළියට පැමිණියේය .

" කවුද මේ ? "

" කවුද ? . මගෙන් කවුද අහන්න ඔහේ කවුද ? . එන්න කියනවා අරනොලිසාට "

" මම තමයි අරනෝලිස් කියන්නේ "

" ආ . උඹයි උඹේ මුණුබුරයි මම කරපු ගුරුකම කඩලා දැම්මා . මම ආවේ එහෙම කරේ ඇයි කියලා අහන්න "

" ඔය ළමයා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක එන්න . එතකොට මම කියන්නම් ඇයි එහෙම කරේ කියලා "

" තොපි මහ අලුකුත්තේරු ජාතියක් . මම තමයි යකෝ පොල් මුදලාලිගේ එකම පුතා  එකම උරුමක්කාරයා "

මේ ශබ්දය ඇසී පාරේ යමින් සිටි ගමේ කීපදෙනෙකුද වලව්වේ මිදුලේ එක්රොක් විය . ඔවුන් සීයාගේ හැටි දන්නා නිසා දෑත් හිසේ හොවා ගනිමින් බලා සිටියේ සීයා මතුරා අත පා මෙම බේබද්දා බිමට දමන්නේ කොයි වේලාවේද කියා බලා ගැනීමටය . එහෙත් සීයා එයට හදිස්සි වූයේ නැත . සීයා සාමාන්‍යයෙන් මෙවැනි හිස් පුද්ගලයින් වෙනුවෙන් මන්ත්‍රය හෑල්ලු කරන්නේ නැත .

" මම තොපෙන් පලි ගන්නවා . උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "

ඔහු අභියෝග කලේ මටය . මමද සීයා සේ ඉවසා සිටියෙමි . ඔහු වැනෙමින් ගස්වල හැප්පෙමින් කඩුල්ල පැන යන්නට ගියේය . සියල්ල නැවතත් සාමකාමී විය .

" පිස්සෙක් "

සීයා එසේ කියමින් වලව්ව තුලට පිවිසියේය . එහෙත් ඔහුගේ අභියෝගය කුමක්දැයි මා වටහාගත්තේ සතියකට පමණ පසුවය . එදා සවස වෙද ගෙදර වැඩට සිටිනා සරණපාල වලව්වට දිව ආවේය .

" ගුරුන්නාන්සේ .............. "

" කවුද මේ ගොම්මන් වෙලාවේ මොර දෙන්නේ ? "

" ගුරුන්නාන්සේ මම සරණපාල "

" ආ සරණපාල මොකද මේ හදිස්සියේම ? "

" සඳමලී වෙද හාමිනේ එකපාරටම සිහි නැතිව ඇදවටුනා දැන් . මට වෙද මහත්තයා කිව්වා ගුරුන්නාන්සේ එක්ක එන්නය කියලා "

" එවිට මම සිටියේ කාමරයේ ඇඳ උඩය . මම වහා ඇඳෙන් බැස ඉස්තෝප්පුවට දිව ගියෙමි "

" ඇයි මොකද වෙලා තියෙන්නේ "

" නාහෙන් කටෙන් සෙම දානවා චූටි ගුරුන්නාන්සේ . මම හිතන්නේ අමනුස්ස දෝෂයක් . වෙද මහත්තයා කිව්වා ඉක්මනට එක්ක එන්න කියලා "

ඒවනවිට මම සිටියේ කමිසයක්වත් නැතිවය . එහෙත් මම එහෙමම වෙද ගෙදරට දිව ගියෙමි . සීයාට දුවන්නට බැරිය . මම වහා දිවගොස් කඩුල්ල පැන වෙද ගෙදරට ගියෙමි . ඒවනවිටත් සඳමලී නංගි ඇඳ මත වැතිර සිටියේ නාහෙන් කටින් සෙම දමමින් වෙව්ලමින්ය .

" පුතේ මේ සරුවාංග ලෙඩක් නෙවෙයි . මටනම් තේරෙන්නේ නැහැ "

" ඉන්න මම බලන්න "

මම ඇඳ මත වාඩිවී ඇයව පරීක්ෂා කලෙමි . ඒ අනුව මම ඇයගේ දෑස් විවර කර පරීක්ෂා කලෙමි . එය අමනුස්ස දෝෂයකි . මම වහා මන්තර මැතිරීමට පටන් ගත්තෙමි . මන්තර අසනා පාටක් පෙන්නේ නැත . මම රතන සූත්‍රය කීමට පටන් ගත්තෙමි . එවිට ඇයගේ වෙවිලීම නතර විය . එහෙත් එය නවතන විට ඇය නැවතත් වෙවිලීමට පටන් ගනී . මෙය බලගතු ගුරුකමක් විය යුතුය . ඒ වනවිට සීයාද වෙද ගෙදරට පැමිණියේය .

" කෝ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා "

සීයා කාමරයට පැමිණ සඳමලී නංගි සිටින ආකාරය දුටු විට පුදුමයෙන් පුදුමයට පත් විය .

" දෙයි හාමුදුරුවනේ . මේ කෙල්ලට විනයක් වැදිලා . එහාට වෙයල්ලා . එහාට වෙයල්ලා "





සීයා මහා හඬින් මන්තර මතුරමින් ඇයගේ දිෂ්ටිය ඉවත් කිරීමට උත්සාහ කළේය .

ඕන් ජෙතා ලංක ක්‍රලාඩිංද හොරවා ගිනි ගිනි දෙස් ගිනි ගිනි පට්ටා ක්‍රින්තු ක්‍රිස් ගිනි දළුන හෙහෙස් කුමාර ශර අලගු පෙසු පෙසු සලාහම්.
ඕන් ආදෙස් ක්‍රාලා එමා ඉස්පු ලෙන්ද කොඩෙන් අඝොර විර පත්ත්‍ර නාරායනේ ගිනි ගිනි සිලංබර කතානඩි තෙලංග දොළුවර දෙස් සර්‍වසූනියන් නාරායනේ ඉගිල වර වර සලාහම්.
ඕන් විර පශාඩි තෙලිහ දොළුවරදෙස් ගිනි ගිනි සහර ගිනි දැපන මන්ත්‍ර දෙස් දෙවගුරුධාරිනේ පෙසු පෙසු සලාහම්.
ඕන් තල්ලාත් ක්‍රාන්තු කායිල් කරුවන්ද්ලි හං තෙසු පිල්ලි සුනියන් ගිනි ගිනි කන්දස්වාමි නාරායනේ ගිනි පත්ති තිස ලඹ සරිචි ගිනි ගිනි ආදෙස් ආදෙස් සලාහම්.
ඕන් හ්‍රී ජලතිදෙස් පෙසු පෙසු ලාහෙස් ගිනි ගිනි නහි නහි ලාකාසුර ළුව් හැම දෙවි දෙස් සර්‍ව සූනියන් අරු අරු ඉකිල වර නාරායනේ සලාහම්.
ඕන් ක්‍රයිවුලා ඩිවාතේ තෙගු තෙගු වයිර වා වා පෙසු පෙසු කුල ඉක් පෙසනිපෙසුං කවල දෙහොලාඩබුවිඩි නොබාක්‍රලහත්ති අජාහෙ ජලර්‍ල භූතානාහිත හො පුල්ලි ලාවාඩි හෙනතු ශ්‍රන්බෙත තුබා හෙස් ගිනි ගිනි පෙරිය කමල ඉර්‍ලලඩි ගිනි අලගු සෙල්ලූම්.
ඕන් භුතානා හා භුන්ජෙතුමා ලා තොඩා දෙහො කලි නොඩා ජලි රජ බාහුන් ශ්‍රී ජාලාහලබාහෙජා ලඩිහරි හ්‍රීස් තොඩා ජාකාජාලරෙහි ලල්මි සිවිසි ජෙතා වුහි ගිනි ගිනි වාඩිතා විර ජා සෙල්ලම්.
ඕන් පුල්ඩිමාරා දොහොම් විසනු භාරෙසු කඩි අකිලාඩි හො ජලා හෙඃ ස්මිල්ලා නොතවි තල්ල හෙහෙස් අල්ල හත්ති ජටා දෙහොස්ලා හොජාලා හෙ හෙස්කි හන්ති දෙදෙස් අරා දෙහෙස් තුකි ජල හො පෙස ගිනි ගිනි සෙල්ලූම්.
ඕන් හරනර පුරකදිර නාරායනේ ඉරි ඉරින්දු පෙස ගිනි කාලි සෙගු සෙගු බනු බනු ගිනි හිර මුලජ්ලාඩීගිඩි ශැර කාවාප්‍රොරදෙස් දිල පිලලි බාහෙස්.
කල්ලූ ප්‍රදෙස් හර හර හර්‍ලලාඩි ගිනි ගිනි අලගු සෙල්ලූම්.
ඕන් ප්‍රොන් ජෙස්සං ක්‍රාව්ග්‍රෙන්ස්‍රෝන් බ්‍රහොස් ක්‍රන්තු හෙස් ජරංහෙන් තු ශොනක්‍රොන් හෙ හෙස් හ්‍රීන් ප්‍රොන්තු දෙඩෙස්දොන් දොන්තු අක්‍රාමිදෝස් හොරාත් තුජක්ක්‍රාම් ශ්‍රෝන්තු බාහෙස් ඉංක්ක්‍රාත් ශ්‍රෝංක්‍රෝබාහෙස් ගිනි ගිනි අලගු සෙල්ලූම්.
ඕන් ඉරගුරළු ශක්ක්‍රම් දිවගුරළු ශක්ක්‍රාම් සුරිය ශක්ක්‍රාම් කවිචි ගිනි ශක්ක්‍රාම් විර පත්ත්‍ර ගිනි ශක්ක්‍රාම් ගිඩි ගිඩි ශක්ක්‍රාම් විෂ්නු කවිචි ගිනි ශක්ක්‍රාම් ගිනි ශක්ක්‍රාම් කුඹාධාරනී හර හර කල්ලූශර ගිනි ගිනි විත සෙල්ලූම්.
ඕන් හ්‍රීන් අරුවලවු යෙල් සිවා සිවා කායුම් මුරි මුරිනේ යුම් ඇරි ඇරි කොඩාගුරු යුම්පෙපෙන් ගිනි ගිනි වා වා පුඩි පුඩි පුඩිබානුම් ඉරි ඉරි තුඩ වොනුම් ජලතුඩා වෙර කාලිම්ත සෙල්ලූම් කොයිරාඩි වයිරෙවට කාලි නමඃ

නමුත් මන්තර මතුරන විට දිෂ්ටිය ඉවත්ව ගියද මන්තර නතරකරන විටම දිෂ්ටිය නැවතත් පැමිණ ඇය පරල වීමට පටන් ගනී .

මම කරකියාගත දෙයක් නැතිව බලා සිටියෙමි .

" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "
" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "
" උඹේ මුණුබුරාට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා "

මාගේ සිතේ නැවත නැවත මතුවූයේ මෙම වචන කීපයයි .

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment