සඳ එළියේ අසිපත ( 12 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

පසුගිය කොටසින්

“ ඔය දරුවට සියල්ල මම විස්තර කරන්නම් . අපි දැන් යමුකෝ එළියට . ඔය දරුවා රණබා වෙන්න ඕන ? “

“ උඹලා කොහොමද මගේ නම දන්නේ ? . මම උඹලව දන්නේ නැහැ . ඒ කාලේ දැකලවත් නැහැ “

“ ඔය දරුවා දන්නේ නැහැ නේද ? ඔය දරුවා අවුරුදු දෙදාහක් විතර මේ බෙහෙත් ඔරුවේ තැම්පත් කරලා තිබුණේ කියලා “

“ අවුරුදු දෙදාහක් ? “

“ ඔවු එච්චර විතර වෙනවා . අපිට ඔය දරුවා අවදි කරවන්න මග පෑදුනු හැටි මං පස්සේ විස්තර කරන්නම්කො . අපි දැන් මෙතනින් පිටත්වෙලා යමු “

ගල්ගුහාවෙන් පිටත්වූ අප අනතුරුව පැමිණියේ ඖෂධ පොකුණ සමීපයටය .


“ ගුරුන්නාන්සේ මෙහෙන් ඩිංගක් නැවතුනානම් . මගේ මේ ඇඟේ තියෙන තෙල් ටික හෝදාගෙන යන්න “

රණබා සීයාට ගුරුන්නාන්සේ කියා ආමන්ත්‍රණය කළේය . ඔහු අඩි පහමාරක් හයක් පමණ උස ඇති පුද්ගලයෙකි . එමෙන්ම ඔහු මනා කාය විලාසයක් ඇති පුද්ගලයෙකි . ඔහුගේ මස්පිඩු යෝධයෙකුගේ ශරීරය මෙනි . මදක් කළු පැහැති සමක් ඔහුට හිමි විය . රාත්‍රී නිසාවෙන් තවමත් ඔහුගේ නියම ශරීර ස්වභාවය දැකබලාගැනීමට හැකි වූයේ නැත . ඔහු තවමත් සිටින්නේ නිරුවතින්ය . ඖෂධ පොකුණෙන් නාගත් ඔහුට මම මගේ සරමට උඩින් ඔතාගෙන සිටි සුදු රෙද්ද ගලවා දුන්නේ ඔහු අපත් සමග ගමට යායුතු බැවිනි . සිංහල ද්වීපය එදාට වඩා වෙනස් බව ඔහු තවමත් දන්නේ නැත .


අද එතැන් සිට








රණබා ඖෂධ පොකුණෙන ස්නානය කර අවසන්වී මා දෙන ලද සුදු රෙද්ද ඇඟෙහි ඔතාගත්තේය . නැවතත් අප ගමන ආරම්භ කරේ කරත්තය නවතා තිබෙන ස්ථානයට යාමටයි . මෙම වනාන්තරය තුල වැඩි වෙලාවක් ගත කිරීම නුවනට හුරු නැත . ඊට හේතුව වූයේ අලි ඇතුන් කෙසේ වෙතත් දිවි වග වලසුන් මෙවැනි ලෙන් ආශ්‍රිතව ජීවත් වන බැවිනි . ගමන ආරම්භ කර ස්වල්ප වෙලාවක් ගතවන්නට මත්තෙන් රණබා තමාගේ හිස තදින් අල්ලාගෙන් කෑගසන්නට ගත්තේය . එම කෑගැසීම වෙඩිල්ල පත්තුවුණු වල් ඌරෙකුගේ කෑගැසීමට වඩා බිය උපදවන කෑගැසීමක් විය . අවසානයේ ඔහු තම හිස තදින් අල්ලාගෙන බිම ඇද වැටිණි .

“ දරුවෝ දරුවෝ ? “

“ සීයේ වතුර ටිකක් ගාමු මූණේ “

. බීමට ගෙන ගිය ලැබූ කැටයේ වතුර අවසන් වී ඇත . රාත්‍රියේ වතුර සෙවීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවුවද මම සීයාව රණබා අසල තබා වතුර සෙවීමේ රාජකාරිය ආරම්භ කලෙමි . වතුර සෙවීම ආරම්භ කර මදවේලාවක් ගතවන විටය මතක් වූයේ ; අප රණබාට පෙවිය යුතු ඖෂධ මංජුසාව තවමත් නොපෙවූ බව . මම වහා සීයාවෙත ගොස් ඒ බව කීවෙමි .

“ මහා ගිණි විජ්ජුම්බරයක් තමයි වෙන්නේ මේ මනුස්සයාට මොනවා හරි උනානම් . මටත් ඒක එහෙමම අමතක වෙලා ගියා නෙව . පුතා ඔය මන්ජුසාවත් ඇරලා ඕකෙන් පොඩ්ඩක් අරන් මෙයාගේ කට ඇතුළට වත්කරන්නකෝ සිහිය එයිද බලන්න “

මම ඖෂධ මංජුසාව මල්ලෙන් එලියට ගෙන ඉක්මනින් එය විවෘත කර ඉන් බින්දු කීපයක් රණබාගේ මුව තුලට වත් කලෙමි . ඔහුගේ කිසිදු වෙනසක් නැත . මම තවත් බිංදු කීපයක් වත්කළෙමි . අවසානයේ ඔහු කෙඳිරි ගාන්නට විය . ඔහුට සිහිය ආ බව ප්‍රත්‍යක්ෂ වූ පසු මමත් සීයාත් ඔහු වාඩිකරවා ගසකට හේත්තු වන්නට ඉඩකඩ ලබා දී ඉතිරී බෙහෙත් තෙල් සියල්ලද පානය කිරීමට දුන්නෙමු . ඔහුට ප්‍රකෘති සිහිය ලැබුණේ ඉන් අනතුරුවය .

“ මටත් අමතක උනා නෙව මේ බෙහෙත් මංජුසාවේ බෙහෙත් ගැන “

“ ඔය දරුවා කොහොමද ඒවා දන්නේ ? “








“ මට කපුරුනාත මහ වෙදනා කියලා තිබුණේ ආයෙත් අවදි උනාම මතක ඇතුව බෙහෙත් ඖසධ ටිකක් තියෙනවා ඉල්ලලාගෙන බොන්නය කියලා . මටත් ඔහෙලාගෙන් ඒවා ඉල්ලගන්න අමතක උනා . මම හිතන්නේ ඔහෙලාටත් ඒවාගැන සිහියක් නැති වෙන්න ඇති මයේ හිතේ ? “

“ එකේ නෙවෙන්නං . ඔය දරුවා ඇඟපත හොලවන්නට පටන් ගත්තට පස්සේ අපිටත් උන්හිටිතැන් අමතක උනා “

“ ඒකට කාරී නැහැ . අපි දැන් කොහෙද යන්නේ ? . මට මාළිගාවට යන්න ඕන බොලවූ . මම එනකල් සඳ එළියේ අසිපත හොලවන්න බැරිව හැමෝම බලාගෙන ඇති . මමයි සඳ එළියේ අසිපත ආරක්ෂා කරන්න භාර ගත්තේ . මගේ භාරයේ තමයි සඳ එළියේ අසිපත තියෙන්නේ . අසිපත තවමත් උමග ඇතුලේ තැම්පත් කරපු තැනම ඇති මම නැති නිසා “

“ ඔය දරුවට දැන් කාරණා කාරණා පැහැදිලි කරන්න වෙලාවක් නැහැ . අපි කරත්තයකින් තමයි ආවේ ඔය දරුවා ඉන්න තැන හොයාගෙන . අපිට චිත්තරාජ උත්තමයා උදවු කරා . දැන් අපි ආයෙත් අපේ ගමට යමු “

“ චිත්තරාජ උත්තමයා බැහැ දකින්නත් උවමනායි . ඒවා පසුවට බැරිය . කොහෙද මාමා ඉතින් බොලාගේ ගම ? “

“ අපේ ගම් පළාත නම් හිටිනාමලුව . ඔය දරුවා ඉන්න කාලේ කොහොම කිව්වද කියලානම් අපි දන්නේ නැහැ . දැනට නම් කියන්නේ හිටිනාමලුව කියලා තමයි “

“ මම දන්නවා ඒ ගම . අපි යුද්ධ කරන්න කඳවුරු බැන්ද කාලේ අපිත් ඔය ගමට ආවා ගියා . ගාමිණී කුමාරයා විහාරයකුත් හැදෙව්වා නෙව ඒ පළාතේ . දැන් ඒ විහාරය තියෙනවද දන්නෙත් නැහැ . අවුරුදු දෙදහස් ගණනක් ගතවෙලා කියලා කියන නිසා මම එහෙම කිව්වේ . කමක් නැහැ . එහෙනම් අපි ඉස්සෙල්ලම හිටිනමලුවට යමුකෝ . හිටිනා මලුව . ඔය ගමට එහෙම නම තියලා තියෙන්නේ නාගයින් හිටපු පැත්තක් නිසා . නාග ගෝත්‍රිකයින් ඔය පළාතේ පදිංචිවෙලා හිටියා . ගාමිණී කුමාරයා ඉතින් නාග ගෝත්‍රික පෙළපතක උත්තමයෙක් නිසා උන්නාන්සේ නාගයින්ගේ ගම් වලට ගොඩක් උදවු පදවූ කරා . වෙහෙර විහාරත් හැදෙව්වා  “








“ ඔය දරුවට ඇවිදගන්න පුළුවන්ද ? “

“ පුළුවනි පුළුවනි . සුරනිමල එක්ක පයින් ගාටපු මට මේවත් කජ්ජක්ය මාමා . අපි එක දවසින් කොත්මලේට ඇවිත් අනුරාධපුරයට ආයෙත් පයින් යනවා නෙව ඒ කාලේ “

“ නැහැ දරුවෝ මම ඇහුවේ ඔය දරුවට බෙහෙත් ඖෂධ නැතිව සිහි නැතිවෙච්ච එක දැන් ගමන් කරන එකට අපහසුවක්ද කියලා . එහෙම අපහසුයි වගේනම් අපි නැවතිලා ඉඳලා යමු “

“ ඕනි නැහැ මාමා . අපි කරත්තය තියෙන තැනට යමු “

සීයාත් මමත් රණබාත් ධූමරක්ගල කන්ද නැග ගියාට වඩා වැඩි වේගයකින් කන්දෙන් බැස අප ගිය පාර දිගේම පැමිණ කරත්තයට ගොඩ වීමු . දින කීපයක් ගත කරමින් නැවතත් ගම රට බලා පැමිණි සීයාත් මමත් රණබාත් වලව්වට සේන්දුවන විට එදින පාන්දර තුන පමණ වී තිබිණි . රණබාට දෙන්නේ කුමන කාමරයද ? එය ඉතාමත් ගැටළු කාරී විය . සීයා අවසානයේ තීරණය කලේ වලව්වේ පිටිපස්සෙම ඇති විශාලම කාමරය රණබාට නවාතැන් ගැනීමට දීමයි . එහෙත් ඔහු පැවසුවේ වැඩි කාලයක් ඔහු මෙහි නතර වී සිටින්නේ නැති වගයි . ඒ ඇයි කියා ඇසුවද ඔහු කෙලින්ම පිළිතුරක් දුන්නේ නැත . ඔහුගේ මූලිකම අවශ්‍යතාවය වී තිබුණේ අනුරාධපුරයට ගොස් රජමාළිගය දැකබලාගෙන එහි වූ අය හමු වී පැමිණීමයි . ඒ හැර ඔහු වැඩි කාලයක් ගත කලේ භාවනා කිරීමටයි . නිවසේ සිටින කිසිවෙක් ඔහුට බාධා කරේ නැත . මොහු කවුද කියා හරියටම දන්නේ සීයාත් මමත් පමණි . අනිත් සෑම දෙනාම දැන සිටියේ ඔහු ගුරුකමක් කරගැනීමට වලව්වට ආ කෙනෙකු ලෙසය .

“ ගුරුනාන්සේ මාමා . මට දැන් මෙහෙ හිටියා ඇති . මම අනුරාධපුරේ යන්න ඕන . මට මාළිගාව බලන්න යන්න ඕන . මම තවම භාවනා කරනවා . භාවනාව මුදුන්පත් උනාට පස්සේ මම යනවා සඳ එළියේ අසිපත තියෙන තැනට . සඳ එළියේ අසිපත රැකගන්න මම එතන නවතිනවා . ඊට කලින් මට අනුරාධපුරයට ගිහින් එන්න උවමනායි . ස්වර්ණමාලි දාගැබේ ඡත්‍ර සවිකරන්නත් කලියෙන් තමයි මාව බෙහෙත් ඔරුවක තැම්පත් කලේ  “





“ ඔය දරුවා එහෙනම් අපිත් එක්ක කරත්තයෙන් ගිහින් එමු . මම එක්ක යන්නම් “

“ නැහැ මාමා මම යනවා පයින් . මට දවසෙන් ගිහින් එන්න පුළුවන් “

“ ඔය දරුවාගේ කැමැත්තක් . කොහොමද ඉතින් පාරවල් හොයාගන්නේ . දැන් කලින්ට වඩා පාරවල් වෙනස්නේ “

“ කමක් නැහැ මාමා ඉර ගමන් කරන දිසාව අනුව මට පාර හොයාගන්න පුළුවනි . ඒ පාරදිගේ දිගටම ගියාම හරි “

සීයා ඔහු සමග හරහට කතා කිරීමට කිසි අවස්ථාවක ඉදිරිපත් වූයේ නැත . රණබා වලව්වෙන් පිටත්විය . ඒ සමගම සීයා මා ලවා අංජනම ඇර රණබාගේ ගමන පිළිබඳව පරීක්ෂා කළේය . ඔහුට ඇත්තේ ඇත්තෙන්ම වේගවත් ගමනකි . ඔහු උදැසනම වලව්වෙන් පිටත් වූ අතර ඉර අවරට ගොස් හෝරා කීපයක් යන්නට මත්තෙන් ඔහු අනුරාධපුරයට ලඟාවිය . ඔහු නැවත පැමිණෙන තුරු අපි අංජනමෙන් ඔහු පිළිබඳව විමසිල්ලෙන් සිටි අතර නැවත ඔහු වලව්වට ආ මොහොතේ සිට වැඩිය කිසිවක් අප හා කතා කරේ නැත . මුහුණද මලානික වී තිබිණි . වැඩි වෙලාවක් ඔහු කරේ කාමරයට වැදී භාවනා කිරීමයි . සමහර අවස්ථා වලදී ඔහු මාත් සමග කතාවට එක්කාසු වූ අතර එම කතා වලදී ඔහුගෙන් මට යම් යම් කැරුණු කාරණා දැනගැනීමට හැකි විය .







“ මලයණ්ඩි දන්නවද ගාමිණී කුමාරයයි තිස්ස කුමාරයයි යුද්ධයක් තිබුණා කියලා “

“ ඔව් . මම පොත්වල කියවලා තියෙනවා “

“ අන්න ඒ යුද්ධයේදී ගාමිණී කුමාරයාට කඩොල් ඇතා හිටියේ නෑ . ඒත් ගාමිණී කුමාරයා දිනනවා . ඒ දිනුවේ කොහොමද කියලා මලයණ්ඩි දන්නවද ? “

“ නැහැ “

“ ගාමිණී කුමාරයට හිටියා කොත්මලේ පැත්තෙන් ආව දක්ෂ නැකත්කරුවෙක් විජය දන්ත ගණිතයා කියලා . ඒ ගණිතයා ගාමිණී කුමාරයට කිව්වා මේ යුද්ධයෙන් කඩොල් ඇතාගේ පාර්ශවය ජයගන්නවා ඒකාන්තයෙන්ම කියලා “

“ ඉතින් ? “

“ ඉතින් විජයදන්ත ගණිතයා ගාමිණී කුමාරයට සුභ නැකතක් හදලා දුන්නා මෙන්න මේ නැකත ලබල තියෙන කාලයට යුද්ධය මෙහෙයවන්න කියලා . ඒ නැකත ලබපු වෙලාවේ තමයි ගැමුණු කුමාරයා වෙළඹ පන්නාගෙන ගිහින් කඩොල් ඇතාගේ පිට උඩින් පන්නවන්නේ . එවෙලේ තමයි කඩොල් ඇතාට තමාගේ පිටේ ඉන්න තිස්ස කුමාරයා ගැන පිළිකුලක් ඇතිවෙලා තිස්ස කුමාරයාව බිමට හලන්නේ “

“ මමත් නැකත් බලන හැටි ගැන තරමක් දේවල් ඉගෙනගෙන තියෙනවා . ඒත් ඉතින් වැඩියම නැහැ . අපේ ඔය මන්තර යන්තර වගේ දේවල් වලට ඕන කරන දේවල් විතරයි ඉගෙනගෙන තියෙන්නේ . තව ඉතින් පොරොන්දම් බලන්න පළාපල කියන්න වගේ දේවල් ටිකක් දන්නවා “

“ එහෙනම් මලයණ්ඩි මේ කවි ටික ලියාගන්නකෝ . මමත් ඉගෙනගෙන තියෙනවා නැකත් බලන හදන හැටි ගැන . දසමහා යෝධයින් එක්ක ළඟින්ම හිටපු අයට ගාමිණී කුමාරයා මේ දේවල් ඉගැන්නුවා ඒ දේවල් වල හොඳ දැනුමක් තියෙන අය ලවා . එහෙම කරේ දසමහා යෝධයින් මොනයම් හෝ වැඩක් කරන වෙලාවට හොඳ නැකත් බලලා ඒ අයට උදවු උපකාර කරන්න කියලා “







“ ඉන්න එහෙනම් මම කොලයකුයි පැන්සලකුයි අරගෙන එන්නම් “

“ මලයණ්ඩි එහෙනම් මෙහෙම ලියාගන්නකෝ . මේකට කියන්නේ ගජ තුරඟ සංහාරය කියලා “


නබසර සිටි පෙදත්
ගැන ඊට තත් කාලෙත්
සුරිඳ පෙද සඳුටත්
තබා හැර ගනුව එක් මිහිකත්

මෙතුන ගැන නිසි ලෙස
පෙරමුණ සතුරු එ පිරිස
ගණනින් හැර නිදොස
ඉතිරී උනහට ජයයි නිසි ලෙස

යුග නම් ගැමුණු රද
පරදී දනුව නිසි ලෙද
ඔජවී නම් එසඳ
පැරද කඩොලැතු පලා යෙයි සෙද

නුබ කුස මිහිතලේ
සිටිති සඳ දෙවු එජලේ
තෙතල දැන සුපලේ
යනුව යුධයට නොහී කුහුලේ

ගැමුණු නරනින්දා
කඩොලැතුව ලුහු බැන්දා
පැරද විඳ නින්දා
සිටින සඳ විලි වැද නොමන්දා

කඩොලැතා සිරීමත්
සද්දන්ත කුල වේ යුත්
වෙළඹ හට ජය නැත්
ගන්ට කීවේ පිරිසිදුව මෙනැකත්

සියලු ජය ලැබුමට
නබසර මුල්වෙ සහතුට
සුර ගුරුද ඉසුරට
අධිපතිය දැනගනුව සැම විට

“ මලයණ්ඩි ලියාගෙන අහවරද ? “

“ හරිම අමුතු ක්‍රමයක් මේක . කරලා බලන්න ඕන වෙලාවක මොකද වෙන්නේ කියලා බලන්න “

“ මලයණ්ඩි . මම අනුරාධපුරයට ගිය වෙලාවේ චිත්තරාජ උත්තමයා හමු වුණා . මට සේරම දේවල් වෙනස් වෙලා කියලා කිව්වේ ඒ උත්තමයා තමයි . මට කතරගම දේවාලයට ගිහින් කඩොල් ඇතාගේ දල දෙක බලලා එන්න ඕන . මම කොච්චරනම් ලඟින් හිටපු ඇතෙක්ද ? . යුද්ධය වෙලාවේ පිටට වැටුණු ලෝදිය තුවාලත් එක්කම තමයි විජිතපුරයේ බලකොටුව බිඳින්න ඇතා ආයෙත් නැගිටලා දුවගෙන ගියේ . ඊට පස්සේ ඒ තුවාලවල තියෙන මලකඩ ඉවත් කරේ අපිමයි . අපේ සේනාවේ කඩු හදපු අය තමයි මුවහත් පිහි අරගෙන ඇවිත් ඇතාගේ මස කප කපා මලකඩ කුට්ටි ඉවත් කලේ . කොච්චර නම් වේදනාවක් තියෙන්න ඇතිද . ඒත් ගොරව ගොරවා හිටියා විතරයි කලබල කරන්නේ නැතිව . ඇතා මියගියා කියලා මට චිත්තරාජ උත්තමයා කිව්වට පස්සේ වාවන්නේ නැතිව ගියා . මට කතරගම ගිහින් දල දෙක බලලා එන්න ඕන ඇතාගේ “

සීයාත් මමත් කතරගම ගොස් රණබා රුහුණු කතරගම මහා දේවාලයට කැඳවාගෙන ගියෙමු . කඩොල්ඇතාගේ දල යුගල නැරඹීමට අවසර ගැනීමට කපු මහතා සමග දීර්ඝ කතාවක් කිරීමට අපට සිදු විය . පසුව කරුණු කාරණා තේරුම් ගත් කපුමහතා අවේලාවේ දෙවොල විවෘතකර කඩොල් ඇතාගේ දල යුගල හඳුන්කුඩමෙන් ඉවතට ගෙනවිත් රණබා අසලින් තබන ලදී . රණබා ඉතාමත් දැඩි හිතක් තිබෙන පුද්ගලයෙකි . එහෙයින් ඔහු හැඬුවේ නැත . ඒ වෙනුවට හෙතෙම ඇතාගේ දල යුවල අතගාමින් විනාඩි කීපයක් ඒ දෙස බලාගනම සිටියේය . අවසානයේ රණබාත් සීයාත් මමත් නැවත ගමට ආවේ රණබාගේ ජීවන ඉරණම ඊළඟට කැරකෙන්නේ කෙසේද යන්න පිලිබඳ තීරණය කරනු ලබන තීරණාත්මක මොහොතට මුල පිරීමටය . සඳ එළියේ අසිපතට පණපෙවීමට රණබා සූදානම් .

සඳ එළියේ අසිපත අවසාන කොටසත් සමග නැවත හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


එකතුවන්න මකරාගේ සන්නස සමග

- මකරාගේ සන්නස -
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment